වෙස්මුහුණු කලාව මේතරම් කල් හරි රැකුණේ විදේශික ඉල්ලුම නිසයි | සිළුමිණ

වෙස්මුහුණු කලාව මේතරම් කල් හරි රැකුණේ විදේශික ඉල්ලුම නිසයි

ලෝකය විශ්ව ගම්මානයක් වුණත් අපට අමතක කරන්න බැරි දේශීය කර්මාන්ත ලංකාවේ තවමත් ප්‍රචලිත ව තිබේ. සිනමා මාධ්‍යය පැමිණීමට පෙර විනෝදාස්වාදය ලබා දුන්, ලාංකේය ආර්ථිකය ශක්කිමත් කළ කර්මාන්ත හඳුන්වන්නේ දේශීය හස්ත කර්මාන්ත ලෙසිනි. අතීතයට සාපේක්ෂ ව ආර්ථිකයේ වර්ධන වේගය වේගවත් වුව ද දේශීය දේ රැක ගැනීම අපේ යුතුකමකි.

හස්ත කර්මාන්ත පිළිබඳ සොයා යෑමේදී අප මුලින් ම අවධානය යොමු කළේ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ආරියපාල ගුරුන්නාන්සේගේ වෙස්මුහුණු කෞතුගාරයයි. ජනප්‍රවාදවල සඳහන් වන්නේ මහා සම්මත රජතුමාගේ බිසවට කෝලම් නාට්‍ය දැකගැනීමේ දොළ දුකක් ඇති වූ බවත්, එ් දොළදුක සන්සිදුවීම පිණිස විශ්වකර්ම දේව පුත්‍රයා ලවා ශක්‍ර දේවේන්ද්‍රයා වෙස්මුහුණු කර්මාන්තය ආරම්භ කරවන ලද බවත් ය. මේ අනුව මහා සම්මත රජු දක්වා ඉතිහාසයක් වෙස්මුහුණු සඳහා තිබෙන බව ඓතිහාසික සාධක අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි.

ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට රාවණා රජු ද වෙස්මුහුණු යොදා ගෙන සතුරන් මෙල්ල කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙයි. වැදි ජනතාවගේ පූජා ක්‍රම සඳහා වෙස්මුහුණු භාවිත කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

වෙස්මුහුණු කර්මාන්තය පිළිබඳ අප කළ විමසීමකදී ආරියපාල ගුරුන්නාන්සේගේ බාල පුතු වන මහින්ද විජේසූරිය මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

‘වෙස්මුහුණු කර්මාන්තය සඳහා භාවිත කරන්නේ සැහැල්ලු කල් පවතින ලී වර්ග. එහිදී වෙල් කඳුරු හා රුක් අත්තන වැනි දැව වර්ග තමයි භාවිත කරන්නේ. මේ ලී වර්ග කෘමි සතුන්ගෙන් ආරක්ෂා කිරීමටත් ආකර්ෂණීය නිමාවක් ඇති කිරීම සඳහාත් දැව ආලේපන භාවිත කරනවා.

ලංකාවේ විවිධ වර්ගයේ වෙස් මුහුණු භාවිත වෙනවා. ඒ අතර ජනප්‍රිය මුහුණු වර්ග වන්නේ යක්ෂ මුහුණු, නාග මුහුණු, රාක්ෂ මුහුණු, සන්නි මුහුණු, මිත්‍යා මුහුණු, කෝළම් මුහුණු, දිව්‍ය පුද්ගල මුහුණු සහ සත්ත්ව මුහුණු ආදියයි.

ආරියපාල කෞතුකාගාරයේ වෙස්මුහුණු නිර්මාණය හා ඒ හා බැඳුණු කෝලම්, සන්නි නර්තන කළේ රැකියාවට නෙමෙයි; විනෝදයට. අතීතයේ අද වගේ හැම දෙයක් ම මුදල්වලට කළේ නැහැ. ආරියපාල ගුරුන්නාන්සේ කලාව මානසික තෘප්තිය සඳහායි කළේ. අතීතයේ කෝළම් නාට්‍යවල හා සන්නි නැටුම්වල එන චරිත නිරූපණය කරන්න විවිධ ස්වරූපයේ මුහුණු හැදුවා. එක් එක් ස්වරූපයේ මුහුණු පැළඳගෙන කරන රංගනයේදී සැබෑ මුහුණ වෙනුවට වෙනත් මුහුණක් පෙනෙන නිසා තමයි මෙයට වෙස්මුහුණු කියන නම භාවිත කළේ. අදටත් සමාජයේ සැබෑ මුහුණ සඟවාගෙන වෙනත් ස්වරූපයෙන් සිටින අයට වෙස්මුහුණු දාගෙන ඉන්වා කියලා කියනවා.‘

කෝලම් ජනප්‍රිය නාට්‍ය කලාවකි. අතීතයේ කෝලම් නාට්‍ය සඳහා වෙස්මුහුණු ප්‍රයෝජනවත් වුණි. කෝලම් නාට්‍ය පිළිබඳ මතක ඉදිරිපත් කළ මහින්ද මහතා ජනවහරේ එන සන්නි නැටුම ගැනද අදහස් ඉදිරිපත් කළා.

