සුනාමි අවදානමකට අපි සූදානම්ද? | Page 2 | සිළුමිණ

සුනාමි අවදානමකට අපි සූදානම්ද?

කටින් කට ආ ඉතිහාසය, ලියවෙද්දී අපේ ඉතිහාසයට එකතු වූවකැයි අප සිතා සිටි කැලණිතිස්ස රජ සමයේ වූවා යැයි කී ‘මුහුද ගොඩ ගැලීම‘ තවත් එක් අතිශෝක්තියක්ම නොවේයැයි අපිට පසක් කරන්නට සොබාදහම එඩිතර වූයේ 2004 අවුරුද්ද ගෙවී යන්නට දින පහක් තිබෙද්දීය. ලෝකයාට අමුත්තකු නොවී සිටි ‘සුනාමි‘ අපට ආගන්තුකයකු වී ආවේ එදාය. එතෙක් සුන්දරකම පමණක්ම පෙන්වා තිබූ මහ මුහුද එදා අපේ රටේ යාපනය සිට ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර වෙරළ තීරයන්ට කඩා වැදුණේ රකුසු රූපයෙනි. සියල්ල සැණින් සුනුවිසුනු වී යද්දී ජීවිත කාලයටම අමතක නොවන අමිහිරි මතකවලින් අපේ සිත් පිරී ගියේය. ගෙවුණු සතියේ ඉන්දුනීසියාවට කඩා වැදුණු සුනාමි රළ අපේ මේ වසර 14ක් පැරණි අමිහිරි මතකය, ජීවිත වෙනුවෙන් මහ රළ කද හා පොරඇල්ලූ මිනිස්සු හිස් ලූ ලූ අත දිව ගිය මිනිස්සු අපට අපේ මිනිසුන් මතක් කරමින් මතකය අලු‍ත් කලා නොවේද! සිත් යටින් ‘ලංකාවටත් ආයෙත් සුනාමියක් එයිද දන්නේ නැහැ‘ සිතිවිල්ල මතු කරන්නට තරම් වූ මේ ඉන්දුනීසියාවට ආ සුනාමි රළ සැබෑවටම අපෙන් පැනයක්ද විමසන්නේ ය. ‘‘ආයෙත් මම ආවොත් උඹලා ලෑස්තිද?”‍ අපට පිළිතුරු තිබෙනවාද!

සුනාමි රළක් නවතා වළකාගන්නට බැරිකමින් ජීවිත හා දේපළ හානි වනවා මිස ඉන්දුනීසියාවට සුනාමි නුපුරුදු අත්දැකීමක් නොවේ. ලෝකය නිර්මාණය වී ඇති භූතලයක මායිමේ සේම ගැඹුරු මුහුදේ පිහිටා ඇති ගිනිකඳු වළල්ලක් මත පිහිටා තිබෙන ඉන්දුනීසියාව භූකම්පන සහ සුනාමි අත්දැකීම් නිතර ලබයි. එකම භූ තලයක් ලෙස පෙනුණද එකිනෙකින් වෙන් වී නමුත් එකිනෙක හා යා වී පාවෙන ප්‍රධාන භූතැටි 12කින් පමණ සැදුම් ලත් අපේ ලෝකයේ ඉන්දුනීසියාව පිහිටන්නේ අප සිටිනා ඉන්දු-ඕස්ට්‍රේලියානු භූතල මායිමේය. 2004 අවුරුද්දේ අප වෙත කඩාවැදුණු සුනාමි රළට හේතු වූ රිච්ටර් පරිමාණයේ 9.1ක් සටහන් කළ ලෝකයේ එතෙක් මෙතෙක් සිදුවූ තෙවන ප්‍රබලතම භූමිකම්පාව ඇති වී තිබුණේ ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දිවයිනේ අචේ ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙනි. නිතර සොබාදහමෙන් බැට කන ඉන්දුනීසියාවට ආසන්නයේ පිහිටීමම අපව අනතුරකට ඇද දමා තිබෙදැයි නොසිතෙන්නේද! 2004 වසරේ ඇති වුණු සුනාමිය නැතිනම් බටහිර ලෝකය කියනා ලෙසට ‘ආසියානු සුනාමිය‘ භූ විද්‍යා පර්යේෂකයන්ට කදිම නිමිත්තක් ලබා දුන්නේය. ඒ නිමිත්ත ඔස්සේ පර්යේෂණ කළ පිරිස් අතරේ මහාචාර්ය කෙරී සේ අපූරු කතාවක් කීවේය. ‘‘ඉදිරි දශක කිහිපය ඇතුළත යළිත් ඔය වැනිම ප්‍රබල කම්පනයක සිදු වනවා.”‍ ඔහු කියා තිබුණු ලෙසට එම භූ කම්පන්යේ අගය රිච්ටර් පරිමාණ 8.8ක් හෝ ඊටත් වඩා ප්‍රභල විය හැකිය. එහෙත් ඔහුගේ නිගමනයේ ‘දශක කිහිපය‘ යන්න නිවැරදිව වසර ගණනකින් නොදක්වන්නට මේ පළපුරුදු විද්වතා පරෙස්සම් වී තිබුණේය. එයින් කියැවුණේ කොයිම හෝ මොහොතක ප්‍රබල භූමි කම්පාවක් ඇති විය හැකි බවට අනතුරු අඟවමිනි.

