මං මහ පව්කාර පෙරේතයෙක් | සිළුමිණ

මං මහ පව්කාර පෙරේතයෙක්

සියලු ලෝක සියලු සත්ත්වයෝ නා නා විධය. “නානත්ත කායා - නානත්ත සංඥා” ශරීරවල ස්වභාවයක් ද විවිධාකාරය. එක හා සමාන කෙනෙක් නැත. සිතුම් පැතුම් වලින් ද විවිධාකාරය. එක හා සමාන කෙනෙක් නැත.

ප්‍රේතාදී අමනුෂ්‍යයෝ ද එසේමය. ගිජු කූට පව්වේ සිට ගිනි ගෙන දැවෙමින්, ගිනිදැල් විහිදුවමින්, අහසින් ගමන් කරන ප්‍රේතියක් දුටු මහ රහතන් වහන්සේලා ඒ බව බුදු රජාණන් වහන්සේ වෙත ගොස් පැවසුහ. තමන් වහන්සේ ද එම ප්‍රේතිය දුටු බවත්, කළින්ම ඒ බව ප්‍රකාශ කළා නම් බොහෝ දෙනා එය නොපිළිගන්නා බවත් දැන් එය සත්‍ය බව ප්‍රකාශ කරන බවත් තථාගතයන් වහන්සේ වදාළ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. කළින්ම එසේ පැවසුවා නම් සමහරු එය නොපිළිගන්නා අතර බුද්ධ වචනය පිළිබඳ සැක කොට කතා කිරීමත් ආර්යෝපවාද කර ගන්නා බැවින්, ආර්යෝපවාදය ආනන්තරිය පාප කර්මයක් හා සමාන යැයි කියති. සෝවාන් - සකෘදාගාමි - අනාගාමි හා අරිහත් මාර්ගස්ථ හා ඵලස්ථ ආර්යයන්ගේ බසට හා පැවැත්මට එරෙහිව අපහාස උපහාස හා චෝදනා කිරීම් ආර්යෝපවාද නම් පාපකර්ම යයි. විශේෂයෙන් ම සෝවාන් මාර්ග ඵලස්ථයත සාමාන්‍ය සමාජයේ හැසිරෙන විට ඔවුන් කමටහන් ගන්නා ආචාර්යයන් වහන්සේට හැර වෙනත් කිසිවෙකුට හඳුනාගන්නට නොහැකිය. තමන් සිටින තත්ත්වය තමන්ට ම දැනෙනවා මිසක අන් අයට දැන ගත නොහැකිය. කෙනෙකු ගේ ශාන්ත වූ ඉරියව් දැකීමෙන් පමණක් ම ඔහු හෝ ඇය මාර්ගඵල ලාභියෙකුයි නම් කිරීම හැඳින්වීම අනුචිතය. ධ්‍යානලාභීහු අහසින් ගමන් කරන්නට, අනුන් සිත් දකින්නට, විස්මිත දේ කරන්නට පුළුවන. එතෙක් ඔවුන් තුළ ද රාග, ද්වේෂ, මෝහ යටපත්ව ඇත. රාගඛය කර නැත. ද්වේෂඛය කර නැත. මෝහඛය කර නැත.

අහසින් ගමන් කරන්නට මෙන්ම අනුන්ගේ සිත් කියවන්නට හැකි ප්‍රේතයෝ ද සිටියි. ඒ ධ්‍යාන භාවනා ශක්ති නොව ඒ ඒ ජාතීන්හි සොබාවික හැකියාවන්ය. කනාමැදිරියාට ආලෝකය විහිදුවන්නට පුළුවන. වැරදිලාවත් මිනිසෙක් ආලෝකය විහිදුවොත් මිනිස්සු ඔහු අරිහතුන් වහන්සේ නමකැයි වැඳුම් පිදුම් කරන්නට පුළුවන. ගම් දනව්වල සිට පෝළ‍ිමේ පැමිණ ගරු බුහුමන් කරන්නට පුළුවන. බුද්ධ රූපවලින් බුදු රැස් විහිදුණා යැයි වරක් මිනිස්සු පිස්සු නැටුවා. අපට මතකය. නිකවැරටියේ බෝ ගසකින් බුද්ධ රූපයක් මතු වුණා යැයි මුළු රටේම ජනතාව බස්වල නඩ හදාගෙන එහි ගිය හැටි තවමත් අමතකව නැත. එසේම අමනුෂ්‍යයන්ට ද විවිධ විස්මිත හැකියාවන් ඇත.

