බුද්ධභෝගය මහපාරට දමා මඟ මැරෙන මිනිස්සු | සිළුමිණ

බුද්ධභෝගය මහපාරට දමා මඟ මැරෙන මිනිස්සු

“සාම්ප්‍රදායික සිරිත් විරිත් අගයන අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අපි තුන් වේල බත් කන මිනිස්සු. ඈත අතීතයේ ඉදන් අපි කෙතට, ගොයමට ගරු කළා. නමුත් වී වගාව වාණිජකරණය වීමත් එක්ක අපට කමත් චාරිත්‍ර අමතක වුණා. රටේ මිනිසුන්ට බත් කන්න දෙන වී ටික මහපාරේ වේළන්න පටන් අරන් තිබෙනවා. මේ නිසා මහවැලි සී කලාපයේ රිය අනතුරු වැඩි වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසේ අරලගංවිල -දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ නිකවත්තලන්දේදී පාරේ ගොඩගසා තිබූ වී ගෝනිවල සහ ට්‍රැක්ටරයක යතුරුපැදියක් වැදිලා අවුරුදු 18ක තරුණයෙක් මැරුණා.

පාරේ වී වේළන එක මඟී ජනතාවගේ ජීවිත අනතුරේ දැමීමක්. මහවැලි සී හා බී කලාපවල පාරේ වී වේළන අය නිසා සිදු වී තිබෙන අනතුරු ගැන දැනගන්න දෙහිඅත්තකණ්ඩිය රෝහලට ගිහින් බලන්න. පාරම්පරික චාරිත්‍ර අපෙන් ගිලිහී යනවා මෙන්ම මඟී ජනතාවගේ ජීවිතය අනතුරකට හෙළීමක් එමඟින් සිදුවෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය වගේම මහවැලි අධිකාරියේ විශේෂ අවධානය යොමු විය යුතුයි. මෙය පොලිසියට පමණක් තනිව කළ හැකි කාර්යක් නොවෙයි.”

එසේ කියන්නේ දෙහිඅත්තකණ්ඩිය, පොලිසියේ අපරාධ පරීක්ෂණ ස්ථානයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් ය. ඔහු මේ හෙළිදරව්ව කළේ දෙහිඅතත්කණ්ඩිය ප්‍රජා සංවිධාන නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

“ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ ප්‍රධනා මාර්ගවල වී වේළීම කළ අයට එහි අවදානම පැහැදිලි කර ඉවත් කිරීමට පියවර ගත්තා. ඉදිරි කන්නවලදී නැවත පාරට වී නොදමන ලෙස අපි ජනතාව දැනුම් දුන්නා. මිනිස්සුත් මේ ගැන හිතන්න ඕනෑ. මාරක රිය අනතුරක් සිදුවුණාම පොලිසියට ඇඟිල්ල දිගු කරන්න කලින් බලන්න ඕනෑ තමන් මාරක අනතුරුවලට මොන තරම් දායකත්වයක් දක්වලා තිබෙනවාද කියලා.”

මෙය ඛේදවාචයක් බඳු කතාවකි. සංස්කෘතික ව්‍යසනයකි. බැත මහපාරට වැටීම, ඒ නිසා සිදුවන මාර්ග අනතුරුවලට වඩා බිහිසුණු ගැඹුරක් ප්‍රකාශ කරයි. වී අතීත මනුෂ්‍යන්ගේ බුද්ධ භෝගය ය. එය හදා වඩා ගැනීම, සකසා ගැනීම ගොවීන් විසින් සිදු කළේ අප්‍රමාණ ගෞරව සම්ප්‍රයුක්තවය. හෙළ කෘෂි සම්ප්‍රදාය ගොඩ නැඟෙන්නේ ඒ වටිනාකම් සමඟය. ඈත අතීතයේ සිටම කොළ මැඩීම සිදු කළේ ගවයන්ගෙනි. පසුකාලීනව ට්‍රැක්ටර් යොදා ගනිමිනි. ඒ සඳහා සෑම කුඹුරකම කමතක් තිබිණි. ක්‍රම ක්‍රමයෙන් වී වගාවේ අස්වනු නෙළීම සඳහා බහුකාර්ය කොළ මඩින යන්ත්‍ර (මේවා ජනතාව හඳුන්වන්නේ භුතයන් සහ සුනාමි යන නම්වලිනි) පැමිණීමත් සමඟ කමත් සහ එහි චාරිත්‍ර අප අතරින් ගිලිහී ගියේය. මෙම යන්ත්‍රවලින් නෙළන අස්වැන්න වේළාගැනීමට තැනක් ගොවියාට නැත. ඔවුහු ඒ සඳහා මහා මාර්ග තෝරා ගත්හ. මේ නිසා අද මහවැලි කලාපවල රිය අනතුරු බහුල වූයේය.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දිනිඳු රණසිංහ ඒ බව පැහැදිලි කළේය.

