කැම්සෝ ලෝඩ්ස්ටාර් ජනාධිපති හරිත සම්මාන පහකින් පිදුම් ලබයි | සිළුමිණ

කැම්සෝ ලෝඩ්ස්ටාර් ජනාධිපති හරිත සම්මාන පහකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙසින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලත් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය ජනාධිපති හරිත සම්මාන උළෙලේ දී සම්මාන පහක් හිමිකර ගැනුමට සමත්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගි දා මෙම සම්මාන උළෙල පැවැත්විණි. එහිදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන තුනක් දිනා ගැනුමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ අතර ලෝකඩ සම්මාන දෙකක් ද එම සමාගමට හිමිවිය. කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කොටුගොඩ ටයර් අංගණය, කොටුගොඩ මිශ්‍රණ අංගණය, මිදිගම ටයර් අංගණය, ඒකල ප්‍රතිචක්‍රීකරණ අංගණය, ඒකල ටයර් අංගණය මෙම සම්මාන දිනාගැනුමට සමත්විය.

පරිසරය සුරැකීම සුවිශේෂී වගකීමක් ලෙස සලකන කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කැපකිරීම් අගයමින් ලැබුණු මෙම සම්මානය සිය ඉදිරි ගමනට මනා රුකුලක් බව කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපය පුරා මෙවැනි සම්මානවලින් පිදුම් ලැබීමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ බව පැවසූ ප්‍රින්ජස් මහතා පරිසරය සුරැකීම සහ කර්මාන්තශාලා අවට ජනතාවගේ සුරක්ෂිත බව සිය ආයතනයේ සුවිශේෂී සැලකිල්ලට නිරන්තරයෙන් භාජනය වන බවත් පැවසීය.

පරිසරය සුරැකීම වෙනුවෙන් ලැබුණු මෙම ජනාධිපති සම්මාන ආයතනයේ සියලු නිලධාරීන්ගේ ඉමහත් සතුටට හේතුවක් බව කී හෙතෙම සිය ආයතනයේ නිලධාරීන් එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරමින් මෙම ජයග්‍රහණය දිනාගැනුමට සමත් වූ බවත් කීවේය.

අදහස්