Instant Family | සිළුමිණ

Instant Family

අධ්‍යක්ෂ සෝන් ඇන්ඩර්ස් සත්‍ය අත්දැකීමක් පාදක කරගෙන නිර්මාණය කළ ඉන්ස්ටන්ට් ෆැමිලි දරුවන් හදා ගැනීමට ගන්නා පති පතිනියන් සුලබ සමයක වැඩි ප්‍රජාවකගේ හදවත සංවේදී කරන සිනමා අත්දැකීමක් වනු නිසැකය. පීට් මාර්ක් වාල්බර්ග් සහ එලී (රෝස් බයන්) පවුලක් ඇරැඹීමට සිතන්නේ දරුවකු හදා ගැනීමෙනි. පහළොස් හැවිරිදි විප්ලවකාර ගැටවරිය ඉසබෙලා මෝනර් සහ අනෙක් දරුවන් දෙදෙනා මුණගැසුණු පසු ඔවුනගේ වගකීම් විරහිත ආදර බන්ධනය අහෝසි වෙයි. දඩබ්බර දරුවන් තිදෙනෙක් සමඟ ක්ෂණිකවම එක් රැයකින් මාපියන්වී ‘පවුල ‘යන ඒකකය ස්ථාපිත කිරීමට පීට් සහ එලී වෙර දරන්නේ රසිකයන් සිනා සයුරක ද ගිල්වාලමිනි. මවුපියන් වීමට කිසි දිනක පැතුම් නොපිරූ දෙදෙනකු එක් රැයකින් යුවළක ලෙස ආදරය ගොඩ නඟා ගනිමින් මවුපියන් වීමට දරන වෑයම සෝන්, සෙලියුලොයිඩ් පටයේ සිත්තම් කර ඇති ආකාරය විචාරක අගැයුමට ද ලක්වී තිබේ.

බිඳ වැටෙන පවුල් සංස්ථා වැඩි කාලවකවානුවක ක්ෂණිකවම හෝ පවුලක් ගොඩ නැංවෙන සිනමා නිර්මාණ බිහිවීම ගෝලීය අවශ්‍යතාවකි. ඉන්ස්ටන්ට් ෆැමිලි හොලිවුඩයට ගෙන එන සෝන් ඇන්ඩර්ස් සෙක්ස් ඩ්‍රයිව් (2008), හොරිබල් බොසර්ස් 2(2014), ඩැඩීස් හෝම් සිනමා පට පෙළ, ඩම්බ් ඇන්ඩ් ඩම්බර් සිනමා පට පෙළ ඇතුළු ආකර්ෂණීය සිනමා නිර්මාණ ගණනාවකම අදියුරුවරයාය. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මාර්ක් සහ රෝස් රංග වේදීන්ය. සැබෑ ජීවිතයේ සිව් දරු පියකු වන අමෙරිකානු නළු මාර්ක් බූගී නයිට්ස්, ද ඩිපාටඩ් වැනි සිනමා රංගනයන්ගෙන් විචාරක පැසසුමට නොමඳව පාත්‍රවූ අයෙකි. දෙදරු මවක් වන රෝස් ඔස්ට්‍රේලියානු තාරකාවකි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභිනියක් වන රෝස් ට්‍රෝයි, එක්ස් - මෙන්, ස්පයි වැනි සිනමා පට ගණනාවකටම රංගනයෙන් දායකවී ඇත.

විප්ලවකාරිය ලෙස රඟන ඉසබෙලා මෝනර් තවමත් දාහත් හැවිරිදි වියේ පසුවන අමෙරිකානු නිළි ගායිකාවකි. ඇය රඟන්නේ ලිසී නම් වැඩිමල් දැරියගේ චරිතයයි. අනෙක් දරුවන් ලෙස රඟන්නේ ගුස්ටාවෝ ක්විරෝස් (ජුආන්) සහ ජුලියානා ගාමිස් (ලිටා)ය. දරුවන් හදා ගැනීමට ගත් පසු පති පතිනි බැඳීම සහ මාපිය භාවය හඳුනා ගන්නා මාර්ක්ට සහ රෝස්ට දරුවන් තිදෙනා හදා වඩා ගැනීමට මඟ පෙන්වන සමාජ සේවිකාවගේ චරිතය රඟන්නේ ඔක්ටේවියා ස්පෙන්සර්ය. ඔක්ටේවියා ඇකඩමි සිනමා සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා සම්මානලාභිනියකි. ටිග් නෝටාරියෝ ද මෙහි නිරූපණය කරන්නේ සමාජ සේවිකාවකගේ චරිතයකි. මාර්ගෝ මාටින්ඩේල් සැන්ඩි චරිතය නිරූපණය කරන අතර ඇය ද සම්මානනීය තාරකාවකි. ඉන්ස්ටන්ට් ෆැමිලි නොවැම්බර් 16 දින තිරගතවන්නේ විඩෝව්ස්, ෆැන්ටාස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩල්වොල්ඩ් සමඟය. ‍මේ සිනමා පටය හොලිවුඩයට නව හාස්‍යෝත්පාදක ප්‍රවේශයක් ලබා දෙනු ඇත.


