ඇතුළු නුවර කැණීමෙන් හමුවූ පුරාණ අක්ෂර ඉන්දියාවේ ඉතිහාසයත් වෙනස් කළා | සිළුමිණ

ඇතුළු නුවර කැණීමෙන් හමුවූ පුරාණ අක්ෂර ඉන්දියාවේ ඉතිහාසයත් වෙනස් කළා

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල පිළිබඳ අටුවා ටිකා අවැසි නොවේ. ඔහු ප්‍රසිද්ධියට අකමැතිය. ඉතාම අල්පේච්ඡ දිවියක් ගත කරන ඔහු මෙරට ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ නව පිබිදීමක් ඇති කරන්නට සමත් වූ විද්වතෙකි. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති මාලාවක් සකසන්නට මූලික අඩිතාලම දමා ජාතික පුරාවිද්‍යාවේ උන්නතියට උරදුන් මේ අපූරු විද්වතා අද වනවිට සේවයෙන් විශ්‍රාම ගොස් සිටිය ද තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් තම සේවය නිරතුරුව ලබාදෙමින් සිටියි. මේ ඔහුගේ කතාවයි.

ඔබේ ළමා කාලය, ගැන කතා බහෙන් ම අපේ මේ ලිපිය අරඹමු?

මම ඒ දේවල් ගැන කතාබහ කරන්න අකමැතියි.‍ නමුත්, මම උපන්නෙ 1942 දීයි. පාසල් ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට.‍ ඉන්පසුව 1959 දී මම එංගලන්තෙ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී වාස්තු විද්‍යාව හැදෑරුවා. අවුරුදු 3 ක් ම. ඒ වර්තමාන වාස්තු විද්‍යාව පිළිබඳවයි. පුරාණ වාස්තු විද්‍යාව නෙමෙයි. මේ විදිහට මේ විෂය ක්ෂේත්‍රය හදාරද්දී මට තේරුම් ගියා මෙය මට ගැළපෙන්නේ නැති බව. කොටින් ම කිව්වොත් ගොඩනැගිලි ගැන මට එතරම් ඇල්මක් නැහැ. වරිච්චි පැලක හිටියත් මාලිගාවක උන්නත් මට එහි කිසිම වෙනසක් නැහැ. වාස්තු විද්‍යාව හැර මට අවශ්‍ය වුණා අපේ ලංකාවේ සිංහල සංස්කෘතියේ මුල් ආරම්භය ගැන කින්ද මන්ද කියලා සොයා බලන්න. පටන් ගැන්මක් වශයෙන් මම සංස්කෘත භාෂාව හදාරා මගේ මුල් උපාධිය මම සංස්කෘත භාෂාවෙන් ලබා ගත්තා. ඒ අනුව වාග් විද්‍යා සංස්කෘත සම්මිශ්‍රණයකින් උපාධිය ලැබුණා. එයින් එහාට යන්නට මට කුතුහලයක් ඇති වුණා.

ඒ මානවයින් හැටියට අපේ මුල් ආරම්භය කොයි ආකාරයට ද ඇති වුණේ කියලා සොයා බලන්නයි. එය හදාරන්නට මම ගියා ලන්ඩන් විශ්වවිද්‍යාලය හෙවත් යුනිවසිටි කොලිජියට. ඒ වෙනුවෙන් වසර දෙකක පශ්චාත් ‍උපාධියක් හැදෑරුවා. එතැනින් දකුණු ආසියාවේ ප්‍රාග් ‍‍ඓතිහාසික යුග‍ය ගැන තමයි මම ඉගෙන ගත්තේ. වාසනාවට ඉතාමත් ම දක්ෂ ලෝකප්‍රසිද්ධ මහාචාර්ය දෙපළකගෙන් මට ඉගෙන ගන්න ලැබුණා. එක් අයෙක් තමයි මහාචාර්ය කේ. කොඩ්රිංටන්. ඔහුගේ විෂය පථය වුණේ දකුණු ආසියාවේ පුරාවිද්‍යාව. අනෙක් කෙනා තමයි ෆ්‍රෙඩ්රික් ඩ්‍රොයිනර්. ඔහුගේ විෂය පථය වුණේ මානව පරිණාමයට අමතරව ප්‍රාග් ඉතිහාසය. මේ අය යටතේ මම පශ්චාත් උපාධිය හැදෑරුවා. මම ඉන් සමත්වුණා. ඒ වසරවල දක්ෂතම ශිෂ්‍යයන් දෙදෙනාගෙන් එක් අයකු වුණේ මමයි. එහිදී මට ‘World self’ ත්‍යාගය හිමි වුණා. ඒ 1965 දීයි.