තංගල්ලේ රම්‍යා අවිවාහකය. පනස් හැවිරිදිය. ඇගේ මව දිස්ලින් අසු හැවිරිදිය . පියා ගුණසිරි ව්‍යාපාරිකයෙකි. ඔහු මීට පහළොස් වසරකට පෙර වෙනත් ව්‍යාපාරිකයෙකු විසින් මරා දමනු ලැබ ඇත. දැන් රම්‍යාත් මවත් නිවසේ තනිව පදිංචිව සිටිති. දැනට වසර පහක පමණ කාලයක සිට මේ දුවත් මවත් අසනීපවලින් පෙළෙති. වේදනාවන්ගෙන් දුක් විඳිති. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත්, තොවිල් පවිල් කළත් කිසිම සුවයක් හෝ සහනයක් නොවීය.

දේවාල ගානේ ගොස් සාස්තර ඇසු විට මිය ගිය පියාගේ භූතාත්මය පින් බලාපොරොත්තුව පැමිණ ඇති බව කියැවුණු බැවින් පියා වෙනුවෙන් දාන මාන බොහොමයක් කළහ. කිසිවකින් සුවයක් නොලැබුණු බැවින් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණි මව සහ දුව ආධ්‍යාත්මීය උප‍දේශක කසුන් නා‍ගොඩවිතාන මහතා මුණ ගැසී ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට මවත් දුවත් වෙව්ලන්නට වුහ. “අනේ මට යන්න බෑ.... යන්න බෑ...” යි රම්‍යාට භූතාත්මයක් ආවිශ්ට වී අඩන්නට විය. මේ දෙදෙනාගේම ශක්ති වළල්ල (ඕරා) දුර්වල වී ඇති බව දුටු ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උපදෙස් දුන්නේය.

බෝධි පුජා පවත්වන අතර රම්‍යා පියා වෙනුවෙන් ඒ විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණක් ද සාදවා පුජා කළාය.

බෝධි පුජා අවසන් කොට ඔවුන් නැවත පැමිණිහ. එදින ද රම්‍යාට ආවිශ්ට වූ භූතාත්මය “මට යන්න බැහැ... අනේ මට නම් යන්න බැහැ” යැයි අඬන්නට වුයේය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?” යි ඇසීය.

“තත්....තත්...තාත්තා. මේ ළමයාගේ තාත්තා”යි භූතාත්මය පැවසීය.

“මොනව වෙලාද මැරුණේ?”

“මැරුණා නෙවෙයි මැරුවා.”

“කවුද මැරුවේ?”

“කක්....කක්... කළු මහත්තයා.”

“ඇයි මරන්න හේතුව?”

“බිස්නස් ....බිස්නස් .... එක ම ව්‍යාපාරයෙ යෙදෙන කොට හවුල් ව්‍යාපාරයේ හිටපු කෙනෙක් මැරුවා. ව්‍යාපාරය තනිවම අයිති කරගන්න මැරුවා”

“එකට බිස්නස් කරපු යාළුවෙක් තනියම රජ වෙන්න මැරුවා නේද? එයා දැන් සැප විඳිනවා ද?” යි ගවේෂකවරයා අහන විටම භූතාත්මය මහ හඬින් හඬා වැළපෙන්නට විය.

මෙතැන සැඟවුණු රහසක් පවතින බව දැනගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවාලමින් “ඇත්ත කියනවා.... ඇත්ත කියනවා... මොකක්ද මේ හංගන්න හදන්නේ? නැත්තම් පුච්චනවා” යි තදින් කීවේය.

“අනේ : මහත්තයා පුච්චන්න එපා. දැවිල්ලයි. දැවිල්ලයි. මම ඇත්ත කියන්නම්. යැයි ප්‍රේතයා කීවේය.

“මොකක්ද ඇත්ත?”

“මහත්තයා . මම මේ ළමයගෙ තාත්තා ගුණසිරි මුදලාලි නොවෙයි. ගුණසිරි මුදලාලිව මරපු කළු මහත්තයා මමයි.”

