දස වස­රක සිට කුණු වද නැති බළන්­ගොඩ | සිළුමිණ

දස වස­රක සිට කුණු වද නැති බළන්­ගොඩ

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු රටපුරා මහත් ආන්දෝලනයකි. තවමත් මුළු රටටම කුණු විශාල ගැටලුවක්ව කුණු වෙද්දී ලෝකයේ රටවල් රැසක්ම කුණු ‘සම්පතක්’ කරගෙන තිබෙන බවද අපට දැන ගන්නට ඇත. අපේ රටේද ඒ සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කෙරුණද ඒවා බොහෝ විට හමස් පෙට්ට්වලට ගියා පමණි. එසේ වුවත් කුණු ගැටලුව ප්‍රශ්නයක් නොව සම්පතක් කරගත් අපේ නගර සභාවක් ගැන අපට අසන්නට ලැබුණි. ඒ බළන්ගොඩ නගර සභාවයි.

බළන්ගොඩ නගර සභාව සිය නගරයේ කුණුවලින් ප්‍රයෝජනයක් ගැනීම ආරම්භ කළේ මීට වසර 10කට පමණ පෙරය. මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ මේ ව්‍යාපෘතිය ‘නව පිළිසරු කාබනික පොහොර අංගනය’ යනුවෙන් නම් කරන ලදී. ඉන් ජනතාවට කුණුවලින් තොර නගරයක් හා ආදායමක් උපයා ගන්නට කටයුතු යෙදිණි.

ප්‍රථමයෙන්ම කොම්පෝස්ට් පොහොර ගබඩාවක් අක්කර 16ක භූමි වපසරියක් පුරා ස්ථාපිත කරන ලදී. එහි කුණු එකතුකර තබනවා වෙනුවට කුණුවලින් පොහොර නිෂ්පාදනයට සැලසුම් සකස් කරන ලදී. එහිදී පළමුවෙන් සිදු කළේ එම කුණු තොග සති දෙකක් පමණ වනතෙක් වරින් වර පෙරළමින් එහි තෙතමනය ඉවත් කිරීමට කටයුතු කිරීමයි. පසුව එම කුණු හලනයක ආධාරයෙන් වෙන් කර ගෙන එයට නයිට්‍රජන් මිශ්‍ර කර පොහොර නිෂ්පාදනය කිරීමයි. පසුව සාමාන්‍ය පොහොර මෙන් පැකට්වල බහා වෙළෙඳ පොළට යැවිණි. වෙළෙඳ පොළේ දැන් බළන්ගොඩ නගරසභා පොහොර සඳහා ඇත්තේ ඉහළ මිලකි. වෙනත් පොහොරවලට වඩා බළන්ගොඩ නගර සභාවේ පොහොර මිලෙන් අඩුය. කිලෝ 50ක පොහොර මිටියක් ලබා දෙන්නේ රුපියල් 400ක් වැනි මිලකටය.

වර්ෂා කාලයේදී තේ වතුවලට මේ පොහොර සඳහා වන ඉල්ලුම ඉතා අධිකය.

පොහොර නිෂ්පාදනයට ලබා ගත් අප ද්‍රව්‍යවලින් පසු ඉතිරිවන ප්ලාස්ටික් ‍හා පොලිතින් අපද්‍රව්‍ය අලෙවි කිරීමටත් එසේ අලෙවි කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් එම ස්ථානයේම ස්ථාපිත ආයතනයක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කිරීමද විශේෂත්වයකි.

බළන්ගොඩ නගර සභාව මේ වන විට කුණු වලින් පොහොර තනා හා ඉතිරි අබලි ද්‍රව්‍ය අලෙවි කර ලබා ගත් ආදායම කෝටියකට ආසන්නය. මේ වෙද්දී නගර සභාව කොම්පෝස්ට් පොහොර අලෙවියෙන් ලක්ෂ අසූවක්ද අබලි ද්‍රව්‍ය අලෙවියෙන් විසි ලක්ෂයක් පමණද උපයා ඇත.

නගර සභාව කුණුවලින් මෙසේ ආදායම් උපයන්නේ සේවකයින් 14 දෙනකුගේ උපකාරයෙනි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අවට පරිසරයට කිසිදු දුර්ගන්ධයක් පැතිර නොයන ක්‍රමවේදයක් සකස් කර තිබීමයි.

මේ සියලු කටයුතු මෙහෙයවන්නේ බළන්ගොඩ නගර සභාවේ ලේකම් අමිතා කරුණාරත්න මහත්මිය හා නගර සභාවේ සභාපතිවරයාය.

‘අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ කුණු වත්තෙන් පිටකර නිදහස් වෙනවා. ඒ ඉවතලන කුණු ටිකත් වෙන් කරන්නේ නැහැ. ඒ නිසා කුණුවලින් ප්‍රතිචක්‍රීකරණයක් කරන්න බැහැ. ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය වීදුරු වැනි දේ වගේම ආහාර ඇතුළු දිරණ ද්‍රව්‍ය වෙන් කිරීම ඉතාම වැදගත්. අප මුලින්ම කළේ ජනතා ආකල්ප වෙනස් කිරීමයි. කුණු වෙන්කර දෙන ලෙස අප ජනතාවගෙන් ඉල්ලුවා. ඒත් තවමත් මෙසේ වෙන් නොකර අප ද්‍රව්‍ය බාර දෙන පිරිසක් සිටිනවා.

