මාරුවිය යුත්තේ පුටුව නොව මතවාදයයි | සිළුමිණ

මාරුවිය යුත්තේ පුටුව නොව මතවාදයයි

13 වැනි සංශෝධනය මකා දමන තුරු විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුමයි. රටට ගැළපෙන රට රැකෙන ව්‍යවස්ථාවක් හදන තුරු මේ ක්‍රමය අවශ්‍ය බව තේරුම් ගත යුතු ය. ඒ ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ අධිරාජ්‍යවාදය ගැතිකම් කරන රාජ්‍ය නොවන සංවිධානවලට කත් අදින අය විසින් නොවන බව ද මෙහිලා පැවසිය යුතු ය. රටේ සංස්කෘතිය හඳුනන රටට ආදරය කරන, අය විසින් විය යුතු ය.

ශ්‍රී ලංකාව අතීත‍‍යේ සිටම ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් විසින් විවිධ අවශ්‍යතාවන් මත ගිල ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළුණි. එය ඇතැම්විට භූගෝලීය වශයෙන් ඇති වැදගත්කම නිසා වන්නට ඇත. ඇතැම්විට ආර්ථික වශයෙන් ඇති වැදගත්කම නිසා‍වන්නට ඇත. මේ නිසා පාලන තන්ත්‍රමය වශයෙන් මේ රට යටපත් කර ගැනීමේ දැඩි අභිලාෂයක් ඔවුන් තුළ පැවතුණි.

මේ නිසා ශ්‍රී ලංකාව දෙස බලා සිටින අනෙක් රටවල් දෙස අපේ රටේ පාලකයා බැලිය යුත්තේ නිවසක ‘ඇහැට කනට පෙනෙන’ ගැහැනු දරුවකු සිටින මව පියා බලනාකාරයෙනි. එම රූමත් දැරිය ගැන මවුපියන් යම් අවධානයෙන් පසුවන අයුරින්ම අද අප රට දෙස නෙත් යොමා සිටින අන්තර්ජාතික ප්‍රජාව දෙස අවධානය යොමු කළ යුතුමය. අප රටේ ජනතාවගේ ආකල්ප බොහෝ විට බෞද්ධාගමික සංස්කෘතිය මත පදනම්වූවක් නිසා ඇතැම් රටවල මෙන් දරුණු මානසිකත්වයෙන් පිරි ජනතාවක් ද නොවේ. අපේ ජනතාවගේ සුහද බව කාරුණික බව මෙන් ම බාහිර පාර්ශ්වයන්ට පහරදී පන්නා නොදමන අහිංසක කම නිසා බොහෝ ආක්‍රමණිකයනට ගොදුරු විය‍.

උදාහරණයක් ලෙස සප්ත සහිත දමිලයන් ආක්‍රමණික පිරිසක් වුවත් ඒ අය කෙරෙහි දැක්ව‍ූ හිතවාදී ආකල්පය නිසා ඔවුන් වසර ගණනක් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සමත් විය. එමෙන් ම අශ්ව වෙළෙඳාමේ පැමිණි සේන ගුත්තික වෙළෙඳුන්ට ද ශ්‍රී ලංකාවේ පාලන බලය රැගෙන රට පාලනය කිරීමට හැකි විය.

මේ අනුව අපට පැහැදිලි වන්නේ විවිධ ආක්‍රමණිකයනට වෙළෙඳාම පැමිණ පවා මේ ආක්‍රමණ කර පාලනය කිරීමේ හැකියාව උදා වී ඇත්තේ ලක්වැසියාගේ ඇති මානව දයාව කරුණාව වැනි උසස් ගුණාංග ඔවුන් අපේ දුර්වලතාවක් ලෙස සලකනු ලබන හෙයින් බවයි.

