අපි හැදුවේ‍ රටට ‘ලෑන්ඩ් මාර්ක්’ එකක් | සිළුමිණ

අපි හැදුවේ‍ රටට ‘ලෑන්ඩ් මාර්ක්’ එකක්

වැඩිමනත් මාධ්‍යය හමුවට නොඑන ප්‍රීති සහ නීලමණී, වෙනස් විදියකට සිතන, වෙනස් යුවළකි. අපේ රටේ මැහුම් ශිල්පීන්ගේ මෝස්තර, අපනයන අතිරික්ත සහ ලොව අංක එකේ සන්නාම හරහා ශ්‍රී ලාංකේය ෆැෂන් ලෝකයේ වෙනසක් කළ ඔවුහු, ඒ ගමන අරඹන්නේ රුපියල් 15000 ක පුංචි ප්‍රාග්ධනයකිනි. පිටකොටුවෙන් රෙදි මිලට ගෙන අවශ්‍ය මෝස්තර මස්සවා, ඇඳුම් අලෙවිය ඇරැඹූ දශක දෙකකට වැඩි අතීතය පසුකොට අද, ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ කියැවෙන ‘ලෑන්ඩ් මාර්ක් එකක්’ බවට, සිය ‘හවුස් ඔෆ් ෆැෂන්’ ව්‍යාපාරය පත්කර තිබේ. ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නීලමණී සමඟ, ඔවුන් කියැවීම වටින්නේ එහෙයිනි.

ඉස්සර නම් මේ, තනි පුද්ගලයකුට අයත් විශාලම ප්‍රදර්ශනාගාරය. දැන් ඒ වාර්තාව බිඳිලද...

එදා මෙදා තුර ලංකාවෙ ඕනෑ තරම් ෂොපින් මෝල් බිහිවෙලා ඇති. ඒ බොහොමයක සිද්ධ වෙන්නෙ ලෝකයේ විවිධ සන්නාමවලට ඉඩකඩ කුලියට දීම. ඉන්පස්සෙ ඒ ඉඩ අයිති, ඒ බ්‍රෑන්ඩ් එකට. නමුත් අපේ සංකල්පය වෙනස්. බිල්ඩිම අපේ. ඇඳුම් අසුරන්නෙ ප්‍රදර්ශනය කරන්නෙ අපිට ඕනෑ තැනක. අපිට ඕනෑ විදියට. ඒ කියන්නෙ, මුළු ෂොපින් මෝල් එකම නතු වෙන්නේ අපේ කැමැත්තට. මෙහෙම ෂොපින් මෝල් එකක් තිබෙනවා නම්, තවමත් ඒ අපි පමණයි. ඒ නිසා දකුණු ආසියා‍වටම ඒ වාර්තාව තවමත් අපේ.

ඒත් ඔබත් ලෝකයේ විවිධ සන්නාම විකුණනවනේ...

ඔව්. ලෝකයේ ඕනෑම ඉහළ සන්නාමයක් අපි ළඟ තිබෙනවා. හැබැයි මෙහි එන විදේශිකයන් පවා මවිත වන අඩු මිලකට. අපි ඒ සමාගම්වලින් ඇඳුම් පැලඳුම් මිලට ගන්නෙ ‘ස්පෙෂල් ඩීල්’ එකකට. ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනය කන්ටේනර් 25 – 30 ද අපි මිලට ගත්තෙ‍ ඒ විශේෂිත ගිවිසුමට අනුව. ඉතින් අපිට පුළුවන්, අපිට ඕනෑ මිලකට ඒවා විකුණන්න. අපි ඔවුන්ගේ මිලටම විකුණන්න බැඳී නැහැ. ඔවුන්ට අවශ්‍ය පරිදි ‘ඩිස්ප්ලේ’ කරන්නත් බැඳී නැහැ.

