හමුදා ඇඳු­මට පෙම් කරන ප්‍රභා­ක­රන්ගේ අලි සුර­තලී | සිළුමිණ

හමුදා ඇඳු­මට පෙම් කරන ප්‍රභා­ක­රන්ගේ අලි සුර­තලී

අලියකු පාරේ යද්දී “අන්න අලියෙක්” කියමින් ඒදෙස නොබලා යන්නකු ඇත්නම් ඒ කලාතුරකිනි. ඒ තරමටම අලි බැලීමෙයි බලි බැලීමෙයි එපා වීමක් නම් නැත්තේය. කුමන තරාතිරමක අයකු වුව අලියකු දැකීමටත් උගේ සෙලවිලි බලා සිටීමටත් ප්‍රිය කරන්නේය. කෙතරම් සද්දන්තයන් වුව අලි සෙල්ලම් හා දඟකාරකම් කෙතරම්නම් සිත් වශී කරන්නේද?

අලි ද එසේමය. මිනිස් ඇසුරේ කල් යවන අලි කවදත් සුරතල් වීමට කැමැත්තෝය. මෙලෙස මිනිසුන් හා සුරතල් වන්නට කැමති අලි සුරතලියක් අප ඇස ගැසුණේ පින්නවල අලි අනාථාගාරයේදීය. ඇය සුන්දර මැණිකාය.

මැණිකා එසේ මෙසේ සුරතලියක නොවේ. ඇය පින්නවලට පැමිණි ගමන හා ඇගේ අතීත කතා අසන්නට රසවත්ය.

“ප්‍රභාකරන්ගේ අලි පැටියා පින්නවල ඉන්නවා.”

මැණිකා පිළිබඳ හෝඩුවාව අපට කීවේ සහෝදර ඡායාරූප ශීල්පි සුදම් ගුණසිංහය. ආරංචිය තහවුරු කර ගැනීමෙන් පසු අපි ඉකුත් දිනක තකහනියේම පින්නවල ගියෙමු. ඒ ප්‍රභාකරන්ගේ අලි පැටියා බැලීමටය‍.

“මැණිකා”

අප එහි ගොස් අප ආ කාරණය අදාළ නිලධාරීන් හා පවසද්දී එක් නිලධාරියෙක් එසේ හඬ නැගීය.

ඒ හඬ නැගෙනවාත් සමඟම උගුරෙන් ‘කුරු කුරු’ ශබ්දයක් නඟමින් පටු මාවත දිගේ දඩි බිඩියේ දිව ආවේ හැඩකාර ඇතින්නියකි. තද කළු පැහැති ඇය අමුතුම හැඩකාරියකි. පිම්මේ දිව ආ ඇතින්නිය නතර වුයේ මැණිකා යැයි හඬ ගෑ කෙනා ඉදිරියේය. හොඬවැල මිනිසාගේ කර වටා දමමින් ඇතින්න ආලය ලීලය පාන්නට වූවාය. සද්ධන්තයකු වුව ඇය මිනිසුන් සමඟ හුරතල් වන්නීය.

“ඒ තමයි මැණිකයි එයාව බලාගන්න දුමින්දයි. දුමින්දයි, ප්‍රේමරත්නයි තමයි මැණිකා බලා ගන්නේ. මැණිකා කියන්නේ පින්නවලට විශේෂ කෙනෙක්. මැණිකා හරි කැමතියි එයාට ආදරය කරන අයට.” මැණිකා ගැන අප හා විස්තර කළේ පින්නවල සහකාර පාලක සමීර රත්නායකය.

වෙනත් අලි ඇත්තුන්ට වඩා විශේෂ පෙනුමක් ඇති මැණිකාගේ කතාවද හරි අපූරුය. මැණිකා පින්නවලට එන්නට පෙර සිටියේ දෙහිවල සත්ව උද්‍යානයේය. ඊටත් පෙර පෙර මැණිකා සිටියේ යාපනයේ 514 බලසේනා මුලස්ථානයේය. යුද්ධය පැවැති කාලයේ හමුදාව සමඟ අලියෙක් සිටියේ කොහොමද ? ඔබට එහෙම සිතෙන්නට පුළුවන.

යුද හමුදාවට මැණිකා ලැබුණු අතීත කතාව හොඳින්ම දන්නේ ඒ යුගයේ යුද හමුදාවේ සිටි එම මෙහෙයුමට සම්බන්ධ වුවෝය. ඒ කතාව හොඳින් දන්නා එකල යාපනයේ 514 බලසේනා මුලස්ථානයේ මේජර් දිමුත් මහලියනගේ මහතා සොයා ගැනීමට අපට පුළුවන් විය. ඔහු දැන් යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින්නේය.