ඒ තත්ත්වය තේරුම් ගෙන වර්තමානයේ අපේ රටට අවශ්‍ය වන්නේ රට ගැන කල්පනා කර රටට හිතැති තීරණ ගනු ලබන පාලකයන් මිස අන්තර්ජාතිකව ගැතිකම් කරනු ලබන නායකයන් නොවේ. පසුගිය පාලන කාලයේ බලය ලබාගත්තේ අන්තර්ජාතික ගැති අන්තර්ජාතිකයට හිස නවන කණ්ඩායමක් විසින් බව ඉතාම පැහැදිලිය. එසේම ඔවුන් මෙහෙයවනු ලැබුවේ අන්තර්ජාතික කුමන්ත්‍රණකරුවන් විසින් බවට අවශ්‍ය තරම් උදාහරණ සැපයිය හැකි ය. ප්‍රධානම උදාහරණ ලබා ගත හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අයෙක් මහ බැංකුවට පැමිණ බිලියන දහස් ගණනක් එයින් පැහැර ගැනීම අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබිණි. එසේ ම මෙරට ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් ඉල්ලා ද සිටියදී හම්බන්තොට වරාය විදේශීය සමාගම්වලට ලබා දීමෙන් පැහැදිලිවන්නේ දේශීයත්වයට සිදු කළ හානියයි දේශීයත්වයට නැඹුරුවක් නැති අන්තර්ජාතිකව හිස නැමීමේ හා ගැතිවීමේ ප්‍රතිපත්තියයි. ඒවා අතයට ගනුදෙනුවලට යටත් වූ බව පැහැදිලියි. එමෙන් ම වරායක් තනා ගැනීමට හැකිවූ අපට ගුවන් තොටුපොළක් හදා ගැනීමට හැකිවූ අපට ගුවන් තොටුපොළේ වරායේ මෙහෙයුම් අපට සිදු කර ගන්නට නොහැකි නම් එයින් පෙනී යන්නේ අපේ අසමත් භාවයයි. ඒ අසමත් භාවයට එම ආණ්ඩු අසමත් ව‍ූ බවද පැහැදිලියි‍. එමෙන් ම ජාතික චින්තනය දිනෙන් දිනම වළ දමන තත්ත්වයක් ද පෙනෙන්නට විය. අභිමානවත් පුරවැසියන් ලෙස සිටි ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය දිනෙන් දිනම පිරිහෙන්නට විය. විශේෂයෙන් ම සිංගප්පූරු ගිවිසුම් හා ඉන්දියාව සමඟ ඇති කරගන්නට යෙදුණු එට්කා ගිවිසුම හරහා රටේ ජාතිකත්වය මුළුමනින්ම විනාශය කරා ඇදී ගියා පමණක් නොව දේශීය ව්‍යවසායකයා, දේශීය ව්‍යාපාරිකයා ක්‍රමානුකූලව විනාශය කරා ගියේ ය.‍

ඉන්දියාව සමඟ ඉතා සුහද විය යුතු වුවත් අප ඉන්දියාවට යටත්වීමේ මානසිකත්වයෙන් මිදිය යුතුය. පසුගිය දිනවල හිටපු අගමැතිවරයා කියා සිටියේ මත්තල ඉන්දියාවට බාරදී සංවර්ධනය කිරීමට කටයුතු යොදන බවයි.එමෙන්ම මෙරට තෙල් බෙදා හැරීමට ආරම්භ කළ ඉන්දීය තෙල් සමාගමට ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙල් මිලදී ගැනීමට පවා අවස්ථාව ලබාදීම නිසා පසුගිය කාලයේදී ලංකාවට ගෙනා ඉතා බාල ප්‍රමිතියෙන් යුත් ඉන්ධන නැවක් යළි හරවා යැවීමට කටයුතු කෙරුණේ අවසන් අවස්ථාවේ එය බාල ප්‍රමිතියෙන් යුත් බව හෙළිවූ නිසාය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාන රැසක ගාන්ධි ස්මාරක විවෘත කර තිබේ. මේ වනවිට ගාන්ධි සම්මන්ත්‍රණ ශාලා ඉදිකෙරෙමින් පවතී. මෙරට තුළ විදේශාධාර මත යම් යම් දේ සිදුකිරීම එකකි. එහෙත් ඉන්දියාව රටවල් ආක්‍රමණ කිරීම පිණිස යොදා ගන්නා ගාන්ධි සලකුණ භාවිතා කර සිදු කරනු ලබන ක්‍රියාදාමය අප අවබෝධ කරගත යුතු ය.

පසුගියදා කඳුකරයේ එක් මන්ත්‍රීවරයෙක් සඳහන් කෙළේ තම සහාය ලබා දෙන්නේ කාටද යන්න ඉන්දීය රජයෙන් විමසා බලා දැනුම් දෙන බවයි.

