ආර්ථික අභියෝග ජයගැනීම පහසු නෑ | සිළුමිණ

ආර්ථික අභියෝග ජයගැනීම පහසු නෑ

  • අමාත්‍යාංශ විවිධාකාරයෙන් බෙදලා තිබ්බට, ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන් පැහැදිලි සැලසුම්සහගත භාවයක් නැහැ.
  • රටක් ඉදිරියට යන්න නම් රටේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් විය යුතුයි.
  • දේශපාලන අර්බුදයක් තිබෙන රටක කවුරුවත් ආයෝජන කරන්න කැමති වෙන්නේ නැහැ.

2017 සැප්තැම්බර් මාසයේ ජාතික ආර්ථික සභාව ස්ථාපනය කරනු ලැබුවා. මේ වන විට වර්ෂයක අත්දැකීම් ඔබට තිබෙනවා. ඒ පිළිබඳව කිසියම් ප්‍රගති සමාලෝචනයක් කළොත්?

ඔව්, මේ රටේ ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය ලෙස ගිය අවුරුද්දේ ජාතික ආර්ථික සභාව ස්ථාපනය කරනු ලැබුවා. ජාතික ආර්ථික කළමනාකරණ ක්‍රියාවලියට වඩා සඵලදායක ලෙස සම්බන්ධ වී කටයුතු කළ යුත්තේ කෙසේද හා එහි ඉදිරි ගමන කෙබඳු විය යුතුද යන්න පිළිබඳව කිසියම් වැටහීමක් මේ කාලය තුළ අපට ලැබුණා. ඇත්තෙන්ම ජාතික ආර්ථික සභාවේ ප්‍රධාන කාර්ය භාරය වෙන්නේ මේ රටට කිසියම් ආර්ථික දැක්ම සහ ඉදිරියේදී මොන ආකාරයේ සංවර්ධනයකටද අප යා යුතු වන්නේ ද කියා වඩා සවිඥානික මැදිහත් කාර්යයක් සිදු කිරීමයි. විශේෂයෙන්ම අපි සාක්ෂාත් කරගන්න ඕන ආර්ථික ඉලක්ක මොනවාද? යන්න පිළිබඳව පැහැදිලි තාවයක් ඇති කර ගැනීමයි.

අපේ රටේ ජනතාව නිතරම කතා කරන දෙයක් තමයි මෙරට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙන්නේ ඕනේ කියන එක. ඒ ගැන හිතන කොට වැදගත්ම දේ තමයි කිසියම් සාක්ෂාත් කරගත යුතු අරමුණු සහිත ආර්ථික සැලැස්මක්(Economic plan) තිබිය යුතු බව. එක් අතකින් ආර්ථික සභාවට පැවරී තිබෙන ප්‍රධානම කාර්ය භාරය මෙරට ජාතික ආර්ථික සැලැස්ම හඳුන්වා දීම. එහි අවශ්‍යතාව පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් එක්ක පැහැදිලිවම දැනෙන්න පටන්ගත්තා. විවිධ ආර්ථික ප්‍රකාශ, ආර්ථික දැක්මවල් නොයෙක් අයුරින් ඉදිරිපත් කර තිබුණා. මේ කිසිම දෙයක සංගත භාවයක් සහ මේ රටේ අවශ්‍යතා පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් කරලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම ගෝලීය තත්ත්වය සලකා බලා අපි කවර ගමනායක යා යුතුද කියන දේ සම්බන්ධයෙන් හොඳ පදනමක් තිබුණේ නැහැ.

එහෙම නම්, ඔබලා මේ සඳහා යොමු වී තිබෙන්නේ කවර පදනමක් යටතේ ද?