“යුද හමුදාව යාපනය අර්ධද්වීපය ත්‍රස්තවාදින්ගෙන් මුදාගැනීමේ මෙහෙයුමේදී එල්ටීටීඊ සංවිධානයට අයත් ළමා උද්‍යානයක ඉඳලා තමයි යුදහමුදාව මේ ඇතිනි පැටියා නිදහස් කරගෙන තිබුණේ. මේ ඇතින්න ඇතුළුව වලස්සු හා තවත් සත්තු ඒ උද්‍යානයේ හිටියා. ළමා උද්‍යානයක සිටිය නිසා ඇතිනි පැටවා මිනිස්සුන්ට හීලෑවෙලා හිටියේ.

අපිට ලැබෙන කොට මැණිකාට අවුරුදු පහක් විතර ඇති. මැණිකා කියන්නේ අපි දාපු නම. අපි අහලා තියෙන්නේ නම් මැණිකා මුලතිව් කැලෙන් අල්ලා ගත්ත අලි පැටියෙක් කියලයි. යාපනයේ ඉන්න තුරුම කොස් ගස් කිතුල් ගස් නැති නිසා මැණිකාට කන්න දෙන්න වුණේ පොල් අතු විතරයි.

මැණිකා බලා ගන්න පාබල හමුදාවේ කෝප්‍රල් විජේසිංහ පුහුණු කෙරුවා. කෝප්‍රල් විජේසිංහ උදෑසනට ව්‍යායාම් කරන්න යනවා. මැණිකත් ඔහු සමඟ ව්‍යායාම කරන්න යනවා. කොටින්ම කිව්වොත් මැණිකා හැදුණෙත් සොල්දාදුවෙක් වගේ. ඒ කාලේ යාපනේට කවුරුහරි අමුත්තෙක් ආවොත් එයා පිළිගන්න යන්නේ මැණිකා.”

මහලියන මහතා පවසන්නේ මැණිකාගේ අතීත කතාවයි. 514 බලසේනාව සමඟ හුරතල් වූ මැණිකා කිසි දිනෙක කාටවත් හිරිහැරයක් නොකළාය. නමදු ඇයට යම් අයෙකු විහිළු කළ විට නම් ඔවුන්ට හොඳ හොඳ පාඩම් ඉගැන්නුවාය. මැණිකා බාල වියේ කළ දඟකාරකම් සිහිපත් කරමින් මහලියන මහතා අප හා මැණිකාගේ දඟකාරකම් පවසයි.

“දවසක් අපේ සෙබළෙක් මැණිකාට පාන් බාගයක් දිගුකරලා. එක පාරටම දෙන්නේ නැතිව විහිළු කරලා. මේක මතක තියාගෙන හිටිය මැණිකා ඒ සෙබළාගේ ට්‍රන්ක පෙට්ටිය ගෙනිහිල්ලා මඩවලක ඔබලා පාගලා දාලා තිබුණා. තව දවසක් මැණිකා බලාගන්න විජේසිංහ හෙණ්ඩුව පැත්තක තියලා පොල් අතු කපන්න ගහට නැග්ගා.

මැණිකා හෙණ්ඩුව පාගලා දෙකට කඩලා දාලා විජේසිංහට ගහෙන් බහින්න දෙන්නේ නැතිව ගහ හොලව හොලව හිටියා. බොහෝම අමාරුවෙන් තමයි මැණිකව එහාට මෙහාට කරලා විජේසිංහව ගහෙන් බස්සවා ගත්තේ. අපි සමහර වෙලාවට මැණිකගෙ පිටේ යනවා. ඒකට මැණිකා අපිට දඬුවම් කරනවා. ඒ තමයි කෑම්ප් එක ඇතුළේ තියෙන නෙල්ලි ගහ ගාවට අප එක්කන් යෑමයි.

මැණිකගේ පිටේ ඉන්න කෙනා නෙල්ලි නෙල්ලි කඩ කඩ මැණිකගෙ හොඩේට දෙන්න ඕන. මැණිකා යාපනය ටවුමට ගිහිල්ලා කඩවල් එක්ක යාළු වෙලා හිටියේ. දවසට පැය දෙකක් විතර හිටියේ යාපනය ටවුමේ රවුම් ගහනවා. කඩවල අය දෙන කෑම කන්න පුරුදු වෙලා හිටියේ. ඒ වගේම තමයි හැමදාම උදේට අපේ අයත් එක්ක නාග විහාරයට ගිහිල්ලා බුදුන් වඳිනවා. සමහර වෙලාවට මැණිකා කැන්ටිම ගාව ඉන්නවා. කැන්ටිමට යන එන අය මැණිකාට අයිස්ක්‍රීම් අරන් දෙන්නම ඕන. දුන්නේ නැත්නම් බලෙන් හරි ගන්නවා. හමුදාවේ අය දැක්කම මැණිකා හොඬවැල දෙනවා පිඹින්න කියලා.

