සන්දේශ කාව්‍ය­යක මඟ සල­කුණු සොයා ගිය ගම­නක් | සිළුමිණ

සන්දේශ කාව්‍ය­යක මඟ සල­කුණු සොයා ගිය ගම­නක්

ප්‍රවීණ මාධ්‍යවේදීන් තිදෙනකු වන කරුණාදාස සුරියආරච්චි, තිස්ස වීරසේකර සහ චන්ද්‍රසිරි කටුදෙණිය දිවයින පුවත්පතේ සේවය කරන කාලයේදී බදුල්ලේ සිට මහනුවර බලා ගිය පාද චාරිකාවේ අත්දැකීම් අතුළත් කරමින් රචනා කළ “ මඟ සලකුණු ඔස්සේ ගිය

පා ගමනක්” කෘතිය 07 වැනි බදාදා සවස 3.00 ට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ

ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිත ය. මෙහි මුලසුන හොබවනු ලබන්නේ

කෘතහස්ත මාධ්‍යවේදි එඩ්මන්ඩ් රණසිංහ විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර මනතුංග සහ ප්‍රවීණ මාධ්‍යවේදී මෙන්ම සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන අයගේ දේශනද එදින පැවැත්වෙනු ඇත.

කිසිදා නොදුටු කිසිදා පය නොගැසු ඌව වෙල්ලස්සේ ගවේෂණාත්මක චාරිකාවකට ඔවුන් පැමිණියේ පැරණි මාවතක් සොයා යෑමේ අරමුණෙනි. ඔවුන් ඇවිද ගිය ගල් බොරලු පිරි අගල් සහිත එක් පාරක් කෙළවර වුයේ මඩ වගුරු බිමකිනි. පය ලෑ සෙරෙප්පු ගලවා අතට ගෙන කලිසම් කකුල් නවා ගෙන මඩ කඩිති පැන ඔවුන් ගිය ගමන ලෙහෙසි පහසු වුයේ නැත.

එහි අවසන රූස්ස ගස් කොළංවලින් ගහන මහ මුකලානකි. එක් පසෙකින් රූස්ස ගස් සහිත කන්දක් අනෙක් පසින් මුකලාන සහිත හෙළක් දකින ඕනෑම අය‍කුගේ සිත් සතන් තුළ ඇති වන භීතිය අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

එක පෙළට යා නොහැකි පටු අඩි පාර දිගේ ගමන් ගනිද්දී වටපිටාව ගැන විපරම් කිරීමට ඔවුන් පසුබට නොවුයේ සතා සර්පයා කොයි මොහොතේ හමුවේ දැයි කිව නොහැකි නිසාය.

රන්දෙණිගල ව්‍යාපාරය නිසා කොටු වූ අලි රංචුවක් මෙම මූකලානේ සැරිසරන බව මග හමු වූ අය කී කතා කිසිසේත් බැහැර කළ නොහැකි බැවින් ඔවුහු සෝදිසියෙන් ඉදිරියටම ගමන් කළහ. හාත්පස වසා ගත් කළුවරට පාතාලය දෙසින් ඇසෙන හෝ හෝ හඬ ඔවුන්ගේ බිය හා තැතිගැන්ම දෙගුණ තෙගුණ කළේය. එහෙත් ඔවුහු නොනැවතී ඉදිරියටම අදෙන්නට වුහ.

එදා චකිතය, බිය හා කුතුහලය යන හැඟීම් පොදිය කරපින්නා ගනිමින්, දින 10 ක් පුරා ඇවිදිමින් ‍ගවේෂණාත්මක චාරිකාවක යෙදුණේ මෙරට ප්‍රකට සහ ප්‍රවීණ පුවත්පත් කලාවේදීන් තිදෙනෙකි. එහෙත් ඒ චාරිකාවේ යෙදුණේ අද ඊයේ නම් නොවේ. මීට වසර 27 කට පෙරදීය. එනම් 1991 වර්ෂයේදීය. එදා පැරණි පාරක් සොයමින් දුෂ්කර ගමනකට පිවිසි මාධ්‍යවේදීන් තිදෙනා වන්නේ කරුණාදාස සුරියආරච්චි, තිස්ස වීරසේකර සහ චන්ද්‍රසිරි කටුදෙණිය ය. ඔවුන් අතරින් කරුණාදාස සුරියආරච්චි සදහටම සමු ගෙන ගියේ 2014 වර්ෂයේදීය.

