මල් පිපුණා - කෙටිකතාව | සිළුමිණ

මල් පිපුණා - කෙටිකතාව

“මල් පිපුණා” නම් මේ කෙටිකතාව චීන ලේඛක,

YEH SHENG TAO ගේ THE SCARECROW නම් කෘතියේ THE SEED නමැති කතාව ඇසුරෙන් රචනා වූවකි.

එය නම් කදිම බීජයකි. මින් පෙර කිසිවකුත් කිසි දිනක එවන් අපූරු බීජයක් එරට දැක නොතිබිණි.

එය එතරම්ම අලංකාර බීජයක් විය. ඒ බීජය දිලිසෙන කොළ පැහැ පිටතකින් යුතු වූ අතර, තරමක විශාල ප්‍රමාණයකින්ද යුතු විය.

මේ බීජය මෙතරම් අලංකාර නම් එයින් සැදෙන ගසක පිපෙන මල කෙතරම් පියකරුඑදැයි සිතාගැන්මට පවා නොහැකි විය.

මෙයින් ‍පිපෙන මල්, රෝස මල් වර්ගයක් හෝ ඕකිඩ් මල් වර්ගයක් නම් වන්නට කිසි සේත්ම නොහැකිය.

මෙය නම් කිසිම රටක කොතැනක වත් දක්නට නැති පියකරුම මල් පිපෙන අපූරු බීජයක් වීම නිසැකය.

එය පියකරු මලක්ම පමණක් නොව, එහි සුවඳ අපූරු මිහිරි සුවඳක් වනු ඇත. කවරකුවත් මෙතෙක් එවන් පියකරු මලක් දැක හෝ එවන් සුවඳක් විඳ නැතුවා නිසැකය.

මේ අපූරු බීජය ගැන දැනගත් රටේ රජතුමා බෙහෙවින්, සතුටට පත් විය. රජතුමාගේ මුහුණ සතුටු සින­ාවකින් බැබළිණ.

“මගේ රාජකීය මල් උයනේ ලෝකයේ හැම තැනකින් ගෙනා මල් වර්ග හැමෙකක් ම තිබෙනවා. මේ හැම මලක්ම අනෙක් රටවලත් තියෙන සාමාන්‍ය මල් වර්ග. ඒත් මේ කදිම අපූරු බීජයෙන් හැදෙන ගහේ පිපෙන මල් ලෝකයේ අන් කිසිම රටක වත්, කවර තැනක වත් දක්නට නැති බව නිසැකයි.”

මෙවැනි මලක් ලෝකයේ හිමි එකම තැනැත්තා තමා බව සිතමින් රජතුමා ආඩම්බරයට පත් විය.

රජතුමා මේ අපූරු බීජය පැළ කිරීමට තෝරාගත්තේ සුදු පැහැය සහ පච්ච වර්ණය මිශ්‍ර බඳුනකි.

රාජකීය උයනෙන් ගෙනා පස් සියුම් දැල් පෙනේරයකින් කිහිපවරක්ම හැළුවේය.

පස් වඩාත්ම සියුම් වන තුරු නැවත නැවතත්, යළි යළිත් හැළුවේය.

බීජයට වතුර දැමීමට රන් බඳුනක් ගෙන එ් රන් බඳුනේ වතුර නැවත නැවතත් පෙරහනකින් පෙරා පිරිසුදු කළේය.

විශේෂිත වීදුරු හරිත මැදුරක් තුළ බීජය සිටුවූ බඳුන තබනු ලැබිණි.

හැම උදෑසනක ම රජතුමා වීදුරු හරිත මැදුරෙන් බීජය සිටුවූ බඳුන ඉවතට ගෙන මාලිගාවේ පියස්සක් සහිත දොර අසල තබා රාත්‍රියට යළි වීදුරු හරිත මැදුර ඇතුළත තැබුවා.

බොහෝ දිනවල රජතුමා, මෙම අරුම බීජය සිටුවූ බඳුන අසල පුටුවක වාඩි වී එම බඳුන දෙස විමසිලිමත්ව බලා සිටියේය.

ඒ මෙම අපූරු කදිම බීජයෙන් කුඩා අංකුරයක් මතුවී තිබෙනු බැලීමටයි. සියලු ගස් වැල් තණ පත් දලු දමන වසන්ත සමය එන විටත් බඳුන තුළ දක්නට වූයේ හිස් බවකි.

රජතුමා බඳුන සමීපයේ හිඳ­‍ෙගන අරුම බීජයට අංකුර දමා රිකිලි නංවන්නට යාච්ඤා කරමින් අයැද සිටියේය. කොතෙක් අයැද සිටියත් බඳුනේ සිටවූ බීජය එලෙසින් ම විය.