බොරැල්ලට ගියායින් බම්බලපිටියෙ තිබුණට වඩා සේල් එක අඩු වුණා. මිනිස්සු එන එක අඩුවුණා... පසුගිය කාලෙ ඔය වගේ එක එක කතා ඇහුණා...

බම්බලපිටිය කියන්නෙ, පාරිභෝගිකයො දහස් ගාණකට මහගෙදර වගේ හුරු තැනක්. හැමදේම ඔවුන්ට පුරුදු තැන්වලම තිබුණා. වර්ග අඩි 60,000 ක වපසරියක් නිසා, පවුල් පිටින් ආවත් හැමෝම ෂොපින් කළේ කිසි වෙහෙසක් නැතිව. නමුත් බොරැල්ලෙ ෂොපින් මෝල් එක, ඒ වගේ දොළොස් ගුණයක් විශාලයි. ෂොපින් ඒරියා එක විතරක් වර්ග අඩි ලක්ෂ දෙකක්. ඒ විශාලත්වය සහ බිල්ඩිමේ ස්වභාවය නිසා බම්බලපිටියට හුරුව සිටි අයට පොඩි නුහුරු ගතියක් දැනෙන්න ඇති. නමුත් එදාට වඩා විදෙස් සංචාරකයින්, විශේෂයෙන් ඉන්දියානුවන් බස් පිටින් එන තැනක් අද මෙතැන. සීසන් කාලෙට මහ පාරෙත් පෝලිම. සේල් එකේ වැඩිවීම සිදුවී තිබෙන්නේ ගුණාකාරවලින්.

ඉන්දියාව කියන්නෙ, ලංකාවෙ අයත් ඇඳුම් ගන්න යන රටක් නේ...

ඔව්. ඒත් අද වනවිට දිල්ලි, මැඩ්‍රාස්, බොම්බෙ, බැංගලෝර්... මේ හැම පළාතකම හවුස් ඔෆ් ෆැෂන් නම ප්‍රසිද්ධයි. ජනප්‍රියයි. ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙතැන, අනිවාර්යය තැනක්. සාරි ගේන්න අපේ අය ඉන්දියාවෙ ගියාට, සංචාරක ඉන්දියානුවො දැන් ඇඳුම් පැලඳුම් ගන්න එන්නෙ මෙහාට. එහෙ ෂොපින් මෝල් නැතුවා නෙවෙයි, හේතුව ලොව ඉහළම සන්නාම, අපේ රටේ මැහුම් ශිල්පීන්ගේ ඉහළම කොලිටිය සහ අඩුම මිල. ලංකාවට එන බොහෝ සංචාරකයන්, දැන් හවුස් ඔෆ් ෆැෂන් ‘ලෑන්ඩ් මාර්ක්’ එකක් බවට පත් කරගෙන. ශ්‍රී ලාංකික ආයතනයක් විදියට, එය අපිට විශාල ගෞරවයක්.

ඒ ඉල්ලුම නිසා ද බම්බලපිටිය සාප්පුව නැවත විවෘත කළේ...

ඔව් විශේෂයෙන් කළුතරින් පටන්ගෙන, ගාලු පාරෙ හැම ගමක - නගරයකම විහිදී හුන් අපේ පාරිභෝගික ජනතාව නිසා අලුත් පාරිභෝගික ජාලයක් අපිට බොරැල්ලෙන් හැදුණා තමයි. ඒත් අපි එක්ක මුල ඉඳන්ම හිටියෙ මේ ගාලු පාරෙ ජනතාව. අවුරුදු හතරක් අපි මේ ප්‍රදර්ශනාගාරය වහලා තිබුණෙ ආයෙ අරින්නෙ නැහැ කියලා හිතාගෙන. නමුත් අපිට ඒ සිතිවිල්ල වෙනස් කරගන්න වුණේ ඒ පැරැණි පාරිභෝගික ජනතාව නිසා.

ව්‍යාපාරවලින් තොර ජීවිතයක් නැති හැඩයි...