පසුගිය වකවානු ඉන්දීය ගැති භාවය ඒ ආක්‍රමණයට යටත් වීම කරා ක්‍රමයෙන් ගමන් කළ අතර මේ දේශපාලන පෙරළියත් සමඟ ඉන්දීය යටත් විජිතයක් බවට පත්වී‍ෙම් අවදානම අඩුවූ බව පෙන්වා දිය යුතුයි.‍

එහෙත් මෙය අවසානයක් නොවන බව තේරුම් ගත යුතුයි.

1987 වස‍රේදී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් රටට බලහත්කාරයෙන් ලබාදුන් 13 වන සංශෝධනය සිදු කිරීමේදී ජේ.ආර්. ජයවර්ධන මහතා දුර දිග බලා ක්‍රියා කළ බව ද මෙහිදී පෙන්වා දිය යුතු ය. ජයවර්ධන මහතා ඉන්දියාවේ දැක්මට බොහෝ එහායින් සිට ලංකාව දෙස බැලූ බව ද මෙහිදී පෙන්වා දිය යුතු ය. එහිදී විධායක ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයකු සෑම පළාතකම කටයුතු කළ යුතු බවත් ඒ ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් ආපසු හරවා යැවීමට හැකියාව ස්ථාපිත කරන ලදී. එමෙන්ම ඉඩම්, පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව සතු කර ගන්නටත් මෙහිදී කටයුතු කරන ලදී. මධ්‍යම රජයේ බලය වැඩිකර පළාත් සභා බලය අවම කිරීම 13 වන සංශෝධනයෙන් සිදු කරනකොට ජේ.ආර්. ජයවර්ධන මහතා දූරදර්ශී විය. එසේ මධ්‍යම රජය දුර්වල වී පළාත් සභා බලය වැඩි වුවහොත් එය සීසීකඩ වන තත්ත්වයක් ඇතිවන අතර අද අනුරකුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය බලාත්මක කිරීමට යාමෙන් ක්‍රියාත්මක කරන්නේ ඒ අවශ්‍යතාවයයි.

20 වැනි සංශෝධනයේ සඳහන් කරුණු 38 න් 36 ක් ම ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඇති අතර එය කැබිනට් මණ්ඩලයෙන් සංශෝධනය කර ගන්නා ලෙස දන්වා ඇත. නමුත් ජනතා විමුක්ත් පෙරමුණ පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්මත කර ඒ තීන්දුව ජනතාවට බාර දෙන ලෙසයි.

පාර්ලිමේන්තුව අනුමත කර ඇති නිසා ජනතාව එය අනුමත කරනා ලෙසට ජනතාවට දැනුම් දුනහොත් සිදු වන්නේ කුමක්ද?

එමෙන්ම රණවිරුවන්ගේ අභිමානය බිඳ දැමීම් මෙන් රණවිරුවන් අත්අඩංගුවට ගැනීම් ඉතාම පහත් ක්‍රමවේදය ඉතාම භයානක බව ද මෙහිදී පෙන්වා දිය යුතු ය. බුද්ධි අංශ නායකයින් චෝදනා නොමැතිව මාස 7 ක් 8 ක් සිරකර ගෙන සිටීමෙන් ඔවුන් දැඩි ලෙස කලකිරී ඇත.

රාජ්‍ය නිලධාරීන් පවා සේවකයන් දැඩි භීතියකින් සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයක රට සිටි අතර ඉදිරි කාලයේ මේ ආකාරයෙන් තිබුණත් රට ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇතිවනු ඇත.

පසුගිය දිනවල බුදු දහමට සිංහල සංස්කෘතියට කළ අපහාස අමතක කළ නොහැකි ය. මහාවංශය පුස්සක් බව රාජ්‍ය මුද්‍රිත මාධ්‍යවල පළවුණි. ‘නිර්වස්තං පරමං සුඛං’, ‘තරුවන් සරණයි’ වැනි දහමට නිගරු කරන සිදුවීම් දෙස බැලූ කළ රටටම සිදුවන ව්‍යසනය ඉතා පැහැදිලි විය. නායකයන් සිටිය යුත්තේ රට රැකීමටය. එහෙත් පසුගිය කාලයේ සිදුවුණේ නායකයන්ගෙන් රට රැක ගන්නයි.”

