BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

විවාහය එපාලු

අතීතය සිහිනයක් බවට පත්වෙලා. කරිස්මා කපුර් සහ සන්දීප් ටොෂ්නිවාල්ගේ පෙම් කතාවටයි, ඒ ඉරණම අත් වී ‍ත‍බෙන්නේ. ව්‍යාපාරිකයෙකු වන සන්ජේ කපුර් සමඟ ගත කළ දහතුන් වසරක අමිහිරි යුග දිවිය අත්හළ කරිස්මා ඉන් පසුව සමීප වූයේ තවත් ව්‍යාපාරිකයෙකු වන සන්දීප් වෙතටයි.

සන්දීප් සහ කරිස්මාගේ ආදරය කිසිවෙකුටවත් සැඟවිය හැකි වුණේ නැහැ. ඔහුන් දෙදෙනා විවිධ උත්සව වලට, රාත්‍රී සාදවලට සහභාගි වුණේ පෙම්වතුන් යුවළක් හැටියටයි. කවුරුත් අනුමාන කළේ සන්දීප් සහ කරිස්මා නුදුරු දිනයකදී අතිනත ගනීවිය කියලයි. ප

සුගිය මැයි මාසයට කලින් නම් දෙදෙනා ගමන් බිමන් ගියේ ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන යුවළක් හැටියට තමයි. නමුත් මැයි මාසයෙන් පසුව දෙදෙනා කිසිම දිනයක මුණ ගැසී නැති බවයි තතු දන්නා උදවිය පවසන්නේ.

මෑතකදී කරිස්මා පවසා ඇත්තේ තමන් යළි විවාහ වීමට අදහස් නොකරන බවයි. සමෙයිරා සහ කියාන් යන දරු දෙදෙනාව හොඳින් හදා වඩා ගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කිරීම වඩාත් සුදුසු යැයි ඇය පවසා තිබෙනවාලු.

සන්ජේ සමඟ ගත කළ විවාහ දිවියෙන් සමුගත් තමන්ට යළි විවාහයක් ගැන සිතීමට අපහසු බවත් ඇගේ අදහස බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙකු සමඟ යළි දීග කෑමට කරිස්මා කැමැත්තක් නැතිලු.

කරිස්මාගේ පියා වන ප්‍රවීණ සිනමා නළු රන්ධීර් කපුර් පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කර ඇත්තේ ද දරු දෙදෙනා රැක බලාගෙන තනිකඩවම ජීවත්වීමට කරිස්මා වැඩි කැමැත්තක් දක්වන බවයි.

 


ජංගම දුරකතන තහනමක්

‘දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට පත්වෙලා. ‘දීප්- වීර්’ හෙවත් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ නොවැබ්බර් 14 සහ 15 දෙදින තුළදීයි. උත්සවය පැවැත්වෙන්නේ කොහේ දැයි හෙළි කර නැහැ.

රන්වීර් සහ දීපිකා දැනටමත් තීරණය කර ඇත්තේ විවාහ මංගල්‍යය අප්‍රසිද්ධව පවත්වන්නයි. සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. පෞද්ගලිකත්වය රැකෙන ලෙස චාම් අයුරින් පැවැත්වීමට නියමිත මේ විවාහ මංගල උත්සවයට සහභාගි වන කිසිවෙකුටවත් ජංගම දුරකතන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවත් ආරංචියි.

“රන්වීර් එක්ක පෙමින් බැඳී සිටි කාලයේදීත් දීපිකා උත්සාහ කළේ ඔවුන් දෙදෙනා ගැන කිසිම මාධ්‍යයකට විස්තර නොකියා ඉන්නයි. ඒ තත්ත්වය විවාහ උත්සවයේදීත් රැක ගන්නයි දීපිකා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසයි ආරාධිතයන්ට ජංගම දුරකතන ගේන්න එපා කියල දන්වලා තියෙන්නේ” ‘දීප් - වීර්’ යුවළට සමීප අයෙකු එලෙස පැවසුවා.


‘ගේම් ඔෆ් ත්‍රෝන්’ නළුවා යුග දිවියට

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ජනප්‍රිය නළු තෝර් බියෝන්සන් පසුගිය දා විවාහ දිවියට පිවිසුණා. ඔහුගේ මනාලිය වුයේ කෙල්සී හෙන්සන්.