ඔව්. අපි ව්‍යාපාරය අපේ ජීවිතය කරගෙන. ඒ හින්දම ඒක හොඳ හැටි විඳිනවා. ලස්සන ඇඳුම් ආයිත්තම්වලින් මේ මෝල් එක පුරවන්න හැමදේම මිලට ගන්නෙ අපි දෙන්නමයි. ‍පිටරට ලස්සන සාප්පුවල වරු ගණන් ගත කරන්න අපි දෙන්නටම පුළුවන්. ෆැෂන්වලට අපි දෙන්නම ආසයි. විඳින දෙයම, තමන්ගේ ව්‍යාපාරය වුණාම, ඒ වෙනුවෙන් ඕනෑ තරම් වැඩ කරන්න පුළුවන්.

මහන්සි නැද්ද මේ ජීවිතේ...

ඒ කාලෙ වැල්ලවත්ත පොඩි සාප්පුවෙ බිල් ගෙවන්න සෙනඟ පෝලිම් ගැහිලා ඉන්නකොට මම තමයි, කැෂියර්. කෑෂ් මැෂින් එකේ බිල් ගහන්න මගේ ඇඟිලි වැඩ කරන්නේ පුදුම වේගයකින්. අවුරුදු විස්සකට පස්සෙත් මගේ ඒ වැඩ කරන වේගය එලෙසමයි. මං වගේම ප්‍රීතිත් වැඩ කිරීම සතුටක් කරගත් කෙනෙක්.

විශ්වාසය සහ ආත්ම ශක්තිය හිතට ගෙනෙන ප්‍රබෝධය දැනිල තිබෙනවද...

අනේක වාරයක්. අපි දෙන්නා යමක් හිතුවොත් ඒක කරලමයි නැවතුණේ. යම් ඉලක්කයකට යනවා කියල හිතුවොත් ගිහිල්ලමයි නැවතුණේ. වැදගත්ම දේ, අපි ඒ හැමදේම කළේ සැමියා සහ බිරිය කියන බැඳීමේ ඉඳගෙන. තනි තනිව යන අරමුණු අපේ ජීවිතවල නැහැ. දෙන්නෙක්. නමුත් එකම අරමුණක්.

ඔය අරමුණ තුළ පාරිභෝගිකයා ඉන්නෙ කොතැනද...

අංක එකේ. අපිට ලෝකෙ කොහෙන් හෝ හොඳ දෙයක් අඩුවට ගන්න පුළුවන් වුණා ද, ඒ දේ අඩුම සහ සාධාරණ මිලට අපි අපේ පාරිභෝගිකයන්ට දුන්නා. කවදාවත් පාරිභෝගිකයා රැවටුවෙ නැහැ. ලෝකෙ ලස්සන අලුත් ඇඳුම් දකිද්දී අපි ඒවා ‍අපේ රටට අරන් ආවේ හරියට අපිම අඳිනවා වගේ ආසාවකින්. ඒ නිසා කවදාවත් බාල දෙයක් රටට ගෙනාවේ නැහැ.

ලෝකයේ ඔබ දැකපු ලස්සනම ‘ෂොපින් මෝල්’ තිබුණෙ කොහේද...

වොෂින්ටන් සහ නිව්යෝර්ක්වල. සිංගප්පූරුවේ දැකපු මෝල්වලටත් අපි දෙන්නම ආසා කළා. ලන්ඩන්වල ‘හැරඩ්ස්’ ගොඩනැගිල්ලත් අපේ සිහිනයක් වුණා. අන්තිමේ බම්බලපිටියේ අපේ මෝල් එක හැදූ සිංගප්පූරු කොම්පැනියටම බො‍රැල්ලේ මෝල් එකත් අපි බාරදුන්නා.

බොරැල්ලෙ කනත්ත... අවමංගල අධ්‍යක්ෂවරු... මල් ශාලා... මෙහෙම පරිසරයක් කොහොමද ෂොපින් මෝල් එකකට හොඳයි කියලා හිතුණේ...

