කියන්න තියෙන සියලුම දේ කියලා මං දැන් නිහඬව බලා ඉන්නවා | Page 2 | සිළුමිණ

කියන්න තියෙන සියලුම දේ කියලා මං දැන් නිහඬව බලා ඉන්නවා

දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර වරකාපොළ නමැත්තා කරළියට ආවේ පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට සිදුවීමට ගිය මහත් ව්‍යසනකාරී සිද්ධි දාමයක තතු හෙළි කරමිනි.

මුළු රටපුරා ආන්දෝලනයක් ඇති කළ එම හෙළිදරව්ව ගැන මේ වන විට රටේ සැවොම කතාබහ කරති. රටේ ප්‍රධාන පුරවැසියා ඇතුළු කීපදෙනකු ඝාතන ප්‍රයත්නයක් ගැන ඔහු එදින හෙළිදරව් කළේය. රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ද එම ඝාතන ලැයිස්තුවේ සිටියහ.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇතුළු කණ්ඩායමක් එක්ව කරන්නට සැලසුම් කළැයි කියන ජනාධිපති ඝාතනය ප්‍රමුඛ කුමන්ත්‍රණ ගැන නාමල් කුමාර හෙළි කළේ ඊට අදාළ හඬපට කිහිපයක් ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමිනි. මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් හඬපට 124කින් 123කම කටහඬ නාමල් කුමාරගේ සහ නාලක සිල්වාගේ බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු‍කර ඇත්තේය.

එම ඝාතන නාලක සිල්වා හා එක්ව ඊට උල්පන්දම් දුන් සැඟවුණු චරිත කිහිපයක් විසින් සිදුකරන්නට සැලැසුම් කර තිබූ බව නාමල් කුමාර මේ වන විට හෙළිකොට අවසන්ය. 2020 ජනපති මැතිවරණය ඉලක්කකොට ඝාතන සැලැසුම් කළ බව කියන නාලක සිල්වා, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පාතාල නායක මධුෂ් නමැති අපරාධකරු මාර්ගයෙන් එම ඝාතන සිදුකරන්නට සැලැසුම් කළ බවද නාමල් කුමාර හෙළි කළේය.

මධුෂ් කලක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවෙද්දී නාලක සහ මධුෂ් අතර සබඳතාවක් ගොඩනැඟී ඇති බවද හෙළි වේ. මධුෂ් මගින් එම ඝාතන නැඟෙනහිර පළාතේදී සිදුකොට පසුව එම ඝාතනවලට පුෂ්පරාජ්නමැත්තා කොටු කිරීමට සැලැසුම් කර තිබූ බව නාමල්ගේ හෙළිදරව්වලින් හෙළි විණි. පුෂ්පරාජ් යනු නැඟෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකි.

මේ සියලු අපරාධ මගින් නාලක සිල්වා තම සිහින සැබෑ කරගැනීමට උත්සාහ කළේ ජනපති සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඝාතනයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ජනපති පුටුවේ වාඩි කිරීම මගින් ප්‍රථමයෙන් රාජ්‍ය බුද්ධි තොරතුරු කොට්ඨාසයේ ප්‍රධානියා වී පසුව පොලිස්පති පුටුව දක්වා යාමට බවද නාමල් කුමාර පවසයි.

එසේම මෙවන් අපරාධයක් සිදුකොට නාලකගේ සිහිනවලට ගමන් කරනවා සේම තවත් පිරිසකගේ අරමුණුද මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කළ බවක් නාමල්ගේ පසුකාලීන හෙළිදරව්වලින් පිළිබිඹු වේ.

