දේශීයත්වය වැනසීමේ ප්‍රතිඵලයයි මේ | සිළුමිණ

දේශීයත්වය වැනසීමේ ප්‍රතිඵලයයි මේ

"ජනතාව බලාපොරොත්තු වූයේ ජනතා අපේක්ෂා මුදුන් පත් කරනු ලබන රජයක් මිස විදේශ ප්‍රතිපත්තිවලට ගැති රජයක් නොවේ. එහෙත් පසුගිය කාලය පුරාම දේශීයත්වය රටේ අභිමානය කෙළසීමේ සිදුවීම් වාර්තා වූවා මිස රට නංවන සංකල්ප හෝ ප්‍රතිපත්ති දක්නට නොවුණි."

අපේ රටේ වරින්වර විවිධාකාර දේශපාලන සන්ධිස්ථාන පසු වූ අතර පසුගියදා රටේ සිදුවූ දේශපාලන පෙරළිය ද එවැන්නකි. එහෙත් ඒ දේශපාලන පෙරළිය හදිසියේ සිදුවූවක් නොවන අතර ජනතාවගේ හද තුළ වසර ගණනාවක් තිස්සේ තෙරපෙමින් තිබූ සිතිවිලි සමුදායක පෙරළියක් ලෙස පෙන්වා දිය හැකියි.

පසුගියව යහපාලන රජය සමයේදී බාහිරින් බැලූ විට අපට බොහෝ විට දකින්නට ලැබුණේ බඩුමිල වැඩිවීම නිසා හෝ විරැකියාව නිසා හෝ අධික බදු බර නිසා හෝ ජනතාවගේ හඬ නැඟීමක් සිදුවන බවයි. ඒ කරුණුද ජනතාව දිවියට බොහෝ බලපෑම් එල්ල කළද ඇත්තෙන්ම බොහෝ දෙනාගේ සිත්හි සනිටුහන් වී තිබුණේ ජාතික අභිමානය, බහුජාතික විජාතික සමාගම්වලට යටත්වීමට සිදු වීම මෙන්ම රට ජාතිය බේරාගත් රණවිරුවන්ට විඳින්නට සිදුව ඇති දුක් ගැහැටින් රටේ ජනතාවට දිවි ගෙවන්නට සිදුව තිබූ දොම්නස පිළිබඳ කලකිරීමකි.

රජකාලයේ සිට අපේ රටේ ජනතාවට මෙන්ම රටට උරුමව තිබූ රටේ අභිමානය, සංස්කෘතිය. අපේ දහමට උරුමව තිබූ ත්‍රිපිටකය, භික්ෂූන් වහන්සේගේ ගරුත්වය දැඩි ලෙස හෑල්ලුවට ලක් වීමක් අපට දකින්ට ලැබුණි.

මේ අකටයුත්තට එරෙහිව දිගින් දිගටම ජනතාව පෙළගැසීමේ උච්චතම අවස්ථාව ලෙස පසුගියදා සිදු වූ ආණ්ඩු පෙරළිය හඳුන්වා දිය හැකිය.

යහපාලන දේශපාලන යුගයේදී ජනතා අභිමානයට කැළැල් ඇතිවීම මෙන්ම ජනතාවට සහන නොලැබීම මෙන්ම ඇති වූ අනෙකුත් ජනතා එපාවීම් සම්බන්ධයෙන් ජනතාව ඍජුවම චෝදනා එල්ල කෙළේ ජනාධිපතිවරයාටයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ සියල්ලටම වගකිව යුතු බව ජනතා මතය විය. එහෙත් මේ වන විට පසක් වී ඇත්තේ ඒ කිසිවක් ජනාධිපතිතුමාගේ අභිමතයෙන් නොව ඍජුවම අනෙක් පාර්ශ්වයේ අවශ්‍යතාවන් අනුව සිදුව ඇති බවයි.

යහපාලන රජය බිහි වූයේ, බිහි කෙළේ ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් ඒකාධිපති යැයි පැවසු ක්‍රමවේදය නිමා කරමින් නිතියේ ආධිපත්‍යය නිසි පරිදි පවත්වා ගෙන යාම පිණිසය.