වැල්ලවත්තේ ගාලු පාරේ, පුංචි වුණත් හොඳටම බිස්නස් තිබුණු තැන අතහැරලා අපි ඩුප්ලිකේෂන් පාරේ දැවැන්ත ෂොපින් මෝල් එකක් හදනකොට ඒ පැත්ත බොහොම පාළු හරියක්. හුඟක් අය කිව්වේ, ‘ඔයගොල්ලෝ ලොකු මෝඩකමක් කරගත්තේ මේ වගේ තැනකට ඇවිත්....’ කියලා. ඒත් පළමු දවසෙ ඉඳලම සෙනඟ. අන්තිමේ අපේ මෝල් එක නිසා එතැන, නිතර ජන ගඟක් ගලන තැනක් බවට පත් වුණා. ඒ නිසා බොරැල්ලෙ ඉඩම ගනිද්දිත් ඔය කියන කනත්ත හෝ මල් ශාලා අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැම දේම තියෙන්නෙ හිතේ. මනසේ.

ඒ කියන්නේ, හැම දේම සුබවාදීව දකින යුවළක්...

ඔව්. අපිට පුළුවන් ඕනෑම නරකක් හොඳකට හරවා ගන්න. මුල් කාලයේ සාප්පුවලට ඇඳුම් දාලා සල්ලි එනකල් බලා ඉන්න වුණා. ඉතින්, ආයෙ රෙදි අරන් ස්ටොක් එකක් හදාගන්න අතේ මුදල් මදි. අපි කළේ මුදල් ඍජුව අතට එන විදියක් කල්පනා කළ එක‍. ඒ දවස්වල ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ‘ගම් උදාව’ බොහොම ජයයි. අපිත් පල්ලෙකැලේ ගම් උදාවෙ පොඩි ස්ටෝල් එකක් ගත්තා. ඉන්පස්සෙ හැම ගම් උදාවකටමත් ගියා. වැල්ලවත්තෙ ප්ලාසා එකේ පොඩි සාප්පුවක් කුලියට ගත්තේ, එතැනින් අපේ ම තැනකට ගියේ, ආපු හැම බාධකයකටම සුබවාදීව මුහුණ දුන් නිසා. මොන ප්‍රශ්නය ආවත් අපි හිටියෙ එකට. මුහුණදුන්නෙ එකට. ඒ නිසා, අපි දෙන්නගෙන් කවුරුවත් කොතැනකවත් තනි වුණේ නැහැ.

සාධාරණයෙන් බිස්නස් කරලා ඔය තරම් දියුණු වෙන්න පුළුවන්ද...

මොකද බැරි. අඩු ලාභය, වැඩි වෙළෙඳාම. හොඳ දෙයක් අඩුවට දෙනකොට කවුද නොගන්නෙ. හරියට බිස්නස් කරන්න බැරි අය ඉස්සරහට දාගන්න වාක්‍යයක් තමයි ඔය. ඔහොම කියන ‍හුඟ දෙනෙක් ලැබෙන දේට වඩා හතර පස් ගුණයක් වියදම් කරලා කාලා බීලා විනෝද වෙනවා. තමන්ට නොගැළපෙන වාහන - ගෙවල් දොරවල් මිලට ගන්නවා. ඉතින් ගත්තු ණය ගෙවාගන්න බැහැ. ව්‍යාපාරයට මුල් තැන දෙනවා වෙනුවට මේ දේවල් කරලා බංකොළොත් වෙනකොට කියනවා, ‘සාධාරණව බිස්නස් කරලා හරියන රටක් නෙවෙයි මේක...’ කියලා. අද වෙනකල් අපි, ගත්තු ණයක් පැහැර හැරලා නැහැ. අඩුම තරමේ සැපයුම්කරුවන්ගේ ගෙවීමක්වත් පරක්කු කර නැහැ. කාටහරි දෙන්න යමක් තිබුණා නම් ඒ දේ වෙලාවට දුන්නා.