විසිනව වැනි වියෙහි පසුවන ‘ද මවුන්ටන්’ හෙවත් තෝර් බියෝන්සන් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තම විවාහ මංගල්‍යයේ ඡායාරූපයක් පළ කරමින් සටහන් කළේ තමන් කෙල්සී ගේ අත ගත් බවයි. “මම හරිම සතුටෙන් ප්‍රකාශ කරනවා. කෙල්සී මෝගන් හෙන්සන් මගේ බිරිය බව. කෙබඳු බාධක මැද්දේ වුවත් මේ පියකරු කාන්තාව මම, මගේ ජීවිතය පුරාම රැක ගන්නවා”. බියෝන්සන් තැබූ සටහන තුළ මේ වැකි කිහිපය කැපී පෙනු‍ණා.

බියෝන්සන් සහ කෙල්සී පෙමින් බැදුණේ පසුගිය වසරේදීයි. දෙදෙනා මුලින්ම මුණ ගැසී ඇත්තේ කැනඩාවේදීයි. ඒ වන විට කෙල්සී එරටෙහි අවන්හලක වේටර්වරියක ලෙසයි සේවය කර ඇත්තේ.

බියෝන්සන් ගේ උස අඩි 6.9 ක්. නමුත් කෙල්සී ගේ උස අඩි 5.2 ක්. කොහොම වෙතත් දෙදෙනාගේ පිවිතුරු ආදරයට මේ උස ප්‍රමාණ බලපා නැහැ.


ඩිස්නි චිත්‍රපට දියණියට තහනම්

වෝල්ට් ඩිස්නි සමාගම නිර්මාණය කරන චිත්‍රපටවලින් බහුතරයක්ම සමීප වන්නේ ළමා පරපුරටයි. ඒත්, ජනප්‍රිය නිළි කීරා නයිට්ලි නම් වොල්ට් ඩිස්නි චිත්‍රපට තම දියණියට නැරඹීමට ඉඩ දී නැහැ. නයිට්ලි පවසන්නේ ඩිස්නි චිත්‍රපටවලින් නිරූපණය කෙරෙන කාන්තා චරිත තුළින් ඔවුන්ගේ වටිනාකම් ඉස්මතු කරන්නට ඉඩදී නැති බවයි. ඒ නිසා ඩිස්නි චිත්‍රපට නැරඹීම තම තුන් හැවිරිදි දියණියට තහනම් කර ඇති බවයි. නයිට්ලි පවසන්නේ.

ඇය මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තේ ඩිස්නි චිත්‍රපටයක රඟපෑමෙන් පසුව වීමත් විශේෂයක්. ළඟදීම තිරගත වීමට නියමිත ‘ද නට්ක්‍රැකර් ඇන්ඩ් ද ‍ෆෝරෙල්ම්ස්’ නම් වූ අලුත්ම ඩිස්නි චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ සටහනකට එක්වෙමින් තමයි ඇය එලෙස ප්‍රකාශ කළේ.

“මගේ දුවට ස්නෝවයිට් ඇන්ඩ් ද සෙවන් ඩ්වෝෆ්’, ‘සින්ඩරෙල්ල’, ‘ලිට්ල් මර්මේඩ්’ වගේ චිත්‍රපට ගොඩක්ම බැලීම තහනම් කරලයි තියෙන්නෙ. ස්නෝවයිට් චිත්‍රපටයෙ කුමාරයා ඇවිත් නිදාගෙන ඉන්න ස්නෝවයිට් ව (හිම කුමාරිව) සිප ගන්නවා. කෙනෙක් නිදා ගෙන ඉන්න අතරෙ අනවසරයෙන් එහෙම සිප ගන්න බැහැ. මේ විදිහට කාන්තා චරිත වලට අගෞරව කරන රඟපෑම් මා දැකලා තියෙන නිසා මම, මගේ දුවට ඩිස්නි චිත්‍රපට බලන්න දෙන්නෙ නැහැ.” කීරා නයිට්ලි ආන්දෝලනාත්මක අදහසක් එලෙස ප්‍රකාශ කළා.

අදහස්