ඉන් පසුව ඔබ ලංකාවට එනවා?

ඔව්. 1966 දියි. මම ගොඩෙන් ආවේ. ගුවනින් නෙමෙයි. යුරෝපය හරහා තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය ඔස්සේ ආවේ. ඒ එන ගමනේදී ඉන්දියාවේ මම වසරක පමණ කාලයක් රැඳී සිටියා. එහිදී පුරාවිද්‍යාව, ප්‍රාග් ඉතිහාසය ගැන පුළුවන් තරම් විමර්ශනය කළා. හඳුනාගත්තා. ප්‍රසිද්ධතම මහාචාර්යවරු සමඟ වැඩ කළා. ඉන්පසු ලංකාවට 1966 දී ආවා.

ලංකාවට පැමිණ ඔබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳෙනවා?

ඒ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු තිබුණෙ නැහැ. මේ නිසා මම ලංකාවේ විවිධ තැන්වල කැණීම් කටයුතු සිදු කළා. විශේෂයෙන් ම සිරීපාද අ‍ඩවියෙ. 1968 දී මට පත්වීම ලැබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් සැකැසූ පර්යේෂණ හා ශාස්ත්‍රීය කැණීම් අංශයේ ප්‍රථම සහකාර කොමසාරිස්වරයා ලෙස. ඉන්පසුව මට මගේ පෞද්ගලික මට්ටමෙන් ගවේෂණය කරමින් සිටි සිරිපාද අඩවිය, යාල, විල්පත්තු වැනි ප්‍රදේශවල කැණීම් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරන්නට හැකියාව ලැබුණා.

මේ කාලවකවානුව ඔබට විශේෂ වන්නට ඇති?

මම 1969 දී අනුරාධපුරයේ කැණීම් ආරම්භ කළා. ඒ වනවිට ඒ ප්‍රදේශය ගැන කවුරුත් පර්යේෂණ කර තිබුණේ නැහැ. අනුරාධපුරයේ මුල් අවධිය පිළිබඳ පරීක්ෂණ පවත්වත්දී අනුරාධපුරයේ ඇතුල්නුවර ප්‍රදේශයේ කැණීම් කළා. අපිට දැනගන්නට ලැබුණා ඇතුල්නුවර අක්කර 250 කට වැඩිය විහිදී තිබෙනවා කියලා. ඒ කැණීමට මාත් සමඟ මහාචාර්ය කොඩ්රින්ටන් සහභාගි වුණා. එහිදී ඇතුල්නුවර යටටම කැණීම් පවත්වලා මුල් වතාවට අනුරාධපු‍රයේ මුල් අවස්ථාව අපට සොයාගන්න හැකිවුණා. පොළොව මට්ටමින් අඩි 30 ක් යට තමයි මුල් අවධිය පැවැතුණේ. එහි තමයි ආදි මානවයා ජීවත්ව තිබුණේ.

එතැනදී ‍අපේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ඔබ සොයාගත් දේ මොනවාද?