එහෙත් සිදුවුයේ එවැන්නක් නොවන බව මේ වන විට පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් එදා සිදු වූ මේ අකටයුතුකම් සියල්ල ඉවසාගෙන සිට ඇත්තේ යහපාලන ආණ්ඩුවට බාධාවක් වී රජය පවත්වාගෙන යාමට බාධා ඇති වේ යැයි යන චකිතයෙන් යුතුව බව එතුමාගේ කතා තුළින් මේ වන විට පැහැදිලිව ඇත.

ජනතාවද මේ තත්ත්වය මීට කාලකට පෙර සිට තේරුම් ගෙන තිබූ බව මනාව පැහැදිලි වන්නේ ජනතාව විසින් පසුගිය කාලයේ සිදු කළ ප්‍රකාශ දෙස බැලීමෙනි. මහින්ද රාජපක්ෂ යුගයේ යම් යම් අඩුපාඩුකම් හෝ දෝෂ දර්ශනයට ලක් කළ යුතු වූ වෙනත් කරුණු සිදු වුවත් පසුගිය යහපාලන රජයට වඩා එය අගනා බව ජනතාව වටහා ගෙන සිටියහ. එම නිසා මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් අවම වශයෙන් ජනතාවට තම අභිමානය රැකගෙන දිවි ගෙවිය යුතු කාලයක් ජනතාව විසින් පැතූ බව පැහැදිලිය.

විශේෂයෙන්ම රණවිරුවන්ගේ ගරුත්වය රැක දීම, දේශීයත්වය රැක ගැනීම, දේශීය සංස්කෘතිය ආගම දහමට ගරු කිරීම පවා රටේ උත්තරීතර බව ඇති කරලීම මෙන්ම උතුරු හා නැඟෙනහිර පුරා වස්තු රැක දීම ආදිය ජනතා අපේක්ෂාවන් අතර විය.

ජනතාව බලාපොරොත්තු වූ එම අපේක්ෂාවන් ඉටු නොවීම ජාතික ආණ්ඩුව බිඳ වැටීමේ ප්‍රධාන ලක්ෂණයන් අතර විය. ජනතාව බලාපොරොත්තු වූයේ ජනතා අපේක්ෂා මුදුන් පත් කරනු ලබන රජයක් මිස විදේශ ප්‍රතිපත්තිවලට ගැති රජයක් නොවේ. එහෙත් පසුගිය කාලය පුරාම දේශීයත්වය රටේ අභිමානය කෙළසීමේ සිදුවීම් වාර්තා වූවා මිස රට නංවන සංකල්ප හෝ ප්‍රතිපත්ති දක්නට නොවුණි.

ජනතා අපේක්ෂාවන් එකිනෙක බිඳ වැටෙන විට ජනතාව තමන්ට හුරු පුරුදු හෝ වෙනත් විකල්පයක් කරා සාම ස්වභාවිකය. විශේෂයෙන්ම තමන්ට දාමය ගෙන දුන් රට රැක යුද බිය නැති කළ ආර්ථිකයේ වෙනසක් ඇති කළ යුගයක් ජනනාව පැතු බව පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පැහැදිලි විය.

ඇත්තෙන්ම ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ නොව තම අපේක්ෂාවන් ඉටුකර ගැනීම බව මෙහිදී ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් පැතූ සමාජය ක්‍රමයෙන් ඈත් වන්නට විය. ජනතාවට දැනුණු එකම වෙනස වූයේ ක්‍රමයෙන් අපගේ අභිමානය සංස්කෘතිය ඈත්ව යාම පමණයි.

එම නිසා ජනතාව නිතැතින්ම වෙනත් විකල්ප මාර්ග කරා ඇදී යාමේ ප්‍රවණතාවක් දිස් විය. ජනතාව ආණ්ඩු වෙනසක් බලාපොරොත්තු වූයේ ඒ නිසාය.

