මේ තරම් ප්‍රශ්න අහන්න එපා හරි­යට සීඅ­යිඩී එකෙන් ව‍ෙග් | සිළුමිණ

මේ තරම් ප්‍රශ්න අහන්න එපා හරි­යට සීඅ­යිඩී එකෙන් ව‍ෙග්

නිර්මලා මැණිකේ තම නෑනණ්ඩිය ගැන බෙහෙවින් කම්පා වූවා, තමාට රත්නපුර වලව්වට යන්න ඕනෑ බව කියමින් රත්නසේකර හාමුට ගෝරනාඩු කළාය. ටික වේලාවකින් හාමු ජෝඩුව සමඟ රත්නපුර වලව්ව බලා ඉගිළ යන්නට කරුණාදාසට සිදුවුණේ අදිසි බලවේගයකින් මෙනි. සියල්ල එසේ සිදුවන අතරේ මලින්ද ගොඩලියද්ද තම ජීවිතය සම්බන්ධ තීරණයකට එළැඹෙමින් සිටියේය.

ඩග්ලස් හාමු කතා කළේ හති දමමිනි. ඒ හතියට නොදෙවෙනි ගතියක් එහා කෙළවරේ සිටිනා විල්ප්‍රඩ් හාමුට වැටෙන්න ගත්තේ තමාගේ පට්ටං‍දරේ එළිවෙලා මාස දෙකක් යද්දිම මේකත් එළිවෙච්චි එකේ කරදරේටය.

“බලන්න මල්ලි වෙච්ච දේ මේ අගෝරිසාගේ කට කම්සිරියා නැති කතාව හින්ද‍ෙන් මේ ඔක්කොම...”

“එතකොට ඔය කතාව මලින්ද පුතාට ඇහුණද?... ආ....”

“මට හි.. හිතෙනව.. අන්තිම කොටස පුතාට ඇහෙන්න ඇති කියලා. යකා වගේ ගිහිල්ලා මෝටර් සයිකලේ නැගලා ඔය ඉගිල්ලුණේ.. එලෝ මෙලෝ නැතිව මිනිහා ගියේ...”

“එතකොට සුදු මැණිකෙ නංගිට ඕක ඇහුණා කියලා කොහොමද හිතන්නෙ ආ...”

“අනේ.. මල්ලි මේ හරස් ප්‍රශ්න අහන්න එපා මගෙන් හරියට සීඅයිඩී එකෙන් වගේ. මට මේවා මෙහෙම කියන්න බෑ මට මල්ලිව හම්බ වෙන්න ඕනෑ!”

“දෙන්නත් එක්ක ම එන්නකො ඉතිං මෙහේ... ඉවරනේ..”

“දෙන්නා..? හහ්.. මල්ලි දන්නවද ‍ෙම්ක ඇහිච්ච වෙලාවෙ ඉඳන් අපේ සුදු මැණිකෙ පරල වෙලා වගේ.. පිපිරි පිපිරි... කාමරේට වැදිලා දොර වහගෙන ඉන්නේ.. මැගී එක්ක විතරයි කතා කරන්නේ.. මැගී කියනවා කාමරේ ඇතුළෙ ඉඳගෙන අඬා වැටෙනවලු.. මට බයයි මල්ලි ආයෙමත් ලෙඩේ මතුකර ගනියිද කියලා.. බලන්න මලින්ද පුතාගෙ සංගදිය වෙච්ච වෙලාවෙ මතකනේ...”

එකවරම එතැනට කඩා වදින්නේ... නිර්මලා මැණි‍ෙක්ය.

“මොකක්ද අපෙ මහත්තයා මේ සංගෙදිය... ඔය අපේ අයියණ්ඩි එක්ක නෙවද කතා කරන්නෙ ආ...”

“ආ.. ඔව්... ඔව්... පොඩි ප්‍රශනයක් මැණි‍කෙ, කලබල වෙන්න එපා... දන්නෙ නැද්ද මේ සුළු සුළු ගෙවල්වල ප්‍රශ්න... ඕවා ඉතිං කවදත් කොහේත් තියෙන ඒවානේ...”