“ඇයි බොරු කීව්වේ?”

“මහත්තයා !ගුණසිරි මුදලාලියි මමයි හොඳ යාළුවෝ. ව්‍යාපාරය දියුණු වෙන කොට සම්පුර්ණ ව්‍යාපාරයම අයිතිකර ගෙන ඉහළින් ජීවත් වෙන්න සැප විඳින්න හිතා ගෙන යාළුවාව මැරුවා. ඒත් මට ඒ වරදින් බේරෙන්න බැරි වුණා. නීතියට අහුවෙලා රිමාන්ඩ් එකෙත් දුක් වින්දා. දැන් මොන සැපක්ද ? මගේ හිත මට ම දඬුවම් කරන්න පටන් ගත්තා වරද ගැන කළකිරී මම එල්ලිලා මැරුණා. මැරුණු ගමන් ගුණසිරි මුදලාලිගෙ ගෙදර උපන්නා. කරපු වරදට වන්දිය වශයෙන් මේ නෝනටයි දුවටයි උදව් කරන්න හිතාගෙනයි මේ ගෙදරට ආවේ.”

“ඉතින් මොකක්ද කරපු උදව්ව”

“අනේ මහත්තයා. මම පෙරේතයෙක් නෙ. මට උදව් කරන්න බැහැ. ඒත් මම මේ ළමයාගේ තාත්තා විදිහට සාත්තර පොළවලදි පෙනි හිටියා. මේ අය ලවා පින් දහම් කැරෙව්වා”

“ඉතින් තමුන්ට පින් ලැබුණාද?”

“කොහොමද මහත්තයා මට පින් ලැබෙන්නේ? මේ අය දන් පැන් දීලා, පින්කම් කරලා ඒ තාත්තටනෙ පින් දෙන්නේ. ඉතින් මට කොහොමද පින් ලැබෙන්නේ? මම මහා පව්කාර පෙරේතයෙක්. ඒ වුණාට මට අනුන්ගෙ හිත් කියවන්න පුළුවන්. මේ ගෙදර අය තොවිල් කරන්න හිතන කොටම මම පැනල යනවා.”

“පැනලා ගිහින් ආයෙත් එන්නේ මොකටද?”

“මම ජීවත් වෙන්නේ මේ දෙන්නගෙ ශරීරවල අපද්‍රව්‍ය වලින්නෙ. ඒ නිසා නැවතත් එන්න සිද්ධ වෙනවා.”

“ඉතින් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ආවේ මොකද? පැනලා නොගිහින්.”

“මට මහත්තයාගෙත් හිත කියවන්න පුළුවන්. මහත්තයා මට හිරිහැර කරදර නොකරන බව මම දන්නවා. ඒකයි ආවේ.”

“දැන් තමුන් කළ වරදට මේ නෝනාට වැඳලා සමාව ගන්න.”

ප්‍රේතාත්මය ආවිෂ්ට වූ රාම්‍ය දිස්ලින්ගේ දෙපා අල්ලා වැඳ සමාව ඇයැදීය.

“දැන් තමුන්ට මොනවාද දැනෙන්නේ?”

“මේ නෝනා මම වඳින කොට ඉවසාගෙන හිටියත් තමුන්ගේ ස්වාමි පුරුෂයා මැරූ කළු මහත්තයා (පෙරේතයා) ගැන තරහින් හිටිය බව ඇගේ හිත මම දැක්කා”

“එහෙම නම් මේ අය ළඟ ඉඳලා තමුන්ට වැඩක් නැහැ. කළ වරදට වන්දි ගෙවන්න මේ අයට උදව් කරන්නත් තමුන්ට බැහැ. මේ අයට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ගුණසිරි මුදලාලිගෙ ගෙදර පැත්ත පළාතෙ නෑවිත් මේ ශරීරවලින් ඉවත්ව යන එක නොගියොත් පුච්චලා පන්නා දාන්න සිද්ධ වෙනවා.

“එහෙම නම් මම යනවා. මේ දැන් යනවා. මම කතරගමට යනවා” යැයි ප්‍රේතයා ඉවත්ව ගියේය.

දිස්ලින්ටත් රම්‍යාටත් උදේ හවස නිවසේ කළ යුතු පිළිවෙත් කීපයක් නියම කළේය.

අදහස්