“මේ සියලු සැලැසුම් යට සිටියේ සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරු. ඒ වගේම තවමත් රාජ්‍ය සේවයේ සිටින ඉහළම නිලධාරියෙකුත් මේවට සම්බන්ධයි. නාලක සිල්වා හමුවීමට ගිය බොහෝ අවස්ථාවලදී ඔය කියන පුද්ගලයන්ට නාලක සිල්වා මහත්මයා කතා කරනවා. කතා කරලා කියන්නෙ, “ආ සර්... මං අර ගෝලයත් එක්ක ඉන්නෙ... වැඩ ටික කෙරීගෙන යනවා..” යනාදී ලෙසයි. නාලක සිල්වාට වැඩිපුරම කතා කරන්නෙ අර රජයේ නිලධාරියා සහ සරත් ෆොන්සේකා මහත්තයා... ඒ විදිහට තමයි මේ සැලැසුම් සියල්ල සිදුවුණේ.” යැයි නාමල් කීවේය.

රටේ ප්‍රධාන පුරවැසියා ඝාතන සැලැසුම් ගැන එලෙස පොලිස් ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු හෙළි කළ කරුණු එසේ සමාජගත වුවත් ඒ ගැන වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් තඹ දොයිතුවකටවත් ගණන් නොගත් බව පිළිබිඹු වනුයේ පසුව මේ සිදුවීම් මාලාව ගලාගෙන ගිය ආකාරය විශ්ලේෂණයේදීය. එම හෙළිදරව්ව සිදුකොට පැය 48ක් යන්නටත් මත්තෙන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ පොලිස්පතිවරයා පවසා තිබුණේ මේ පුද්ගලයා ඉදිරිපත් කරන හඬපට සැකසහිත බවකි.

හෙළිදරව්වෙන් දිනකට පසුව නාමල් කුමාර විසින් පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර සොයා ඔහු පදිංචිව සිටි වරකාපොළ නිවෙසට ගියේය. එහෙත් පොලිස්පතිවරයා ඒ ගැන පරීක්ෂණ කිරීමට බාර කළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටයි. පොලිස් විශේෂ විමර්ශන ඒකකය යනු පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳීමට තිබෙන ඒකකයක් මිසක දෙපාර්තමේන්තුවෙන් පිටත ගැටලු විසඳන ඒකකයක් නොවේ. එහෙත් පොලිස්පති බලතල අනුව දෙපාර්තමේන්තුවෙන් පිටත පරීක්ෂණ වුවද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැවැරිය හැකි වුවත් රටේ ප්‍රධාන පුරවැසියා ඝාතනය ඇතුළු මෙවැනි බරපතළ ගනයේ කුමන්ත්‍රණයක් ගැන සිදුකළ හෙළිදරව්වේ පරීක්ෂණ පවරනු ලැබුයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටයි. ඉන් මෙහි පරීක්ෂණ කුමන දිශාවකට ගමන් කරවීමට උත්සාහ දැරුවේද යන්න සැකසහිතය.

පසුව ජනපති නියෝගයෙන් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිණි. පසුව පරීක්ෂණ ඇරැඹු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 17 වැනිදා මුලින්ම කොටුව අධිකරණයට කරුණු වාර්තා කරද්දී එදිනම නාලක සිල්වා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට මාරු කර යැවුණේ පොලිස්පති නියෝගයෙනි.

පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ තොරතුරු ඇතුළත් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට එවන් පරීක්ෂණයකට භාජනය වන නිලධාරියෙකු පත්කිරීම මගින් පොලිස්පතිවරයා මේ කාරණයේ බරපතළ බව හෑල්ලුවට ලක් කළේද නැතිනම් එම කුමන්ත්‍රණයේ සියලු තතු වසන් කිරීමට උත්සාහ දැරීමක් සිදුකළා ද යන්න පරීක්ෂණ නිලධාරීන් කඩිනම්ව සොයා බැලිය යුතුය. ඒ අනුව නාමල් කුමාර කළ හෙළිදරව්ව ගැන පොලිස්පතිවරයා මෙන්ම රටේ වගකිවයුතු බොහෝ පාර්ශ්ව කරඅරින බවක් පෙනිණි. ඒ බව තවදුරටත් සනාථ වූයේ ප්‍රභූ ඝාතන සැලැසුමක් සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට මසක් ගතවනතුරුත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේම සේවය කරමින් සිටි හෙයිනි. එසේම නාලක අත්අඩංගුවට ගැනුණේද දින 42කට පසුව එනම් පසුගිය 25වැනි දාය.

