නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

ගැළපුම නොගැළපුම

අපි ගෙරදට වුවමනා බඩු ගෙනෙන්නට නගරයට යෑමට සූදානම් වෙමින් සි‍ටයෙමු.

‘දුවේ ඔයාල ටවුන් යන්ඩද ලෑස්ති වෙන්නේ?’

යාබද ගෙදර සුදු ආච්චි මල්වැට අතරින් අප ඇමතුවාය.

‘ඔව් ආච්චියෙ’ මම ඇය වෙත යමින් කී‍මී.

‘එහෙනං දුවේ මටත් බිත්තර ගෙඩි දහයක් ගෙනත් දෙනව ද? කී ඇය මට නෝට්ටුවක් දිගු කළාය.

අක්කාත් මමත් පාරට ආවෙමු.

නගරය ඇත්තේ කිලෝ මී‍ටරයකට පමණ ආසන්න දුරිනි. එහෙයින් අප එහි යන්නේ පයිනි.

අක්කා කතා නොකළා ය. ඇගේ හිත නරක් වී ඇති සේය. බිත්තර, මස්, මාළු තියා උම්බලකඩ කෑල්ලක් වත් නොකන ඇය අල්ලපු ගෙදර ආච්චිට බිත්තර මිලදී ගෙන යෑමට සිදුවීම නිසා හිතේ අමාරුවක් ඇති කර ගෙන සිටියි.

‘ඔයා හිත නරක් කර ගන්ඩ එපා! ඒක මමනේ කරන්නෙ. මම ඇගේ හිත හදන්නට වෑයම් කළෙමි. නගරයේ දී අපේ කටයුතුවලට කාලය ගියේය. ඒ වන විට අපි තරමක තෙහෙට්ටුවකින්ද පසු විමු.

හවස වසින බව නොකියා කියමින් හිරු රැස් ද අප දවන්නට විය. අපි ආපසු ඒමට පිටත් වීමු.

‘ආ සුදු ආච්චිගෙ බිත්තර !’ මට හදිසියේ මතක් විය.

‘අයියෝ !’ කියමින් අක්කා සිය බර බිම තැබුවාය.

අක්කා එතැනම තිබූ බස් නැවතුමේ සෙවණෙහි රැඳ වූ මම හනික කුකුල් මස් කඩය බලා ගියෙමි. එහෙත් එය වසා තිබිණි.

මා උඩ බිම බලන විට එතැන රටකජු විකුණමින් සිටි වෙළෙන්දා එහා පැත්තේ අලුතින් මස් කඩයක් දා ඇතැයි කීවේය. මම එතැනට ගියෙමි.

එය සැබෑවකි. අලුත් කුකුල් මස් කඩය ඉදිරිපිට පාරිභෝගිකයෝ පිරී සිටියහ. සෙනඟ ටිකක් අඩුවන තුරු මම එතැන රැඳී සිටියෙමි.

කුකුල් මස් විකුණමින් සිටියේ තරුණ විය ඉක්මවූ පැහැපත් කතකි. ඇය මස් කිරා කපා පාර්සල් කර දුන්නේ මැසිමක් පරිද්දෙනි. ඇගේ දෑතෙත් සිරුරේත් නිකටේත් වියළි ලේ සහ මස් කැබැලි රැඳී තිබිණි. මේ දසුන මට අපුලක් දැනවීය.

ඉදිරියෙ සිටි පිරිස මස් මිලදී ගෙන ගිය පසු මස් වෙළෙන්දිය මට වුවමනා මොනවාදැයි ඇසුවාය. මා අවශ්‍ය දේ කී විට ඇය ෂොපින් බෑගයක් ද දිග හරමින් ෂෝ කේසයේ කෙළවරට ගියා ය. එතැන බිත්තියේ උඩින් සවිකර තිබු පින්තූරය මා දු‍ටුවේ. එවිටය. එය බුදු රුවකි. ඒ යටින් කුඩා විදුලි බුබුළක් ද දැල්වෙමින් තිබිණ.

පසෙකින් හම ගසන ලද කුකුළන් රැගෙන කොටය මත තබා මන්නෙන් කැබැලි කරන වෙළෙන්දිය ය. අනෙක් පස ඈ දෙස හැරුණු කාරුණික මුහුණින් යුතු බුදු රුවය. මේ දෙක පෑහෙන්නේ කෙසේද?