කාලයක් ඉක්ම ගියත් කිසිදු අංකුරයක් දක්නට නොවූ බීජය පිළිබඳව රජතුමාට ඇති වූයේ නොඉවසිලිමත් කෝපයකි.

“මේක කමකට නැති මැරුණ බීජයක්!”

එසේ සිතූ රජතුමා බීජය බඳුනෙන් උගුළුවා ඈතට ඈතට විසි කළේය.

විසි කළ බීජය වැටුණේ රජතුමාගේ මල් උයනේ විලටය. විල යාව තිබුණේ කුඩා දිය පාරකටය.

විලට වැටුණ බීජය දිය පාරට වැටී ගම කෙළවරින් දිවෙන ඔයට වැටිණ.

දියට වැටුණ බීජය ඔයේ මසුන් අල්ලමින් සිටි මසුන් මරන්නාගේ දැලට හසුවිණ.

“හා මේ නම් කදිම බීජයක්. මේ වගේ දෙයක් අපි කවදාවත් දැකලා නෑ. මේක වික්කොත් ලොකු මුදලක් ගන්න පුළුවන්.”

මසුන් මරන්නාට ලැබුණ කදිම අපූරු බීජය ගැන එක් ධනවතකුට ද අසන්නට ලැබිණ.

“මට වුවමනා තරම් ගේ ඇතුළේ ගබඩාවල රිදී රත්තරන් මුතු මැණික් හැමදේම තිබෙනවා. ඒ වුණාට පිටත දිස්නයට කලඑළියට මේ කදිම බීජයෙන් පිපෙන මලෙන් ඒ හැමටත් වැඩිය මගේ ධනවත්කම කාටත් පෙන්නන්න පුළුවන්.”

ධනවතා මසුන් මරන්නාගෙන්, එම කදිම බීජය ලොකු මුදලකට මිලට ගෙන එය ප්ලැටිනම්, බඳුනක පැළ කළේය.

මේ බීජය හොඳින් වැවීමට මල් වගාකරුවන් තුන්සිය ගණනකගෙන් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඔවුන් අතරින් හතර දෙනෙක් තෝරාගෙන එය, ඔවුන්ට බාර කළේය.

ඔවුහු සිවුදෙන තමන් දන්නා උපරිමයෙන් බීජයට කලට වේලාවට වතුර දැමීම රැක-බලාගැනීම සියල්ල සිදු කළහ.

“මම මේ බීජයෙන් එන ගසේ මල් පිපුණහම ලොකු සාදයක් පවත්වනවා. රටේ සියලු ම ධනවතුන්ට එයට ආරාධනා කරනවා. එතකොට මේ මල් බලලා ඔවුන් මගේ අසාමාන්‍යය ධනවත්කම ගැන තේරුම් ගනියි.”

ධනවතා බීජය පැළකළ බඳුන ළඟට වී තනිවම සිතමින් සතුටින් සිනා සුණේය.

කාලය කෙමෙන් ගත විය. එහෙත් ප්ලැටිනම් බඳුනේ තිබුණේ අළු පැහැ මඩ පමණකි.

ධනවතා තමන් මේ බීජය වවන්නට වැය කළ විශාල මුදල ගැනත් පසුතැවිලි වුණේය.

“මේක කමකට නැති, ජීවයෙන් තොර බීජයක්!”

ඔහු එය බඳුනෙන් ගලවා ඔහුට හැකි වෙර යොදා ඈතට ඈතට විසි කළේය.

ධනවතා විසි කළ බීජය වැටුණේ වීදියේ සාප්පුවක් ඉදිරි පිටටය.

සාප්පුවේ අයිතිකරු සාප්පුව ඉදිරිපිටට වැටුණු අපූරු අරුම බීජය දැක බෙහෙවින් සතුටට පත් වුණේය.

“මේක නම් වාසනාවේ සංකේතයක්. මගේ සාප්පුව ඉදිරි පිටටම වැටුණේ.”

බීජය අහුලාගත් සාප්පු හිමියා එය සාප්පුවට ඇතුළු වන දොරටුව පසෙකින් බඳුනක පැළ කළේය.

“මේකේ මල් පිපුණහම සාප්පුවේ වෙළෙඳාම වැඩි

වෙනවා. ඒකේ කිසි ම සැකයක් නෑ.”

සාප්පු හිමියා දිනපතා උදය සවස බීජය පැළ කළ බඳුන දෙස සැලකිල්ලෙන් බැලුවේය.

කාලය ගත විය. එහෙත් බඳුනේ කිසිදු පැළයක් දක්නට නොවිණි.