පසුගිය කාලයේ ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ 7.5කි. මහාචාර්ය කෙරී සේ කළ අනතුරු ඇඟවීමේ පටන් ගැන්ම මෙය යැයි කියන්නට හෝ මෙය නොවේයැයි කියන්නට කිසිවකුට නොහැකිය. කෙසේ වෙතත් ලෝකයේ වඩාත් සක්‍රීයම භූතල මායිමේ පිහිටා ඇති ඉන්දුනීසියාවේ ඇති වන භූ කම්පනයන් ගැන තැකීමක් නොකර සිටින්නට අපිට හැකියාවක් නැති බව අපි අත්දැකීමෙන් දනිමු. ඉන්දියන් සාගරය මැද දූපතක්ව සිටිනා අප 2004 අවුරුද්දේ සුනාමිය කඩා වදිනාතුරුම ඉන්දුනීසියාව අවට මුහුදේ භූකම්පන ගැනද එතරම් සිතුවේ නැත. දැන් අපිට ඒ තරම් හෝ දුර නොබලා ළගම බලන්නට සිදුවී ඇත්තේ, ලෝකයේ භූවිද්‍යා අධ්‍යයනයන්ට වඩ වඩාත් අපද පාදක වීමත් සමඟ දැනගන්නට ලැබුණු අරංචියක් නිසාය.

ඒ ලංකාව පිහිටා ඇති විශාල ඉන්දු-ඕස්ට්‍රේලියා භූ තැටිය තුළ ලංකාවේ ගිනිකොනදිගට කිලෝමීටර 500ත් 700ත් අතර දුරකින් එක් මායිමක් ඇතිව නව භූතැටියක් නිර්මාණය වන බට නිශ්චය වීමත් සමගය. ජේම්ස් කොචරන් නම් භූ විද්‍යා ගවේෂකයකුගේ අධ්‍යයනයකින් මේ නව භූ තැටිය නිර්මාණය වීම ගැන තොරතුරු දැන ගන්නට ලැබී තිබිණි. ප්‍රමාණයෙන් විශාල භූ තැටියක් වන ඉන්දු-ඕස්ට්‍රිලියා භූ තැටිය මත ඇති වන අධික පීඩනය එය මෙසේ කොටස්වලට වෙන් වීමට බලපා ඇත. හිමාලය කඳු සහ ටිබෙට් කඳු නිසා ඇති වන පීඩනය එම භූ තැටිය ලංකාවට ගිණිකොන දෙසින් පැල්මක් ඇති කරමින් දෙකඩ වීමට තරම් වී ඇත. අලු‍ත්ම අධ්‍යයනයන්ය අනුව ඉන්දියාවට බටහිර දෙසින් එම භූ තැටියේ තවත් මායිමක් නිර්මාණය වෙමින් ඇත. ලංකාවට ගිනිකොන දෙසින් වන මායිම මීට වසර මිලියන හතහාමාරක පමණ කාලයක සිට නිර්මාණය වන්නක් බව කියැවේ. ඉන්දීය භූ තැටිය ලෙස භූ විද්වතුන් නම් කරන මෙය භූ විද්‍යාවට අනුව නම් තවමත් තිබෙන්නේ ළාබාල වයසේය!

