මාතරට ම කුඩු බෙදන ජංගම කුඩු මාෆියාව | සිළුමිණ

මාතරට ම කුඩු බෙදන ජංගම කුඩු මාෆියාව

අහස උසට එන ජීවන බර උසුලාගත නොහැකිව තම දුවා දරුවන්ට අහරක් දෙන්න වෙර දරන අම්මලා සිටින මේ රටේ තවත් පසකින් තම ජීවිත සුඛිත මුදිත කරගැනීමට ඒ අම්මලාගේ දරුවන්ට කුඩු පොවන අම්මලා ද නැතුවා ම නොවේ. මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ දරුවන් ඉතා ශීඝ්‍රයෙන් මතට හුරුවන්නේ කිරි බිව් කටේ සුවඳ ගිලිහෙන්නටත් කලින් ය. මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ තීරය තුළ තරම් දිස්ත්‍රික්කයේ ඇතුළත කුඩු ව්‍යාප්ත වී නැත. මෙයට හේතුව වී ඇත්තේ මාතර වෙරළබඩ තීරය සංචාරකයන් ශීඝ්‍රයෙන් සැරිසරන ප්‍රදේශයක් වූ හෙයිනි. එදා තම දරුවට බත් කටක් කැවීමට කීයක් හරි මුදලක් සොයා ගැනීමට ඔවුන් ‍නොකළ දෙයක් නැත. දවසේ කුලියක් සොයා ගිය අප්පච්චි එනකම් මව නිවසේ ඇති මොනවා හෝ රත්කරගෙන දරුවාට දි සැමියා එනතෙක් මඟ බලා සිටියේය. එය මිරස්ස ආශ්‍රිතව ධීවර සමාජයේ ද සුලබ ව දක්නට විය. පසු කාලයේ මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත් වූ බොහෝ දෙනකු සැමියා මුහුදු රස්සාව කර එනතෙක් බිරිය සිය දරුවන් පෝෂණය කිරීමට ලණු ඇඹරීම, පොල්ලෙළි තැළීම හා මැටි කර්මාන්තය හා හඳුන්කූරු කර්මාන්තය සුළුවෙන් කරගෙන ගියේය. ඒ තුළින් සිය සැමියා ගේ ජීවන බර සැහැල්ලු වීමට මහත් රුකුලක් විය. එහෙත් නූතන සමාජය වන විට ඒ කිසිවක් කර වෙහෙස වී මුදල් ඉපයීමට එතරම් කාන්තාවන් කැමති නැත. මේ නිසා ඔවුන් ඉතා පහසුවෙන් මුදල් සොයා යන්නට පෙලඹීය. ඒ අනුව ඔවුන්ට සමාජ දැනුම පහළ වූයේ ස්මාර්ට් ෆෝන් තාක්ෂණය ලැබීමත් සමඟ ය. මේ වනවිට බොහෝ පිරිමින් මෙන් ම කාන්තාවන් හෙරොයින් ජාවාරමට පෙලඹ ඇත. විශේෂයෙන් ම ජංගම දුරකථන භාවිත කර විවිධ කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්දතා පැවැත්වීමත් කුඩු ගෙන්වා ගැනීමත්, බෙදා හැරීමත් යන කටයුතු මේ කාන්තාවන්ට මෙන්ම ප්‍රදේශයේ හයක් හතරක් නොතේරෙන තරුණයන්ට ද මහ කජ්ජක් නොවේ. ඒ අනුව ඉතා ආරක්ෂාකාරීව නිවසේ සිට ස්වයං රැකියාවක් විලසින් හෙරොයින් ගෙන්වා ගැනීම හා බෙදා හැරීම සිදු කරයි. මේ ජාවාරමේ සිටින ජාවාරම්කරුවන් සහ මත්කුඩුවලට හුරුවූ පුද්ගලයන් කවුරුන්ද යන්න එකිනෙකා දන්නේ නැත. ඔවුන් හඳුනා ගැනීමට ද කිසිදු ක්‍රමයක් නැත. මේ සඳහා ඉතා සරල ක්‍රම දෙකක් භාවිත කරයි. ඒ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනීමත් ඒ අනුව එම මුදලට සරිලන හෙරොයින් ප්‍රමාණය හෙරොයින් වලට ඇබ්බැහි වූ පුද්ගලයා පදිංචි ආසන්නතම ස්ථානයට රැගෙන ඒම සහ ඔහුට ලැබෙන ලෙස සැලැස්වීම මේ සංවිධානාත්මක කල්ලියේ සූක්ෂ්ම සැලැස්මයි. ඒ අනුව කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයා වෙසෙන ස්ථානයට ම රැගෙන ගෙනත් දීමට ඔවුන්ට හැකිවීම ලංකාවේ පැවැත්වෙන භාණ්ඩ බෙදා හැරෙන ක්‍රමවේදවලට වඩා වේගවත් ය. මෙය සරලව ම සොයා බැලුවොත් පුද්ගලයකුට කුඩු ඉරීමට අවශ්‍ය වූ විට කුඩු ඒජන්තගේ දුරකථන අංකයට අවශ්‍ය ඊසි කෑෂ් මුදල අසල කොමියුනිකේෂන් එකකින් යවා තමා සිටින ස්ථානය සිංග්ලිෂ් වලින් සඳහන් කර කෙටි පණිවුඩයක් යැවීම සිදු කළ යුතුය. මිනිත්තු දහයක් විස්සක් අතර කාලය තුළ ඔහුට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත. එය මෙසේ සඳහන් කර තිබේ. “ඔ‍බේ නිවසට ඉදිරිපස හන්දියෙන් වමට හැරී යන විට හතරවන ලයිට් කණුවේ මරණ දැන්වීමක් අලවා ඇත. එම මරණ දැන්වීම ගැලවූ විට හෙරොයින් පාර්සලය ඇත.” යනුවෙනි. එසේත් නැත්නම් “ඔබේ ගම හරහා එන බස් රථයේ හත්වන ෂීට් එක තුළ සඟවා