“සුළු ප්‍රශන්යක් හින්ද වෙන්න ඇති අපෙ මහත්තයා ඉස්සෙල්ල ෆෝන් එක අල්ලගෙන මොර තිබ්බෙ...!”

දැන් නිර්මලා මැණිකෙගෙ ඇස් දිලිසෙයි. විල්ප්‍රඩ් මොහොතකට පසුබසින්නේ පහුගිය දවස්වල එළිවෙච්ච තමුන්ගෙ පට්ටංදරේ මතක් වෙලාය. හොඳ වෙලාවට ජන්තු නොන්ඩි ගහමින් සාලය මැදින් දුවන්න ගත්තේ කලබලයෙන්.

*****

සුපුරුදු අවන්හලට ශ්‍රීමාල් යද්දි මලින්ද ඒ වන විටත් ඇවිත් සිටියේය. මලින්ද සිටියේ අමුතුම මුහුණුවරකිනි.

“මොකක්ද මලින්ද අයියා වුණේ. තරංගා ගැන අප්පච්චිලා ගෝරි දානවද?”

මලින්දගේ මුහුණේ හැඟීම් නලියන විදියට ශ්‍රීමාල්ට බය හිතෙයි. මලින්දගේ දෙතොල් ද වෙව්ලයි.

“එහෙම එකක් නෙමේ මල්ලි... අපේ අප්පච්චිගෙ කෙරුම්කාරකම් එළිවුණා... ඔයාලගෙ අප්පච්චිගෙ වගේ...!”

ඊළඟ විනාඩි කීපය ගත වුණේ සිද්ධිය විස්තර කරන්නටය. ශ්‍රීමාල් නැගී සිටියේ පුදුමයෙනි.

“ෂඃ... ජයේන්ද්‍රගෙ නංගි චන්ද්‍රානි? ගැනද ඔය කියන්නෙ. ඇත්තට දෙයියනේ... මං මේ කල්පනා කළේ ඔය චන්ද්‍රලතා මාර අම්මණ්ඩියක් නේ... බලාගෙන ගියාම!”

“ගෑනුන්ට දොස් කියන්න එපා මල්ලි.. ඔය ගෑනු අසරණයි අපේ හාමු ගොල්ලගෙ කෙරුම්කාරකම් බලපුළුවන්කාරකම් ඉදිරියේ... අපේ අප්පච්චි වුණත් ඔය ජයතිස්සට ඉඩම් බලාගන්න පංගාර්තු කළේ.. ඒ වගේම මිනිහට ලොකු තැනක් දුන්නෙත්... ඔය “අල්ලස” හින්දාම වෙන්න බැරිද?”

“ජයමාල් මල්ලිට මේක දැනගන්න ලැබුණම ආයෙම ජල්ලියක් අල්ලයිද දන්නෙ නෑ...”

“බලාගෙන ගියාම රදීශ්ලා හරිම වාසනාවන්තයි මල්ලි... බලන්න ජයසුන්දර මාමලාත් හාමුලා නේ... කෝ එයාලගෙ නෑනෙ ඔහොම දෙබිඩි ජීවිත. ඒ මිනිස්සු හරි විවෘතයි..”

“දැන් ඔයා මේක තරංගාටත් කිව්වද මලින්ද අයියෙ..”

“තාමනෑ මල්ලි මොන කටකින් කියන්නද මේවා...”

“මටත් මේක මේඛලා එක්ක කියන්නත් මොකක්ද වගේ... අපේ අප්පච්චිගෙ හුටපටේ කියාපු වෙලාවෙත් එයාගෙ ඇස් උඩ ගියා... හිත ඇතුළෙන් මොනවා හිතනවද මන්දා....”

“ඒ මිනිස්සු දුප්පත් වුණත් ශීලාචාර විදියට ජීවත් වෙන අයනෙ මල්ලි.. ඔය අගෝරිස් කපුවා ප්‍රචාරයක් ඇරලා තියෙනවා තරංගා, පෙත්තරේ පැත්තෙ කෙල්ලක් කියලා...” මලින්ද කියන්නේ බර සුසුමක් ‍එක්කය.