ඒ වුණාට, කප්පම් සහ දේශපාලන ඇඟිලි ගැසීම් නිසාත් බොහෝ ව්‍යාපාර ඇද වැටෙනවා..

අවුරුදු විසි ගණනක් අපිත් මේ රටේ ව්‍යාපාර කරනවා. ව්‍යාපාර ලෝකයේ ගැටලු හැර අපිට නම් අද වෙනකල් ඔය ප්‍රශ්න දෙකෙන් එ‍කක්වත් ඇවිත් නැහැ. අපි ව්‍යාපාර කරන්නේ සාධාරණව නම් කාටවත් බය වෙන්න අවශ්‍යත් නැහැ. අපේ ප‍ූර්ණ අවධානය තිබුණේ ව්‍යාපාරයට පමණයි‍. ලැබෙන ලාභය හැම වෙලාවෙම යෙදෙව්වෙත් ව්‍යාපාරයටමයි. වියදම් කරන්න පුළුවන්කම තිබුණත් අපි ලස්සන ගෙයක් හැදුවේ බම්බලපිටිය මෝල් එක හදලත් අවුරුදු ගාණක් ගියාට පස්සෙයි. එතකල් අපි ජීවත් වුණේ බොහොම සාමාන්‍ය ගෙදරක. ලැබෙන දේට වඩා වැඩියෙන් ජීවත් වෙන්න පුරුදු වුණොත් පරිහානිය එතැනයි. ඉන්පස්සෙ කාටවත් දොස් කියලා වැඩක් නැහැ.

ජීවිතේ හැම දේම සැලසුම් කළෙත් දෙන්නමද...

අපි ළඟ රහස් නැහැ. යමක් කළා නම් කළේ දෙන්නගෙම තීන්දුවක් හැටියට. ප්‍රශ්නය ව්‍යාපාරික වුණත්, පවුලේ දෙයක් වුණත් අපි කතාබහ කළා. නොගැළපෙන තැන් එකඟ වෙන්න බැරිතැන් නොතිබුණා නෙවෙයි. නමුත් එක්කෙනෙකුට හොරෙන් අනෙක් කෙනා වැඩ කළේ නැහැ. හැම වෙලාවෙම අපි හිතුවේ අවුරුදු පහක දුරක් ගැන. ඊළඟ අවුරුදු කිහිපයේදී අපි සිටිය යුතු තැන ගැන. අපි ජීවිතේ සැලසුම් කළේත් ඉලක්ක ජය ගත්තෙත් එහෙමයි.

ව්‍යාපාරික මිත්‍රයෝ... ව්‍යාපාරික සාද... මේ දේවල් ඔබේ ජීවිතයේ ඇත්තෙම නැද්ද...

මගේ හොඳම යාළුවා ප්‍රීති. ප්‍රීතිගෙ හොඳම යාළුවා මං. දුකේදී අපිට ඉන්නෙ අපිමයි. එහෙනම් සතුට සමරන්න වෙන අය මොකටද... සමහරුන්ට නම් දුකේදී විතරයි තමන්ගෙ අය මතක් වෙන්නේ. සැපේදී පිටස්තරයෝ. ඒ අතින් අපි වෙනස්. සිකුරාදා වෙනකොට ගෙදර බාබක්‍යු දාලා, පාටි දාලා කාල බීලා සතුටු වෙන සංස්කෘතිය අපේ පවුලේ නැහැ. අපට තිබෙන්නේ පවුලක් හැටියට සතුටු වෙන දේ පමණයි. එවැනි මුදල් අපි වෙන් කරන්නේ නැති බැරි රෝගීන් වෙනුවෙන්. ඒක මේ ර‍ෙට් ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්.

ඒ කියන්නෙ ඔබ දෙදෙනාටම යාළු මිත්‍රයො නැද්ද...

