ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක සාර්ථක වේද? | සිළුමිණ

ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක සාර්ථක වේද?

  • තෙල් මිල
  • සම්බාධක සාර්ථක වේද?

ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධකවල ඊළඟ අදියර නොවැම්බර් 4 වනදා සිට බලාත්මක වීමට නියමිත ය. මේ සම්බාධකයන් එරට තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදිත ලෝක වෙළෙඳපොලෙහි අලෙවි කිරීම නැවැත්වීම ඉලක්ක කරගෙන යොදවනු ඇත. ඇමරිකාවේ බලාපොරොත්තුව වන්නේ ආර්ථික වශයෙන් ඉරානය දණ ගස්වා, තමන් කැමති ආකාරයේ න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹීම සඳහා එරට සාකච්ඡා මේසයට කැඳවා ගැනීම ය. එමෙන්ම ඉරානයේ රෙජීම් වෙනසක් පිළිබඳ ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය සිහින දකින බවක් පෙනී යයි.

මේ සම්බාධකවලට මූලික හේතුව වන්නේ 2015 දී පාර්ශ්ව සයක් සහ ඉරානය අතර එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඇති වූ ගිවිසුමට ට්‍රම්ප් විරෝධය දැක්වීම ය. කලක් තිස්සේ පවත්වන ලද සාකච්ඡාවන් හි ප්‍රතිඵලයක් ලෙස මේ ගිවිසුම අත්සන් කෙරුණ අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංසය, යුරෝපා සංගමය, චීනය, රුසියාව සහ ඉරානය එහි පාර්ශ්වකරුවෝ වූහ. මේ අනුව ඉරානයට එරෙහිව බටහිරින් පනවා තිබූ බොහෝ සම්බාධක ඉවත් කෙරුණ අතර විශේෂයෙන් ම යුරෝපීය සමාගම් ඉරානයේ ආයෝජනය කිරීමට ද පැමිණිය හ.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීමත් සමඟ මුල සිට ම ඔහු ඉරානය හා ගැටුම් ඇති කරගත්තේ ය. එමෙන්ම ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඇමරිකාවට අවාසිදායක බවත් එය වෙනුවට නව ගිවිසුමක් අත්සන් කළ යුතු බවත් මුල පටන් ම ඔහු අවධාරණය කළේ ය. 2018 මැයි මාසයේ දී එම ගිවිසුමෙන් ඉවත් වන බව නිවේදනය කළ ඇමරිකාව ඉරානය හා ගනුදෙනු කරන විදෙස් සමාගම්වලට ද බලපාන පරිදි සම්බාධක මාලාවක් ද පැනවූයේ ය.

ගිවිසුමෙහි අනෙකුත් පාර්ශ්වයන් ඇමරිකාවේ තීරණයට එකඟ නොවූ අතර මෙම සම්බාධක පිළිබඳ යුරෝපා සංගමය සිය අප්‍රසාදය පළ කළේ ය. ඇමරිකාව නොමැතිව ගිවිසුම බලාත්මක කරගැනීම සඳහා යුරෝපා සංගමය විශාල ප්‍රයත්නයක් දැරූ නමුත් ඇමරිකානු නෛතික ක්‍රියාමාර්ගයන්ට බියෙන් බොහෝ විශාල සමාගම් ඉරානයෙන් පිටව ගිය හ.

මේ හේතුවෙන් ඉරානයට එරෙහි නව සම්බාධක හේතුවෙන් ඉරාන බොරතෙල් ලෝක වෙළෙඳපොල වෙත නොපැමිණීමෙන් තෙල් මිල ඉහළ නගිනු ඇතැයි යන බිය මතුව තිබේ. සම්බාධක බිය පැමිණීමට පෙර දිනකට ඉරානයෙන් තෙල් බැරල් මිලියන 2.5 ක් අපනයනය කෙරුණි. දැනට එය බැරල් මිලියන 1.5 ක් තෙක් අඩුවී තිබේ. මෙය සම්බාධක බලාත්මක වීමත් සමඟ තවත් අඩු වුවහොත් බොර තෙල් මිල තවත් ඉහළ යා හැකිය.

