හිත අපිරිසුදු අය හතර අපායේ ඉපදෙනවා | සිළුමිණ

හිත අපිරිසුදු අය හතර අපායේ ඉපදෙනවා

  • දිඝනිකායේ අට්ට කතාව
  • චිත්තොපක්ලේෂය
  • උපක්ලේෂය

අද අපි සාකච්ජා කරන්නේ මජ්ජිම නිකායේ වත්ථූපම සුත්‍රය පිළිබඳයි. වස්ත්‍රයක් උපමා කොට වදාළ දේශනාව තථාගත බුදුරජාණන්වහන්සේ මේ සුත්‍රයේ දී පැහැදිලි කරලා දෙනවා. ඇඳුමකට ‍සායම් ගල්වන ආකාරය පිළිබඳ අතීතයේ දැන් වගේ යන්ත්‍රානුසාරයෙන් සායම් ගැල්විමක් ‍සිදු වෙලා තිබුණෙ නැහැ. ගස්වල පොතුවලින් හෝ කොළඅරටුමල්වලින් සකස් කරගත්ත වර්ණයක් ඇදුමට ගල්වන්නට යෙදුණා. ඇඳුමට සායම් ගල්වන්නට පෙර ඒ ඇඳුම මනා කොට පිරිසුදු කරගත යුතුයි. කුණුදුවිලි ඉවත් කරමින් කහටපැල්ලම් ඉවත් කරමින් පිරිසුදු කළ යුතුයි. එසේ පිරිසුදු කිරීමකින් තොරව ඇඳුමකට සායම් ගල්වන්ට ගි‍යහොත් ඇඳුම අපිරිසුදු වෙනවා. මනා කොට සායම් ගල්වා ගන්නට බැරිවෙනවා.

අන්න ඒවගේ හිත අපිරිසුදු වුවහොත් දුගතිය කැමතිවිය යුතුය කියලා බුදුන් දේශනා කළා. හිත අපිරිසුදු වීමෙන් නරක ප්‍රේත අසුර කියන හතර අපායේ ඉපදෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා.

හිත අපිරිසුදු වන්නේ කුමකින්ද? හිත අපිරිසුදු වන්නේ ක්ලෙෂයන් නිසා. චිත්තෝපක්ලේෂ කියන්නේ හිතේ තියන කෙලෙස් කියන කාරණාවයි. අපි බලමු මේ ක්ලේෂ මොනවාද කියලා. පළමු වන ‍ක්ලේෂය අවිජ්ජා විෂම ලෝභය. අභිජ්ජා කියන්නේ තමන්සතු වස්තුවට ඇති දැඩි අැල්ම. විෂම ලෝභය කියන්නේ අන්සතු වස්තුවකට ඇති ලෝභය ‍. තමන් සතු වස්තුවට ඇති අැල්මත් අන්සතු වස්තුවට ඇති ඇල්මත් දුගතිය යන්නට‍ හේතු වන ‍ක්ලේෂයක් බව මේ සුත්‍රයේදි වදාළා. ‍

අභිජ්ජා විෂම ලෝභය ඇතුව යම් කෙනෙක් මරණයට පත් වුවහොත් තමන් සතු වස්තුවට ඇල්ම නැති කරගන්නේ නැතුව අන්සතු යානවහාන ඉඩකඩම් ගේදොර වතුපිටි ආදියට ඇති ඇල්ම නැති කරගන්නේ නැතුව මරණයට පත්වුවහොත් ඒ තැනැත්තාගේ පරලෝක ජිවිතේ කෙබඳුද ඒ පිළිබඳ දිඝනිකායේ අට්ට කතාවේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියනවා. තමන් සතු අධික ඇල්ම ඇති අය යක්ෂ ප්‍රේතයෝ බවට පත්වෙනවා. නැති නම් ඒ නිවසේම කුඩා සතුන් වී ඉපදෙනවා. ඒ වගේම සුනඛයෙකු ගවයෙකු බවට පත්වෙලා හො ඇතුන් අස්වයන් බවට පත්වී උපදිනවා. එසේ නැති නම් නිවසේ ජිවත් කුඩා සතුන් වි උපදිනවා. එම නිසා හොඳින් මතක තියාගන්නට ඕනෑ තමන් සතු වස්තුවත් අනුන් සතු වස්තුවටත් ඇල්ම ඇති කරගන්නට හොඳ නැහැ. මේ ආකාරයට ආස කිරීම තිරිසන් අපායට නිරයට ප්‍රේත ලෝකයට යන මාවත අසුර අපායට යන මාවත ලෙස හොදින් අවබෝධ කරගන්නට ඕනෑ.