මේ ඇසුරෙන් හුඟක් අලුත් සාධක අපට ලැබුණා. 1972දී අපි මේ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කෙරුවා. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සඟරාවේ පළවී තිබෙනවා. ඒ මාර්ගයෙන් අපට හැකියාවක් ලැබුණා ඒ වනවිට ඉන්දියාවේ තිබුණු සමකැණීම් සමඟ සන්සන්දනය කරලා අපේ තැන කොතැනද කියන එක තක්සේරු කරන්න. ඉන්පසු විශේෂයෙන්ම මම එංගලන්තයේ හදාරපු ප්‍රාග් ඓතිහාසික යුගයට පෙර යුගයට හැරී මම ගවේෂණ කිහිපයක් කළා. ඒ 1970 දී.

විශේෂයෙන් ම විල්පත්තුවේ, හෝර්ටන් තැන්නේ. ඒ ගවේෂණ මඟින් ප්‍රාග් ඓතිහාසික යුගය‍ට පෙර යුගයට අයත් ස්ථාන හඳුනා ගත්තා. 1972 වනවිට ප්‍රධාන වශයෙන් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ හා දකුණේ ගවේෂණ අපි සිදුකළා. ඒ ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සොල්හයිම් සමඟ. ඒ අනුව ලංකාවේ අග්නිදිග ප්‍රදේශයේ පුරාණ වරායන් පිළිබඳ සාධක තුනක් අපිට හඳුනාගන්න ලැබුණා. එහිදී පළවැනි, දෙවැනි ශතවර්ෂවලට අයත්වූ රෝම කාසි අපට හමුවුණා. ඒ කුච්චවේලි, ලංකාපටුන, පානම කියන ප්‍රදේශවලින්. මේවා පරීක්ෂණයට අපි භාජනය කරද්දී ලංකාව රෝමය සමඟ සබඳතා තිබුණු බවට ‍කරුණු අනාවරණය වුණා.

ඈත අතීතයේ අපේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ගැන තවදුරටත් ඔබ පරීක්ෂණ කළා නේද?

ඔව්. එය මට අවශ්‍යම වී තිබූ කාරණාවක්. ඒ අනුව ලංකාවේ වයඹ, උතුර, දකුණු වෙරළබඩ ප්‍රදේශවල මගේ ප්‍රධානත්වයෙන් ගවේෂණ සිදුවුණා. මාන්කුලම්, කිලිනොච්චි, යාපනය යන ප්‍රදේශයේ කැණීම් කළා. විල්පත්තුව වගේම යාල ප්‍රදේශයේ කුමනට යනතුරුම කැණීම් හා ගවේෂණ කටයුතු දියත් කළා. අනෙක් පැත්තෙන් අම්බලන්ගොඩට එනතුරුම. ඒවායේ විශේෂ ඓතිහාසික ස්ථාන 58 ක් අපි සොයාගත්තා. ඒවායේ පර්යේෂණ අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ විවිධ සාධක අපි සොයාගත්තා‍. බුන්දල ප්‍රදේශයේ කරපු කැණීම්වලදී මානවයා අවුරුදු 28000 කට පෙර ජීවත්වූ බවට සාධක ඇති වැලිකඳු මේ වෙරළබඩ ප්‍රදේශයෙන් අපි සොයාගත්තා. ඒ අතර අපිට තවත් ඉඟියක් ලැබුණා ‍අවුරුදු 75000 කට පෙර බුන්දල ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත්වූ බවට.

බළන්ගොඩ මානවයා ගැනත් පර්යේෂණ කළාද?

මගේ පියා පෝල් දැරණියගල. 1930 ගණන්වල ඔහු කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරද්දී බලංගොඩ කැණීම් සිදු කළා. බලංගොඩ බෑවුමේ කැණීම් කිහිපයක් කළා. දැන් මහාචාර්ය රාජ් සෝමදේව ඒ මාර්ගයේ කැණීම් කටයුතු කරනවා.