ඉන්නවා. හැබැයි ඒ අය අපේ ජීවිතයේ පැතිකඩක් කරගෙන නැහැ‍. ඒ මිත්‍රකම් හිතවත්කම් සියල්ල සීමාවක තිබෙනවා. ඒ සීමාව නොදැන ඇසුරට ගිය අය තමයි, ‘යාළුවො නිසා තමයි අපිට මෙහෙම වුණේ...’ කියන තැනට වැටෙන්නේ. අපිට ඒ ප්‍රශ්න නැහැ. හැම කෙනා එක්කම හොඳ හිත තියාගන්න පුළුවන් සීමාවෙ හිටියම.

‘හවුස් ඔෆ් ෆැෂන්’ කියන්නෙ නායකයන් දෙන්නෙක් ඉන්න තැනක්. ගැටුම් නැද්ද...

අපි දෙන්නා ඉන්නේ කොටු ගහලා වෙන් කරපු හෝ දොරවල් දෙකකින් ඇතුළුවන කියුබිකල් දෙකක නෙවෙයි. එක දොරයි. එක ශාලාවයි. මේස දෙකත් එක ළඟ. මං කතා කරන දේ ප්‍රීතිට ඇහෙනවා. එයා කතා කරන දේත් මට ඇහෙනවා‍. අපිව මුණ ගැහෙන්න දවසකට කී දෙනෙක් මෙතැනට එනවද... ඒ හැම දේම අපි දෙන්නටම විවෘත සංවාද. කාටහරි වැරදුණත් වැරදි යමක් කියැවුණත් නිවැරැදි කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන්. අපි වැඩ බෙදාගෙන කරන නිසා තමන්ට බාර අංශවලදී ඍජු නායකත්වය අවශ්‍යයි.

සේවකයන් හා තිබෙන්නේ කොහොම ගනුදෙනුවක්ද...

ඇත්තට බැඳීමක්. මෙතැන වැඩ කරන සියයට අනූ පහක්, ඈත ගම්වලින් ආ තරුණ ළමයි. ඒ බහුතරයකගේ පළමු රස්සාව මේ. ආකල්ප වර්ධනයේ ඉඳලා ඔවුන් නඟා සිටුවන්න අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ කස්ටමර්ට හිනා වෙලා කතා කරන සේවක පිරිසක්. දුර බැහැර අයට නවාතැන් දී තිබෙන්නෙත් අපිමයි. ආයතනික නීති රීති අනුව, රෑ පානේ අවේලාවේ අනවශ්‍ය ගමන් බිමන් ඔවුන්ට තහනම්. වැඩ කරන්න අරන් අවුරුදු 3 කට වැඩි නම් ඒ හැම කෙනෙක් ම තමන්ගෙ ගේදොර පිළිවෙළක් කරගෙන. රන් බඩු ටික හදාගෙන. ‍ඔවුන් තමයි පවුලේ හයිය. කොළඹට ආවා කියලා, මේ ආයතනයේ කිසිම තරුණ ළමයෙක් නාස්ති වෙලා නැහැ. අපි ළඟ ඉන්නකල් එහෙම වෙන්න දෙන්නෙත් නැහැ.

මොන තරම් පිරිසකට රැකියා හදා තිබෙනවාද...

ඍජු සේවක සංඛ්‍යාව 300 ක්. වක්‍රව වැඩ කරන සහ යැපෙන පිරිස දහස් ගණනක්. පුංචියට පටන් ගත් ඒ හුඟ දෙනෙක් හවුස් ඔෆ් ෆැෂන් එකටම ඇඳුම් මහලා අද දැවැන්ත ව්‍යාපාර වෙලා. අපිට සතුටුයි. ඒ වගේම අපේ ආයතනයේ කවදාවත් කිසිම ‍සේවකයෙක් හොරකමක් කරලා නැහැ. අපි දෙන්නම පිටරට ගියාම, මේ හැම දෙයක්ම බලාගන්නේ අපේ සේවකයො. සල්ලි, ඇඳුම්, වටිනා දේ.... මොනවද නැත්තේ. ඒත් කවදාවත් එක රුපියලක්වත් එකම සේවකයෙක්වත් වංචා කර නැහැ.