“ඔය ප්‍රශ්නෙම මටත් එනවා අයියෙ... මේඛලාගෙ තාත්තාත් ඉස්සර ඔය අංශෙ රස්සාවක් කරලා තියෙන්නෙ... පස්සේ අම්මයි අයියයි තමා ඒවා වෙනස් කරලා වෙන රස්සාවලට බැහැලා තියෙන්නෙ... ඔය ලේබලෙන් මිදෙන්න ඕන හින්දා....”

සහෝදරයන් දෙන්නා ප්‍රශ්නයට සමවැදී දිර්ඝ වේලාවක් ම කතා කළත්... විසඳුමක් දෙදෙනාටම නැත.

“මං මේ කල්පනා කළේ මල්ලි... අපේ අම්මාටත් ඔය කතාව ඇහෙන්න ඇති... මෙලහකට එයාට මොනවා වෙලාද දන්නෙත් නෑ... පව්.. අපෙ අම්මා!”

“අපේ අම්මා ගැනත් මට දුකයි මලින්ද අයියෙ. පිරිමින්ගෙ මේ වගේ දුර දිග නොබලා කරන නරුම වැඩවලින් දුකට පත්වෙන්නෙ ගෙවල්වල ගෑනුයි දරුවොයි තමා...” මලින්ද හිස වනයි. ඒ කලකිරීමෙනි. ඒ මදිවාට මලින්දගේ ඇස්වල කඳුළුය. ශ්‍රීමාල්ට දුක හිතෙයි. මලින්ද අයියාත් ජයමාල් මල්ලි වගේය. හරිම ආවේගශීලීය. දැන් දෙන්නා ම වලව් වාහන පැත්තක දමා මෝටර් සයිකල්වලට බැහැලාය. එක අතකට ඔවුන් හරිය. දැන් දෙදෙනාම රැකියාවල් කරන යමක් උපයන නිදහස් අයය. ලබන අවුරුද්දේ සිට තමාගේ ඉරණමත් වෙනස් වුනෝතින්... මේ බන්ධනවලින් ටිකකට හරි මිදෙන්නට පුළුවන්ය.

*****

සමන්ති, දරුවා උකුලේ තබාගෙන ආලින්දයට වී බලා සිටියේ ජයේන්ද්‍ර එනකම්ය. මල්ලි හදිස්සියේ කතාකර කියූ අලුත් ආරංචිය ඇගේ සිත දෙදරවා ඇත. වැඩට උදව්වට ඉන්නා නෝනම්මා වරින්වර තම ස්වාමිදුව දිහා බැලුවේ අනුකම්පාවෙනි. නමුත් සමන්ති තම නැන්දම්මා, චන්ද්‍රලතාට විරුද්ධව එක වචනයක්වත් නෝනම්මා සමඟ කතා කළේ නැත!

ඇය කල්පනා කළේ දැන් මේ බව දැන ගත්තාම චන්ද්‍රානිට මොනවා හිතේවිද කියා විතරය. ජයේන්ද්‍ර ගේ පියා තම පියා නොවන බව දැනගත් දවසේ ද චන්ද්‍රානි තමාව බදාගෙන හැඬුවා මතකය.

‘පව් ඒ කෙල්ලට කැම්පස් එකේ ඉගෙනීම් වැඩවලටත් මේ හිත් අමාරුව බලපාවි...’ තම කුඩා පුතු හුරතල් කරන ගමන් ඇය සිතයි. එක අතකින් චන්ද්‍රලතා පුදුමාකාර ගැහැනියකි. එවැනි අම්මා කෙනෙකුගේ දරුවන් වීම මොන තරම් අවාසනාවක්ද? ඒ අතින් තමාගේ අම්මා, සුදු මැණිකෙ හාමු මොනතරම් නම් අහිංසකද... නිර්මලා මැණිකෙ නැන්දාත් ඒ වගේය. ඔවුන් තම තමන්ගේ වලව්වලට කොටුව ජීවිතේ මුළු සතුටම ඒ තුළ රඳවාගෙන සිටින්නට පුරුදු වෙලාය. එක අතකට ඔවුන්ට සියලුම රැකවරණය, ආදරය, ගෞරවය ලැබෙන නිසා ඒ සීමාවෙන් පිට නොපැන සිටිනවා විය හැකිය. නිතර පොතපත කියවන උගත් තරුණියක වන සමන්ති එසේ සිතුවිලි විග්‍රහයක යෙදෙද්දී ජයේන්ද්‍රගේ ජීප් රථය මිදුලෙන් ඇවිත් පෝටිකෝව ‍යටට එනකන්ම ඇය දන්නේ නැත.