අනෙත් 'චිත්තොපක්ලේෂය' වන්නේ ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහාට කියන නමක්. තරහක් ඇති වෙන්නේ තමන් අකමැති රූපයක් අකමැති ශබ්ධයක් අකමැති පහසක් අකමැති ස්පර්ෂයක් මෙවැනි කාරණාවලට කියනවා පටිඝනිමිත්ත කියලා. මේ අකමැති අරමුණක් නිසා ඇති වන තරහා ඒමොහතේදිම පාලනය කරන්නට ඕනෑ. යම්කිසි ‍අකමැති දෙයක් දැකලා තරහක් ඇති වෙනවා නම් ඔබ එය ක්ෂණිකව සිතන්න. මේ දකින සියල්ල අනිත්‍ය බව. මේ ආකාරයට ව්‍යාපාද ප්‍රහානය කිරීම පිළිබඳ බහුලව කතා කළ නිසා අපි මෙහිදි ඒ පිළිබඳ වැඩි විස්තර කරන්නේ නැහැ.

ඊළඟ චිත්තෝපක්ලේෂය ක්‍රෝධයයි. තමන්ගේ හිත තුළ ඇතිවන්නාව වූ තරහා ව්‍යාපාදය පාලනය කරගන්නට බැරි වුවහොත් කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙන තරමටම දියුණුවෙනවා. මේ ක්‍රෝධය නිසා මිනිසුන් ගැ‍‍ටුම් අැති කරගන්නවා ගහබැණ ගන්නවා. මේ ක්‍රෝධ අවස්ථාවක් නිරය ගාමි වෙන්න අකුසලකර්මයක්. ඒ නිසා ඔබගේ හිතේ ක්‍රෝධයක් ඇති වුවහොත් එය පාලනය කරගත යුතුයි.

උදාහරණයක් විදිහට අපි හිතමු බනින්න හිතුණොත් එහි අනිත්‍යතාව මෙනෙහි කරන්න. අැතිවෙනවා පවතිනවා නැති වෙනවා කියලා හිතන්න. මේ විදහට ක්‍රෝධය ප්‍රහානය කරගත හැකිය. අනෙක් චිත්තෝපක්ලේෂය උපනාහයයි. උපනාහය කියන්නේ බද්ධ වෛරයටයි. බද්ධ වෛරය කියන්නේ වෛර බැඳ ගැනීමටයි.තරහක් ඇති වු අවස්ථාවේදි එය පාලනය කරගත්තේ නැති නම් එය ක්‍රෝධයක් බවට පරිවර්ථනය වෙනවා. එම ක්‍රෝධ අවස්ථාවේ පාලනය කරගත්තේ නැති නම් එය බද්ධ වෛරයක් බවට පරිවර්ථනය වෙනවා.මේ බද්ධ වෛරයක් ඇති වුවහොත් වරින්වර වෛර බැදගන්න පුළුවන්. ‍එබඳු අදහසක් හි‍තේ ඇති වුණාම කලින් ‍වගේම අනිත්‍ය මෙනෙහි කරන්න.