“මහවැලි සී හා බී කලාපවල ගොයම් කපන කාලෙට අපේ රෝහලට එන රිය අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පාරේ වී වේළන අය නිසා සිදුවන ඒවයි .සුළු තුවාල නිසා මේවා රිය අනතුරු ලෙස පොලිසියට වාර්තා වෙන්නෙ නැහැ. මාරක රිය අනතුරක් සිදු වුණාම නම් පොලිසියෙන් ගිහින් බලනවා. අනෙක් වේලාවට පාරේ වී තිබුණට පොලිසියත් අහක බලන් යනවා. පාරවල් තියෙන්නේ වී වේළන්න නොවෙයි. ලංකාවේ වෙනත් වී වගා කරන ප්‍රදේශවල මේ තත්ත්වය දකින්න නැහැ. මේ සදහා විකල්පයක් සොයාගත යුතුයි. සමහරු පාරේ ඉඩ අල්ලා ගන්න මහරෑ පාරට වී ගෙනැත් ගොඩ ගසා , ඒ අසල ට්‍රැක්ටරයකුත් නතර කරලා ටෙන්ට් වලින් වහලා යනවා. යතුරු පැදි කරුවන් සහ වෙනත් රියදුරෝ ඒවාගේ හැප්පෙනවා. හෙට අනිද්දා මිනිස්සු පාරේ කොටසක් යොදාගෙන මාළු විකුණන්න , කරවල වේළන්නත් පටන් ගත්තොත් අපි මොකද කරන්නෙ. අහිංසක මිනිස්සු ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා කරන දෙයක් කරපුවාවේ කියලා නිශ්ශබ්ද වී සිටිනවාද? වෛද්‍යවරයා , කම්කරුවා, ගොවියා ඇතුළු හැමෝම මේ රටේ දියුණුව වෙනුවෙන් වැඩකරන අයයි. තම තමන් තවත් පිරිසකට කරදරයක් නොවන ලෙස වෘත්තීය කළ යුතුයි. වී අස්වැන්න නෙළන කාලෙට මුළු රටේම වී ටික මේ විදිහට පාරට දැම්මොත් කොහොම තියෙයිද?” ඔහු අපෙන් විමසා සිටියේය.

දෙහිඅත්තකණ්ඩිය,නව නගරයේ ව්‍යාපාරික එච්.ඩබ්.ඥානසිරි මහා මාර්ගවල වී වේළීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “පාරේ වී වේළන හැමෝම ගොවියෝ නොවෙයි. වැඩි දෙනෙක් ව්‍යාපාරිකයොයි. මෙම මුදලාලිලා ගොවීන්ගේ වී තෙතබරට අරගෙන පාරට දමා වේළලා පොලොන්නරුවේ මහ වී මෝල්වලට අරගෙන යනවා. ගොවින් ගම් ඇතුළේ කොන්ක්‍රීට් පාරවල්වල වේළන අවස්ථා තිබෙනවා. ප්‍රධාන මාර්ගවල වැඩි වශයෙන් වී වේළන්නේ වෙළෙන්ඳෝයි. සිරිපුර - දිඹුලාගල පාරේ වී වේළන තැනක වී ගොඩක හැපිලා මගේ මෝටර් රථයටත් අලාභ සිදු වුණා. එදා යතුරු පැදියක ගිහින් අනතුර සිදු වුණා නම් මැරෙනවා. මගේ අත තුවාල වෙලා සති දෙකක් විතර වැඩක් කරගන්න නොහැකිව හිටියා. මේ සම්බන්ධයෙන් නීතියක් තිබෙනවා නම් ක්‍රියාත්මක කරන්න.