අනුරාධපුරය හා විවිධ ප්‍රදේශවල කැණීම් කර ආදී මානවයා ගැන සොයාගත් මෙවලම් ගැනත් කතා කරමු?

ඒ කාලේ ලංකාවේ මුල් මානවයා තිරුවානා ගල්වලින් සකස් කරගත් ආයුධ අපට හමුවුණා. බුන්දල රතුපස් නිධිවලින් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගල් මෙවලම් රාශියක් අපිට සොයා ගන්න ලැබුණා. ඒ වෙනවිට යකඩ තාක්ෂණයත් ලංකාවේ තිබුණු බව සොයාගත්තා. විශේෂයෙන් විජයගේ පැමිණීමට පෙරාතුව ක්‍රි.පූ. 8 – 9 සියවස්වල දියුණු මානව ශිෂ්ටාචාරයක තොරතුරු අපට හමුවුණා. ඒ කාලයේ භාවිතා කළ යකඩ, ඇති කළ අශ්වයින්ගේ ඇට කැබලි, ධාන්‍ය වර්ග, වී වර්ග තිබූ බවට සාධක අපට හමුවුණා.

ඔබ ආචාර්ය උපාධියක් ලබනවා. ඒත් මේ අංශයෙන්?

ඔව්. මට ශිෂ්‍යත්වයක් ලැබිලා ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ගියා. එහිදී මම ආචාර්ය උපාධිය සඳහා තෝරාගත් මාතෘකාව වුණේත් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයයි. එතැනදී මම පුරාවිද්‍යාව හා සම්බන්ධ සංකීර්ණ විෂය මාලාවක් හැද‍ෑරුවා. පුරා වසර 9 ක් පමණ විශ්වවිද්‍යාලවල ප්‍රාග් ඓතිහාසික හා එම යුගවලට අදාළ වන විෂය 20 කට ආසන්න ප්‍රමාණයක් මම හැදෑරුවා ඒවා පිළිබඳ ඉතා පුළුල් ලෙස පරීක්ෂණ කළා. සහායට කවුරුවත් හිටියෙ නැහැ. අවුරුදු තිස්තුනක් පමණ තනිවම තමයි මේ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවුණේ. පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරුන් සිටි ආචාර්ය ඩබ්ලිව්. එන්. විජේපාල සහ ආචාර්ය නිහාල් පෙරේරා මෙයට එකතු වුණා.

ඔබ ප්‍රාග් ඓතිහාසික ලෙන් ගැනත් පරීක්ෂණ කළා?

1978 දී පමණ ගල්ලෙන් ආශ්‍රිතව කැණීම් කටයුතු කළා. මගේ පියා රාවණා ඇල්ලේ, අඹන්පිටියේ, මහඔය කැණීම් කරන කොට පුංචි මාවත් ඒවාට එක්කරගෙන ගියා. මේ ලෙන්වල ප්‍රාග් ඓතිහාසික යුගයේ තොරතුරු බොහොමයක් තියෙනවා කියා මගේ පියා 1930 ගණන්වල වාර්තා කර තිබුණා. ඒ අනුව කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, බුලත්සිංහල පාහියන්ගල ලෙන්වල කළ කැණීම්වලදී වසර 28000 ට පෙර සිටි ආදි මානවයින්ගේ ඇටකැබලි හා විවිධ අවශේෂ අපට හමුවුණා. හුඟක්ම පැරණි දත්ත අපට ලැබුණේ පාහියන්ගල ලෙනෙන්.

අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම්වලදී හමුවූ දේවල් මොනවාද?