ඒ හැරෙන්නට මේ රටේ සිංහල දෙමළ හෝ මුස්ලිම් කියා වෙනසක් නොමැතිව ජනතාව සමඟියෙන් දිවි ගෙවූහ. එය එසේ වුවත් මුහුදෙන් එපිට සිටින වෙනත් පිරිසකට අවශ්‍යව ඇත්තේ රට තුළ නොමැති ප්‍රශ්නයක් මවා පෑමටය. ඒ සඳහා උඩ ගෙඩි ලබා දුනහොත් අපට සිදුවන එකම දෙය වන්නේ රටේ සමඟිය නොමැති වී ජාති බේද ඇති වීම පමණය.

බටහිර ජාතීන්ට අවශ්‍යව ඇත්තේ ජනතාව භේද භින්න කිරීමට බව අප විසින් වටහා ගත යුතු වේ. යහපාලන රජය ආරම්භයේදී ජනතාව බලාපාරොත්තු වූයේ අසම සම යුගයක් ඇරැඹෙනු ඇති බවයි.

විශේෂයෙන්ම දේශීය සංස්කෘතිය දේශීයත්වය නැංවීමේ හැකියාවක් ඇති මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයෙක් හා අන්තර්ජාතික සබඳතා ඇති රනිල් වික්‍රමසිංහ වැනි ද්විත්වයක එකතුවූ විට, විශේෂයෙන්ම වැඩි විදේශාධාර ලැබී රට සංවර්ධනය වනු ඇති බවත් සමස්තයක් ලෙස රට සවුසිරියෙන් සපිරෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුවද සිදුවූයේ රටට තවත් ණය බරක් එකතු වීම පමණකි.

මේ නායකයින් දෙදෙනාගේ මතවාද දෙකක් තිබුණු හෙයින් ඒ ඔස්සේ සිදුවන සංකලනය රටට වැඩදායි ලෙස යොදා ගැනුණේ නැත. බටහිර ගැතිවාදී තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම ජනතාව මෙන්ම ජනාධිපතිවරයාද අනුමත නොකළ බව මේ වන විට පසක් වී ඇත.

ජනාධිපතිවරයාගේත් යහපාලන රජයේ අගමැතිවරයාගේත් චින්තන දෙක එක්ව ගත් සංකලනයක් හෝ ඒ චින්තන දෙක මැදට පැමිණ තීන්දු තීරණවලට එක් වූයේ නැත. එස නිසා ජනතාවද වෙනසක් ප්‍රාර්ථනා කරන ලදී.

මේ වන විට රටේ විශාල වෙනසක් සිදුව ඇත. අලුත් පාලනයක් කරා දැන් මේ ගමන යමින් තිබෙන අතර ඒ ගමනේදී විදේශ ගැති ප්‍රතිපත්තියක් නොව දේශීය අන්‍යතාවෙන් යුක්ත ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතු වේ. රටට ආදරේ ඇති පාලකයන් බිහි කළ යුතුවාක් මෙන්ම සියලු ජාතීන්ට එක්ව විසිය හැකි පරිසරයක් බිහි කළ යුතු වේ.

ආගමික නිදහස මෙන්ම සියලු ජාතීන්ගේ භාෂා නිදහස ඇති කළ යුතු අතර පාලකයා මෙන්ම ජනතාවද බුද්ධිමත් විය යුතුය.

නැති ප්‍රතිරූප නිර්මාණය කර ගැනීමක් නොකළ යුතු වේ. අපගේ ඉතිහාසය සදාචාරය සංස්කෘතිය බුදු දහම රටේ සාම්ප්‍රදායිකත්වය හරහා ජනතාවට තම දිවිය බරක් නොමැතිව ගමන් කළ යුතු වාතාවරණයක් ඇති කළ යුතු වේ. මැතිවරණය, පාලකයා හෝ අනෙක් කරුණුවලට වඩා අප සියලු දෙනාම සිතිය යුත්තේ පළමුව දේශීය අනන්‍යතාව මෙන්ම රට රැක ගැන්ම කළ යුතු බවයි. තමාට පෙර රට යන්න අනිවාර්යෙන්ම සිතිය යුතු වේ.

අදහස්