විවිධ ආර්ථික ක්ෂේත්‍ර ගත්තාම ඒ ක්ෂේත්‍ර සියල්ලම සම්බන්ධ වන ආකාරයට ඒ ක්ෂේත්‍රවලින් කවර සංවර්ධනයක් ඇති වෙන්න ඕනද? එවැනි ඉලක්කගත සංවර්ධනයක් ඇති වෙන්න නම් අපිට තියෙන්න ඕන නිශ්චිත වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ ෂාක්සාත් කරගන්න නම් ඒ සඳහා වූ උපක්‍රම අප සතුව තිබෙන්නට අවශ්‍යයි. ඒ උපක්‍රම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ආයතනික ව්‍යූහය තියෙන්න ඕන. ඒ සියල්ලම ඇතුළත් සවිස්තරාත්මක ආර්ථික සැලැස්මක් අපිට අවශ්‍යයි.

අපි කතාබහට ලක් කරන චීනය, ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි යහපත් ආර්ථික ප්‍රවණතාවක් තියෙන රටවල් බලපුවාහම ඒ හැම රටකම කිසියම් ආකාරයක සැලසුම් කරන ලද ආර්ථික කළමනාකරණයක් පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. අවම වශයෙන් අවුරුදු පහෙන් පහට ප්‍රගතිය සමාලෝචනය වන ආකාරයේ ආර්ථික සැලැස්මක් අපට තිබෙන්නට ඕන. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ජාතික ආර්ථික සභාව සූදානම්ව සිටිනවා.

අපේ රටේ ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී බොහෝදුරට පවතින්නේ අවිධිමත්භාවයක්?

ඔව්, ආර්ථික තීරණයක් ගන්නා විට ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව, විශ්ලේෂණාත්මකව බැලිය යුතු කාරණා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ තීරණවල තිබෙන ආර්ථික මූල්‍යමය ස්වභාවය. සමාජමය කරුණු, දේශපාලන කරුණු, උපක්‍රමශීලී කරුණු, පාරිසරික කරුණු, ආදී කරුණු රාශියක් මේ තීරණය සදහා සම්බන්ධ වෙනවා. නමුත් අද අපේ රටේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී එක කරුණක් දෙකක් කෙරෙහි පමණයි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම අමාත්‍යංශ මට්ටමින් සිදු වන කරුණු කාරණා මේ සඳහා බලපානවා. මේ සෑම දෘෂ්ටිකෝණයකින්ම බලල කිසියම් තීරණයක් ගැනීම අවශ්‍යයි.

අමාත්‍යාංශ විවිධාකාරයෙන් බෙදලා තිබ්බට, ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන් පැහැදිලි සැලසුම්සහගත භාවයක් නැහැ. ඒ නිසා අපි ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන සමස්තයම මුළුමනින්ම ආවරණය වූ ආර්ථික සැලැස්මකට මේ සියලුම විෂය පථයන් ඇතුළත් කළ යුතුයි. අපට තිබුණේ අවිධිමත්, අසංගත, අවශ්‍යතාව අනුව වෙනස් වන ආර්ථික රාමුවක්. ඒ නිසා ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ සැලසුම්ගත භාවය ලබාදීම සඳහා ජාතික ආර්ථික සභාව වැනි ආයතනයක් රටට අත්‍යවශ්‍යයයි. එහි ප්‍රධාන පරමාර්ථය එයයි.

එය එක් අතකින් දේශපාලනික ආයතනයක් නොවුණට දේශපාලඥයන් ඒ තුළ නියෝජනය වෙනවා.