විශේෂයෙන්ම ඇමරිකාව බලාපොරොත්තු වූයේ සෞදි අරාබිය විසින් සිය තෙල් නිෂ්පාදනය ඉහළ නංවනු ඇති බවත් ඒ අනුව තෙල් මිල පාලනය වනු ඇති බවත් ය. නමුත් එය සිදුවන බවක් ද නොපෙනේ.

නමුත් මෙම සම්බාධකයන් හි මූලික පරමාර්ථය වන ආර්ථික වශයෙන් ඉරානය බිඳ දැමීම කෙතරම් සාර්ථක වේද යන්න පිළිබඳ ගැටලුවක් මතුවී තිබේ.

එක් අතකින් ගත් කළ චීනය ද ඉරානයේ ප්‍රධාන ගැනුම්කරුවෙකි. එහෙයින් තෙල් මිල දී ගැනීම සඳහා චීනය දිගටම එළඹීමේ ඉඩක් ඇත. මේ අතර ඇමරිකාවට ද සිය මිත්‍ර රටවලින් එල්ල වන පීඩනය හමුවේ යම් යම් සහනයන් ලබා දීමට සිදු වී ඇත. මේ වනවිට ඉන්දියාව සඳහා සහනයක් ලබාදීම කෙරෙහි ඇමරිකානු අවධානය යොමුව ඇතැයි වාර්තා වූයේ ය. මෙහි දී ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ඉරාන තෙල් අත්‍යාවශ්‍ය රටවල් සඳහා එරටින් කෙරෙන ආනයන ක්‍රමයෙන් අඩු කිරීමට කල් ලබාදීම ය.

මේ අනුව ඉරාන තෙල් අපනයන සම්පූර්ණයෙන් ම නැවතීම අපහසු වනු ඇත. තවද, යම් තරමකට හෝ එම අපනයන අඩු වීමෙන් තෙල් මිල වැඩිවන අතර එම හේතුව නිසා ඉරානය අපනයනය කරන ප්‍රමාණය අඩු වුවද එරට උපයන මුදලෙහි විශාල අඩු වීමක් සිදු නොවීමට ද ඉඩ තිබේ.

තවද ඇමරිකාව මෙතෙක් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට චීනය, රුසියාව ආදී රටවල් තම මුදල්වලින් ඉරානය සමඟ ගනුදෙනු කිරීම අරඹා තිබේ. ඒ අනුව එම ගනුදෙනු සඳහා අන්තර්ජාතික මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිත කිරීම අඩු වී තිබේ. අනවශ්‍ය පමණට ඇමරිකාවෙන් බලපෑම් එල්ල වුවහොත් ඩොලරය භාවිතය තවත් අඩු විය හැකි ය.

විශේෂයෙන්ම සෞදි අරාබිය සහ ඊශ්‍රායලය හැර වෙනත් බොහෝ රටවල් ට්‍රම්ප්ගේ පියවර විවේචනය කරන අතරම ඉරානය සමඟ හැකි අයුරින් දිගටම ගනුදෙනු කරයි. මැදපෙරදිග කලාපයේ පවා ඕමානය, තුර්කිය සහ ඉරාකය ආදීන් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීමට විරුද්ධ ය. තවද කටාරයට එරෙහිව මැදපෙරදිග රටවල් කිහිපයක් විසින් පනවන ලද සම්බාධක හමුවේ එරට වර්තමානය තෙක්ම බරපතළ කඩාවැටීමකින් තොරව නැ‍ඟී සිටීම ද ඉරානය දිරිමත් වීමට හේතුවකි.

නමුත් සම්බාධක හේතුවෙන් සැලකිය යුතු අපහසුතාවලට ඉරානය ලක් වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රට අභ්‍යන්තරයේ ආර්ථික අපහසුතා ඉහළ යෑමේ අවදානමක් පවතී. මෙය දිගු කාලීනව වර්තමාන ප්‍රතිසංස්කරණවාදී රජයට අවාසි සහිත වනු ඇත.

අදහස්