මට මතකයි අපි එක අවුරුද්දක අවුරුදු උත්සවයක් සංවිධානය කෙරුවා. හොඳට කෑම මේසය හදලා තිබුණේ. උත්සවය කඩාකප්පල් කරයි කියලා මැණිකා බැඳලා හිටියේ. නමුත් මැණිකා දම් වැල් ගලවගෙන ඇවිල්ලා මුළු කෑම මේසයම කෑවා. මැණිකා තමයි ඒ අවුරුද්දේ කෑම මේසය ඉඳුල් කෙරුවේ. එක පාරක් මැණිකා උදේ පාන්දරක කැම්ප් එකේ බේකරිය කඩාගෙන හොරා කාලා. යාපනේ ටවුමෙන් කෑම්ප් එකට එළවළු ගේන්නේ හවස තුනහමාරට හතරට විතර. හැමදාම ඒ වෙලාවට මැණිකා මතක ඇතුව ගේට්ටුව ගාවට යනවා.

ඒ එළවළු අරගෙන එන අය මැණිකාට කන්න මොනවා හරි පලතුරක් ගෙනාවේ නැත්නම් මැණිකා වාහනේට ඇතුළට එන්න දෙන්නේ නැහැ. මැණිකාගේ දඟ වැඩ නම් කෙළවරක් නැහැ. ඒ කාලේ යාපනේට හිටිය එකම අලියා මැණිකා. එක් වරක් යාපනේ නාග විහාරයේ පින්කමකට කොළඹ ගංගාරාම පන්සලේ ඇතා ගෙන්නුවා. එදා ඒ ඇතා දැකලා මැණිකේ කෑ ගහලා හොඳටම අඳලා බයවෙලා කලබල වුණා. අපි බොහෝම අමාරුවෙන් තමයි සන්සුන් කර ගත්තේ.”

ඇය හමුදා සාමාජීකයන්ට බොහෝ ආදරය කළාය. හමුදා සාමාජිකයෝද මැණිකේට පෙරළාආදරය කළෝය. මේ බැඳීම නිසා අද ද මැණිකේ හමුදා නිල ඇඳුමට ආදරය කරන්නීය.

“මම ගෙදර යනකොට මැණිකේ මට වාහනයට නගින්න දෙන්නෙම නැහැ. මැණිකේ ටික ටික ලොකු වෙනකොට එයාට කෑම දෙන එක අපට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා තමයි අපි එයා එවකට හිටපු යුද හමුදාපතිතුමාට දන්වලා දෙහිවලට එව්වේ. ඒ වෙලාවේ නාවික හමුදාවේ උදව් ලැබුණා. අපිට බය හිතුණා එල්ටීටීඊ එක මඟදි මැණිකා පැහැර ගනිවී කියලා. ඒ නිසා කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලයට නැවකින් එව්වේ. (මේ නැව මුහුදේ සිට ගොඩබිම දක්වාම යා හැකි නැවකි) පශු වෛද්‍යවරුන් හා අලි බලන්නන් දෙන්නෙක් මේ ගමනට ආවා.

යාපනයේ සිට දෙහිවල දක්වා මැණිකේ එවීමත් එක්තරා විදිහක මෙහෙයුමක්. මැණිකේ ගියාට පස්සේ කෑම්ප් එකේ හැමෝම දුක් වුණා. ඒත් යුද්ධය නිසා ඒ දුක මඟහැරිලා ගියා. මොකද ඒ කාලේ අපිට අපේ ගෙවල් දොරවල් ගැනවත් මතක් කරන්න වෙලාවක් තිබුණේ නැති නිසා.” යාපනයේ සිට දෙහිවල සත්ව උද්‍යනයට පැමිණෙන මැණිකේ පසුව පින්නවලට පැමිණෙන්නීය. ඒ එනවිට මැණිකේගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. කාගේත් ආදරය මැද ඇති දැඩි වන මැණිකේ දැන් වැඩුණු තුරුණු ඇතින්නියකි.

එහෙත් ඇය තම වර්ගයේ පිරිමි සතුන් ප්‍රිය නොකරන්නීය. එනිසාම ඇය තනිකඩය. නමුදු ඇය තමන්ට සැබැවින්ම ආදරය කරන මිනිසුන්ට ආදරය කරන්නීය. බාල වියේ සිටම ඇයට ආදරය පෑ මේජර් මහලියන සේවයෙන් විශ්‍රාම ගිය පසු දිනෙක තම හිතමිතුරන් සමඟ පින්නවල පැමිණියේය. ඒ ගමනේදි ඔහු මැණිකේ බැලීමට ගියේය. මැණිකේ සැණෙකින් ඔහු හඳුනා ගත්තාය. ඇය කෑ ගසා කලබල කරන්නට වුවාය.