එවන් තත්ත්වයක් තියෙන නිසා ස්ථාවර ආණ්ඩුවක් පත්කර ගැනීම උදෙසා වහාම මහ මැතිවරණයකට යා යුතුයි. ඒ හරහා රට ඇදී යන ඛේදනීය තත්ත්වය වළකා ගත යුතුය. මේ තත්ත්වය වළකා ගැනීමට නොහැකි වුවහොත් රට, ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති නොවේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් සියල්ල අවසන්ය යන්න කිසිවිටක නොසිතිය යුතුය. මාරුවිය යුත්තේ පුටුව නොව දර්ශනයයි. මතවාදයයි.

ජනතාවට අභිමානවත්ව දිවිය ගත කිරීමට, කුණු ගොඩවල් නොමැතිව නගර අලංකරණයට නැවත යා යුතුයි. හමුදාවේ අභිමානය රැක දිය යුතුවේ. හමුදා නායකයන්ගේ දූ දරුවන්ට බිරින්දෑවරුන් එදත් දිවි ගත කළේ දැඩි ගින්දරකින් වන අතර පසුගිය කාලයේ දී ඔවුන්ට එවන් තත්ත්වයක් උරුම වූ බව කිව යුතුයි. ඒ සාපය ඉවත්වූ මේ පරිවර්තනයට මහා සංඝරත්නය කැමැත්තක් දක්වන්නේ එම නිසයි. මේ පරිවර්තනයේ සැබෑ ප්‍රතිඵල අත්වන්නේ අද නොවේ අනාගත පරපුරටය.

අගමැතිවරයාට ගිවිසුම ඇත්තේ ජනතාව සමඟ මිස වෙනත් කල්ලි කණ්ඩායම් සමඟ නොවන බව ඔහු තේරුම්ගත යුතුය. ජනාධිපතිවරයාටත් පැවසිය යුත්තේ මේ තීරණය හරහා ජනතාවගේ අපේක්ෂාව කුමක්දැයි තෝරාගෙන නිසි මාර්ග‍යේ ගමන් කළහොත් පමණයි මේ රට ඇද වැටෙන්නේ ඇති තත්ත්වයෙන් වළකා ගැනීමට හැකිවන්නේ. මහාචාර්ය හිමිනමක් පසුගියදා දක්වා සිටියේ කුලී නිවසක සිට තමන්ගේ නිවසකට ගමන් කළ සතුටක් දැනෙනා බවයි.

“ජනතා විමුක්ති පෙරමුණට අද අවශ්‍යව ඇත්තේ බිල්ලෙක් ලෙස නම් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ පක්ෂය තම පක්ෂය බව පෙන්වා දීමටයි. එහෙත් බෙදුම්වාදය නැමැති කොටියා බැඳ දමා ඇත්තේ විධායක ජනාධිපතිවරයා යන ලණුවෙන් බව ඔවුන්ට දැනුමක් නැත‍. එය කපා දැමූ සැණින් බෙදුම්වාදය ෆෙඩරල් හිස ඔසවා එන බවත් ඔවුන්ට නොතේරේ.

අනුරකුමාර දිසානායක මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ජනමතයට පයින් ගැසූ බවයි. එහෙත් ජනාධිපතිවරයා පයින් ගසා ඇත්තේ මේ රටේ කුමන්ත්‍රණකාරී අධිරාජ්‍යවාදය බව ඔවුන්ට වැටහී නැත. බුද්ධිමත් ජනතාව මේ පාට කණ්ණාඩිය ගලවා ඉවත් කළ යුතුවේ.

13 වැනි සංශෝධනය මකා දමන තුරු විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුමයි. රටට ගැළපෙන රට රැකෙන ව්‍යවස්ථාවක් හදන තුරු මේ ක්‍රමය අවශ්‍ය බව තේරුම් ගත යුතු ය. ඒ ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ අධිරාජ්‍යවාදය ගැතිකම් කරන රාජ්‍ය නොවන සංවිධානවලට කත් අදින අය විසින් නොවන බව ද මෙහිලා පැවසිය යුතු ය. රටේ සංස්කෘතිය හඳුනන රටට ආදරය කරන, අය විසින් විය යුතු ය.