පාරට වී දැමීම නිසා මියගිය සතුන්ගේ මළ සිරුරු කොටස්, මලපහ සහ විවිධ අපද්‍රව්‍ය වී වලට එකතු වෙනවා. ඒ සඳහා ගොවීන් තමන්ගේ කුඹුරේ කමතක් හදා ගන්නවා නම් වඩාත් හොඳයි. අපි මහවැලියට ආව මුල් කාලේ හැම කුඹුරකට කමතක් තිබුණා. නැවත කමතක් හැදුවොත් අපෙන් ගිලිහී යන අපේම චාරිත්‍ර වාරිත්‍ර, පැරණි ගොවි උපකරණ නැවත භාවිතයට ගන්නත් පුළුවන්.”

මහියංගණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ නවමැදගම සිට දිඹුලාගල දක්වා සහ දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල මාර්ගයේ වැඩි වශයෙන් වී වේළන උදවිය දැක ගත හැකිය. මහවැලි ගම්මානවලට පිවිසෙන මාර්ගවල ඉතා අවදානම් තැන්වල වී වේළනු දැකගත හැකිය. වැව් බැමි මතින් කොන්ක්‍රීට් අතුරා ඇති මාර්ගවල මෙසේ වී වේළීම නිසා වාහන වැවට පෙරළීමේ අවදානමක් ඇත.

මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර විමල් කුමාර කත්‍රිආරච්චිට මෙම ගැටලුව යොමු කළෙමු.

“ගොවි ජනතාව අස්වැන්න නෙළාගත් පසු කීයක් හරි වැඩිපුර ගන්න උත්සහ කරනවා. මේ බහුතරයක් ගොවීන්ට වෙන විකල්ප ආදායම් නැහැ. මෙම අස්වැන්නෙන් ලැබෙන ආදායමෙන් සියලු දේ කර ගත යුතුව තිබෙනවා. ගොවි ජන ජීවිතය නඟා සිටුවීම අපේ මුලිකම අරමුණයි. වී කිලෝ එකකට රුපියල් පහක් හෝ වැඩිපුර ගොවියාට ලබා දීමට හැකි නම් එය අපේ අරමුණයි. ගොවීන් වී අස්වැන්න වැඩි මිලකට අලෙවි කරගැනීමට නම් හොඳට වේළන්න ඕනෑ. ඒ සදහා හැම ගොවි සංවිධානයටම කමත් නැහැ. මමත් පාරේ යන කොට වී වේළන අය දකිනවා. මම නම් එය ඉවසාගෙන පාරෙ හෙමින් යනවා. පාරේ හරක් රංචුවක් ගියත් මම ඒ සතුන්ට යන්න දීලා පසුව යනවා. ඊට හේතුව අපිට ගොවියා වටිනවා. මහවැලි සී කලාපයේ මාර්ගවල වී වේළීම නිසා අනතුරු සිදුවීම ගැන වාර්තා වුණා. ඉදිරියේදී ගොවි මහතුන්ට ගොවි සංවිධාන මට්ටමින් 50% දායකත්වයට වී වේළීමට ටෙන්ට් ලබා දීමට අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම ගොවි සංවිධානවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් කමත් ලබා දීමටත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

මහා මාර්ගවල වී වේළීම නිසා රියැදුරෝ දැඩි අපහසුතාවකට පත්වෙති .ඔවුහු බහුතරය බත් කන මිනිසුන් නිසා වී උඩින් ධාවනය කිරීමට අදිමදි කරති. ඒ නිසා එකම මං තීරුවේ ධාවනය කිරීමේ දී අනතුරු සිදුවූ අවස්ථා දැක ගත හැකි විය. එමෙන්ම රාත්‍රි කාලයේ වී පැටවු ට්‍රැක්ටර් රථ පාරෙ නවතා තැබීම නිසා පසුගිය කාලයේ මාරක රය අනතුරු පවා සිදු විය. මිනිසුන්ට ආහාරයට සකස් කරන වී අපිරිසුදු වන ආකාරයට කටයුතු නොකිරීමට ගොවීන් සිතට ගත යුතුව ඇත.

 

අදහස්