පසුගිය 17 වැනිදා වන තෙක්ම සේවයේ යෙදුණු නාලක සිල්වා මුල්ම වතාවට ප්‍රකාශ ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ පසුගිය 18 වැනිදායි. ඒ වන විටත් සේවය අත්හිටුවා තිබූ පොලිස් නිලධාරියෙකු වුවත් නාලක සිල්වා එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට පැමිණියේ ද තම නිල නිවෙසේ සිට නිල රථයෙන්ම බවට වාර්තා විය. එසේ කටයුතු කිරීමට තරම් නාලක සිල්වාට ශක්තියක් ලැබුණේ ඔහුගේ සියලු ක්‍රියාදාම පිටුපස කුමන හෝ බලගතු හස්තයක් ක්‍රියාත්මක වූ නිසා බවට සාමාන්‍ය රටවැසියෙකුට වුවද තේරුම් යන කරුණකි.

ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ මන්දගාමීව සිදුවෙමින් තිබියදී රටේ සිදුවන දේශපාලන වෙනස්වීම පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබූ මොහොතක නාමල් කුමාර තවත් හෙළිදරව්වක් සිදු කළේ පසුගිය 24 වැනිදායි. එදින සිදුකළ හෙළිදරව්ව මෙන්ම පසුව සිදුකළ හෙළිදරව් ගැනත් නාමල් කුමාර ‘සිළුමිණ’ට කීවේ මෙසේ ය.

“මං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පස් වතාවකදීම ප්‍රකාශ සටහන් ලබා දුන්නා. ඒ එක් කටඋත්තරයකදී කීවා එවකට අමාත්‍යවරයකු වූ සරත් ෆොන්සේකා කියන දේශපාලනඥයා තමයි නාලක සිල්වා සමඟ ළඟම හිතවත්කමක් පවත්වන්නෙ කියා. ඒ බව මං දන්නවා කීවා. මම සීඅයිඩී එකට කී ඒ කතාව ගැන ෆොන්සේකා මහත්තයා දැනගෙන හිටියෙ නැහැ. ඒ අතරේදී සරත් ෆොන්සේකා මහත්තයා පසුගිය දින කීපයේම ‘නාමල් කුමාර කියන්නෙ පිස්සෙක්... අංගොඩ ගිහින් දාන්න ඕනෑ’ වැනි ප්‍රකාශ කරමින් කෑ ගහන්න ගත්තා. පස්සෙ මම වරකාපොළින් අම්පාරේ මගේ දෙමාපියන් වෙසෙන නිවෙසට ආවා. ඒ ඇවිල්ලා පසුගිය 24 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තමයි රටට කීවේ, නාලක සිල්වා සහ සරත් ෆොන්සේකා අතර ළඟ සබඳතාවක් තිබෙනවා කියා. ෆොන්සේකා මහත්තයො ඔබ දන්නෙ නැහැ මම ඔබතුමා සහ නාලක සිල්වා අතර තිබෙන සබඳතාව ගැන සීඅයිඩීයට ප්‍රකාශයක් කොට තිබෙනවා කියා මං එදා මාධ්‍ය ඉදිරියේ කිව්වා. එසේම මම 24 වැනිදා වැඩිදුරටත් තව මිනිස්සු ඉන්නවා ගරු ජනාධිපතිතුමා ඇහුවොත් කියන්නම් කියන ප්‍රකාශය කළා. මට නාලක සිල්වා හමුවූ කිහිප අවස්ථාවකදීම කියා තිබුණා, සරත් ෆොන්සේකා මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ සියලු දේවල් යට ඉන්නවා... ඒ වගේම තව ඉහළම රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවා කියා... (එම නිලධාරියාගේ නම ඔහු අපට නොපවසයි) එසේම ඔහු කියනවා, ප්‍රශ්නයක් නැහැනේ...අගමැතිතුමානේ ඊළඟට බලයට එන්නෙ... ඔහුනේ රටේ ජනාධිපති වෙන්නෙ... පොලිස්පති පැන්ෂන් ගිහින් ඔහුත් රටේ දේශපාලන තනතුරකට එනවා... ඒක නිසා උඹටයි මටයි කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ... (එසේම වත්මන් පොලිස්පතිවරයා කුරුණෑගලින් දේශපාලනයට පැමිණීමට සැලැසුමක් තිබූ බවද නාමල් කුමාර මෙහිදී අපට හෙළි කළේය.) නමුත් මම සීඅයිඩී කටඋත්තරෙදි දුන්නෙ සරත් ෆොන්සේකා ගැන පමණයි. මොකද ඒ අවස්ථාව වන විට රනිල් මහත්මයා රටේ අගමැති... පූජිත් මහත්මයා පොලිස්පතිනේ... මට ඒ අවස්ථාවේ ඒ අය ගැන වචනයක්වත් කියන්න බෑ.” (ඔහු පවසන්නෙ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යනුවෙනි.)