බලාධිකාරය

වසරේ මාස සහයක් පුරා ප්‍රේක්ෂකයන් බලා සිටි තලපති විජේගේ රසික රසිකාවන්ගේ පැතුම් මල්පල ගැන්වෙන දිනය අත ළඟය. විජේ රඟන 2018 වසරේ එකම කොලිවුඩ් සිනමා පටය සර්කාර් දීපවාලි දිනයේදී නොවැම්බර් 2 රසිකයන්ට තිළිණ කෙරේ.

අදූරදර්ශී, මුග්ධ දකුණු ඉන්දීය දේශපාලන සංස්කෘතියට එරෙහිව සිය ලේ කඳුළු දහදිය මුසු කරන සුන්දර් ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකාවේ පදිංචි සාර්ථක ව්‍යාපාරිකයෙකි. විජේ සුන්දර් අමෙරිකාවේ සිට ඉන්දියාවට පැමිණෙන්නේ ඡන්දය පැවැත්වෙන දිනයක ඡන්දය ප්‍රකාශ කිරීමටය. එහෙත් ඔහුට තම ඡන්දය වෙනකකු භාවිත කර ඇති බව දැන ගැනීමට ලැබෙයි. මෙයින් කුපිත වන ඔහු යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැඟී සිටියි. ඔහු ඉන්දියාවේ අධම දේශපාලනඥයන් දෙදෙනකුට එරෙහිව දෙස් පාලන සටනක් දියත් කරන්නේ තමිල්නාඩුවේ ධීවරයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි. ඔහු අහිංසක ජනතාවගේ නියෝජිතයා බවට පත්වේ. සර්කාර්හි කීර්ති සුරේෂ්, වරලක්ෂ්මී සරත් කුමාර්, ප්‍රේම් කුමාර්, යෝගී බාබු, රාධා රවි ආදීහු රංගනයෙන් දායක වෙති. ජ්‍යෙෂ්ඨ නිළි තුලසි ද මේ සිනමා පටයේ රඟන්නීය. සර්කාර් තලපති විජේගේ 62 වැනි සිනමා පටයයි. සිනමා ට්‍රේලරය පැය 4 මිනිත්තු 45ක් වැනි කෙටි කලකදී වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඔන ලද සිනමා පටය ලෙස ඉතිහාසගත වී අවසන්ය. සර්කාර් ඒ. ආර්. මුරුගදෝස්ගේ අධ්‍යක්ෂණයකි.


මෝහල්ලා අසි

මෙය සාහසික ලෙස ව්‍යාජ ආගමික ගුරුවරුන් උපහාසයට ලක් කරන බොලිවුඩ් සිනමා පටයකි. ආචාර්ය කාසි නාත් සිංගේ කාෂි කා අසී ජනප්‍රිය නව කථාව යම් තරමකට පාදක කරගෙන මෝහල්ලා අසි නිර්මාණය කර තිබේ. වරනාසිහි අසී ගංගාධාරය හින්දු ආගමික පූජකවරුන් පදිංචි ස්ථානයකි. එහි පදිංචි ව්‍යාජ පූජකයන් විසින් විදෙස් සංචාරකයන් රවටනු ලබයි. ඊට එරෙහිව නැඟී සිටින පූජකයකයාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ නළු සනි ඩියොල්ය. ඔහුගේ බිරිය ලෙස සක්ෂි තන්වර් රඟන්නීය. නිදහසට පෙර සිට 1990 දක්වා කාලය දක්වා සිනමා පටය දිග හැරෙන්නේය. මෙහි රාම් ජන්ම භූමි ක්‍රියාකාරිත්වය මන්දාල් කොමිසම වැනි සත්‍ය කරුණු ද අන්තර්ගතය. චන්ද්‍රප්‍රකාශ් ද්විවේදී මෙහි අධ්‍යක්ෂවරයාය. මේ ආන්දෝලනාත්මක සිනමා පටය නොවැම්බර් 16 දා සිට තිරගත වීමට නියමිතය.

අදහස්