සාප්පු හිමියාට ඇති වූයේ කෝපයකි.

ඔහු එම බීජය බඳුනෙන් උගුල්ලා වීදියට විසි කළේය.

වීදියට වැටුණ බීජය නගර පවිත්‍ර කරන්නාගේ කසළ කරත්තයට වැටී කසළ ගොඩට එක් විය.

මේ කසළ ගොඩ තිබුණේ එක් හමුදා කඳවුරකට තරමක සමීපයේය.

කරත්තරයෙන් ගෙන යන කසළ අතර තිබූ බීජය හමුදා කඳවුර අසල පෙරළී එහි රැඳිණි.

උදයේ හමුදා අභ්‍යාස නිමවා එන සෙබළකුට එය දක්නට ලැබිණ. කිසිවකුටත් නොපෙනෙන සේ එම අපූරු බීජය අහුලාගත් ඔහු හමුදා කඳවුර අසල බිමේ එය පැළ කළේය.

තම රාජකාරි වේලාවෙන් පසු ඔහුගේ ඉතිරි කාලය වැඩිපුර ගත වූයේ මේ බීජය මුර කිරීමටය.

විමසූ කිසිවකුටවත් ඔහු මේ ගැන පැවසුවේ නැත.

“මේක නං මට උසස් වීමක් ලැබෙන බවට ඉඟි කළ, මං ඉදිරියට ම වැටුණ කදිම සුබ ලකුණක්.”

සෙබළා එසේ සිතමින් බීජය පැළ වී මල් එතැයි එයට සැලකිලි කළා.

කාලය ගත වුණත් කිසිම වෙනසක් බීජය පැළ කළ තැනින් දක්නට ලැබුණේ නැත.

“අපරාදේ ම‍ගේ කාලය! මේක වැඩකට නැති බීජයක්!”

ඔහු එම බීජය සිටුවූ තැනින් උගුළුවා ගුවන්යානයක් පියාඹනසේ ඈතට ඈතට විසි කරදැමුවේය.

ඈතට විසි කළ බීජය වැටුණේ කෙත් යායක් අසලටය.

නිල්වන් ගොයම් පිරුණ කෙත් යායේ, දාඩිය නැඟුණ වෙහෙසි වැඩ කළ පිරුණ අත් ගොබවලින් යුත් තරුණයෙක් සිටියේය.

වාත්තු කළ පිළිමයක් මෙන් පිරුණ අත් ගොබ ඇති තරුණයා තම කෙත්යාය අසල වැටුණ කදිම අපූරු බීජය දැක්කේය.

ඔහු එම බිජය කුඩා වළක් හාරා තම ගොවිතැන් අතර පැළ කළේය.

අනෙක් පැළවලට වතුර දමන විට මෙම බීජයටත් වතුර දැම්මේය.

ගත වූයේ දින කිහිපයක් පමණි. බීජය සිටුවූ තැනින් අපූරු කොළපාට දීප්තිමත් මොටෙයියෝ පොළොවෙන් උඩට මතු විය.

ඒ අපූරු කොළපාට මොටෙයියන් ටිකෙන් ටික උස් විය.

ඊළඟට අතු රිකිලි ලියලා, ගසක් ලෙස වැඩුණේය.

වැඩුණ ගස් අතු අග මල් මොට්ටු මෝදු වූයේය.

මුලින් ජමනාරං ගෙඩි තරම් වූ මල් මොට්ටු ඊළඟට ඇපල් ගෙඩි තරම් විය.

ඇපල් ගෙඩි තරම් වූ මල් මොට්ටු ලොකු ‍ෙකාමඩු ගෙඩි තරම් විය. ලොකු කොමඩු ගෙඩි තරම් මල් මොට්ටු විකසිතවිය. මල් පෙති රත් පැහැයෙන් යුත් වූ අතර එහි ඇතුළත කෙමිය රේණු රන් පැහැයෙන් දිස් විය.

‍මේ අපූරු මල්වල සුවඳ ඒ අවට ම සුවඳවත් කළේය.

කිසි කලෙක දැක නැති මෙම පියකරු මලත්, එහි අපූරු සුවඳත් විඳ ගන්නට මුළු ගම ම, එතැනට රොක් වූහ.

ඔවුන් ආපසු නිවෙස්වලට ගියේ කිසි දිනක දැක නොතිබූ අපූරු පියකරු මලත්, එයින් විහිදුණ කදිම සුවඳත් විඳ, ඉමහත් සතුටු සිතිනි.

මල් සුවඳ ඔවුන්ගේ සතුට තවත් වැඩි කරමින් ඈතට විහි දුණේය.

 

Comments