රංගන සුබගමන්..... | සිළුමිණ

රංගන සුබගමන්.....

වසර 130 කට අධික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 19 ක් යනු බැලූ බැල්මට නම් සොච්චම් කාල පරිච්ඡේදයකි. මෙකී වසර 19 ක කාලය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැටි වැටි නමුත් නව මං සොයා ගිය ගවේෂකයකු බඳු වූ රංගන නම් “නොනැවතුණු වමතා” ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම ටෙස්ට් තරගයේදී ගාලු පිටියෙන් සිය ක්‍රිකට් දිවිය හමාර කළේය. ඒ ටෙස්ට් ලොව සුපිරි වමත් පන්දු යවන්නා වශයෙනි. එකී ගමන දුෂ්කර සහ වෙහෙසකර එකක් බවද නොරහසකි.

තනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක කඩුලු 100ක් ඉක්මවූ පන්දු යවන්නන් තිදෙනාගෙන් දෙදෙනකු ම ලාංකිකයන් වීම විශේෂත්වයකි. ඒ මුරලි සහ රංගන හේරත්ය. අනෙක් පන්දු යවන්නා එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ය.

මුරලි එස්.එස්.සී පිටියේ තරග 24 කදි කඩුලු 166 ක් ද, මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේ තරග 16කදි කඩුලු 117ක් සහ ගාලු ක්‍රීඩාංගණයේ තරග 15 කදි කඩුලු 111ක්ද දවා ගෙන තිබේ. ජේම්ස් ඇන්ඩර්සන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග 23 කදී කඩුලු 103 ක් දවා ගෙන තිබේ. රංගන සිය අවසන් තරගයට ගාලු ක්‍රීඩාංගණයට පිවිසෙන විට තරග 18 කදි කඩුලු 99 ක් දවා ගෙන තිබුණු අතර, මේ ක්‍රීඩාංගණයේ සිය ක‍ඩුලු පැස 100ක් කර ගැනීමට අඩුව තිබුණේ එක් කඩුල්ලකි.

ගාලු ක්‍රීඩාංග‍ණයේ සිය 19 වැනි තරගය ක්‍රිකට් කරළියෙන් බැස යෑමේ තරගය කර ගත් රංගනට එකී අඩුව ජෝ රූට් සපුරා දුන්නේ රංගනගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ දවටා ගනිමින්ය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහා‍සයේ 1460 වැනි තරගයෙන් සිය ටෙස්ට් දිවිය ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999 දී ඇරැඹූ රංගන, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 2324 වැනි තරගයෙන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය හමාර කළේය.

කාටවත් රංගන වෙන්න බෑ
- දිනේෂ් චන්දිමාල්

රංගයියා ටීම් එකට රටට කරපු සේවය අපි කවුරුත් දන්නවා. එහෙම අය අපි නැගිට ගෙන එනකොට යන එක ගැන ලොකු දුකක් කණගාටුවක් තියෙනවා. රංගයියා හොඳ ක්‍රිකටර් කෙනෙක් වගේ ම හොඳ මහත්මයෙක්. මම ටෙස්ට් ටීම් නායකයා විදියට නම් කළාට පස්සේ මට ගොඩක් උදව් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවකු - පන්දු යවන්නකු - පන්දු රකින්නකු විදියට අංශ තුනෙන් ම දක්ෂ ක්‍රීඩකයෙක්.

වෙන අයකුට රංගයියා කෙනෙක් වෙන්න පුළුවන්කමක් නැහැ. ඔහු ඒ තරමට ම සුවිශේෂ ක්‍රීඩකයෙක්. දැන් ඊළඟ දඟ පන්දු යවන්නට, රංගයියා කරපු දේවල් දිහා බලාගෙන හැදෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා.

රංගනගේ වෙනසක් නෑ
- රොමේෂ් කළුවිතාරණ

රංගන හොඳ ක්‍රීඩකයෙක් වගේ ම මහත්මා ගතිගුණ තියෙන මනුෂ්‍යයෙක්. එදා අවුරුදු 21න් ටීම් එකට එනකොට හිටපු රංගන ම තමයි මම අද දකින්නෙත්, කිසිම වෙනසක් නෑ.

අද ක්‍රිකට් වලින් සමු ගන්නේ හුඟක් මහන්සියෙන් මේ තැනට ඇවිල්ලා මිසක් කොහෙන්වත් කඩාපාත් වෙලා නෙවෙයි. ඒ වගේම රංගන කියන්නේ කිසි ම වෙලාවක වැටුණු කෙනෙක් නෙවෙයි. හැම වෙලාවේ ම හැම දෙයක් ගැන ම හොඳ සිහි බුද්ධියෙන් බලාගෙන ඉඳලා වැඩ කරපු කෙනෙක්. ඒකයි මේ තරම් දුර එන්න පුළුවන් වුණේ.

රංගන ක්‍රිකට්වලින් යන්නේ ලෝකයේ හොඳ නමක් තියාගත්ත ක්‍රීඩකයෙක් විදියටයි. එහෙම හුඟක් අයට ක්‍රිකට්වලින් විතරක් නෙවෙයි කිසි ම ක්‍රීඩාවකින් සමුගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ අතින් රංගන කියන්නේ දක්ෂ වගේ ම වාසනාවන්ත ක්‍රීඩකයෙක්.

ජයග්‍රහණයේ පුරෝගාමියා
- දිමුත් කරුණාරත්න

රංගයියා කියන්නේ අන්තිම අවුරුදු කිහිපයේ අපේ ගණ්ඩායමේ ජයග්‍රාහණවලට පුරෝගාමි වුණ ක්‍රීඩකයෙක්. රංගයියා ක්‍රිකට්වලින් සමුගත්ත එක ටීම් එකට ලොකු පාඩුවක්.

රංගයියා හැම තරගයකදීම කණ්ඩායම වෙනුවෙන් උපරිම දේවල් කරපු ක්‍රීඩකයෙක්. අපි හුඟක් වෙලාවට උපදෙස් පවා ගත්තේ රංගයියාගෙන්. ඒ වගේම හුඟක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි රංගයියා කියන්නේ කිසිම වෙලාවක මොන විදියකින්වත් වැටුණු කෙනෙක් නෙවෙයි.

අදහස්