භූතල මායිමකට සමීපවීම භූමිකම්පා ඇති වීමේ අවදානමක් ඇති කරවන්නක් බව අලු‍තෙන් කිව යුත්තක් නොවේ. ලෝකයෙන් ඕනෑතරම් නිදසුන් එයට සොයා ගත හැකිය. මෙතෙක් කී ඉන්දුනීසියාව සේම ජපානයද පිලිපීනයද ඕනෑතරම් අත්දැකීම් ගෙනෙමින් මේ මතය සනාථ කරනු ඇත.මේ නව භූ තැටිය නිර්මාණය වීම ගැන සිදු වන අධ්‍යයනයන්ගෙන් හෙළි වූ තොරතුරුවලින් වඩාත් සැලකිල්ලට ගත යුත්තේ නව භූ තැටි දෙක එකිනෙකින් වෙන්වීමේ කේන්ද්‍රය ශ්‍රී ලංකාවට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබීමයි. එම කේන්ද්‍රය හරහා ඕස්ට්‍රේලියාව අයත් වන ඕස්ට්‍රේලියානු භූ තැටිය වාමාවර්තවත් ඉන්දීය භූතැටිය නැගෙනහිර දෙසටත් ගමන් කරමින් තිබේ. ශක්තිය එක් රැස් වන සහ ශක්තිය පිටතට යැවෙන අභිසාරී සහ අපසාරී කලාප යන දෙකම සාමාන්‍යයෙන් භූතැටියක නොපිහිටන නමුත් අලු‍තින් නිර්මාණය වන භූතලයේ එම කලාප දෙකම තිබීම විශේෂත්වයක් බවයි මේ පිළිබදව අධ්‍යයන කටයුතු සිදුකරන පිරිස් පවසන්නේ. මේ හෙළි කිරීම් සියල්ල අපිට නොකියන කාරණක් තිබේ,

ඒ අපි තව දුරටත් භූතල මායිමකට ඈතින් නොපිහිටන සාගරය මැද ආරක්ෂිත තැනක පිහිටි රටක් නොවන බවයි. එසේම ඉන්දුනීසියානු සීමාවේ සිදු වන භූමි කම්පා දෙස පමණක් බලා පරිස්සම් වීමම තරම් නොවන බවයි. ලෝකයේ ඇතැම් භූවිද්‍යා පර්යේෂකයන් මේ ඉන්දු-ඕස්ට්‍රේලියා භූතලය වෙන්වී යෑම ගැන වන මතය ප්‍රතික්ෂේප කරන්නේ මෙය තවමත් සිදුවී නැතැයි පවසමිනි. එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා පර්යේෂණ ආයතනය මේ බව තහවුරු කරන්නේ ශ්‍රී ලංකාවද රිච්ටර් පරිමාණ 7ක් පමණ වන භූමි කම්පා වල අවදානමට ලක් වී සිටින බවයි.

අපට ඇති අවදානම අමේ අලු‍ත් භූතල මායිම සහ ඉන්දුනීසියාව අවට මුහුදේ සිදු වන භූකම්පනවල බලපෑමට යටත්වීම පමණක්ද! නැත, මේ සියල්ල අපේ ආරක්ෂිත පිහිටීමෙන් අපව ඈතට ගෙනගොස් ඇත්තා විතරය. අපි වැඩිපුරම අවදානමට ලක් වී සිටින්නේ අප විශාල ඉන්දීය ගොඩබිම සමග එකම භූතලයක පිහිටා තිබීමයි. හිමාලය අයත් කලාපයට අයත්ව සිටීමේ අවධානමෙන්ද අපිට බැහැර විය නොහැකිය. ඉන්දු-ඕස්ට්‍රේලියා භූතලය කෙළවර වන්නේ හිමාලයානු කලාපයෙනි. හිමාලය කදු පන්තිය නිසා භූතල මායිමට ඇතිවන පීඩනය නිදහස් වන්නේ ඉන්දියාව සහ ලංකාව හරහාය. ඉන්දියාව අපට වඩා සාපේක්ෂව ඉතා විශාල වන නිසා අපි එම බලපෑමට මෙතෙක් යටත් නොවී සිටියද අප වෙත එල්ල වන අනෙක් සියලු‍ අවදානම් සාධක සැලකූ විට අපි දැන් සිටින්නේ අවදානමක නොවේද!

