බදු වැඩි වූ නිසා ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවෝ අර්බුදයක | සිළුමිණ

බදු වැඩි වූ නිසා ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවෝ අර්බුදයක

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනය මත දැනට පනවා ඇති ආරක්ෂණ බද්ද හා තවත් කරුණු රැසක් හේතුවෙන් තම කර්මාන්තය අනපේක්ෂිත ගැටලු රැසකට මේ වන විට මුහුණ දෙමින් සිටින බව ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනයකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.ටයිල් සහ සනීපාරක්ෂක ක්ෂේත්‍රය තුළ 49%ක වපසරියකට හිමිකම් කියන එම සංගමයේ නියෝජිතයින් පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වන විට තම ව්‍යාපාරික කටයුතු මුහුණ දී සිටින දුෂ්කරතාවයන් හා අභියෝගයන් පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු රැසක්ම අනාවරණය කරන ලදි.මේ එම සාකච්ඡාවේදී අනාවරණය වූ තොරතුරු ඇසුරෙන් සකස් වූ ලිපියකි.

රටේ ආර්ථිකය බල ගන්වන ව්‍යාපාර ක්ෂේත්‍රයන් දේශීය නිෂ්පාදන හා ආනයන මත එක හා සමාන ලෙස රදා පවතී නම් එකී ආනයන කටයුතු හා දේශීය නිෂ්පාදන හෝ ඉහළම තරගකාරීත්වයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. දේශීය නිෂ්පාදකයන් දීර්ඝ කාලයක පටන් වෙළෙඳපොළ තුළ රැඳී සිටින අතර සමස්තයක් ලෙස කර්මාන්තයේ උන්නතිය සඳහා බලපාන දුර්වලතා රැසක් හඳුනා ගත හැකිය. දේශීය නිෂ්පාදකයෝ සෑම විටම වෙළෙඳපොළ හිමිකාරිත්වය රඳවා තබා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂණය මත යැපෙති. එහි ප්‍රතිඵලයක්

ලෙස ආනයනික භාණ්ඩ සඳහා තීරු බදු ඇතුළු ඉතා ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට ආනයන කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට සිදුව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ටයිල් සහ සනීපාරක්ෂක උපාංග යොදා ගන්නා මෙරට ඉදිකිරීම් කෂේත්‍රයේ පිරිවැය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඉහළම ඉදිකිරීම් පිරිවැයක් සහිත රටක් බවට ද පත් වී තිබේ. මෙහිදී අවධාරණය කරගත යුතු වැදගත් ම කරුණ වන්නේ රාජ්‍ය අංශයේ බලධාරීන් මෙම ක්‍රියාමාර්ග හරහා සැලසුම් කරන්නේ දේශීය නිෂ්පාදන කර්මාන්තය රැක ගැනීමට ද, නොඑසේ නම් දේශීය ඉදිකිරීම් කර්මාන්තය රැක ගැනීමට ද යන්නය. මේ කුමන අරමුණක් යටතේ බදු පැනවුණද,යෝජනා ක්‍රියාත්මක වුවද අවසානයේදී පාරිභෝගිකයාගේ අභිලාෂයන් සාක්ෂාත්වන අයුරින් කටයුතු කිරීම‍ට රාජ්‍ය අංශයේ බලධාරීන්හට විශාල වගකීමක් තිබේ. තත්ත්වය එසේ වුවද දේශියව ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින්ගේ පැත්තෙන් පමණක් සිතා පනවා ඇති ආරක්ෂණ බද්ද හේතුවෙන් එම නිෂ්පාදන හා උපාංග ආනයන කටයුතු සිදු කරන ආනයන කරුවන් මේ වන විට සිය ආනයන කටයුතු නතර කර ව්‍යාපාරික කටයුතු වලින් ඈත් විය යුතු තරමට කරුණු,කාරණා යෙදී තිබේ. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මෙරට පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ ආනයනික ටයිල් හා සනීපාරක්ෂක උපාංග මිලදී ගැනීමේ අවස්ථාව නිසැකවම අහිමි වනු ඇත.

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග නිෂ්පාදනය විශාල වශයෙන් බලශක්තිය වැයවන කර්මාන්තයකි. එම තත්ත්වය යටතේ දේශීය වශයෙන් ප්‍රමාණවත් තරම් බලශක්ති සංචිත පවතින රටවලින් ශ්‍රී ලංකාවට මේවන විටත් විශාල තරගකාරීත්වයකටද මුහුණ දීමට සිදුවී තිබේ. ඉන්ධන සහ අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවීම නිසා දේශීය නිෂ්පාදකයෝ අභියෝග රැසකට මුහුණ පා සිටිති. ඒ අනුව කාලයත් සමග ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අවස්ථා සහ තරගකාරීත්වය සීමා වෙමින් පවතී.