ඔව්, මේකේ දේශපාලන නායකයන් ඉන්න පුළුවන්, නමුත් මේක දේශපාලන ආයතනයක් ලෙස වටහා ගැනීම එතරම් බුද්ධිගෝචර නැහැ. විධායකය හා ව්‍යවස්ථාධායකයේ ප්‍රධානියා මෙන්ම මුදල් අමාත්‍යවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් මෙහි නියෝජනය වෙනවා. ඒක අනිවාර්යයි. කවුරු බලයේ සිටියත් මේ තනතුරු මේ ආකාරයටම නියෝජනය වෙනවා. මොකද අවසානයේ ඔවුන් තමයි ජනතාවට වගකිව යුතු වන්නේ. අපි මේ කරන්නේ මෙතෙක් මේ රටට අඩුවක්ව පැවති මූල්‍ය කළමනාකරණ ව්‍යූහයක් ගොඩනැඟීමයි. මේක සරලව තෙරුම් කරනවා නම් මේක තරමක් පෞද්ගලික ආයතනයක් වගේ. පෞද්ගලික ආයතන මනාකළමනාකාරිත්වයක් යටතේ ලාභ උපයනවා. නමුත් ඒ ව්‍යාපාරය අකාර්යක්ෂම නම් මුල්‍ය කළමනාකාරිත්වය දුර්වල නම් ඒ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ. වහලා දාන්නයි වෙන්නේ. ඒවගේ රටක් ඉදිරියට යන්න නම් රටේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් රටකට තියෙන්න ඕන. ඒය ක්‍රියාත්මක කරන විධිමත් ව්‍යූහයක් තියෙන්න ඕන. පෞද්ගලික අංශය ලාබ ඉපයුවාම බෝනස් දෙනවා වගේ රටක් ආර්ථිකව සමෘධිමත් වුණාම එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. නමුත් අපට බැහැ පෞද්ගලික ව්‍යාපාර වගේ මුළුමනින්ම ලාභය අරමුණු කරගත් ගමනකට යන්න. අපට සිද්ධ වෙනවා යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, රාජ්‍ය සුබසාධන ක්‍රියාත්මක කරන්න. මේ දේවල් කරන ගමන් ආදයම් හා වියදම්වල විසමතාව අවම කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙනියන ආර්ථික යාන්ත්‍රණය කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වා ගැනීමට නිරික්ෂකයකු ලෙස දායක වීම තමයි මෙහි මූලික අරමුණ වෙන්නේ. එනිසයි මම කිව්වේ මේක දේශපාලනික අර්ථයකින් දැකිනවාට වඩා ජාතික ආර්ථික සැලසුමක් විදියට දකිනවානම් වඩා යෝග්‍යය බව.

ලංකාව කියන්නෙ ණය බරින් පීඩිත බදුබර අහස උසට තියෙන රටක්. මේ රට ගොඩගන්න නම් මොන ක්ෂේත්‍රවලටද අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ.

මේ රටේ ආර්ථික කළමනාකරණය මීට වැඩිය වෙනස් වීම අත්‍යවශයයි. ඒවගේම රජ්‍ය මූල්‍ය කළමනාකරණය විශාල වශයෙන් වෙනස් වෙන්න ඕන. විශේෂයෙන්ම දිළිඳුකම පිටු දකිමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර කඩිනමින් ක්‍රියාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ වී තිබෙනවා. මෙමගින් ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය කිරීම කෙරෙනවා. මේ සඳහා දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාව ලබාදීමට අපේක්ෂා කරනවා. අපිට තවදුරටත් වෙනත් රටවලින් අනායනය කරන භාණ්ඩමත රැඳී ඉන්න බැහැ.

අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ අප දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙතැනදි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතම භූමිකාවක් හිමිවෙනවා. රටට අවශ්‍ය කෘෂිකාර්මික භෝග හැකි තරම් රට තුළ නිෂ්පාදනය කිරීම මගින් අනයනය සඳහා යන වියදම අවම කරගන්න අපට පුළුවන්. ජනාධිපතිතුමා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ මේ හේතුව නිසා.

ඒවගේම දේශීය කර්මාන්ත නගා සිටුවන්න, ණය පහසුකම් ලබාදෙන්න, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙන්නත් කටයුතු කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවන්න. ඔවුන්ගේ යෝජනා අදහස් ලබා ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගින් ඍජුව වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කළ හැකි අවස්ථා පුළුල් කරන්න අවශ්‍ය කටයුතු සොයා බලමින් තිබෙනවා. අද ලෝකය හුඟක් විවෘත වෙලා. අපි හොයන්න ඕන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපිට ලබාදෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා. ඇඟලුම් ක්ෂේත්‍රය වගේම මත්ස්‍ය අපනයනය අපට හොඳ ආදයමක් ළඟා කරගන්න පුළුවන් මාර්ග. ඒ වගේම අපේ කුළු බඩු. ඒවාට නව අගයන් එකතු කර අපට වැඩි විදේශ විනිමයක් ළඟා කරගන්න පුළුවන්.