අලු‍තින් නිර්මාණය වන භූතල මායිම අපව අවදානමට දමන්නේ අපට කිට්ටුවෙන් පමණක්ම පිහිටන නිසා නොවේ. අලු‍ත් භූතලයේ නැගෙනහිර මායිම ඇත්තේ ඉන්දුනීසියාවට සමීපයෙනි. ගිනිකදු වළල්ලක් මත පිහිටි සේම ඉන්දු-ඕස්ට්‍රේලියා භූතල මායිමේ පිහිටි ඉන්දුනීසියාව තවත් භූ තලයකට මායිම් වුවහොත් කුමක් සිදු වේද! ඉන්දුනීසියාව සහ අප අතර ඇති කෙළින් දුර සලකා බැලූ විට ඉන්දුනීසියාවේ භූකම්පන සහ සුනාමි අවදානම වැඩි වීම යනු අපේ අවදානමද වැඩි වීමක්ම වන්නේය. මුහුදේ ඇති වන සෑම භූ කම්පනයකින්ම සුනාමියක් ඇති වන්නේ නැති බවද අපි අප ලද සුනාමි අත්දැකීමේදී ඉගෙන ගතිමු. සුනාමියක් ඇති වන්නේ භූතල දෙකක් එකිනෙක සිරස්ව ගැටීමෙනි. භූ කම්පනයකින් සහ සුනාමියකින් සැම විටම සිදු වන්නේ භූ ගර්භයේ ඇති ශක්තිය නිදහස් වීමය. අපට ඒ ශක්තිය හා ගැටෙන්නට හැකියාවක් නැත්තේ එය අතිවිශාල කිසිවකට සම කළ නොහැකි ශක්තියක් වන නිසාය. මේ ශක්තිය එකවරම විශාල ප්‍රමාණයකින් නිදහස් වන නමුත් භූකම්පනයක් පෙර කම්පන සහ පසු කම්පන රැසකින් සමන්විත භූ කම්පන මාලාවක් ලෙස සිදු වෙයි. මෙයින් එකක් හෝ දෙකක් අතිශය විනාශකාරී විය හැකි අතර ඇතැම් ඒවා නොගිණිය හැකි තරමේය. 2004 අවුරුද්දේ අපට බලපෑ සුනාමියට හේතු වූ සුමාත්‍රාවේ භූ කම්පනය ගැන වුව අපේ රටේ අනාවැකි පළ නොවුණත් ඉන්දුනීසියාවේ සහ ඇමෙරිකාවේ සමහර භූ විද්වතුන් අනාවැකි පළ කර තිබුණේ ඒ වසරේම අප්‍රේල් මාසයේ ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයක් සැලකිල්ලට ගනිමිනි. සුනාමිය ඇවිත් යන තුරුම ආවේ සුනාමියකැයි නොදැනසිටි අපි ලෝකය අප ගැන කතා කරනා සැටි කට බලියාගෙන බලා සිටියෙමු. අවදානමක් ඇතැයි දැන දැනම යළිත් අපි එවැනිම මුග්ධ තත්ත්වයකට පත් විය යුතුද!

2004 සුනාමියෙන් පසුව වෙරළේ සිට මීටර 100ක් ඇතුළත කිසිදු ඉදිකිරීමක සිදු නොකරන ලෙස රජයෙන් නීතියක් පැනවූ අතර ඒ නීතිය වලංගු වූයේ කෙටි කාලයකටය. එදා නිවාස තිබූ තැන්වල අද ඇත්තේ සුපිරි තරු පන්තියේ හෝටල්ය. මීටර් 100 නීතිය වලංගු වූයේ නිවාසවලට පමණක්දැයි අපි නොදනිමු,කෙසේ වුවත් තම සියලු‍ වත්පොහොසත් කම් මුහුදට දියකර යැවූ වෙර කලාපයේ මිනිසුන්ගේ ඉඩම් අද කිසිඩු තැකීමක් නොකර මහා ඉදිකිරීම්වලට අවසර ලබා තිබීම පුදුමසහගතය. සුනාමි අනතුරු ඇඟවීම් පද්ධති වෙනදා නම් මාසයකට වතාවක් හෝ අත්හදාබැලීමකට ලක් කළ පුවත් අසන්නට ලැබේ. මෑතකදී එවැන්නක් ගැනද අසන්නට ලැබුණේ නැත. ඇතැම් විට සැබෑවටම සුනමියකදී ක්‍රියා කරනවාදැයි බලන්නට ඒවා තබා තිබෙනවා විය හැකිය. දිස්ත්‍රික්ක 25කින් 14ක්ම වෙරළබඩ දිස්ත්‍රික්ක ලෙස තිබෙන රටක පෙර සූදානම මෙතරම් කණගාටුදායක වීම ගැන කුමක් කිව යුතුද? අදටත් සුනාමියකට මුහුණ දෙන සැටි ගැන අපිට හරි හැටි පුහුණුවක් නැත. අපේ ගොඩනැගිලි තාක්ෂණය සුනාමියකට ඔරොත්තු දෙන්නට තරම් සවිමත් නැත. ආපදා කළමනාකරණය යනු ආපදාවක් සිදුවූ පසු සහනාධාර සැපයීම නොවේ, ආපදාවක් සිදුවීමට පෙර සූදානම් වීමයි. අපට මේ වෙනුවෙන් ආදර්ශයට ගන්නට ඕනෑ තරම් රටවල් ලෝකයේ තිබේ. නිතර ස්වාභාවික විපත්වලට මුහුණ දෙන නමුත් අවම ජීවිත හානි වාර්තා වන ජපානය ඒ අතරින් හොඳම තැනය. අප තවමත් ප්‍රමාද නැත!

Comments