කෘෂි නව්‍ය ව්‍යාපෘතිය නිසා කෘෂි විප්ලවයක් | Page 2 | සිළුමිණ

කෘෂි නව්‍ය ව්‍යාපෘතිය නිසා කෘෂි විප්ලවයක්

ශ්‍රී ලංකාවට ඉතිහාසයේදී පෙරදිග ධාන්‍යාගාරය කීය. එහෙත් කල් යත්ම රටේ කෘෂිකර්මයේ සිදු වූ වෙනස පිළිබඳ පළවන බොහෝ මත ප්‍රශස්ත ඒවාද යන්න ගැටලුකාරීය. ඒ කෙසේ වෙතත් එදා හෙළදිව තතු කියමින් උදම් අනන්නට තරම් කාලයක් රටට ඉතිරිව තිබේදැයි නිරන්තරයෙන් කතාබහට ලක්වන්නකි. එහෙත් කතාබස්වලින් එහාට කරන්නට වැඩ කප්පරක් කෘෂිකර්මය සම්බන්ධයෙන් පවතින බව නම් බොහෝදෙනකුගේ පිළිගැනීමට ලක්වන්නකි.

එහෙයින් අද රටට කතාවට වඩා වැඩ වුවමනා වී ඇතැයි කීමද අතිශයෝක්තියක් නොවනු ඇත. ඊට ලෝක බැංකුවේ සහ අන්තර් ජාතික සංවර්ධන සංගමයේ (IDA) අත හිත රටට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. සැබැවින්ම පසුගිය (2017) වර්ෂයේදී ඇරඹූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය පිළිබඳ මෙම නව වැඩසටහන දියත් කෙරේ. දැනට බොහෝ දුරක් එම ව්‍යාපෘතිය ගමන් කොට ඇති වග කෘෂිකර්ම බලධාරීන්ගේ අවධාරණය කිරීමයි. ඒ සඳහා වෙන්ව තිබෙන මුළු මුදල රුපියල් මිලියන 24, 788. 148කි.

නව වැඩපිළිවෙළ

සුළු පරිමාණ ගොවියාට වැඩි ඉඩක් දීම මෙහි අරමුණකි. ඒ යටතේ ඵලදායීතාව ඉහළ නැංවේ. නව තාක්ෂණයෙන් යුතු පොකුරු ගම්මාන පිහිටුවීමේ කටයුතු සිදු කෙරේ. වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධනය එහි මූලිකාංගයකි. කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂණයක් මෙන් ම ඉන් හෙළි කරගන්නා කරුණු පිළිබඳ උපදේශන සහාය විවිධ අයුරින් ලබා ගැනේ.

ව්‍යාපෘතියේ ව්‍යාප්තිය

මූලික වශයෙන් දිස්ත්‍රික් පහක් පුරා පැතිරේ. එයින් ප්‍රතිලාභ සැලසෙන පවුල් ගණන 35000 ඉක්මවයි. දුප්පත්කම අතින් රතු දත්ත පෙන්වන උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සහ යාපනයේ මෙම ව්‍යාපෘතිය මූලිකව පැතිරේ. එමෙන් ම නැගෙනහිර ආවරණය වන පරිදි මඩකළපුව ද, උතුරු මැද ආවරණය වන පරිද්දෙන් අනුරාධපුරය සහ පොලොන්නරුව ද මධ්‍යම පළාතට අයත් මාතලේ ද ඌවේ මොනරාගල ද දැනටමත් ක්‍රියාත්මක ය.