මේ ක්ෂේත්‍ර වගේම නාවික ‍ක්ෂේත්‍රය පිළිබඳවත් අපේ අවධානය යොමු වී තිබෙනවා. අපි නාවික ගමන් මාර්ගයක පිහිටි දුපතක්. ඉන් ලැබිය හැකි විපුල ප්‍රයෝජන බොහොමයි. මෙවැනි ක්ෂේත්‍ර කෙරෙහි විදේශීය ආයෝජකයන්ගේ ලොකු ආකර්ෂණයක් තිබෙනවා. එනිසා විදේශ ආයෝජකයන්ට අපේ රටේ ආයෝජන දිරිමත් කරන්න පහසුකම් සැලසිය යුතු වෙනවා. එහිදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වෙනවා. අපිට මුදල් තියෙන රටක් නෙමෙයි. අපි දැනටමත් විශාල ණය බරක් දරාගෙන ඉන්නේ. එනිසා මේවට අපි ඉඩ දෙන්න ඕන. මේ සෑම දෙයක්ම කරද්දි රටේ සංස්කෘතියට සිදුවන හානිය අවම කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත්.

මේ රටේ තිබෙන බදු ප්‍රතිපත්තිය අද ආන්දෝලනයට තුඩුදී තිබෙන කාරණයක්?.

රටේ බදු ප්‍රතිපත්තිය සෑම පුද්ගලයකුටම වගේම සෑම ආයතනයකටම බලපානවා. බදු ප්‍රතිපත්තියක් සකස් කරන විට දිගුකාලීන වශයෙන් පවත්වාගෙන යා හැකි, එකක් මහජනතාවට වැඩි බරක් නොවන, රටේ ජනතාවට දරාගත හැකි බදු ප්‍රමාණයක් විය යුතුයි. එහිදී රටේ තිබෙන ආදායම් මට්ටම සංවර්ධන මට්ටම සලකා බලා ජනතාවට ලැබෙන සාමාන්‍ය ආදායම අනුව ඔවුන්ට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. දෙවන කාරණය මේ රටේ රාජ්‍ය අංශයට මේ රටේ සංවර්ධනයට අවශ්‍ය සියලු ප්‍රාග්ධනය ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය මේ රටේ ආර්ථික වර්ධනයේ එන්ජීමක් කර ගත යුතුයි. දේශීය වශයෙන් ව්‍යාපාරිකයන් වගේම විදේශීය වශයෙන් ලබාගන්නා ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕන. සරලව කිව්වොත් ආයෝජන මූලික වූ බදු ප්‍රතිපත්තියක් ඇතිවෙන්න ඕන.

එසේ නැතිව ආයෝජන නැති කරගන්න, අඩු කරන්න නැති නම් අධෛර්යවත් කරගන්න එය සකස් කළ යුතු නැහැ. නමුත් මේ බදු ප්‍රතිපත්තිය කියන දේ මාස්පතා නැති නම් වසරකට කිහිප සැරයක් වෙනස් කළ යුතු දෙයක් නෙමෙයි.

ව්‍යාපාරවලට පුළුවන් වෙන්න ඕන කිසියම් ආකාරයකට තමන්ගේ ආයෝජන පුරෝකථනය කරගැනීමට. මේ ආයෝජනය මඟින් ලාභයක් ලැබෙනවාද? ප්‍රතිලාභයක් තියෙනවද? කියල දිගුකාලීන වශයෙන් පුරෝකථනය කළ හැකි වතාවරණයක් ඇති කරන්න නම් අඩුම තරමේ ඊට සරිලන ආකාරයේ මධ්‍යම කාලීන බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. පහුගිය කාලේ මුදල් අමාත්‍යංශයෙන් රටේ ආදයම් තත්ත්වය අඩුවෙන කොට විවිධාකාරයේ බදු පැටෙව්වා. හිතුණ ගමන් බදු වැඩි කළා.

