මේ රට අයුතු පාලනයෙන් මුදා ගත්තා - අගමැති | Page 3 | සිළුමිණ

මේ රට අයුතු පාලනයෙන් මුදා ගත්තා - අගමැති

දරුවන්ගේ අයිතිය පිටරට විකුණා දානවා බලාඉන්න බැරි නිසා  බදු බරින් ජනතාව පීඩාවට පත් කර රට අයුතුලෙස පාලනය කළ නිසා ඉන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,ඊයේ (05) පාර්ලිමේන්තු වට රවුමේ පැවැති රටම රකින ජන මහිමය 113+ දැවැන්ත ඓතිහාසික ජන රැළිය අමතමිනි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර තුනකුත් මාස දහයකට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කර ඔහුව පරාජය කර නැවත මේ එක්වීමට ගත් ඓතිහාසික තීන්දුවට ගරුකරන බව අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

අප බඩු මිල,තෙල් මිල අඩු කළා ද නැද්ද? එය අප එක දවසින් කළා. ඒ අයටත් කරන්න තිබුණා. ජනතාව පීඩාවට පත් වුණත් ඒ අයට සැප විදීම වුවමනා වුණා. ඒ නිසා ජනතාව මතට පීඩනය දැම්මා.රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් ඒ වගකිවයුතු තීන්දුවට සියලු දෙනාගේම උපහාරය හිමිවෙන බවද අගමැතිවරයා කියා සිටියේය.

තමා ජනාධිපතිවරයා සමඟ එක්වූයේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතා අයිතියත් නූපන් දරුවාගේ අයිතියත් විදේශයන්ට විකුණාදමනු බලා සිටිය නොහැකි නිසා යැයිද අගමැතිවරයා කියා සිටියේය. තාවකාලික වෙන්වී සිටි අපේ එක්වීම අරුමයක් නොවන බවත් කේලම්වලින් ආපසු කෙටවීමට, වෙන් කිරීමට ඉඩ නොතබන ස්ථාවරයට පැමිණ ඇති බවද කියා සිටියේය.

සුළු ජාතීන් අපත් සමඟ අත්වැල් බැඳගනිමින් ඔවුන්ගේ මිනිසුන් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ කටයුතු කිරීමට එම පක්ෂ තීන්දුවක් ගත යුතු යැයිද වැඩිදුරටත් කියා සිටියේය

 

 

Comments