ඔවුන් තිදෙනා 1991 වර්ෂයේදී මෙවැනි පාද චාරිකාවක යෙදුණේ පැරණි සංදේශ කාව්‍යයක සඳහන් ගමන් මඟක් සොයා ගෙන යැයි කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. නැතහොත් ඔවුන් උමතුවෙන් පෙළෙන්නේදැයි සැක පළ කරනු ඇත. නැත. ඔවුන් එදා එම ගමන පිටත් වුයේ කිසිදු ව්‍යාධියකින් නොවේ. පුවත්පත් කලාවේදීන් වශයෙන් විශේෂාංග රචනා කලාවට නව ප්‍රවේශයක් හඳුන්වා දීමට ය.

“ඒ කාලේ අපි දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයන් ලෙස සේවය කළා. එහි ප්‍රධාන කර්තෘ ලෙස ඒ කාලේ කටයුතු කළ එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා අපි තුන්දෙනාව ඔහුගේ කාමරයට කැදෙව්‍වා. ඔහු අතේ මඟ සලකුණ ‍පොත අතේ තබාගෙන “මේ පොතේ කියවෙන පාරේ පයින් ගියොත් යමක් ලියන්න පුළුවන්. තුන්දෙනා කතා කරගෙන කියන්නකෝ” කියලා කිව්වා. ඊ‍ට පස්සේ අපි මේ පොතේ තිබෙන කවි කියවලා බැලුවා. එහි ඇතුළත් වෙලා තිබුණේ බදුල්ලේ මුතියංගණයේ සිට මහනුවර දළදාව වඳින්න පැමිණි ගමන් මාර්ගයයි. මේ පොත බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබිලා 1936 දී ගරු එඩ්මන් පීරිස් බි‍ෂොප්තුමා එහි ගිය අවස්ථාවක දැකලා ඡායා පිටපත් ගෙනැවිත් තිබුණා.

ඊට පස්සේ එතුමා 1947 වර්ෂයේදී මෙම පොත “මඟ සලකුණ නමින් මුද්‍රණද්වාරයෙන් පළ කළා.” මඟ සලකුණ පත්තිරු 17 කින් සහ කවි 203 කින් සමන්විත පුස්කොළ පොතක් වශයෙන් තිබුණේ. 1947 දී මුද්‍රණය වූ මඟ සලකුණ සංදේශ කාව්‍යයේ පිටපතක් තමයි එදා එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා අපේ අතේ තැබුවේ. ඒ කවි කියවලා මග සලකුණු අනුව ඒ ගමන් මාර්ගය ඔස්සේ අපි බදුල්ලේ සිට මහනුවරට ගියා.” යනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි කටුදෙණිය පැවසුවේ සිය චාරිකා අත්දැකීම් අපට විස්තර කරමිනි. ප්‍රවීණ මාධ්‍යවේදී තිස්ස වීරසේකර ද ඊට එකතු විය.

1991 පෙබරවාරි 14 වැනි දා උදෑසන මෙම මාධ්‍යවේදින් තිදෙනා බදුල්ලට සේන්දු වුයේ දුම්රියෙනි. දින 10 ක් මුළුල්ලේ ඇවිද ගිය ඔවුන‍්ගේ ගමන කටුකය. විටෙක රුදුරු ය. එහෙත් රසවත්ය. මඟතොටේ හමු වන අය සමඟ කතා බහේ යෙදෙමින් ඔවුන‍්ගේ සංග්‍රහ භුක්ති විදිමින් එදා ඔවුන් ගිය චාරිකාව අදටත් සිහි කරන්නේ ආස්වාදනීය හැඟීමෙනි. උහුලා ගත නොහැකි සීතලට අභියෝග කරමින් කූඩැල්ලන්ගේ වද කරදරයට ලක් වෙමින් සංදේශ කාව්‍යයක සඳහන් මාර්ග‍යක් සොයා මෙම මාධ්‍යවේදින් තිදෙනා කළ මෙහෙයුම පුවත්පත් කලාවට නව ප්‍රවේශයක් එක් කළ බව සඳහන් කරන්නේ ඔවුන්ට ගෞරවය ලබා දෙමිනි.

මෙහිදී ඇතැම් දිනවල ඔවුන්ගේ දිවා ආහාරය වුයේ පාන් සහ කෙසෙල් ය. නැතහොත් කුරහන් පිට්ටුවකි. එහෙත් වෙහෙර විහාරවල නවාතැන් ගන්නා විටෙක නම් බඩකට පුරා බත් ලැබිණි. ඒ අතරවාරයේදී මඟ තොටේ හමුවන අයගෙන්ද ලැබුණු ආප්ප, ව‍ඩේ, බත්, වරකා, කුරුම්බා වැනි ආහාරපාන සංග්‍රහ නිමක් නැත.