දේශීය නිෂ්පාදකයන් හට ප්‍රපාතනය (Anti-dumping) සඳහා සහයෝගය ලබාදීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට අවස්ථා ලබාදීම සෑම රජයක් ම ගත යුතු වැදගත් පියවරකි. කෙසේ වෙතත්, ඕනෑම කර්මාන්තයක් දිගුකාලීන ලෙස පවත්වා ගැනීමට නම් ඒ සඳහා තරගකාරීත්වයක් තිබිය යුතු අතර, ඕනෑම රටක දේශීය නිෂ්පාදකයන් ද එම තරගකාරීත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. අඩු ජනගහණය, භූගෝලීය සාධක සහ වෙනත් කරුණු රැසක් හේතුවෙන් මෙරට නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර දේශීය නිෂ්පාදනයේ තරගකාරීත්වයට මුහුණ දීමට ඇති හැකියාව අඩුවී ඇත. එබැවින් විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්තය වැනි කර්මාන්තයක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ආනයනය ද අතිශය වැදගත්වන බව අවධාරණය කළ යුතුය.

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනය සම්බන්ධව පවතින ලොකුම මිත්‍යාවක් නම් මෙම නිෂ්පාදන ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ආදී රටවලින් බැහැර කරන බාල වර්ගයේ නිෂ්පාදන බවය. එහෙත් සත්‍යය එය නොවේ. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ආදී රටවලින් මෙම ආනයනය කෙරෙන මෙම ටයිල් හා සනීපාරක්ෂක උපාංගද මෙරටින් අනෙකුත් රටවලට අපනයනය කෙරෙන නිෂ්පාදන මෙන්ම ප්‍රමිතිය සහතික කරන ලද උසස්ම තත්ත්වයේ නිෂ්පාදන වේ. මෙරටට ආනයනය කෙරෙන මෙම ටයිල් හා සනීපාරක්ෂක උපාංග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ප්‍රමිතියට අනුකූල ද පිළිබදව නිරන්තරයෙන් පරික්ෂාවට භාජනය කෙරේ. එම තත්ත්ව පරික්ෂණයන් ISO ප්‍රමිතියට සමානවන අයුරින් සිදු කෙරෙන අතර අදාළ නිෂ්පාදන භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරෙන්නේද ඒවායේ සාම්පල SLS ප්‍රමිතීන්ට අනුකූල බවට සනාථ කිරීමෙන් අනතුරුවය.

ඒ කෙසේ වුවත් මීට වසර 10-15 කට පෙර මෙම ටයිල් හා සනීපාරක්ෂක උපාංග කර්මාන්තය තුළ එවැනි ප්‍රමිතීන් හෝ ඒ පිළිබඳ අවබෝධයක් හෝ නොතිබුණු බව සදහන් කළ යුතුය. නමුත් ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය (TSIA) දිවයින පුරා විසිරී සිටින ආනයනකරුවන් එකම වහලක් යටතට ගෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ඔවුන් දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සහ වැඩමුළු රැසක් සංවිධානය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමිතියෙන් අඩු නිසා ප්‍රතික්ෂේපවන නිෂ්පාදන ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත බැස ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සංඛ්‍යාලේඛන මගින් මොනවට පැහැදිලි වේ.

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනයකරුවන්ගේ සංගමය හා එහි කටයුතු කරන ව්‍යාපාරිකයන් දේශීය ටයිල් සහ සනීපාරක්ෂක උපාංග නිෂ්පාදකයන්ගේ මග හරස් කිරීමට අපේක්ෂා නොකරන නමුත්, දේශීය නිෂ්පාදකයන් රැක ගැනීමේ අරමුණින් යුතුව ආනයනික උපාංග මත තවත් බදු පැනවීම මගින් මෙරට ආර්ථිකයටත්, පාරිභෝගිකයාටත් අත්විඳීමට සිදුවන අහිතකර තත්ත්වයන් පිළිබඳ අදාළ බලධාරීන් සහ වෙනත් පාර්ශ්ව අවබෝධ කරගත යුතු බව එම සංගමයේ අදහසයි. මේ නිසා දේශීය නිෂ්පාදකයින්ද රැක ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන සදහා කිසිදු අවහිරයක් නොවන ලෙස ආනයනික ටයිල් හා සනීපාරක්ෂක උපාංග ව්‍යාපාරිකයින් හා එම ක්ෂේත්‍රය කඩා වැටෙන්නට නොදී රැක ගැනීමටත්, දෙපිරිස අතර තරගකාරීත්වයක් ඇති කරමින් පාරිභෝගිකයන්ට එහි සහනය ලබා දීමටත් කටයුතු කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.

අදහස්