විදේශිකයන්ට පොටෝ ගන්න රිටි පන්නය කුලියට දෙන අපේ ‘පන්නයේ රාළලා‘ | සිළුමිණ

විදේශිකයන්ට පොටෝ ගන්න රිටි පන්නය කුලියට දෙන අපේ ‘පන්නයේ රාළලා‘

මහ මුහදේ දියඹට ගොස් මහ රළ සමඟ පොර බදන්නට ගතට සවිය නැති අපේ පැරණි ධීවරයන් රිටි පන්න භාවිත කරමින් ගොඩබිමට ආසන්නව ධීවර කටයුතුවල එදා නිරත විය. තම තරුණ දරුවන් ඈත දියඹේ ධීවර රැකියාව කරගෙන ගොඩ බිමට එනතෙක් වැඩිහිටි ධීවරයෝ එදිනෙදා වියදම සපුරා ගත්තේ රිටිපන්න භාවිතයෙනි. ගොඩබිමේ සිට මීටර් විසි පහක් තිහක් ඈතින් මුහුදේ සිටවූ කණුවකට හරස්අතට ආධාරක යොදා ධීවරයාට එහි වාඩි වී සිටීමට හැකි පරිදි සකස් කර ගත් මේ ගස රිටි පන්නය ලෙස හඳුන්වයි. බිලි පෙත්තක ආධාරයෙන් කුඩා මාළු බා ගැනීම මෙහි අරමුණයි. අලුත් මාළු වලට රස වැටුණු අපේ පැරැන්නෝ රිටි “පන්නයේ රාළ” ගොඩබිමට එනතෙක් පනමක් අතේ තියාගෙන බලා සිටි බව පැරැන්නෝ කියති. මේ ධීවර පන්න ක්‍රමය වසර දෙසීයකට වඩා පැරණි ක්‍රමයක් බවත් දැනට ධීවර කර්මාන්තයෙන් සමුගෙන සිටින මැලිගම මිදිගම ධීවරයෙක් පැවසීය. ඔහු පැවසුයේ ඔහුට දැනට වයස අවුරුදු අසූ පහක් වන බවයි. නමින් බස්තියන් ලෙස ඔහු හඳුන්වන ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි.

වයස අවුරුදු දහය දොළහ කාලයේදී මුහුදු රස්සාව පටන් ගත් බවත්, ඒ කාලයේ ඔරු පාරු හදාගෙන ගිය බවත් කවුරුත් හඳුනන බස්තියන් මාමා මෙසේ කියයි.

“මම පුංචි කාලෙ මගේ අප්පයි මහප්පයි දෙන්න එක්ක මේ මිදිගම මුහුදෙ ධීවර කටයුතු කළා. මට මතක හැටියට අවුරුදු දහයක් විතර ඇති. ඊටත් කුඩා කාලයේ මේ මුහුදෙ නෑවා පිනුම් ගැහුවා; පීනුවා. ගල්පර බලන්න දිය යට ගියා. කාලයත් සමඟ මම ධීවර රැකියාව කරන්න පටන් ගත්තා. මුලදී මම අපේ ඥාතියකුගේ ඔරුවක ගියේ. පස්සෙ කාලයක මම ඒ ඔරුවට ගත්තෙ නෑ. මට ධීවර කටයුතු කරගෙන යන්න විදියක් නැතිම වුණා. පසුව ඒ කාලෙ වැඩිහිටි අය රිටි පන්නයේ ඉඳගෙන මාළු බානවා.

මමත් මුලදි අනුන්ගේ රිටි පන්නයේ ඉඳගෙන මාළු බෑවා. එහෙම මාළු බාල හම්බකරගත්තු සල්ලි වලින් පනමක් රිටි පන්නය අයිතිකරුට දෙනවා. මාළු බාන්න බිලී පිත්තක් හදාගෙන ඒකට ඇමක් ලෙස බත් ඇට - ගැඩවිල්ලෝ දාල තමයි අල්ලන්නේ - පනම් දහයක් විතර දවසට හෙව්වා - මම එදා ඉඳල මේ ධීවර රස්සාව කළේ රිටි පන්නයේ මයි. මගේ පුතාල හය දෙනාගෙන් දෙදෙනෙක් තාම රිටි පන්නයෙ ධීවර රස්සාව කරනවා.

ඉස්සර වගේ වෙරළට ආසන්නයේ දැන් මාළු නෑ. ඒ නිසා රිටි පන්නයට මාළු අහුවෙන්නෙ නෑ. ඒ නිසා අපේ ළමයි සංචාරකයන්ට රිටි පන්නයේ වාඩි වෙලා පොටෝ ගන්න දීල මුදල් හොයනවා.”

යැයි බස්තියන් මාමා පැවසීය. දකුණු වෙරළ තීරයේ අහංගම හඹරාදූව මිදිගම වැලිගම පැලෑන මිරිස්ස සහ දික්වැල්ල ප්‍රදේශවල මේ රිටි පන්න ක්‍රමය භාවිත කර ධීවර කටයුතු කරනවා.

එහෙත් මේ වනවිට අහංගම මිදිගම ගොවියාපාන හබරාදුව යන ස්ථානවල සහ අම්බලන්ගොඩ එක් ස්ථානයක මේ පන්න මඟින් ධීවර කටයුතු කරගෙන යනවා.

එදා දවසේ ආහාරයට මාළු ටිකක් අල්ලා ගැනීම සහ දවසේ වියදමට මාළු ටිකක් අල්ලා ගැනීම හැරුණු විට රිටි පන්න මඟින් ධීවර කටයුතු සිදු කර ගැනීම ඉතා අපහසුවී තිබේ. මේ නිසා රිටි පන්න යොදාගෙන විදේශිකයන්ගෙන් මුදල් ගැනීම සිදුකරයි. මෙම රිටිපන්න මත සිටිමින් මාළු බෑම විදේශිකයන්ට මහත් විනෝදාංශයකි. ඒ වගේ ම රිටින් තුරන්වන රිටි පන්න ක්‍රමය මත සිට පොටෝ ගැනීමට ද ඔවුන් ඉතා ඇලුම් කරයි.

මේ අනුව විනාඩි පහළොවක් රිටි පන්නයේ සිට මාලු බෑමට හා ෆොටෝ ගැනීමට අයකරන ගාස්තුව රුපියල් දෙදහසකි. පැයක කාලයකට රුපියල් පන්දහසකි. ඒ අනුව අතීතයේ තිබූ දුක් ගැහැට වෙනුවට හොඳ ආර්ථිකයක් ඇති කර ගැනීමට රිටි පන්න කරුවෝ සමත් වී තිබේ. ඔවුන්ගේ ඒකාධිකාරිය මත වෙනත් පුද්ගලකුට රිටි පන්නයක් සවිකර ගැනීමට ඉඩ ලබා නොදේ. එසේ සවිකරන්නේ නම් ඔහු ප්‍රදේශයේ චණ්ඩියෙක් විය යුතුය.

මෙලෙස විදේශිකයන් සමඟ මාළු බාන ධීවරයන්ට විවිධ අවස්ථාවල විදේශිකයන්ගෙන් තෑගි බෝග ද ලැබේ.

අදහස්