එසේ සිටින අතරතුර නාමල් කුමාර පසුගිය 26 වැනිදා තවත් මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබුණේ පෞද්ගලිකව විනාඩි දහයක් හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඒ ඔහුට පෞද්ගලිකවම යමක් කීමට තිබූ නිසායි.

“ඒ අවස්ථාවේ මං හිතුවේ රටේ ප්‍රධානියාටවත් මේ දේ කියලා බලනවා කියා. එහෙම කියලා ඇවිල්ලා මේ සියලු දේවල් මාධ්‍යයට හෙළි කරනවා කියා මම හිතාගත්තා.”

අවසානයේ 26 වැනිදා පස්වරුවේ සිදුවූ දේශපාලන වෙනසත් සමඟින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අයුරු මාධ්‍යයෙන් දුටු නාමල් කුමාර 28 වැනිදා නැවතත් සිය මවුපියන්ද දෙපසින් තබාගෙන මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවැසූ කතාවද නාමල් කුමාර අපට කීවේය.

“මං එදා 28 වැනිදා කීවේ, මේ කාරණය කියන්න ඔබතුමා හමුවීමට විනාඩි දහයක් ඉල්ලුවේ මෙන්න මේ කාරණේ නිසායි කියා. ඒ මොකක්ද මේ සියලු කුමන්ත්‍රණ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව ඔබතුමාට කියන්න අවශ්‍ය නිසායි කියා මම එදා මාධ්‍ය හමුවේදී පැවැසුවා. එසේම තවත් ප්‍රබල රාජ්‍ය නිලධාරියෙක් මේ පිටුපස සිටිනවා... ඒ කෙනා බලයේ සිටින නිසා මට එයා ගැන ප්‍රසිද්ධියේ කියන්න බැහැ... නමුත් ජනාධිපතිතුමා පෞද්ගලිකව හමුවන්න අවස්ථාවක් ලැබුණොත් කියන්නම්... නැතිනම් අධිකරණයට රහස් ප්‍රකාශයක් මඟින් ඒ කෙනා ගැන හෙළි කරන්නම් කියා මම 28 වැනිදා මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ. ඒ දේවල් එහෙම කියලා මම දැන් නිහඬව බලා සිටිනවා ‍මොකද වෙන්නෙ කියා... හැබැයි දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ දේශපාලන වෙනසත් සමඟ එක් එක් පුද්ගලයෝ මේ දේවලට සම්බන්ධ කළේ 'දේශපාලන ඩීල්' එකකට කියා... නැහැ මේ හැමදේකම විනිවිද භාවයක් තියෙනවා. දේශපාලකයා මොන වාසියට හැරෙව්වත් මට ප්‍රශ්නයක් නැහැ... මම සත්‍යය රටට හෙළි කරලා හමාරයි... ඒ ඩීල් කතා කියන අයට මම කියන්නෙ... එහෙම දෙයක් තියෙනවානම් ඔප්පු කරන්න කියා. මම මහින්ද මහත්තයා හමුවන්න ගිහින් තියෙන්නෙ එකම එක වතාවයි... ඒ වරකාපොළ මගේ මූලිකත්වයෙන් ගොඩනඟපු නා සෙවණ සදහම් ආශ්‍රමයේ චෛත්‍යයට මුල්ගල තියන්න ආරාධනා කරන්න... එදා ගියේ හාමුදුරු දෙනමක් සහ අසේල ධර්මසිරි නමැත්තා සමඟ කාල්ටන් නිවෙසට මීට මාස හතරකට පමණ පෙරදී.”