නමුත් අපි දීර්ඝ කාලයක් තිස්සේ දකින දෙයක් තමයි, පත් වූ හැම රජයක්ම විශාල ලෙස ධනය උපයන ආයතනවලින් පුද්ගලයන්ගෙන් බදු අය කිරීම පැහැර හැර තිබීම.

ඇත්තටම බදු ගෙවිය යුතු මිනිස්සුන්ගෙන් සහ අදාළ ආයතනවලින් බදු අයකරගැනීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරනවා වෙනුට අපි දැක්කෙම ‍පොදු මහජනතාවගෙන් බදු අය කිරීමට කටයුතු කිරීමයි. එනිසා මේ අයගෙන් බදු මුදල් අය කරගැනීමට අවශ්‍ය බදු ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ඒවගේම බදු අය කළ යුත්තේ සුඛෝපභෝගී සහ ඉහළ ගනුදෙනුවලට මිසක් මේ සාමාන්‍ය ජනතාවට බලපාන ආහරපාන, රෙදිපිළි හා අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලින් නෙමෙයි.

ඉන්ධන මිල සූත්‍රයක් පවත්වාගෙන යෑම කොයිතරම් දුරට තාර්කානුකූලද?

පැවති මුදල් අමාත්‍යංශයෙන් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය වෙන්නේ "මේ තෙල් අපි ජනතාවට සහන මිලකට ලබාදෙන්නේ. ඒ හේතුව නිසා තෙල් සංස්ථාව පාඩු ලබනවා. ඒ පාඩුව රජයට පියවගන්න වෙන්නේ මහභාණ්ඩාගාරයෙන්. තවදුරටත් මේ පාඩුව රජයට දරාගන්න බැහැ." මේ කතාව සත්‍යක්. නමුත් දැනට තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය මත වෙනස් වීමක් කරනවා නම් එතැනදි අපි කල්පනා කරලා බලන්න ඕන ජනතාවට විශාල ලෙස දැනෙන ආකාරයට නොකරන්න. නැත්තම් කිසියම් සුමට ආකාරයට එය සිදු කරන්න. එකපාරටම තෙල්මිල සූත්‍රය කියල එකක් ගෙනත් ලෝක වෙළෙඳපොළේ තෙල් ලීටරයක මිලයි, දැනට තියෙන තෙල් ලීටරයක මිලයි සන්සන්දනය කරලා ඒදෙකේ වෙනස ජනතාව මත පැටවීම තුළ කිසිම ආර්ථික කළමනාකරණයක් නැහැ. මෙහි එකම කළමනාකරණය තමයි සම්පුර්ණ බර ජනතාව මත පැටවීම. නමුත් කළ යුතුව තිබුණේ මාස තුනකට හෝ හතරකට සැරයක් කිසියම් ප්‍රතිශතයකින් මිල ඉහළ දැමීම මිසක් මාස්පතා ඉහළ දැමීම නෙමෙයි.

නමුත් මෙය ඍජුවම මේ රටේ ජනතාවට බලපානවා.

ඔව් එය මහජනතාවට වගේම සියලු භාණ්ඩ හා සේවාවන්වලට බලපානවා. මේ පිළිබඳව බදු පැනවීමෙදී ඒ ගැන සංවේදීව කටයුතු කරන්න අපි දැනගන්න ඕන. ඒ සඳහා අපි ඍජු ආයෝජන වර්ධනය කර ගැනීමට ක්‍රියා කරන්න ඕන. එහෙම නැතුව රටේ ආදායම වඩවාගැනීමට ජනතාව මත බදු පැනවීම එකම විසඳුම බවට පත් කර ගතහොත් එය විශාල අර්බුදයක් බවට පත් වෙනවා. ඒ නිසා රටේ සංවර්ධනයට අවශ්‍ය ආයෝජන දිරිමත් කිරීම සඳහා සහ රට වැසියාගේ සමාජ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා ලිහිල් බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. නමුත් අවාසනාවකට අද අපට එවැනි බදු ප්‍රතිපත්තියක් නැහැ. මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් විය යුතුව තිබෙනවා.