අනෙක් චිත්තෝපක්ලේෂය වන්නේ මක්ඛෝ යන ක්ලේෂයයි. මක්ඛො කියන්නේ ගුණ මකු බවයි. ගුණමකු බව කියන්නේ තව කෙනෙකුගේ ගුණයක් කතා කිරිමට අකමැතිකමයි. ඒ වගේ අය සම‍ජයේ ජිවත්වෙනවා. තවකෙනෙකුගේ හොඳක් දකින්න කැමැති නැති කතා කරන්න කැමැති නැති අය සම‍ා‍ජයේ කොච්චර ඉන්නවාද එම මානසිකත්වයයි මක්ඛො කියලා කියන්නේ මේ අය තවකෙනෙකුගේ ගුණ වර්ණනා කරන්නෙත් නැහැ. තව කෙනෙකු ගුණයක් වර්ණනා කරන්න ඉස්මතු කරන්න අකමැති මානසිකත්වයට‍යි මේ මක්ඛෝ කියලා කියන්නේ. මේ මානසිකත්වය ගොඩක් අය තුළ තියනවා මේ උපක්ලේෂය තියන අය තමන් අනුන්ගේ ගුණ කියන්නෙත් නැහැ. අනුන්ගේ වර්ණනා කරන්නෙත් නැහැ. ඉස්මතු කරලා දක්වන්නෙත් නැහැ. වෙන කෙනෙකු විසින් තව කෙනෙකු ගේ ගුණ වර්ණනා කරන විට ඉස්මතු කරන විට ඒ වචනත් අමිහිරියි. මේ අවස්ථාව හොඳින් තේරුම් ගන්න. කෙලෙස් නැති කරලා නැති නිසා අපි ඔබ හැම දෙනා තුළම මේ ගුණමකු කම මතුවෙන්න පුළුවන් ගුණමකු කම ව්‍යාපාද සිතුවිල්ලක්. ඇති වීම පැවැතිම නැති වීම නිසා මේ මක්ඛ කියන ක්ලේෂය අනිත්‍යයයි කියලා මෙනෙහි කරමින් මක්ඛ කියන ‍ක්ලේෂය පාලනය කරගත යුතුයි.

ඊළඟ කරුණ වන්නේ පලාසෝ කියලා කියනවා එනම් ගුණවතුන් හා තමා සමාන කොට සැලකිම සමහර කෙනෙක් තමන් ගුණවත් නැතුව සමහර කෙනෙකුට තමා සමාන කොට දක්වනවා. ගුණවතුන් හා තමා සමාන කොට දැක්වීම සිත අපිරිසුදු කරන්නක් . වරද එම දෝසය ඔබේ ජිවිත‍යෙන් ඇති කරගත යුතුයි.

ඊළඟ චිත්තෝපක්ලේෂය, ඉස්සා .එනම් ඉරිසියාවයි. වෙන කෙනකුගේ දියුණුවට ඉරිසියාව ඇත‍ි වෙනවා. මෙය නිරයගාමි අකුසලයක්. නිරයේ බොහෝ කාලයක් දුක්විඳලා ඉන් අනතුරුව උපදින්නෙත් තමන්ට කියලා තමන් කැමැති ලෙස ඇඳුම් පැලඳුම් නැතුව ඒවගේම උපදින ජීවිතවල දි කැමැති සේ ආහාර පාන ලැබෙන්නේ නැහැ. ඉතා දුකසේ ආහාර ලබා ගන්න කෙනෙක් බවට පත්වෙනවා. තමන්ට කියලා ගෙයක් හදා ගන්න අවස්ථාවක් නැහැ. ලෙඩට උපකාර වෙන්න කවුරුත් නැහැ. මෙය ප්‍රහානය කිරීමට නම් මුදිතාව දියුණු කළ යුතුයි. ඔබට ඉරිසියාවක් ඇතිවෙද්දි සිතන්න මොහු කායික සැපතින් නොපිරිහේවා මානසික සැපතින් නොපිරිහේ වා ලෙස මෙනෙහි කළ යුතුයි.

