පිය­ව­රක් ඔසවා තැබී­මට ඉඳු­ව­රට පිහිට වන්න | සිළුමිණ

පිය­ව­රක් ඔසවා තැබී­මට ඉඳු­ව­රට පිහිට වන්න

උපතින්ම රෝගී දරුවා මවකගේ පියෙකුගේ සිත වේදනාවෙන් පුරවාලයි. ඒ දුක් වේදනා හදවතේ රඳවාගෙන තම දරුවා සාමාන්‍ය මිනිසකු ලෙස ලෝකය ඉදිරියේ තැබීමට ඔවූහු ‍උත්සුකවෙති. ඒ තමන් ගේ හව්හරණ නැති දිනක අසරණ වන දරුවා වේදනාවට පත් වේ යැයි සිත හඬාවැටෙන බැවිනි‍.

සියුම් ඉඳුවර හෙට්ටිආරච්චි අඩු මාසෙන් උපන් දරුවකි. ඔහු සාමාන්‍ය දරුවකු ලෙස දැකීම මව්පියන්ගේ ආශාව වූවද ඔහු උපතින්ම විශේෂ අවශ්‍යතා සහිතය. එහෙත් මේ මව්පියෝ තම දරුවා අතහැර නොදැමුවහ. ඉඳුවර සාමාන්‍ය දරුවකු ලෙස හැඩගැස්වීමට ඔහුගේ මව්පියෝ වසර 13ක් තිස්සේ වෙහෙ‍සෙමින් සිටිති‍. ඒ වෙහෙස අපතේ ගොස් නැත. ඉඳුවර මේවන විට බ්‍රේල් ක්‍රමයට අකුරු උගනිමින් සිටී. ඔහුට ඒ හැකියාව ලැබුණේ මව්පියෝ ඔහු අතනොහැර කළු ඉංගිරියාව අහිමිව උපන් ඔහුගේ

දෑසින් එක් ඇසකට ආලෝකය ගෙන ආ බැවිනි. ඔහුගේ ආලෝකය දකින ඇසට දුර පෙනීම සඳහා තවත් ශල්‍ය කර්මයක් සිංගප්පූරුවේදී සිදු කිරීමට නියමිතය.

ඉඳුවර යන්තම් පෙනෙන ඇසින් බේල් ක්‍රමයට අකුරු ඉගෙනීමට මේවන විට යොමුව සිටී. ඒ ගණේමුල්ල හේමමාලි විශේෂ අධ්‍යාපන ඒකකයෙනි. එහෙත් ඔහුගේ අතැඟිලි ඊට නතු නොවේ. පමණට වඩා වැඩි එකට බැඳී ඇති අතැඟිලි ශල්‍ය කර්ම මගින් නිවැරැදි කරනු ලැබූවද එම අතැඟිලි ක්‍රියාත්මක කරවීමට තව බොහෝ සහාය අවැසිවේ. ඔහුට පාසලට පියවර ඔසවා යෑමට නොහැක්කේ ඔහුගේ දෙපයේ ඇඟිලි එකට බැඳී ඇති නිසාය.

ඔහුගේ දෙපයින් ප්‍රයෝජනයට ගත හැක්කේ එක් පාදයක් පමණක් බව වෛද්‍යවරුන් විසින් හඳුනා ගනු ලැබ ඇත. එසේ තිබියදීත් තම දරුවා ඇවිද්දවීම ඉඳුවරගේ පියා වන ඉන්දික ජයරත්නගේ අරමුණයි.

දරුවාගේ එක් පාදයක් නුදුරු දිනයකදීම සිරුරෙන් ඉවත් කර දමන්නට වන බව දැන දැන හඬා‍වැටෙන මේ මව් පියෝ තම පුතුගේ භාවිතයට ගත හැකි පාදයට සෙරෙප්පුවක් පැළඳීමට හැකිවන සේ ඇඟිලි සැකැසීම සඳහා වූ ශල්‍ය කර්මය සඳහා මුදල් සොයමින් වෙහෙසෙති.

ශල්‍ය කර්මය යෙදී ඇත්තේ දෙසැම්බර් පළමු වැනිදාටය. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය රොමේෂ් ගුණසේකර මහතා විසින් ඩර්ඩන්ස් රෝහලේදී සිදු කරනු ලබන සැත්කම සඳහා රුපියල් ලක්ෂ තුනක් අවශ්‍ය වන බව ඉඳුවරගේ මව දිශානි හන්සිකා මහත්මිය පවසයි. ඒ මුදලින් ලක්ෂයක් දානපතිනියක විසින් ඇයට ලබාදීමට පොරොන්දු වී ඇති බව පවසන හන්සිකා මදි පාඩු රුපියල් 150000 දෙසැම්බර් මස පළමු වනදා වන විට සොයා ගැනීමට උත්සුක වන්නීය.

සිය පුතු ගැන ළතැවෙන ඇගේ සිතට සැනසිල්ලක් ලබා දීමට ඔබට හැකියාවක් තිබේ නම් එය මහඟු පින්කමකි.

ඉඳුවර සෙමෙන් පියවර තබමින් යන ගමන දකින ඒ මව්පියන් ඔබට නිරතුරුව පින් දෙනු ඇත. ඔවුන්ට පිහිටවීමට ඔබ කැමැති නම් 033-4913309 දුරකතනයෙන් හන්සිකා ඇමැතිය හැකිය. එසේ නැතිනම් ගණේමුල්ල සම්පත් බැංකුවේ 107853856685 අංක දරණ ඩබ්ලිව්. ඒ. ඩී. හන්සිකා ගේ ගිණුමට මුදල් බැරකළ හැකිය. ඔබගේ උපකාරයෙන් තොරව කරවල වෙළෙඳාමෙන් දිවි සරිකරගන්නා හන්සිකාටත්, ලී මෝලක කුලීකරමින් තම දරුවන් දැඩි කරන්නට වෙහෙස වන ජයරත්නටත් මේ කටයුත්ත ඉටුකර ගැනීම සිහිනයක් වනු ඇත. ඔවුන්ගේ ලිපිනය මෙසේය. 149/86/4, අඹගහ වත්ත, කලුවෙල පාර, ගණේමුල්ල

 

  

අදහස්