අපේක්ෂා

නව තාක්ෂණය එක් කර ගත් වැඩපිළිවෙළක් ඔස්සේ නිෂ්පාදන ඉහළ නැංවීම. එහිලා සැකසීම, ඇසුරුම්කරණය සහ අලෙවිකරණය වැඩිදියුණු කිරීම බලාපොරොත්තුවකි. වෙළෙඳපොළ මෙන්ම ගොවීන්ට ඒ ආශ්‍රිත තොරතුරුවලට පහසුවෙන් ළඟාවිය හැකි මං තැනීම මෙන්ම පසු අස්වනු හානි අවම කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම. නිෂ්පාදන සහතික කිරීමේ නවමු කර්තව්‍ය ඇති කිරීම සහ ඒවා නාමකරණය ඇති කිරීම සහ වෙළෙඳපොළ විවිධාංගිකරණයක් ඇති කිරීම. ඒ යටතේ විවිධ දිස්ත්‍රික් මගින් දියත් කෙරෙන නව ව්‍යාපෘති රැසකි. එහිලා මූලිකවම අපනයනය අපේක්ෂා කෙරේ.

ලූනු, අමු මිරිස් වගා මැදින් මාතලෙන් අපනයනයට අඹ

ලූනු සහ මිරිස් වගා කරන ගොවීන්ගේ අස්වනු පාළු වීම් සහ අස්වැන්නට හොඳ මිලක් නොලැබීම පිළිබඳ නිතර මැසිවිලි නැඟේ. මේ යටතේ ගුණාත්මක බවින් ඉහළ නව ලූනු සහ අමු මිරිස් බීජ නිපදවීමට කටයුතු යොදා තිබේ. කොතකුත් අඹ ඉදී ගස් යට කුණුවී යාමේ ඛේදවාචකය නිමා කරමින් ඉහළ අපනයන වටිනාකමක් සහිත අඹ වගා කිරීම මෙන්ම එම අස්වනු උදෙසා අගය එකතු කිරීමේ ක්‍රියාදාමය මාතලේට රැගෙන යාම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නියමිතය.

යාල්පානමේදී පැණි පිරවෙන TAJC අඹ

අපනයනය පිණිස tajc අඹ වගාවට මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගෙන ඇති එක් ප්‍රදේශයකි, යාපනය.ඒවා වගා කිරීම සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමෙන් නිම නොවන මේ නවීකරණ වැඩපිළිවෙළ යටතේ ඒවාට පෙර නොවූ විරූ පරිදි අලුතින් අගය එකතු කිරීමක් සිදු කෙරේ. මේ යටතේ දැනටමත් කීර්තිමත් පුද්ගලික සමාගම් රැසක් ම එ් සියලු අස්වනු මිලට ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගතව සිටී. එසේම යාපනයේ සුප්‍රකට කර්තකොළම්බන් අඹ වගාවට දිරි දීම අපේක්ෂිත ය. පැරණි එම වර්ගයේ ගස් පුනරුත්ථාපනයට ද නියමිත ය.

අමු මිරිස් වගාවට ද එය එසේම වේ. අගය එකතු කරමින් අන් කවරදාවත් නොවූ පරිදි දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීම අරමුණකි. හරිත මිරිස් වගා ක්‍රම ඔස්සේ වසර පුරාම ඵලදාව ලබා ගැනීම එහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවට රටකජු ආනයනය කිරීම ලබන වසරේ සිට නවතා දැමීම රජයේ අපේක්ෂාවයි. එහිලා යාපනය දිස්ත්‍රික්කයේ අක්කර 400 කට වැඩි භූමියක දැනටමත් රටකජු වගා කොට තිබේ. ඉන් ඇට ඉවත්කර ගැනීමේ දුෂ්කර කාර්යය පහසු කිරීමෙහිලා නවතම තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර ද මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් උතුර සහ නැගෙනහිර පළාත්වලට ලබා දී ඇත.