“අපිට මඟතොටේ හමුවන හැම කෙනෙකුම උදව් කළා. එක්කෝ ආහාරපාන වලින්. එක්කෝ පාර පෙන්වන්න මඟට ඇවිත් අපිට පුදුමාකාර සහයෝගයක් දැක්වුවා. ඇත්තටම අපි ඒ අයගේ ගැමිකම, නිර්ව්‍යාජත්වය අපුරුවට අත් වින්දා. අපි සොයා ගෙන යන පාර ගැන ගම්මුන්ගෙන් අහපුවාම ඒ අය පාර කියනවා විතරක් නොවෙයි. පෙන්වන්නත් එනවා. වැඩිහිටි තලතුනා ගැමියන් වගේම පුංචි ළමයින් පවා අපට උදව් කළේ ඔවුන්ගේ ගැමිකම, ආගන්තුක සත්කාරය, මනුස්සකම ප්‍රදර්ශනය කරමින්.

ඒ අතරින් කොහොවිල කඳුර පන්සලේ ගාවෙල ධම්මරතන නායක හාමුදුරුවන්ව අමතක කරන්නම බැහැ. ඒ කාලේ උන්වන්සේට අවු: 65 ක් විතර ඇති. අපිට පාර පෙන්වන්න උන්වහන්සේත් අපි එක්ක ආවා. උන්වහන්සේ වයස වුණාට අපිට වඩා හොඳට වේගයෙන් කන්ද නැගලා ගිහින් අපි එන තුරු මඟ බලාගෙන ඉන්නවා. අපිව ඇරලවලා සමු ගන්න හදන මොහොතේ උන්වහන්සේගේ ඇස්වලට කඳුළු ආවා.” යනුවෙන් පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදි තිස්ස වීරසේකර ය.

මෙම චාරිකාවේ දී තිස්ස වීරසේකරට ඇබැද්දියකට මුහුණ පෑමට සිදු විය. ඒ ඔහුට උදරාබාධයක් වැලඳුණු බැවිනි. ඉඳහිට මගතොටේ හමුවන කඩවලින් යෝගට්, පාන්, බනිස් ආහාරයට ගැනීමෙන් ආහාරයක් අපථ්‍ය වී උදරාබාධය ඇති වූ බව තිස්ස වීරසේකරගේ අදහස ය. ගමන් මල්ලේ තිබුණු ඖෂධවලින් රෝගය පාලනය කර ගත් නමුදු රාගල නගරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තේ ගමනේ තවත් දුර යෑමට තිබෙන නිසා ය. දිවයින පුවත්පතේ මාධ්‍යවේදියකු වු නිසාත් ඔවුන්ගේ ගවේෂණාත්මක චාරිකාව නිසාත් වෛද්‍යවරයා තිස්ස වීරසේකරගෙන් මුදල් ගත්තේ නැත.

මෙම චාරිකාවේ අරමුණ සංදේශ කාව්‍යයේ ගමන් මඟ සොයා යෑම වුවද ඔවුන් තිදෙනාට මෙම ප්‍රදේශවල බොහෝ ප්‍රශ්න හඳුනාගත හැකි විය. හරිහැටි පාරක් ‍තොටක් නැති පාරක් දිගේ සැතපුම් ගණන් පයින් යන පාසල් දරුවන්, එළවළු අලෙවි කර ගැනීමට නොහැකි ගොවීන්, ගෝනිවල වී බොන අලි කරදර, බස් රථ නොමැතිව කඳු පල්ලම් බැස ගෙන යන මිනිසුන්ගේ දුක් ගැනවිලි ඔවුන් හමුවේ ඉදිරිපත් වූ ගැටලු කීපයකි. ප්‍රවීණ මාධ්‍යවේදීන් තිදෙනා ඒ සියල්ල සටහන් කර ගත්තේ කොළඹ ගිය පසු දිවයින පත්‍රයේ ඒ සියල්ල පළ කර ඔවුන්ට උදව් කිරීමේ අරමුණෙනි.

සිය දූ දරුවන් තනි කර පැමිණි මෙම චාරිකාවේදී මාධ්‍යවේදීන් තිදෙනාට ඔවුන් සිහිපත් නොවුණ නොවේ. එහෙත් අද මෙන් තාක්ෂණය දියුණුව නොතිබු 90 දශකයේ මුල් භාගයේ ජංගම දුරකථන තබා ස්ථාවර දුරකථනවත් හරිහැටි නොතිබුණු බැවින් ඔවුන්ට නිවෙස්වල ප්‍රිය බිරින්දෑවරුන් සහ දූ දරුවන් ඇමතීමට සිදු වුයේ අතර මග හමු වන උප තැපැල් කාර්යාලයකිනි. එහෙත් චන්ද්‍රසිරි කටුදෙණිය නම් රාත්‍රිය නවාතැන් ගන්නා ස්ථානයේ සිට නිවසට ලියුම් ලියා අතරමඟින් තැපැල් කිරීමට පුරුදු වී සිටියේය.