“ආ... ආයි... අප්පච්චී.... අප්පච්චී...!”

පුතා තම පියාගේ දෝතට පනිද්දී සමන්ති බැලුවේ තම සැමියාගේ මුහුණ දිහාය... ඒ මුහුණේ අඳුරු සේයාවකි...! මොහොතක් ජයේන්ද්‍ර සමන්තිගේ දෑස දෙස බලා සිටියේ දෙගිඩියා ඇස්වලින්ය. තමාගේ අම්මාගේ චර්යාව ගැන කියා දැන් ඇය තමාට බැණ වදිනු ඇතැයි ඔහුට සිතුණි. නමුත් සමන්ති ඔහුට ළංවී උරහිසට අතක් තැබුවාය.

“ඔයාට අද ගොඩාක් මහන්සි පාටයි... ජයේ.. තේ ටිකක් බීලා හිටිමු නේ..?”

ජයේන්ද්‍ර‍ගේ ඇස්වලට කඳුළු ආවේ ඇගේ මවුවත්කම ගැන හිතාගන්ට බැරිවය.

*****

සුදු මැණිකෙ හාමු ඔළුව අල්ලාගෙන කැගසයි. තමුන්ගේ දරුවන් දෙන්නා ළඟට ගෙනැවිත් දෙන ලෙස අත් උඩට ඔසවා ආයාචනා කරයි.

“සුදුමැණිකෙ හාමුගෙ ඔළුව නරක් වෙලා.. සමන්ති හාමු පැනලා ගිය දවස්වල වගේම තමයි හැසිරීම.. මෙදා පාර නම් හොඳටම හිත නරක් වෙලා..”

රත්නපුර වලව්වේ සේවිකාව මැගී, රියැදුරු ඩේවිඩ් සමඟ කීවේ ඉවසලා බැරිම තැනය. ඩේවිඩ්ගෙන් ඒ ආරංචිය ශ්‍රි ජය වලව්වේ කරුණාදාස වෙත ගියේ විදුලි වේගයෙනි. ඊට පසු ජන්තුට කියන ලද ආරංචිය සිරියාට ද ඉන්පසු නිර්මලා මැණිකේට ද ආරංචිවෙන්ට වැඩි වෙලාවක් ගියේ නැත. නිර්මලා මැණිකේ තම නෑනණ්ඩිය ගැන බෙහෙවින් කම්පා වූවා, තමාට රත්නපුර වලව්වට යන්න ඕනෑ බව කියමින් රත්නසේකර හාමුට ගෝරනාඩු කළාය. ටික වේලාවකින් හාමු ජෝඩුව සමඟ රත්නපුර වලව්ව බලා ඉගිළ යන්නට කරුණාදාසට සිදුවුණේ අදිසි බලවේගයකින් මෙනි. සියල්ල එසේ සිදුවන අතරේ මලින්ද ගොඩලියද්ද තම ජීවිතය සම්බන්ධ තීරණයකට එළැඹෙමින් සිටියේය. ඔහුට නැවත වලව්වට යාමට හිරිකිතයක් ඇති වුණේ, තරංගා විසින් කියන ලද පණිවිඩය ඇසූ පසුය.

“මලින්ද... ඔයා දන්නෙ නෑ... ඊයෙ රෑ අපේ ගේ ළඟට ඇවිත් කවුද පිරිමි තුන් හතර දෙනෙක් අපේ තාත්තටයි අයියටයි තර්ජනය කළා... වලව්වෙන් හිර ගන්න තියෙන අදහස අත්අරින්න කියලා!”

 

ලබන සතියට‍...

අදහස්