ව්‍යවස්ථාවක් යනු ජන මතය හඳුනන ජන මතය විසින් ඉල්ලා සිටින ව්‍යවස්ථාවක් මිස අපට බලෙන් ලබා දෙන ව්‍යවස්ථාවක් නොවේ.

අවස්ථා 19 කදී ව්‍යවස්ථාව දුර්වල වී ඇති බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.

මේ අවස්ථාවේදී සියලුම දේශපාලනඥයන්ට පවසා සිටිය යුත්තේ ජනතාව ඔවුන්ට බලය ලබාදී ඇත්තේ රට දැය රැක ගැනීමට බවයි. දුනුවායකුට දුන්නක් ලබාදෙන්නේ රජ්ජුරුවන්ට කඩුව ලබාදෙන්නේ තමන් ආරක්ෂා කරදෙන ලෙසයි.

මෙය ඉතා පැහැදිලිව සාකුන්ත්‍යයේ දක්වා ඇත. ‘රජතුමනි ඔබට ජනතාව කඩුවක් ලබාදී ඇත. එම ජනතාව සතා සිවුපාවන් ආරක්ෂා කළ යුතුය. කඩුව ඒ සඳහා මිස සත්ත්වයන්ගේ විනාශයට නොවේ’ රජ්ජුරුවෝ ඒ කඩුවෙන් ගස් කැපීම හෝ ජනතාව විනාශ කිරීමට නොව රැක ගැනීමට බව සිතා ගත යුතු ය. කඩුවෙන් මේ කරුණු දෙකම කළ හැකි වූවත් තමන් කළ යුත්තේ කුමක්ද යන්න රජ්ජුරුවන් තේරුම් ගත යුතු ය.

ජනතාව නිරන්තරයෙන් තම මහන්සියට ලැබෙන වැටුපෙන් ජීවත්වීම මිස දේශපාලකයන්ගේ මුසා බස් වලට නොරැවටෙන ලෙසයි. දේශපාලකයෙක් යමක් දෙන බව පවසන්නේ එය අල්ලස ලබාදීමක් බව සිත්හි තබාගත යුතුවේ.

පාලකයා යුද බිය නැති කළ යුතුය. සොර සතුරු බිය, මං පහරන්නන් (පාතාලය) නැති කළ යුතුයි.

චක්කවත්ති සීහනාද සූත්‍රෙය් මේ බව පැහැදිලිව දක්වා ඇත. ජනතාව සැමවිටම කල්පනා කළ යුත්තේ අපට මොනවා ලැබෙයි ද යන්න නොව රටට මොනවා ලැබෙයිද යන්න ගැනයි.‍

වැරැදි අය පත් කළ ජනතාවත් එයට වගකිව යුතුයි. එය මහත්මා දේශපාලනයක් දක්වා ගෙන යා යුතුයි. රටක දියුණුව කියන්නේ කාර්මික දියුණුව නොවන බව සිත්හි තබාගත යුතුයි.

‘දිළිඳුකම යනු ඉල්ලීම මිස ධනය නැතිකම නොවේ’ ඊශ්වරයාගේ වාහනය වයස් ගත වූ ගවයෙකි. එසේ වුවත් ඔහුට ඊශ්වරයා යනුවෙන් ගාම්භීරත්වය උරුම වී ඇත්තේ කිසිවකුට හෝ යටත්ව නැති නිසාය. මේ ස්වාධීනව පරාධීන මනසින් ඉවත්වන්නට නම් මිනිසා හැදී සිටිය යුතු ය‍.

පාලකයින් හැම විටම කටයුතු කළ යුත්තේ ජනතා අපේක්ෂාව මුදුන් පත් කිරීම උදෙසා ය. බුදු දහමේ ආරක්ෂාව ඇති කරන්නට භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත යුතු ය. ඒ සඳහා භික්ෂුන් වහන්සේ මුල් තැනක් ගෙන කටයුතු කළහොත් පමණක් බුදු දහමත් රටට දැයත් රැකගැන්මට අවස්ථාව උදාවනු ඇත. මහ නාහිමිවරු ඇතුළු සියලු භික්ෂුන් වහන්සේ මේ සඳහා පෙළ ගැසිය යුතුමය.

 

අදහස්