මේ අතරවාරයේදී කරුණාදාස සුරියආරච්චිගේ සෙරෙප්පුවක පටියක් කැඩීමෙන් ඔහු කොරකු බවට පත් විය. කකුල අද්දවමින් කඳු නැඟීමට ඔහුට බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදු වූයේ හැට්ට කටුවක්වත් සොයා ගැනීමට කෙනෙකු නැති නිසාය. ඔහුගේ කොර භාවය දුරු වුයේ තිස්ස වීරසේකර යකඩ ඇණයක් රත් කර සෙරෙප්පු පටියට තද කර කාබන් පෑන් කූරක් සිදුර අතරින් යවා කාසියක් තබා සිදු කළ වැල්ඩින් ක්‍රමයට පින් සිදු වෙන්නටය.

“අපිට පන්සල්වලින් වගේම ගම්වැසියන්ගෙන් ගොඩාක් උදව් උපකාර ලැබුණා. ඒත් සමහරු නම් අපි දිහෑ සැකයෙන් බැලුවේ. මොකද 88-89 භීෂණ කාලය අවසන් වූ අලුතමනේ. ඒ භීෂණය එක්ක ඔවුන් අපි දිහෑ බැලුවෙ සැකෙන්. අපි අපේ කාර්යාලීය හැඳුනුම්පත පෙන්වලා දීපුවාම නම් සාදරයෙන් පිළිගත්තා.” යනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි කටුදෙණිය ඌන පූර්ණයක් එකතු කළේය.

මෙම මාධ්‍යවේදීන් තිදෙනා සංදේශ කාව්‍යයේ සඳහන් මඟ සලකුණු ඔස්සේ චාරිකා කිරීමේදී “මග සලකුණු” පොතේ සඳහන් ගම් හමු නොවීමෙන් තවත් ගැටලුවකට මුහුණ පෑහ. වැල්ලගිරිය පන්සල, කුඩා නාම්බා හෙල, නෑබඩ නාම්බා හෙල, දඬුබැදිරුප්පෙ වැනි ගම් “මග සලකුණු” පොතේ තිබුණද ඔවුන්ට එවැනි ගම් මුණ ගැසුණේ නැත. ඒ නිසාම ඔවුන්ට මතුරට ඔස්සේ එන ගමන් මඟ වැරදුණා යැයි ඔවුන්ට සැකයක් ඇති විය. ඒ නිසාම හිටපු ගම් සභාපතිවරයකු වූ ජිනදාස අඹගස්පිටියගෙන් ඒ පිළිබඳ විමසනු ලැබිණි.

“එළමල්පතට දැන් කියන්නේ රාගල. දඬුබැදිරුප්පෙ තියෙන්නේ රාගලට පොඩ්ඩක් එහා. නාම්බා හෙලට කියන්නේ නැඹිහෙල කියලා. කුඩම්මා තලවිටට දැන් කියන්නේ කුඩම්මා කලපිය කියලා.” ජිනදාස අඹගස් පිටිය විස්තර කළේය.

මේ අනුව එළමල්පතන සහ එළමලේ පටලවා ගැනීමෙන් මතුරට සිට දීර්ඝ මාර්ගයක් හරහා ඔවුන් පැමිණ ඇති බව පැහැදිලි විය.

කෙසේ හෝ තලාව රජමහා විහාරයට පැමිණි මෙම මාධ්‍යවේදීන් තිදෙනා එතැන් සිට සාමාන්‍ය පුද්ගලයන් මෙන් ඇවිද ආවේ රජමහා විහාරයේ සිට අතුරු මාවතට පැමිණි පසුව ප්‍රධාන මාවතකට සේන්දු වූ නිසාය. කිවුල් ළි‍ඳේ පාලමින් එගොඩ වී තලාතුඔය සහ දිවුරුම් බෝධිය පසු කරමින් පැමිණි ඔවුන් මහනුවර දළදා මාලිගාවට පැමිණෙන මිට සවස 5.30 පසු වී තිබිණි. එවකට දිවයින කර්තෘ මණ්ඩලයේ පත්‍ර කලාවේදී ධර්මරත්න විජේසුන්දර එහිදි ඔවුන් උණුසුම් අන්දමින් පිළිගත්තේය. ඊට අමතරව සමන් මල් බන්දේසි රැගත් ප්‍රභූවරුන් තිදෙනෙක් ඔවුන් පිළිගැනීමට සිටියහ. ඒ එවකට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි යසරත්න තෙන්නකෝන්, මහනුවර නගර සභාවේ වැඩ බලන නගරාධිපතිතුමා සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාය. මෙම මාධ්‍යවේදීන් තිදෙනා ග‍වේෂණාත්මක පාද චාරිකාව අවසන් කළේ දළදා සමිඳුන්ට සමන්මල් පුජා කිරීමෙන් පසුව ය. 

 

අදහස්