අද ගෝලීය වශයෙන් ආර්ථික කඳවුරු දෙකකට අපි මැදිවී සිටිනවා. මේ දෙකම ධනවාදී ආර්ථික කඳවුරු වුණාට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආර්ථිකය හැසිරෙන ආකාරයේ සහ චීනය ප්‍රමුඛ ආසියානු කලාපයේ ආර්ථිකයයි අතර කිසියම් අසමාන කමකුත් පෙනෙනවා. මේ කඳවුරු දෙකම අපේ ආර්ථික ගමනට ඉතා වැදගත්, අපි මේ දෙක අපට වාසිදායක ආකාරයට කළමනාකරණය කරගන්නේ කොහොමද?

එක් පැත්තකින් අපේ අපනයන ආර්ථිකයට ඍජුව බලපාන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපය. අනෙක් පැත්තෙන් අපේ ඍජු ආයෝජකයකු බවට පත්ව සිටින චීනය. මේ කඳවුරු දෙකම පරිස්සමෙන් අපි කළමනාකරණය කරගන්න ඕන. ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පසුගිය දවස්වල ඇමරිකාවේ පොලී අනුපාතය ඉහළ ගියාම එහි බලපෑම විවිධ වෙනස්කම් සහිතව ගෝලීය වශයෙන් හැම රටකටම බලපෑවා. එය අප වැනි කුඩා ආර්ථිකයක් සහිත රටවලට විශාල වශයෙන් දැනෙන්න පටන්ගත්තා. රුපිය‍ල අවප්‍රමණය වුණා. විශේෂයෙන්ම ගෙවීම් ශේෂ හිඟයක්, අයවැය හිඟයක් අධි ණය බරක් සහ අඩු ආර්ථික වර්ධන වේගයක් තියෙන රටකටක් විදියට එහි බලපෑම අපට විශාල ලෙස දැනුණා. මෙවැනි ගෝලීය බලපෑම් අපට අවම කර ගන්න නම් අපේ ආර්ථිකය මීට වැඩිය ශක්තිමත් කරගත යුතුයි.

උද්ගතවී තිබෙන දේශපාලන අස්ථාරභාව විදේශ ආයෝජන කෙරෙහි වගේම දේශීය ආයෝජන කෙරෙහිත් ඉතා නරක අන්දමින් බලපානවා?

මේ වන විට රට තුළ තිබෙන තත්ත්වය අපේ ආර්ථිකයට සුබදායී තත්ත්වයක් නොවේ. මෙවැනි අර්බුද ඍජුවම විදේශ ආයෝජන කෙරෙහි ඉතාම නරක අන්දමින් බලපානවා. දේශපාලන අර්බුදයක් තිබෙන රටක කවුරුවත් ආයෝජන කරන්න කැමති වෙන්නේ නැහැ. ඒවගේම මේ තත්ත්වය දිගට පැවතුණොත් අපි විශාල ආර්ථික අර්බුදයකට යනවා. ඒ නිසා මේ අස්ථාවර දේශපාලන වාතාවරණය අපි හැකි ඉක්මනින් නැති කළ යුතුයි. ඒවගේම ස්ථීරසාර දිගුකාලීන ආර්ථික සැලැස්මක් ඇතිව ශක්තිමත් ස්ථාවර රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යා යුතු වෙනවා. නැති නම් ලබන වසර වන විට විශාල ආර්ථික අස්ථාවරත්වයකට රට ගමන් කරන්න පුළුවන්. ඒනිසා ඉක්මනින් ස්ථාවර රජයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි. දේශපාලන ජයග්‍රහණ ඇතැම් විට පහසු වෙන්න පුළුවන්, නමුත් ආර්ථික අභියෝග ජයගැනීම ඉතා අසීරුයි.

අදහස්