ලලනාවන්ගේ විස්සයි 20 ක්‍රිකට් සැණකෙළිය ඇරැඹෙයි | සිළුමිණ

ලලනාවන්ගේ විස්සයි 20 ක්‍රිකට් සැණකෙළිය ඇරැඹෙයි

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 09 වැනි දා ආරම්භ විය. නොවැම්බර් 24 වැනි දා තෙක් මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතය. 2018 කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදීය.

ශ්‍රී ලංකාවත් ඇතුළුව ‍මෙවර තරගාවලියට සහභාගි වන රටවල් ගණන 10 කි. මෙවර පැවැත්වෙන්නේ 6 වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියයි. මෙම තරගාවලියට කොදෙව් දුපත් සත්කාරකත්වය දරනු ලබන්නේ දෙවැනි වතාවටයි.

මීට පෙර කාන්තා සහ පිරිමි 20-20 ලෝක කුසලාන තරගාවලියන් පැවැත්වුයේ එකම කාලවකවානුවකදීය. මෙවර සිට එය වෙනස් වී ඇත. ඒ අනුව මින් ඉදිරියට මෙම තරගාවලි වෙන වෙනම පැවැත්වෙනු ඇත. මෙවර තරගාවලිය තවත් විශේෂ හේතුවක් නිසා වැදගත්ය. ඒ ප්‍රථම වරට 20-20 ජාත්‍යන්තර තරගාවලියකදී ඩී.ආර්.එස්. හෙවත් විනිසුරු තීරණ සමාලෝචන ක්‍රමය ක්‍රියාත්මක වීමයි. ඒ අනුව තරගයකදී කණ්ඩායමකට එකක් බැගින් මුළු අවස්ථා දෙකක් හිමිවනු ඇත.

2018 කාන්තා ලෝක කුසලාන තරගාවලියට අදාළ මුළු තරග ගණන 23 කි. මෙවර තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබු රටවල් ගණන 08 කි. සෙසු රටවල් 02 සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය.

එම තරගාවලිය මෙම වසරේ ජුලි මාසයේදී පැවැත්විණි. ඒ නෙදර්ලන්තයේදීය. එහිදී බංග්ල‍ාදේශය ශූරතාව සහ අයර්ලන්තය අනුශුරතාව හිමි කර ගනිමින් ද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්හ.

මෙවර තරගාවලියට සහභාගි වන රටවල් මුල් වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග කරනු ඇත.

ඒ කාණ්ඩය - එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය

බී කාණ්ඩය - ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය

මුල් වටයේදී ඒ ඒ කණ්ඩයන්හීදී පළමු ස්ථාන දෙක හිමි කර ගනු ලබන රටවල් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රථම වරට කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුයේ 2009 වසරේදීය. ඒ එංගලන්තයේදීය. එහිදී සත්කාරක එංගලන්තයට ශුරතාවයයි. අනුශූරතාව නවසීලන්තයටයි.

දෙවන තරගාවලිය 2010 කොදෙව් දූපත්හිදීය. ශූරතාව ඔස්ට්‍රේලියාවටයි. අනුශූරතාව නවසීලන්තයටයි. තෙවන තරගාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීය. එවරත් ශූරතාව ඔස්ට්‍රේලියාවටයි. අනුශූරතාව එංගලන්තයටයි.

2014 දී සිවුවන තරගාවලිය පැවැත්වීය. ඒ බංග්ලාදේශයේදීය. එවරත් ශූරතාව ඔස්ට්‍රේලියාවටයි. අනුශූරතාව එංගලන්තයටයි.

2016 දී පස්වන තරගාවලිය ඉන්දියාවේදී පවත්වනු ලැබීය. කොදෙව් දුපත්ට ශූරතාවයි. ඔස්ට්‍රේලියාවට අනුශුරතාවයි.