හුඟක් තැන්වල අහන්න නොලැබෙන කතාවක් ඔය...

බොහොම ම‍ෑත යුගයේ පරම්පරාව ගැන නම් අපිටත් නොසතුටක් නැතුවා නෙවෙයි. සියයක් ගත්තොත් දෙතුන් දෙනයි, හොඳ ආකල්ප උකහා ගන්නේ. බොහෝ දෙනෙක් එන්නෙ අමුතු මානසිකත්වයක් හදාගෙන. එහෙම අය වෙනස් කරන එක අපිටත් හරි වෙහෙසකරයි. ආයතනයට දෙන දේට වඩා ආයතනයෙන් ගන්න පුළුවන් අය ගැනම හිතුවොත් එහෙම අයට කොතැනකවත් පැවැත්මක් නැහැ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම ගාල්ලේ සංඝමිත්තාවෙ. ඊළඟට මාතර සුජාතාවෙ. උසස් පෙළ කළේ කොළඹ ස්ටැෆර්ඩ් බාලිකාවේ. මාත් මල්ලිලා හතර දෙනාත් වැඩි කාලයක් ගත කළේ හොස්ටල්වල. අපි පස් දෙනාම එකට මුණ ගැහුණෙ නිවාඩු කාලෙදි. ගෙදර එකම ගාලගෝට්ටියක්. මගේ තමයි වැඩිම කටසද්දෙ. ඒ වුණත් අපි හරිම ආදරෙන් හිටි පවුලක්. ප්‍රීතිගෙ පවුලත් ඒ වගේ. එයා ඉගෙන ගත්තෙ මාතර රාහුලයේ. ඉගෙන ගෙන එයා නැවකට ගියා. මං ස්ටැෆර්ඩ් එකේම ජීව විද්‍යා ගුරුවරිය වුණා. අපි දෙන්නම කරපු රස්සා අතහැරලා, විවාහ වුණාට පස්සෙ තමයි, ව්‍යාපාරයක් ගැන හිතුවෙ.

දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද...

මමත් ප්‍රීතිත් දෙන්නම මාතර තිහගොඩ. අද කොළඹ ජීවත්වුණාට අපේ අක් මුල් තිබෙන්නේ ඒ සුන්දර ගමේ. මගේ තාත්තා බොහොම ඍජුව වැඩ කළ කෙනෙක්. අම්මා ජීවි‍තයේ මුල් තැන දුන්නේ තාත්තට සහ තාත්තගෙ පවුලේ අයට. ඒ ආදර්ශය මාත් ගත්තා. මගේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නේ මගේ සැමියා ප්‍රීති වෙනුවෙන්. හැබැයි මං දන්නවා එයාට තියෙන්නෙත් ඒ ප්‍රතිපත්තියමයි. එයාගෙ ජීවිතයේ පළමු තැන ඉන්නේ මමයි දූයි.

මේ කාර්ය බහුල ජීවිතයේ දරුවන්ට සමීප වන්න වෙලාවක් තියෙනවද...

මොන වැඩ තිබුණත් දරුවගෙ දේ අපිට ප්‍රධානයි. ව්‍යාපාරය මොනතරම් වැදගත් වුණත් ව්‍යාපාර නිසා දූගෙ වැඩනම් අතපහු කරන්නෙ නැහැ. කොටින්ම එයාව ඉස්කෝලෙ ඇරලවන්නෙත් ගේන්නෙත් අපි දෙන්නමයි. හැම පෝයකටම අපි තුන්දෙනාම පවුලක් හැටියට සිල් සමාදන් වෙනවා. බණ භාවනාව දූටත් පුරුදු කරලා තියෙන්නෙ. ඇත්තටම එයා මේ මහ පොළොවෙ පය ගහලා ඉන්න දන්න දරුවෙක්.

