කොළඹ කොටස් වෙළෙඳපොළ සතිය ආරම්භයේ සිට ශීඝ්‍ර වර්ධනයක | Page 2 | සිළුමිණ

කොළඹ කොටස් වෙළෙඳපොළ සතිය ආරම්භයේ සිට ශීඝ්‍ර වර්ධනයක

වසර 5කට ආසන්න කාලයක් මන්දගාමී ගමනක යෙදුණු කොළඹ කොටස් වෙළෙඳපොළ මේ සතිය ආරම්භයේදී ශීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කෙළේය.

පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා වී තිබේ.

පසුගිය 29 වැනිදා දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි.

එය පෙර සතියේ (26) අවසාන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා දිනයට වඩා 1.92% ක ඉහළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය එම දිනය තුළ දී ඒකක 61.26 ක වර්ධනයක් වාර්තා කළ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.04% ක වැඩිවීමක් පෙන්නුම් කෙළේය. සඳුදා ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,058.59 ක් ලෙසින් වාර්තා විය.

එදන දක්නට ලැබුණු තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ රුපියල් බිලියන 4 ක් ඉක්මවූ දෛනික ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.

2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 768 ක්වූ අතර සඳුදා දින එම පිරිවැටුම වාර්තා වූයේ රුපියල් බිලියන 4.16 ක් ලෙසිනි.

මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 19.63 ක් රු. 141.00 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 2.76 ක පිරිවැටුමක් එමඟින් වාර්තා විය.

මීට අමතරව රුපියල් මිලියන 208 ක පිරිවැටුමක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් වාර්තා විය.

එමෙන්ම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 15 ක් රුපියල් 20.20 බැගින් හා හැටන් නැෂනල් බැංකු සමාගමේ කොටස් මිලියනයක් රු. 205.00 බැගින් අලෙවි විය.

මෙම ගනුදෙනු හරහා පිළිවෙළින් රු. මිලියන 303.00 ක හා රු. මිලියන 205.00 ක අතිවිශාල පිරිවැටුම් වාර්තා වී තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙසින් ඩිස්ටිලරීස්, කොමර්ෂල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩයලොග් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වාර්තා වේ.

එදින පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වන අතර රුපියල් බිලියන 3.68 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ. එමෙන්ම සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම 2013 සැප්තැම්බර් මාසයෙන් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ප්‍රතිශතය ලෙස වාර්තා වේ.

පසුදින එනම් 30 වැනිදා මේ වැඩිවීම තවත් අතිවිශාල වැඩිවීමක් වාර්තා කෙළේය. ඒ පෙර දින 5944.18 ක් වූ සියලු කොටස් වල දර්ශකය ඒකක 5964.32ක් ලෙස ඉහළ යමිනි. S&P SL20 දර්ශකය එම දිනය තුළ දී ඒකක 3083.20ක් දක්වා වර්ධනය විය. මෙදින වඩාත් කැපී පෙනෙන වර්ධනය මෙන්ම සාධකය ලෙස සැලකිය හැක්කේ පෙර දින බිලියන 4.1ක් පමණ වූ දෛනික ගනුදෙනු පිරිවැටුම 30 වැනිදා රුපියල් බිලියන 9.8ක් ලෙස දෙගුණයකට අධික ප්‍රමාණයකින් වැඩිවීමයි. එයින් දේශීය ගනුදෙනුකරුවන් විසින් රුපියල් බිලියන 6කට අධික ගනුදෙනු වාර්තා වූ අතර දේශීය ගනුදෙනුකරුවන් 7344ක් අතර ගනුදෙනු හුවමාරු වූයේ විදේශීය ගනුදෙනුකරුවන් 385ක්ද ඊට එක් කරමිනි.

පෙර දිනට සාපේක්ෂව දේශීය ගනුදෙනුකරුවන්ගේ යම් අඩු වීමක් පෙන්නුම් කළද විදේශීය ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 198 සිට 385ක් දක්වා දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබුණි. එසේම 30 වැනිදා ටෝකියෝ සිමෙන්ට් ආයතනයේ කොටස් 6579064ක් අලෙවි වීම කැපී පෙනුණි. එසේම ප්‍රධාන පුවරුවේ ඇක්සස් ඉංජිනියරින්, එක්ස්පෝ ලංකා, ‍ජේ.කේ.එච්, ලංකෙම්, නේෂන් ලංකා, සමාගම්හි කොටස් මිලියනය ඉක්මවා අලෙවි විය.

31 වැනිදා සමස්ත පිරිවැටුම වාර්තා වූයේ රුපියල් බිලියන 13.5ක් ලෙසිනි. එදින සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5953.47ක් ලෙසද S&P SL20 දර්ශකය ඒකක 3084.08ක් ලෙසද දැක්වුණු අතර සමාගම් 6ක කොටස් මිලියනය ඉක්මවා කොටස් අලෙවි වී තිබුණි.

කොටස් වෙළෙඳපොළ සම්බන්ධව අදහස් දක්වන ආර්ථික විචාරකයන් පෙන්වා දෙන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ 23% ක පමණ ප්‍රතිශතයක් පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා දායකත්වය ලැබී ඇති බවත් එම ප්‍රතිශතය මැලේසියාවේ 100%කටත් වැඩි බවත් තායිලන්තයේත් එවන් තත්ත්වයක් දක්නට තිබෙන්නේ. අති විශාල ජනගහනයක් සිටින ඉන්දියාවේ 74%ක් දක්වා එය ඉහළ නැඟ ඇති බවත්ය.

අන්තර්ජාතික දර්ශකයක් වන එම් එස් සී අයි දර්ශකය (ISCI) ඉහළ තත්ත්වයක තිබෙන වෙළෙඳපොළ කරා ආයෝජකයන් ඇදී යන නිසා අපේ වෙළෙඳපොළත් ඒ තත්ත්වයට ඉහළ නංවා ගත යුතු බව පෙන්වා දෙන එම විචාරකයින් ඩොලරයේ මිල ඉහළ යාම විදේශීය ආයෝජකයන්ගේ පැමිණීමට විශාල බාධාවක් බවද පෙන්වා දෙයි.

Comments