ඊළඟ උපක්ලේෂය වන්නේ මච් ඡරියන් ඒ කියන්නේ මසුරුකමයි තමා සතු වස්තුව වෙන කෙනෙකුට දීමට ඇති අකමැත්තයි. මෙයින් තමයි සත්ත්වයන් දන්දීමෙන් පරිත්‍යාගශිලිබවින් වෙන් වෙලා තියෙන්නේ. මසුරුකම කියන්නේ ඉතාම දරුණු උපක්ලේෂයක් පරිත්‍යග කිරීමට ආසම නැහැ. සමහර වේලාවට මසුරුකම නිසා ස්වල්පයක් දිලා ඉවත් වෙන්න බලනවා‍. ඒ මානසිකත්වය නැති කරගන්නට ඕනෑ. එසේ නැති නම් මරණින් මතු නිරයගාමි වෙනවා. අපාගාමි වන බව හොඳින් මතක තබා ගන්න.

අනෙක් චිත්තොපක්ලේෂය මායා නමින් වෙනවා. එයින් කියන්නේ පව් කම් කොට සැඟවීමයි. පවක් වුණාම තමන්ගේ අතින් පවක් වුණා කියලා කිසිම කෙනෙක්ට කියන්න අවශ්‍ය නැහැ. බොහොම සිලවන්ත ගුණ වන්ත කල්‍යණ මිත්‍රයෙකුට පමණයි කියන්න අවශ්‍ය වන්නේ. අඩු තරමින් වත් පිළිවෙතක යෙදෙන්නට ඕනෑ. වරදක් කරපු කෙනෙක් බෝමළුවක් හොඳින් ඇමදලා බුදුන්වහසේට වැදළා මෙනෙහි කරන්න අවශ්‍යයි සිදුවු වරද ගැන. එසේ මෙනෙහි කරලා අදින් පසුව එවැනි වරදක් කරන්නේ නැ කියලා සිතිය යුතුයි. එය සමාව අයැදිමක් නොවෙයි. සමාව ලබා ගැනිමක් නොවෙයි. ආයති සංවරයට පැමිණිමයි එයින් වෙන්නේ. ආයති සංවරය කියන්නේ තමන් නැවත එම වරද නොකරන්න අධිෂ්ටාන කරගත යුතුයි.

'සාඨෙය්‍යං ' අනෙත් කරුණ එනම් කපටිකම ‍සිල්වත් නැතුව සිල්වත් ‍වගේ පෙන්නවා එහෙම කරලා වැඩ කරගන්නවා. ආදරය නැතුව ආද‍රය පෙන්නවා හිතවත් නැතුව හිතවත් වගේ රඟපාලා තමන්ගේ කරගන්නවා.

එයයි කපටිකම එයත් අපාගාමී වෙන්න හේතුවක් වෙනවා.

ඊළඟ චිත්තෝපක්ලේෂයට කියනවා. 'තම්බෝ' කියලා. තම්බෝ කියලා කියන්නේ තද බව කියන එකයි. ගුණයට දහමට නම්‍ය ශිලිනැතිකමයි.

නමාගැනීමක් නොහැකි කම මේ තද ගතිවලින් යුතු අය බුද්ධ වන්දනාවට බණ ඇසීමට යොමු කරන්න අමාරුයි. ඔබ එය තේරුම් ගන්න. මේ තම්බ කියන චිත්තෝපක්ලේෂය එය ඔබ පිළිගන්න.

සාරම්බෝ කියන්නේ එකට එකක් කිරීම. ගැහුවොත් දෙකක් ගහන්න හිතෙනවා බැන්නොත් ඊට වඩා බනින්න හිතෙනවා. මෙය චිත්තෝපක්ලේෂයක් කියලා බැහැර කළ යුතුයි.

ඊළඟ චිත්තොපක්ලේෂය මානයයි. අනෙක් අයට වඩා උසස් කියලා හිතනවා අනෙක් අයට සමානයි කියලා හිතනවා. එසේ නැති නම් පහත් කියලා හිතනවා. මානය නිසා වඳුරෙක් වෙලා ඉපදෙනවා. අධික මානය තියන අය බල්ලො බවට පත්වෙනවා. මේ චිත්තෝපක්ලේෂ දුරු කරමින් ධර්ම මාර්ගයට යන්න ඔබට අවකාශ ලැබේවා.

 

අදහස්