වාකරේ කොළ පාට පිපිඤ්ඤාවලට අධික ඉල්ලුමක්

මේ වනවිටත් මඩකළපුව වාකරේ අක්කර 500ක වගා කොට තිබෙන මේ පිපිඤ්ඤා ප්‍රභේදය මඟින් වසරකට ටොන් 18කට වඩා වැඩි අස්වැන්නක් අපේක්ෂිත ය. ඒවා අපනයනයෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ඉක්මවූ ආදායමක් ජාතික ආර්ථිකයට අලුතින් එකතු වීමට නියමිතය. ඉන් එක් කන්නයකදී අක්කරයකට රුපියල් 12,000 වැය කරන ගොවියකුට ලද හැකි අස්වැන්න 12000 kg වේ. මේ ඔස්සේ ගොවියකු එක් කන්නයකදී රුපියල් 2,59,000 ක ආදායමක්ද වාර්ෂිකව ගොවියා රුපියල් 7,77,000 ක්ද ශුද්ධ ලාභය වශයෙන් ලබයි.

පැණි දොඩමෙන් වැල් දොඩමට

බිබිල ප්‍රදේශය පැණි දොඩමට උසුලන කීර්තිය අති මහත් ය. මෙවර එහිම තවත් දිගුවක් ලෙස මොනරාගල වගා කිරීමට නියමිතව ඇත්තේ අපනයනයෙහි ලා ඉහළ ඉල්ලුමක් සහිත වැල් දොඩම් ය. ඒවාට නිසි පරිදි අලුතින් එකතු කිරීම මගින් විශාල විදේශ ආදායමක්ද රටට උපයා ගැනීමට නියමිත ය. අන්නාසි වගාව ද එලෙසය. විශේෂිත මෙම අන්නාසි වර්ගයටද අලුතින් අගය එකතු කිරීම තුළින් විදෙස් ආදායම දෙගුණ තෙගුණ වෙතැයි අපේක්ෂා කෙරේ. මේ වගාවන් හැරෙන්නට TAJC අඹ වගාවද සරුවට මොනරාගල දිස්ත්‍රික්කයේ දැනටමත් සිදු කෙරේ.

මඩකළපු සලාද පිපිඤ්ඤා වගාවට ඉල්ලුම ඉහළයි

අගය එකතු කිරීම හරහා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ප්‍රකට හෝටල්වලින් ඉහළ ඉල්ලුමක් මඩකළපු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මේ වගාවට දැනටමත් ලැබී තිබේ. වසර පුරාම අස්වනු ඵල දරන හරිත වගාවක් වන මිරිස් ඔස්සේ ද එය එසේමය. එම වගා කටයුතුවලට අමතරව රටකජු වගාවට ද මඩකළපු දිස්ත්‍රික්කයේ ගොවීන් ද දැනටමත් දක්වන්නේ නොමඳ දායකත්වයකි.

රජරටින් නව කෘෂි විප්ලවයක්

අනුරාධපුර සබැඳිව කෘෂිකර්මය පිළිබඳ අටුවාටිකා අනවශ්‍යය. එහෙත් එම දිස්ත්‍රිකකයේ සුවිශේෂයෙන් කරවිල, පේර, අමු මිරිස් සහ බිම්මල් වගා කෙරෙන්නේ රජයේ නව කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේය. මේ සෑම එකකටම විස්මිත අන්දමේ අගය එකතු කිරීමක් සිදු කෙරේ. ඉන් දෙස් විදෙස් වෙළෙඳපොළ ජය ගැනීමට ගැමි ගොවියට දිරි දීම එහි අභිප්‍රායකි.

යටිතල පහසුකම් ඉහළ නැංවේ

මෙම නව ව්‍යාපෘති ඔස්සේ දැනට නොදියුණු තත්ත්වයේ පවතින ඉහත සියලු වගා බිම් ප්‍රදේශ ආශ්‍රිතව මංමාවත්, විදුලි බල, ප්‍රවාහන ආදී පොදු පහසුකම් ඉහළ නැංවීම එම ජනතාව මෙම ව්‍යාපෘතිය ඔස්සේ ලබන අතිරේක ප්‍රතිලාභ රැසකින් කිහිපයක් පමණක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධාරණය කිරීමයි.

Comments