මෙම තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථකම රට වනුයේ ඔස්ට්‍රේලියාවයි. ඔවුනට ශූරතා 03කි. මුළු තරග 26කදී ජයග්‍රහණ 19කි. පරාජයන් 06කි. එංගලන්තයට ශූරතාවයකි. තරග 24කදී ජයග්‍රහණ 18කි. පරාජ 05කි. බටහිර ඉන්දීය කොදෙව්ට ශූරතාවයකි. තරග 22 කදී ජය 13කි. පරාජ 09කි. නවසීලන්තයට අනුශුරතා 02කි. තරග 24 ජය 18 පර‍ාජ 06කි.

ඉන්දියාවේ ඉහළතම දස්කම 2009 සහ 10 දී අවසන් පුර්ව තරගයන්ය. ඔවුනට මුළු තරග 21 ජය 09 පරාජ 12කි. දකුණු අප්‍රිකාව 2014 දී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. ඔවුනට මුළු තරග 19 ජය 06 පරාජ 13කි. ශ්‍රී ලංකාවට මුල් වටයෙන් ඉදිරියට යාමට තවමත් හැකි වී නැත. කෙසේ වෙතත් සෑම ලෝක කුසලාන තරගාවලියකටම සුදුසුකම් ලැබීමට හැකි විය. මුළු තරග 20 ජය 06 පරාජ 14කි.

පාකිස්තානයට මුළු තරග 20 ජය 05 පරාජ 15කි. බංග්ලාදේශය සහ අයර්ලන්තය සහභාගි වනු‍යේ ඔවු‍න්ගේ තෙවැනි ලෝක කුසලාන තරගාවලියන්ටය. බංග්ල‍ාදේශයට ජය 02 පරාජ 07කි. අයර්ලන්තයට පරාජයන්ම 09 කි. මෙම දෙරටම තරග 09 බැගින් ක්‍රීඩා කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නවතම 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටියි. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ දුර්වලතම රට වන්නේ බංග්ලාදේශයයි. නමුත් මෙවර ලෝක කුසලානයට ඔවුන් සහභාගි වන්නේ වත්මන් ආසියානු ශූරියෝ වශයෙනි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී බංග්‍ලාදේශය අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දියාව පරාජය කළේය. එම තරගාවලියේ මුල් වටයේදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශය පරාජය කරන ලදි.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වනුයේ චමරි අතපත්තුය. “20-20 ඉතාමත්ම අවිනිශ්චිත ක්‍රීඩා රට‍ාවක්, එදා දවසේ අඩුපාඩු අවම කරගෙන ක්‍රීඩා කරන පිලට පහසුවෙන්ම ඕනෑම තරගයක් ජය ගන්න පුළුවන්. ශ්‍රේණිගත කිරීම්වල තිබෙන ඉලක්කම් ඒකට අදාළ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අපි ඉන්දියාව පරාජය කිරීම” චමරි පැවසුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව) කවිෂා දිල්හාරි, එෂාණි කෞශල්‍යා ලොකුසුරියගේ, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදර, යශෝධා මෙන්ඩිස්, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි. ඉ‍නෝෂි ප්‍රියදර්ශනි, ඕෂධි රණසිංහ, නිලක්ෂි ද සිල්වා, ශෂිකලා සිරිවර්ධන, රෙබෙකා වැන්ඩොට්, ශ්‍රීපාලි වීරක්කොඩි, අමා කාංචනා

මුල් වටයේ ශ්‍රී ලංකා තරග සටහන

නොවැම්බර් 10: එංගලන්තය - ශ්‍රී ලංකාව (දිවා/ රාත්‍රී)

නොවැම්බර් 12: ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකාව (රාත්‍රී)

නොවැම්බර් 14: ශ්‍රී ලංකාව - බංග්ල‍ාදේශය (දිවා/රාත්‍රී)

නොවැම්බර් 16: ශ්‍රී ලංකාව - බටහිර ඉ. කො.(රාත්‍රී)

මෙහිදී අවධානයට ලක් විය යුතු කරුණක් තිබේ. එනම් මෙම තරග පැවැත්වෙන දිනයන් ශ්‍රී ලංකාවේදී පසුදින උදෑසන වන බවයි.

ප්‍රශාන්ත ඇල්පිටිය

අදහස්