ටීඑම්ට සුනිල්ට වගේම නිහාල් නෙල්සන්ටත් ගීත නිර්මාණය කර තියෙනවා | සිළුමිණ

ටීඑම්ට සුනිල්ට වගේම නිහාල් නෙල්සන්ටත් ගීත නිර්මාණය කර තියෙනවා

නැවුම් අරුත්බර ගී තිළිණ කළ සොඳුරු නිර්මාණවේදියා අශෝක කෝවිලගේ

70 දශකයේ සිට 90 දශකය දක්වා කාල පරාසයක රස විඳි හරවත් ගීත අදටත් නොමඳ ජනප්‍රියත්වයක් ලබා ඇත්තේ ආදරය හා විරහව පමණක් තේමා කරගත් අද කාලයේ හෝ ගීතවල හරසුන් පදවැල් නිසාමයි.

එසේ වුණත් විවිධ තේමා ඔස්සේ නැවුම් හරබර අත්දැකීම් සමුදායක් පදවැලකට මුසු කරන්නට උත්සාහ ගන්නා පද රචකයන් ද, රසවත් බවින් නොඅඩුව එය රසිකයක් වෙතට තිළිණ කරන සංගීතවේදීන් ද අප අතර නැතුවා නොවේ. අශෝක කෝවිලගේ එවැනි ගී පද රචකයෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකි.

දශක 3ක් තිස්සේ මෙරට ගීත සාහිත්‍යයට නැවුම් හා අරුත්බර ගී සමුදායක් තිළිණ කළ අශෝක ඔහුගේ නවතම ගීත දෙකක් පසුගියදා රසිකයන් අතට පත් කළා.

‘හොඳ ගී පදමාලා නැත්තේ නෑ. අලුත් පරපුරේ ගී පද රචකයන් අතින් එවැනි ගීත ඕන තරම් බිහිවෙනවා. නමුත් අද ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ නිහඬ බව නිසයි මෙවැනි ගීත බිහිවීම අඩුවෙලා තියෙන්නේ. ගී පද රචකයන්ට, සංගීත නිර්මාණවේදීන්ට අවස්ථාව අඩුවීම ඒකයි. පසුගියදා නිකුත් කළ මගේ අලුත්ම ගීතයකට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්නයන් එකතු වුණා. ඔහු ඉතා කැමැත්තෙන් මේ ගීතය ගයන්න ඉදිරිපත්වෙන්න එහි නැවුම් බවත් හේතුවක් වුණා. ඒ ගීතය ‘කාලයේ වැලි තලා උඩින්‘ ගීතයයි. මම පද රචනය කරලා සංගීතවත් කළ ගීතයක්. අද තරගකාරී ලෝකයේ එකිනෙකා පරයමින් නැගී සිටීමේ ප්‍රවණතාව ගැනයි මං මේ ගීතයෙන් කියන්නේ. නමුත් ළමා කාලයේ එහෙම දෙයක් නෑ. ළමයි හැමෝම එකමුතුව ඉන්නවා. මුදල් පසුපස හඹා යන වත්මන් සමාජය ගැනයි මේ ගීතයෙන් අදහස් කරන්නේ.‘ අශෝක කෝවිලගේ කියයි. ඔහු තිළිණ කළ අනිත් ගීතය ශෂිකා නිසංසලා ගයන ‘භාවනාවකී‘ ගීතයයි. එහි පදමාලාවත්, සංගීතයත් අශෝක අතින් නිර්මාණය වූවාක්.

‘මින් කියැවන්නේ උත්තරීතර ආදරයක් ගැනයි. තමා ආදරය කරන පෙම්වතාගේ ගතිගුණ, ස්වරූපය මේ ගීතයට විෂය කරගත්තා. ඔහුට ඇගේ ඇති භක්තිය, දයාව, කරුණාව මින් කියැවෙනවා. පුද්ගල බාහිර ස්වරූපයේ වර්ණනා ගැන කියැවෙන ගීත ඇති තරම් බිහි වුණත් මෙවැනි ගීත බිහි වෙන්නේ කලාතුරකිනුයි.‘‘

අශෝක කෝවිලගේ මීට දශක තුනකට පෙර සිය කුලුඳුල් ගී පද රචනාවෙන්ම සංගීතලෝලීන් අතර නමක් දිනාගැනීමට සමත්වූ ගීත රචකයෙකි. ඔහුගේ මුල්ම නිර්මාණය ‘සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ‘ අභාවප්‍රාප්ත විශාරද මාලනී බුලත්සිංහලගේ හඬින් සත්සර හා මුසුවුණා. එය සංගීතවත් කළේ ඇගේ ආදරණීය සැමියා එච්.එම්. ජයවර්ධනයන් විසිනුයි. ප්‍රේමයේ විකෘතිභාවය හා ප්‍රකෘතිභාවය කදිමට උද්දීපනය වූ මේ ගීතය අශෝකට ගීත ක්ෂේත්‍රය තුළ එක් රැයකින් නමක් දිනාගැනීමට කදිම අත්වැලක් වුණා.