තමාට ජනාධිපතිතුමා සමඟ කිසිදු සබඳතාවක් නොමැති බවද ඔහු අප හා පැවසීය.

“මට ජනාධිපතිතුමා සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. මං පසුගිය කාලේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ බළකායට සම්බන්ධව වැඩ කළ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ නම විකුණාගෙන අක්‍රමිකතා කර තිබේදැයි සොයා බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා.”

ඒ අනුව නාමල් පවසන ආකාරයෙන් ඔහුට කිසිදු දේශපාලන හස්තයක් නොමැති බව පිළිබිඹු වේ. නාමල් කුමාරගේ හෙළිදරව්වත් සමඟින් කරළියට ආ නාලක සිල්වා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පුළුල් විමර්ශනයේදී හෙළි වී තිබුණේ, ඔහු විසින් පොලිස්පතිතුමා මඟින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගෙන් ඉල්ලා තිබුණේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් නිර්මාණය කරමින් ඔවුන්ට අවි පුහුණුව සහ අවි ලබා ගැනීමට අනුමැතියයි.

ඒ අනුව නාලක සිල්වා විසින් මැයි 11 වැනිදා පොලිස්පතිතුමාට ලිපියක් යොමු කරමින් විශේෂ මෙහෙයුම් නිලධාරී කණ්ඩායම් නිර්මාණය කිරීම සඳහා උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරු දසදෙනෙකු අනුයුක්ත කරන ලෙස ඉල්ලා තිබිණි.

එම ඒකකයට මධ්‍යම අවි ගබඩාවෙන් මිනි උෂි අවි පහක් සහ උණ්ඩ, එල්එම්ජී අවි දෙකක් සහ උණ්ඩ, ටී56 අවි තුනක් සහ ඊට අවැසි උණ්ඩ ඉල්ලුම් කර තිබුණේ කාකි ඇඳුමෙන් සකස් කරන ලද ඔවර් රෝල් ඇඳුම් කට්ටලද සමඟිනි.

පසුව එම නිලධාරීන්ට අවශ්‍ය අවි පුහුණුව සහ අවි ලබා ගැනීමට නාලක සිල්වා විසින් විශේෂ කාර්ය බළකා ප්‍රධානියාගෙන් අනුමැතිය ලබාගැනීමට අගෝස්තු 13 වැනිදා ලිපියක් යොමු කර තිබිණි. එහෙත් විශේෂ කාර්ය බළකා ප්‍රධානී එම්. ආර්. ලතිෆ් මහතා ඊට එකඟතාව පළ නොකළ නිසා එම විශේෂ මෙහෙයුම් ඒකකය එතැනම නතර විණි.

එවන් ඒකකයක් නාලක සිල්වා ස්ථාපනය කිරීමට උනන්දු වූයේ මන්දැයි යන්න තවමත් නිශ්චිත ලෙස තහවුරු වී නොමැත. පසුව ඔහු විසින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන අවි ගබඩාවෙන් එල්.එම්.ජී. ගිනිඅවි දෙකක් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට රැගෙන යනු ලැබ තිබිණි. එම අවි දෙක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබී හමුවී පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙලෙස අවිආයුධ රැස් කරමින් නාලක සිල්වා කරන්නට සැලසුම් කළේ කුමක් ද? ඔහු එලෙස සැලසුම් කළේ කාගේ උවමනාවටද? ඉදිරියේදී නාලක සිල්වා කරනු ලබන ප්‍රකාශ අනුව තවත් බොහෝ රහස් තොරතුරු මෙන්ම ඔහු පසුපස සිටි සැඟවුණු චරිත ද හෙළි වෙනවා නොඅනුමානය.

Comments