ඇත.” යනුවෙනි. එහෙම හැරුණු විට මංසන්ධිවල ඇති පුවරුවල පිටුපස ගම්ටේප් කැබලි අලවා හෙරොයින් පාර්සල් ඇත. තවත් විටක රෝහල්වල බංකු යට පාලමේ බැමි අසල නගරයේ ඇති විශාල ගස් අතර පමණක් නොව ආගමික ස්ථාවල ගේට්ටුව අසල සහ සඳහන් කිරීමට ලිවීමට අකමැති ආගමික ස්ථානවල මේ හෙරොයින් පාර්සල් ඇත. සාමාන්‍යයෙන් මිලි ග්රෑම් 2.5 ක ප්‍රමාණයක් සඳහා ඊසි කෑෂ් වලින් රුපියල් දෙදහසකට ආසන්න මුදලක් ඔවුන්ගේ ජංගම දුරකථන ගිණුම්වලට දැමිය යුතුය. මේ ව්‍යසනය මැඬලීම සඳහා මාතර කොට්ඨාස පොලිස් බල ප්‍රදේශයේදි ක්ෂණික මෙහෙයුම් දියත් කරයි. මේ ජාවාරම්කරුවන්ගේ සූක්ෂම ජාවාරම් සංවිඥානය නිසා පොලිසියට ලැබෙන තොරතුරු මඳ වේලාවකින් වෙනස් වන පරිදි ඔවුන් හැසිරෙයි. මේ මඟින් මේ ජාවාරම් හසුකර ගැනීමට පොලිසියට විශාල කැපවීමක් කිරීමට සිදු වේ. මාතර කොට්ඨාසයේ පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ නිවැරැදි මෙහෙයවීම මත මේ ජාවාරම්කරුවන්ට හිස එසවීමට ඉඩ අහුරා ඇත. විශේෂයෙන් ම මාතර දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදිතකුමාර මහතාගේ තීක්ෂණ ඥානයට ගසා පැනයන්නට තරම් කුඩ්ඩෝ අසමත් වීම ජාතියේ යම් වාසනාවකි. විශේෂයෙන් ම කුඩු ජාවාරම්කරුවන්ට මරු පහරක් වූ ගන්දර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මෙන්ම කොටවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක තුෂාර කෝරළේගේ මහත්වරුන් ඉදිරියේ කුඩුකාරයන්ගේ ක්‍රියාකාරකම් කුඩුපට්ටන් වී ඇත. පසුගියදා මාතර ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසළ පාසල් ක්‍රීඩාංගණයේ සැරිසරමින් සිටි පුද්ගලයකු හෙරොයින් මිලි ග්රෑම් 2300 සමඟ අත්අඩංගුවට පත් විය. පාසල නිමවී ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන දරුවන් ඉලක්ක කරගෙන මොහු මේ ස්ථානයේ සැරිසැරූ බවට මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. පසුගියදා කඹුරුගමුව ගරාඩුව ප්‍රදේශයේ කාන්තාවක් ඊසි කෑෂ් පාරිභෝගිකයකුට දීමට හෙරොයින් පාර්සලයක් ලයිට් කණුවක තබා ඊට උඩින් පෝස්ටරයක් අලවමින් සිටියදී කොටවිල පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ‍ගෙන ඇත. ඇය සිල්ලර වශයෙන් කුඩා කුඩු පැකට් මෙලෙස තම ප්‍රදේශයේ පුද්ගලයන්ට ලබා ගැනීමට අනුගමනය කරන ක්‍රමයයි. ඒ ආකාරයට ම හෙරොයින් පැකට් 26 ක් සමඟ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට පත් වූයේ කොටවිල පොලිස් බල ප්‍රදේශයේ ය. අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලක බෝධිපක්ෂ මහතා ඉතා සූක්ෂ්ම ව සිදු කළ විපරමකදී මේ හෙරොයින් ජාවාරම හසුකර ගැනීමට සමත් විය. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනාම වයස අවුරුදු 28 ට අඩු අය. පසුගිය 31 දා මේ ප්‍රධාන කුඩු ජාවාරම්කරු හසු කර ගැනීමෙන් පසු ඔහුගේ ජංගම දුරකථනයට ලද දුරකථන අංක පරීක්ෂාවේදී තවත් බොහෝ පිරිසක් පිළිබඳ කරුණු අනාවරණය විය. මේ සැකකරුවන් හෙරොයින් ග්රෑම් 2.5 බැගින් කුඩා පාර්සල් 26 ක් සකසා එදින කුඩු ඉල්ලූ ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් දැමූ පාරිභෝගිකයන් සිටින ප්‍රදේශවල ඉහත සඳහන් කළ ආකාරයට බෙදා හැරීමට සැරසෙද්දී අත්අඩංගුවට පත් විය. කොටවිල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයරත්න යන නිලධාරීන් කුඩ්ඩන් අබිබවමින් සිදුකරන සූක්ෂම වැටලීම් වලදී මොවුන් අත්අඩංගුවට පත් විය. හෙට දින ජීවිතය ජයගන්නට වෙර දරන අපේ දරු පරපුර නසන්නට අපේ ම මිනිසුන් කරන මේ ජාවාරම් වලින් තම දරුවන් ආරක්ෂා කර ගැනීම හෙට දවසේ අභියෝගයකි.

අදහස්