‘සන්නි නැටුම කෝළම් නැටුමට වඩා වෙනස්. සන්නි නැටුම් වර්ග 18ක් තිබෙනවා. ඒ සෑම සන්නියකට ම එකිනෙකට වෙනස් මුහුණු භාවිත කරනවා. සෙත් ශාන්ති කිරීම තමයි සන්නි නැටුම් හරහා සිදුවන්නේ. සන්නි නැටුම්වලට භාවිත කරන වෙස්මුහුණු තුළින් භයන්කාරත්වයත් හාස්‍යයත් මතුකරනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ මානසික සහනයක් ලබාදීමයි. මීට අමතරව රාක්ෂ නැටුම් කියලා තවත් නැටුම් විශේෂයක් තිබුණා. මේවා නාග රාක්ෂ, මරු රාක්ෂ, සිය වටුක වගේ වගේ වෙස්මුහුණු යොදාගෙන කරන නර්තන විශේෂයක්.‘

වෙස්මුහුණු කර්මාන්තය වෙස්මුහුණේ පෙණුම තරමට පහසු කර්මාන්තයක් නොවේ. වෙස්මුහුණු සෑදීමට යොදා ගන්නා කඳුරු ලීය සොයා ගැනීම අපහසුයි. වෙස්මුහුණු කැපීමට කඳුරු ලීයම විශේෂ වන්නේ එය කල් පවතින, සතුන්ගෙන් ආරක්ෂා වන කැටයම් කැපීමට පහසු ලීයක් වන නිසා ය. මේ ලීය වසර 300ක් පමණ ආරක්ෂා වී තිබෙන නිසා මහන්සියෙන් කරන නිර්මාණය ආරක්ෂා වේ. මේ ලීයේ කැටයම කැපීම ද සිදු වන්නේ එක්තරා ආකාරයකටයි- උදාහරණයක් ලෙස මකර රූපය ගතහොත් එහි ඇතුළත් විය යුතු කරුණු කවියක සඳහන් වෙයි. නාග පෙන හත සහිත නාග ඍජු මුහුණ ආරක්ෂාව සංකේතවත් කිරීමකි. පැරණි රජමාලිගාවල ස්නාන තටාක දොරටුවේ මෙවැනි රූප දැකගත හැකි ය.

සමාජයේ විවිධ චරිත උපහාසයට ලක්කිරීම සඳහා කෙරෙන එක් එක් හැඩතලයෙන් යුත් මුහුණු ශිල්පීන්ගේ නිපුණත්වය ප්‍රකට කරයි.සෙසු මුහුණු කර්මාන්තයේ ප්‍රවීණයා වන අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්වහන්සේට පුතුන් සිව් දෙනකු හා දියණියන් දෙදෙනකු සිටි අතර ඉන් බන්දුපාල හා මහින්ද යන පුතුන් දෙදෙනා පියාගේ වෙස්මුහුණු කෝලම් හා සන්නි නැටුම් කලාව ඉදිරියට ගෙනයෑමට ඇප කැප වූහ. බන්දුපාල ජයසූරිය මහතා කෝලම් හා සන්නි නැටුම් කලාවේ පැරණි ක්‍රම විනාශ නොකොට ආරක්ෂා කර ශාස්ත්‍රීය බව අනාගත පරපුරට ආරක්ෂා කරමින් කලායතනයක් ද ආරම්භ කර ඇත.

පැරණි ශිල්පීය ක්‍රම ආරක්ෂා වන පරිදි වෙස්මුහුණු නිර්මාණකරණයේ යෙදෙන මහින්ද මහතා සිය පියා නිර්මාණය කළ පැරණි කලා නිර්මාණ ද ආරක්ෂාවන පරිදි කෞතුකාගාරයක් ද පවත්වාගෙන යයි. එවැනි කටයුත්තක් කිරීමට තමන්ට සිතුණේ විදේශිකයන්ගේ ඇගයීම හා පැසසීම නිසා බව විජේසූරිය මහතා පැවසීය.