අනතුරව ඉන් ඔබ්බට ගොස් ඔහු සිය දෙවැනි ගී පද රචනය ‘කඳුළ නිවන්නම්‘ ගීතය පසුගියදා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවී අප අතරින් වෙන්වී ගිය ගායන ශිල්පීනි ප්‍රියානී විජේසිංහ විසින් ගයන ලද්දක්. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ එම ගීතයෙනි.

‘සොඳුරු කොන්දේසි සහිත ආදරයක් ගැන කියැවුණු මේ ගීතයෙන් පස්සේ මා ඇයට නිර්මාණය කළ ‘සුන්දර හදකට දී පෙම් වරම්‘ ගීතයත් රසිකයක් අතර ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වුණා. ‘අශෝක අතීත මතකය එසේ දිගහරියි. එදාමෙදා තුර කාලයේ අශෝක අතින් බිහිවුණු ගී පදවැල් අතර විශිෂ්ටතම නිර්මාණය ලෙස සැළකෙන්නේ සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ලද ‘පාරු පාලමෙන් එගොඩට ගැල්පේළිය සැපත් වුණා‘ ගීතයයි.

‘මේ ගීතය නිර්මාණය වුණේ මං එක්තරා දවසක ප්‍රංස තානාපති කාර්යාලයට සම්බන්ධ ආයතනයක තිබුණු ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹන්නට ගිය මොහොතකදියි. විදෙස් ඡායාරූප ශිල්පියකු විසින් ගත් ඡායාරූප ප්‍රදර්ශනයක් වූ එහි පැරැණි කොළඹ තේමාව කරගත් අපූරු ඡායාරූප ගොන්නක් තිබුණා. 1900 හා 1910 අතර කාලවකවානුවේ කොළඹ නගරයේ දසුන් මේ ඡායාරූප පෙළ අතර තිබුණා. ඒවා මගේ හිතට තදින්ම කාවැදුණා. පාරු පාලමෙන් ගීතය බිහි වුණේ ඒ අනුවයි. එය හරි අපූරුවට සුනිල් එදිරිසිංහයන්ගේ හඬට ගැළපුණා. ඊටම සරිලන අපූරු සංගීත සංයෝජනයක් රෝහණ වීරසිංහයන් නිර්මාණය කළා.‘

කමල් අද්දරආරච්චි හා නීලා වික්‍රමසිංහ ගයන ‘තුන් සිත දැහැන් ගතවෙනා‘ ගීතයෙන් ඔහු තවත් අලුත් නිර්මාණයක් රසිකයන්ට තිළිණ කළා.

‘කමල්ගේ හා නීලාගේ වෘත්තීන් දෙක කල්පනා කරලයි මං මේ ගීතය රචනා කළේ. නීලා ගායිකාවක්. කමල් රංගන ශිල්පියෙක්. මට ඕන වුණා අපේ උඩු සිත හා යටි සිත ගැන කියන්න. අපි සිනමාවේදිත්, ගායනයේදිත් විරහවට ප්‍රිය කළත් සැබෑ ලෝකයේදී එය අත්විඳින්න කැමැති නෑ. ඒ අනුව අපේ උඩු සිත හා යටි සිත අතර සංවාදයක් ලෙසයි මේ ගීතය ලියැවුණේ.‘

‘අපි ගීතයක් කරද්දී එහි පද රචනය, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය හරියටම ගැළපෙන්න ඕනා. එසේ ගැළපුණොත් තමයි ගීතය සාර්ථක වෙන්නේ. මම නිතරම මේ කාරණාව ගැන කල්පනා කරලයි ගීත නිර්මාණය කරන්නේ. මම කිසිම සීමාවකට කොටුවෙලා නෑ. ටී.එම්., සුනිල් වගේම නිහාල් නෙල්සන් වැනි බයිලා ගායකයන්ටත් ගීත නිර්මාණය කරලා තියෙනවා.‘ ඔහු කියයි.

ගායන ශිල්පි කුමා අත්තනායකට ඔහු විසින් නිර්මාණය කළ ‘දහඅට වංගුව‘ ගීතය වෙනම තේමාවක් රසිකයන් අතරට ගියා.

සංගීත දිවියේ වසර 30ක් සපුරන අශෝක කෝවිලගේ අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය සාන්ත පීතර විදුහලෙන් සහ ජාඇළ ක්‍රිස්තු රාජ විදුහලෙන්. මේ අපුරු නිර්මාණවේදියා ඉදිරියේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් පද රචනා කරන ලද ශෂිකා නිසංසලා විසින් ගයන ලද ගීතයක සංගීත නිර්මාණයෙන් ඉදිරියේදී රසිකයන් අතරට පැමිණීමට නියමිතයි.

‘මා ළඟ තව වෙනස් මාදිලියේ ගී පද රචනා ගොන්නක්ම තියෙනවා. ඒවා කිසිම ගී පද රචකයකු විසින් නොලියන ආකාරයේ ගී නිර්මාණ එකතුවක්. මගේ නිර්මාණ දිවියේ හොඳම ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයකුත්, සී.ඩී.තැටියකුත් ළඟදීම රසිකයන්ට තිළිණ කරන්නයි බලාපොරොත්තුව.‘ ඔහු කියයි.

Comments