“මම වචනයක් වත් කතාකළේ නැහැ. මැණිකා මාව අඳුන ගත්තා. ඇය මා බඩයට තියාගෙන වෙනදා වගේම සුරතල් පෑවා. මැණිකා කියන්නේ හරි අහංකාර ආඩම්බර ඇතින්නක්. ඇය මට නොකියා කිව්වේ ඇය ගෙනියන්න කියලා. මං ආපහු එනකොට ගේට්ටුව ළඟටම මගෙ අතින් අල්ලගෙන ආවා. ඉස්සර මැණිකේ අලි බාසාව දන්නේ නැහැ. හොඳට සිංහල තේරෙනවා.” මහලියන මහතා පවසන්නේ මැණිකා ගැන සිත උපන් සෙනෙහසිනි.

දැන් මැණිකාට සිංහල මෙන්ම අලි භාෂාව ද හොඳින් වැටහේ. මැණිකා ඇයටම විශේෂ ගතිගුණවලින් යුතුය. තමන් අසලට පැමිණෙන්නන්ට ඇය තම හොඬවැල දිගු කරන්නීය. ඒහොඬයට පිඹින්නට කියාය. තවත් විටෙක. මැණිකා ටෙලි නිළියකි. ඇය කෝපි කඩේ නාට්‍යයේ රඟපා ඇත්තීය. දැන් දුමින්ද හා ප්‍රේමරත්න මැණිකාගේ සමීපම හිතවතුන්ය. ඒ ඔවුන් ඇය බලා ගන්නා නිසාය. නිදන්නට හැරුණු විට වෙනත් වේලාවල බිම පෙරළෙන්නේ නැති මැණිකා පින්නවල සිටින අනෙක් අලි සමඟ සහයෝගයෙන් සිටින්නීය.

“පොඩි අලින් කලබල වුණු වෙලාවට අපි ඒ අය සන්සුන් කරගන්නේ මැණිකා ඒ අය අතරට එවලා. ” ඇත්ගොව්වා වන දුමින්ද හා මැණිකා අතරවන හිතවත්කම බලා සිටින අතරේ සමීර අප හා පවසන්නේය. ආනන්ද යාපනයේ සිට මැණිකා රැගෙන එන ගමනට සහභාගි වූ අයෙකි. ඔවුන් මුලින්ම ගියේ පලාලිවලටය. මේ ගමනට පශු වෛද්‍යවරුන් සමඟ අලි බලන නාලක බණ්ඩාර හා සමරනායක ද සහභාගි වූහ‍. “කන්කසන්තුරේ ඉඳලා මැණිකා එක්කරගෙන එද්දි ඩෝරා දෙකකින් ආරක්ෂාව දුන්නා. ඉන්පස්සේ ත්‍රිකුණාමලයේ සිට ලොරියකින් හබරණට ආවා. මේ ගමනේදි අපට හමුදා ආරක්ෂාව දුන්නා.

දෙහිවල ජාතික සත්ව උද්‍යානයට මැණිකා ගෙනාවේ දෙදහස් දෙක අවුරුද්දේ. මැණිකා දෙදහස් පහ අවුරුද්දේ තමයි මෙහෙට ආවේ. මෙයා පින්නවලට එනකොට අවුරුදු දාහතක් විතර ඇති. ඒ දවස්වල හමුදා ඇඳුම් ඇඳපු අය දැක්කම මෙයා පස්සෙන් දුවනවා. කිසිම කරදරයක් නෑ. හරිම හිලෑයි. එත් ඉතිං කවුරුහරි බොරුවට හුරතල් කෙරුවොත් ඒකට නම් කැමැති නැහැ.” ආනන්ද පවසන්නේ දිගු කලක් තිස්සේ මැණිකා ගැන දන්නා දේය.

පින්නවල සිටින අලි ඇතුන් අතරින් පැහැදිලිවම වෙන්කර හඳුනා ගත හැකි මැණිකා හුරුබුහුටිය. අපි බොහෝවේලා ඇය අසලට වී ඇගේ අලි ආදරය දෙස බලා සිටින්නට වීමු. දැන් දීග යන වයසේ සිටින සිටින මැණිකා අලි තරුණයන්ට අකමැති වීම නම් කනගාටුවට කරුණකි. ඒ යම් දිනෙක මේ වර්ගය මෙතැනින්ම අවසන් විය හැකි බැවිනි.

අදහස්