ජර්මනිය, එංගලන්තය, රුසියාව වැනි රටවලින් වෙස් මුහුණු වලට තිබෙන ඉල්ලුම වැඩි ය. වෙස්මුහුණු සඳහා විදේශිකයන්ගෙන් ඇණවුම් ලැබෙන අතර හොඳ මුදලකුත් ලැබේ. මේ කර්මාන්තය වැඩිදියුණු වෙන්නේ මේ හේතුවෙනි. විශේෂයෙන් ආරියපාල ගුරුන්නාන්සේගේ කලාගාරයට ජර්මනිය කැමැත්තක් දැක්වූ බව ප්‍රකට කරුණකි. ඔවුන් වෙස්මුහුණු කර්මාන්තය හා පැරණි නිර්මාණ ආරක්ෂා කිරීමට අදටත් වෙහෙස දරයි.

දේශීය වශයෙන් ද පැරණි කලාකෘති ආරක්ෂා කරන දේශීය සංචාරකයන් ද ආරියපාල කෞතුකාගාරය නැරඹීමට හා නිර්මාණ මිලදී ගැනීමට පුරුදුවී සිටියේ ය. පාසල් දරුවන් විවිධ ආයතන හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන්, නොයෙක් සංවිධාන මේ කලායතනය හා කලාගාරය නරඹා අවබෝධය හා වින්දනය ලබා ගැනීමට පුරුදු වූහ.

වෙස්මුහුණු කලාව හා කර්මාන්තය ආරක්ෂා කිරීමට රජය මේ වනවිටත් කිසිදු අධීක්ෂණයක් ඉදිරිපත් වීමක් සිදුකර නැත. සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් වෙස්මුහුණු කර්මාන්තය ආරක්ෂා කරගනු පිණිස අඩුම තරමේ ඇගයීමට ලක් නොකිරීම කනගාටු දායක කරුණකි.

අප රටට පැමිණි විදේශිය සංචාරකයන් අතර එංගලන්තය, ජර්මනිය, රුසියාව, ස්විට්සර්ලන්තය වැනි ධනවත් රටවල කලා හිතෛශී ධනවත් සංචාරකයෝ සිටියහ. ඔවුන් වෙස්මුහුණු සාධාරණ මිලකට මිලදීගත් අතර අද වන එවැනි සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙයි. අරාබි, චීන, ඉන්දියානු, පාකිස්ථාන් නේපාල් වැනි පිරිස් අදවන විට ලංකාවේ සංචාරකයන් අතර බහුලව දක්නට ලැබෙන නමුත් ඔවුන් වෙස්මුහුණු නිර්මාණ නැරඹීම පමණක් කර මිලට ගැනීම සිදු නොකරයි. ඒ නිසා වෙස් මුහුණු කර්මාන්තය රැකගැනීම අසීරු තත්ත්වයකට පත්ව ඇත.

මහින්ද විජේසූරියගේ තුන්වන පරපුර නියෝජනය කිරිමට ඔහුගේ පුත් නිර්මාල් විජේසූරිය ඉදිරිපත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයෙහි නියැළීමෙන් මෙරට වෙස්මුහුණු කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙසක් දරයි. නවීන තාක්ෂණය ඔස්සේ විදෙස් රටවල් සමඟ සම්බන්ධතා පවත්වාගෙන අප වෙස්මුහුණු කලාව දියුණු කිරීමට ඔහු ගන්නා වෙහෙස අගය කළ යුතුය.

පරම්පරා දෙකක් අතරින් මේ කලාව ඉදිරියට රැගෙන යෑමට ඉතිරිව සිටින ආරියපාල පරම්පරාව තම මුතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුම ආරක්ෂා කර ගැනීම එය අනාගත පරපුරට දායද කිරීම සඳහා වෙනත් රැකියා හා ව්‍යාපාරවලින් ලබන ආදායම යොදවා මේ ඓතිහාසික වෙස්මුහුණු කලාව නඩත්තු කරයි. එසේ නොකොට මෙය ආරක්ෂා කර ගැනීම අපහසු කටයුත්තකි.

මේ පාරම්පරික උරුමය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් ව ඇත්තේ ජර්මානු මහාචාර්යවරු හා සිසුන් පිරිසකි. වසර 200කට වඩා පැරණි වෙස්මුහුණු මතු පරපුරට දැකබලා ගැනීමේ අවස්ථාව සලසවමින් ඔවුහු වසරක් පාසාවිත් අවශ්‍යය බෙහෙත් ගල්වා නියමිත ආලේප තවරා ආරක්ෂා කිරීමට ඉදිරිපත්වී සිටිති. එබැවින් අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට, සංරක්ෂණයට බැඳී සිටින වගකිව යුත්තන් අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව හා කර්මාන්තය ගැන ඇස යොමු කරන්නේ නම් ඉතා අගනේ ය.

අදහස්