මිනිස්සුන්ගේ ආකල්පවල වෙනසක් වෙන්න ඕන. එසේ වෙන් නොකර අප ද්‍රව්‍ය බාර දෙන අයත් ඉන්න නිසා කුණු ට්‍රැක්ටරේට නැගල දෙන්නෙක් ඒවා වෙන් කරනවා. ඒක අමතර කාර්යයක් වෙලා තියෙන්නෙ.

කුණු ප්‍රතිචක්‍රීකරණය නිසා අපට කුණු ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. අපිට කුණු එකතු වෙන එක සම්පතක්. ඉතිරි වන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ක්‍රමයක් නැතිවීම අපට තියෙන ලොකුම ගැටලුවක්. දාහක උදුනක් අපට ලැබෙනවානම් ඒ කාර්යයත් ඉටු කර ගැනීම අපට අපහසු නැහැ.

මෙතැන කුණු දාන්න පටන් ගන්න කොට ඒ ස්ථානය අවට නිවාස තිබුණෙ නැහැ. දැන් හැම තැනම අනවසර නිවාස ඉදි කරගෙන යනවා. මේ අනවසර නිවාස සහිත ඉඩම් අයිති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට. මේ අනවසර ඉදි කිරීම් ඉදිරියේදී අපේ ව්‍යාපෘතියට බාධාවක් වෙන්නත් පුළුවන්. අපිට කුණු ප්‍රශ්නයක් නැහැ. ජනතාව කුණු වර්ග කරලා දෙනවනම්. දිරණ කසළ මගින් කාබනික පොහොර හදන අතර අපි ප්ලාස්ටික් හා පොලිතින් එකතු කරලා වෙනම අංශයකට අලෙවි කරනවා. පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරල තියෙන්නෙ. සියලු අප ද්‍රව්‍ය මුදල් කරන්න මාර්ග අපි සකස් කර තිබෙන්නෙ.

දැනට සාමාන්‍ය යන්ත්‍ර සූත්‍ර මඟින් මේ සියල්ල කරන්නේ. මහාපරිමාණ ක්‍රම භාවිත කරනවානම් මේ සියල්ලම රටටම වැඩ දායක තත්ත්වයකට පත් කරන්න අපට පුළුවන්. අපද්‍රව්‍ය ලෙස ලැබෙන ප්ලාස්ටික් කිලෝ එකක් රුපියල් 8කට විකුණනවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා.” ඒ අමිතා කරුණාරත්න මහත්මියයි.

නගරයේ මලාපවාහන පද්ධතීන් හරහා එන මල අප ද්‍රව්‍ය සියල්ලද මේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ වෙනමම ඒකකයක් මගින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එම ඒකකයේ නිපදවනු ලබන ගලි පොස්පේට් රුපියල් 19ක් බැගින් පේරාදෙණිය ගන්නොරුව කෘෂිකර්ම ආයතනයෙන් මිලට ගනු ලැබේ. ඉතිරි අප ද්‍රව්‍යයද පිරිපහදු කර මේ වන විට වතු අලංකරණය හා පොකුණු සෑදීමට ආදිය යොදා ගෙන ඇත. කාබනික පොහොර අංගනයේම ඇති මසුන්ගෙන් හා ජලජ පුෂ්පයන්ගෙන් පිරි පොකුණ ඊට හොඳම සාක්ෂියයි.

නගරාධිපතිවරයාගේ උපදෙස් මත මේ ක්‍රියාදමය වැඩි දියුණ කරන්නට මේ වන විට පියවර ගෙන ඇත. කුණු ලොරි පැමිණෙන විට බළන්ගොඩ විරෝධතා නැත. ඒ ඉදිරිපිට මාර්ගයේ නිදා ගන්නේ නැත. පාරේ තැන්තැන්වල කුණුගොඩවල් දකින්නටද නැත. කුණු ප්‍රශ්න කුණු කරගෙන දඟලන සැමටම බළන්ගොඩ නගර සභාව ලබා දී ඇත්තේ කදිම ආදර්ශයකි.

බළන්ගොඩ නගර සභාවේද කාර්යයන් සිදු කරන්නේ ජනතා හිතවාදීත්වය මැනවින් පිළිබිඹු කරමිනි. ඩිජිටල් නාම පුවරු මගින් ජනතා අවශ්‍යතා ඉටු කර ගත හැකි ආකාරය පැහැදිලිව දක්වා ඇත. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් සකස් කරන ලද මල් පෝච්චි ආයතනයේ දක්නට ඇත. රාජ්‍ය ආයතනයක් වුවත් චක්‍රලේඛ රෙගුලාසිවලට හිර නොවී ප්‍රශ්නයට නිසි පිළිතුරු ලබා දෙමින් බළන්ගොඩ නගර සභාව සිදු කර ඇති මේ මෙහෙය දෙස බලධාරීන‍්ගේ නිසි අවධානය තවමත් යොමු වී නැති බව පෙනේ.

කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස බළන්ගොඩ නගර සභාව ලබා දී ඇති මේ කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාදාමය ආදර්ශයක් කර ගෙන කටයුතු කිරිමට අනෙකුත් පළාත් පාලන ආයතන කටයුතු කළ යුතුවාක් මෙන්ම බළන්ගොඩ නගර සභාවට අවශ්‍ය පහසුකම් ලබා දීමටද කඩිනම් පියවර ගත යුතු වේ.

අදහස්