බිත්තර මුල අතට ගත් මම පිළිතුරක් සොයා නොගත හැකිව මොහොතක් බීරාන්තව සිටියෙමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


ගමේ පාර

කලකට පසු මම ගමේ වෙසෙන ඥාතියා බලනු පිණිස කුලී ත්‍රිරෝද රියකින් ගමට යමින් සිටියෙමි.

කලින් පරණ පන්නයට තාර දමා තිබූ ගමේ පාරෙහි දැන් කාපට් අතුරා ඇතුවා පමණක් නොව ඒ දෙපස සුදු ඉරි දෙකක් ද ඇඳ ඇත. එහෙත් පාරේ අලුත් පළල් වීමක් නම් නැත.

පාර හොඳ නිසා ඉදිරියෙන් ගිය රථ ද වේගයෙන් ගිය බැවින් මා රියැදුරු ද සිය ගමන වේගවත් කළේ ය.

ටිකකින් අප ඉදිරියෙන් ගිය වෑන් රිය නැවතිණ. අපි දු නැවතුණෙමු. පාරේ අනිත් පැත්තෙන් ආ වාහන දෙකක් ද හිර වී නැවතිණ.

සිදු වූයේ කුමක්දැයි බැලීමට මම හිස පෙවීමි.

වියපත් කාන්තාවක්, ඇගේ දියණිය යැයි සිතිය හැකි මේරූ කාන්තාවක් සහ පුංචි දැරියක් පාර අයිනේ සුදු ඉර මත රැඳී සිටියහ. ඔවුනට එතැන රැඳී සිටීමට සිදු වී තිබුණේ ඉන් එහා පාර කැඩී ප්‍රපාතාකාර බෑවුමක් හැදී තිබුණු බැවිනි. ඒ ප්‍රපාතාකාර බෑවුමට එහායින් වූයේ කැලෑවට ගිය උස් ඉඩමකි.

‘මොකද කරන්නෙ? අපි යන්නැද්ද? පාර ඉඩ දෙනව!’ වෑන් රියේ සිටියෙක් අර තිදෙනාට කෑ ගසනු ඇසිණ.

ඒ කෑගෑමෙන් වියපත් වූ නිසා දෝ මේරූ කාන්තාව ප්‍රපාතයට බැස සිය වියපත් මව ද පරිස්සමින් අල්ලා එහි බස්සවා ගත්තා ය. අනතුරුව පුංචි දියණිය ද ඔසවා ගත්තා ය.

‘යන්ඩ!’ අනතුරුව ඇය අහිංසක ලෙස හිනාවී කීවා ය.

ඒ දසුන මා හද සසල කර දැමුවේ ය.

පාරේ ඉඩ ආවෙන් වෑන් රිය ඉගිළී ගියේ ය. මා රියැදුරු ද ගමනට යළිත් පණ දුන්නේ ය.

පාරවල් නවීකරණය කළ යුත්තේ වාහනවලට පහසුවෙන් යෑමට පමණ ද? ගම්මුන්ට නිදහසේ පයින් යෑමට ඉඩ නොතැබිය යුතු ද යන ප්‍රශ්න මසිතට වධ දෙන්නට විය. ඒ මොහොතේ මට ඒවා කීමට සිටියේ ද ත්‍රිරෝද රියැදුරු පමණ ය.

‘පාර ලොකු කරන්ඩ බැරි නං ඉරි නොගහ ඉන්ඩයි තිබුණෙ. වාහනකාරයො හිතන්නෙ මුළු පාර ම තමන්ගෙ කියල.’ ඔහු කීවේ ය.

‘බලන්ඩ අර වයසක අම්මයි පුංචි දරුවයි කානුවට බැස්ස. තමන්ට ඒ අසාධාරණේ වෙලත් ඒ මිනිස්සු අහිංසක විදිහට ‘යන්ඩ’ කියල කිව්ව. අපි හිතමු ඔතන හිටියෙ ශක්තිවන්ත තරුණයො පිරිසක් කියල. ඒ මිනිස්සු කානුවට බහීද?’ මම ඇසීමි.

‘එහෙනං ඔතන ලොක ප්‍රශ්නයක් වෙන්නෙ. එක්කො ඉරි මකන්ඩ ඕනෑ නැත්තං පාර දෙපැත්තෙ මිනිස්සුන්ට පයින් යන්ඩ ඉඩ තියන්ඩ ඕනැ’ ත්‍රිරෝද රථ රියැදුරු සාධාරණ තීන්දුවක් දුන්නේ ය. ‍‍

මහලේගොඩ එස්.එම්. සේනාධීර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල

සිළුමිණ,

ලේක්හවුස්,

 

කොළඹ 10.

අදහස්