අඩි තිහක් පමණ අනුරාධපුරයේ ‍ගැඹුරට කැණීම්කරන විට එහි ඉතාම අඩියෙන් අපට ලැබුණේ බලංගොඩ මානවයාගේ කාලයට අයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසයක තොරතුරු. ඊට මදක් උඩ මට්ටමේ ඉඳලා දියුණු ශිෂ්ටාචාරයක තොරතුරු ලැබුණා. එහිදී මිනිසුන් යකඩ භාවිත කර තිබුණා. අශ්වයින්, ගවයින් ඇති කර තිබුණා. වී, ධාන්‍ය වර්ග වගාකර තිබුණා. කුඹල් තාක්ෂණය පැවතුණා. ඊට අමතරව පොළොව මට්ට‍මෙන් අඩි 15 ක් යට ඉඳලා ග්‍රාමීය අක්ෂර භාවිතා කර ඇති බවට සාධක ලැබුණා. අනුරාධපුරයේ කළ කැණීම්වලින් විජයාගමනයට පෙරාතුව ක්‍රි.පූ. 8 – 9 සියවස්වල ලංකාවේ ඉතා දියුණු මානව ශිෂ්ටාචාරයක තොරතුරු මතු කරන්නට මට හැකි වුණා.

එය ඔබ විසින් කළ තවත් ආන්දෝලනාත්මක සොයාගැනීමක් නොවේද?

ඇතුළුනුවර කැණීම්වලදී වළවල් දෙකකින් වළං කැබලිවල කු‍රුටු ගා තිබුණේ ඒවා හිමිකරුවන්ගේ නම්. ඒවා ඔස්සේ පරීක්ෂණ කරගෙන යනවිට අපට ලැබුණු ප්‍රතිඵල ඉතාම වැදගත් වුණා. ඒ අකුරු ක්‍රිස්තු පූර්ව පන්සියයත් හත් සියයත් අතර යුගයට අයත් බව සොයා ගත්තා. මේ සොයා ගැනීම නිසා ඉන්දියාවේ ඉතිහාසයත් වෙනස් වුණා. ඉන්දියාවේ අක්ෂර භාවිතය පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයට වඩා වසර තුන්සියයකට පමණ ඉහතදී කියලා ඔප්පු කරන්න මේ නිසා හැකිවුණා. දැනට තිබෙන සාධක අනුව දකුණු ආසියාවේ පැරැණිම අක්ෂර ලැබිලා තියෙන්නේ අපේ රටෙන්.

ඉතිහාසඥයා හා පුරාවිද්‍යාඥයා අතර වෙනසක් තිබෙනවාද?

එහි වෙනසක් නම් මම දකින්නේ නැහැ. පුරාවිද්‍යාඥයා හැමවිටම කටයුතු කරන්නේ ඉතිහාසය සම්බන්ධ භෞතික සාධක මතයි. ඉතිහාසඥයා කටයුතු කරන්නේ ඉතිහාසය සම්බන්ධ ලිඛිත සාධක මතයි. අතීත මානවයා විසින් කරන ලද ඕනෑම නිර්මාණයක් පුරාවස්තුවක් ලෙස සරලව අරුත් දක්වන්න පුළුවන්. භාණ්ඩ, වාසස්ථාන , ගොඩනැගිලි, ආයුධ මේවාට උදාහරණ.

ඔබ මේ දිනවල මොනවද කරන කටයුතු?

මම විශ්‍රාම ගිහින් දැන් වසර 18 ක් පමණ වෙනවා. ඒත් තවමත් මගේ සේවය, දායකත්වය මම රටට ලබා දෙනවා. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් සකස් කරන්නට මම දායක වුණා. 2006 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස මම කටයුතු කළා.

මෙම පුරාවිද්‍යා ප්‍රතිපත්තිමාලාවේ අරමුණු මොනවාද?

කිහිපයක්ම තිබුණා. මානව සම්පත් වර්ධනය කරගැනීම, පුරාවස්තු ආරක්ෂා කරගැනීම, ඒවා ‍ලේඛනගත කිරීම, පුරාවස්තු පිළිබඳව මහජන දැනුම වැඩිදියුණු කිරීම, සංරක්ෂණය හා පර්යේෂණ ඒ අතර ප්‍රධාන වෙනවා.

අදහස්