ඒ කියන්නේ අම්මෙක් හැටියට සියලු යුතුකම් ඉටු කරනවා...

සියයට දාහක්. මං නැගිටින්නෙ පාන්දර හතරට. එතැන් පටන් මං දහසක් වැඩවල. කෑම හදලා දරුවා ඉස්කෝලෙට දාලා, එයාගෙ සියලු අධ්‍යාපන කටයුතු හොයා බලලා, පන්තිවලට අරන් යන්න, ගේන්න මේ හැමදේකම මං ඉන්නවා. ඇත්තටම. ආරම්භයේ බිස්නස් එක ගොඩනඟන්න මහන්සි වුණේ වැඩ කළේ යම් සේද, තවමත් ඒ ජවයෙන් වැඩකරන්න දෙවියො මට ශක්තිය දීලා තිබෙනවා. මං මීටින් එකක හිටියත් එතැනත් වැඩ දෙක තුනක් කරමින් තමයි මීටිම ගෙනියන්නෙත්.

හවුස් ඔෆ් ෆැෂන් අනාගතය බාර දෙන්න දූව දැන්ම සූදානම් කරනවද...

කිසිසේත් නැහැ. අපේ දූ තවම පුංචි දරුවෙක්. එයත් මගේ මුල්ම රස්සාව වගේ ගුරු වෘත්තියට ආසයි. හවුස් ඔෆ් ෆැෂන් කියන ලස්සන දැවැන්ත සුවිසල් මන්දිර දෙකක් පිටට පෙනුණට, මාත් ප්‍රීතිත් මේ ඇදගෙන යන්නේ මහා බර කන්දක්. රටට රැකියා බිහි කරලා, කර්මාන්තයකට පණ දීලා ගාම්භීර ගොඩනැගිලි දෙ‍කකින් ෆැෂන් ලෝකයේ අපි විප්ලවයක් කළා තමයි. හැබැයි ඒ වෙනුවෙන් වෙච්චි මහන්සිය තවත් ඉවර නැහැ. ඒ නිසා මේ බර කන්ද නම් අපේ දරුවට දෙන්නෙ නැහැ.

‍එතකොට ඔබත් සැමියාත් ගොඩනැඟූ මේ ලස්සන මන්දිර දෙක... හවුස් ඔෆ් ෆැෂන් නම...

අපිට පුළුවන් තාක් කල් උපරිමයෙන් කරගෙන යනවා. දවසක අපි වගේ ම හිතන, ඒ ගැන ‘පැෂන්’ එකක් තියෙන කෙනෙකුගේ අතට ගියොත්, තව පරම්පරා කිහිපයක් ඉදිරියට යාවි. ඒ ගැන අපි තවම හිතලා නැහැ.

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න තිබෙන හොඳම ආදර්ශය කුමක්ද...

තරුණ කාලේ බරක් පතළක් නැති ‍බොළඳ පෙම්වතුන් විදියටම කාලය ගත නොකර, ඵලක් ඇති වැඩකට අතගහන්න. එය, තනි ගමනක් කර නොගෙන, දෙදෙනාම එක්ව එක අරමුණකට යන ගමනක් කරගන්න. තමන් ගොඩනැඟූ දෙය තුළ, සියයට සියයක් ප්‍රායෝගිකව සිටින්න. අදටත් අපි, තමන්ගෙ දේ අනුන්ට පවරා බලා සිටින ක්‍රමයේ නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ අපේ ඇස් මායිමේ, අපි දැනුවත්ව. අපෙත් සහභාගිත්වයෙන්. රටට අභිමා‍නයක්ව විදේශිකයන් පවා කතා කරන ‘හවුස් ඔෆ් ෆැෂන්’ අපි ගොඩනැගුවේත් මේ තැනට ගෙනාවේත් ආදරය සහ එකමුතුකමින්. ඇත්තටම අපි, ආදරය තුළ තිබෙන ඒ මහා බලය, ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත් යුවළක්.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

අදහස්