දුශ්චරිතයේ යෙදෙන අය මරණින් මතු නිරයේ උපත ලබනවා | සිළුමිණ

දුශ්චරිතයේ යෙදෙන අය මරණින් මතු නිරයේ උපත ලබනවා

  • පින්වත් සත්වයා
  • පුන්‍ය කර්මයන්
  • මිනිස් ලොව හෝ දෙව්ලොව

"අද අපි සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නෙ දේවධූත සුත්‍රය පිළිබඳයි. දේවධූත සුත්‍රය තියෙන්නේ සුත්‍රපිටකයට අයත් මජ්ඣිම නිකායේ ය. තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී දේවධූත සුත්‍රය දේශනා කොට වදාළා. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි දොරටු සහිත එකිනෙකට මුහුණ ලා ඇති ගෙවල් දෙකක් තිබෙනවා. එ් ගෙවල් දෙක අතර ඉතා හොඳින් ඇස් පෙනෙන මිනිසෙක් සිටිනවා. ඒ මිනිසාට ඒ ගෙවල් දෙක ඇතුළට ඇතුළු වන අය දකින්නට ලැබෙනවා. ගෙවල්වලින් පිටවන අය දකින්නට ලැබෙනවා. ගෙවල් දෙක ඔබමොබ ඇවිදින අය දකින්නට ලැබෙනවා"

අන්න ඒ ආකාරයට තථාගතයන් වහන්සේට මිනිස් ඇස ඉක්මවු දිවැසින් සත්ත්වයන් දැකීමට අවකාශ ලැබෙනවා. මරණයට පත් වෙන සත්ත්වයන් උපදින සත්ත්වයන් දකින්නට පුළුවන්. නිරය, තිරිසන් ලෝකය, අසුර අපාය කියන දීන උත්පත්ති ඇති මිනිසුන් මෙන්ම දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම වැනි උසස් උත්පත්තියක් ඇති සත්ත්වයන් දකින්නට පුළුවන්. ලස්සන ශරිර ඇති සත්ත්වයන් ලස්සන ශරීර ඇතිවීමට හේතුව දකින්නට පුළුවන්. දුර්වර්ණ ශරිර ඇතිව ඉපදීමට හේතුව දකින්නට පුළුවන්. සුගතිවල ඇති සතුන් දකින්නට පුළුවන්. දුගතිවල ඇති සත්ත්වයන් දකින්නට පුළුවන්. කර්මානු රූපීව මැරෙන උපදින සත්ත්වයන් දකින්නට පුළුවන් .

කාය සුචරිතය කියන්නේ ප්‍රාණඝාතයෙන් සොරකමින් කාමමිත්‍යචාරයෙන් වැළකීමයි. වචී සුචරිතය යනුවෙන් අදහස් කරන්නේ බොරු කීම කේලාම් කීම හිස්වචන කීම පරුෂ වචන කීමෙන් වැළකීමටයි. මනෝ සුචරිතය යනුවෙන් අදහස් කරන්නේ තමා සතු සහ අන්සතු වස්තුවට දැඩි ආසාව,අභාජ්ජා, තරහා ගැනීම, ව්‍යාපාදය, පින්පවු විශ්වාස නොකිරිම, මිත්‍යාදෘෂ්ටිය ආදියෙන් මිදීම මනෝ සුචරිතයයි.

ඒ වගේම ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස නොකර වාසය කරලා බුදුරජාණන්වහන්සේට, පසේ බුදුරජාණන්වහන්සේට

මහරහතන්වහන්සේලාට මාර්ගඵලලාභි උතුමන්ට නින්දා අපහාස තර්ජන ගර්ජන කරන්නේ නැතුව සම්මා දිට්ටියෙන් යුතුව වාසය කිරීමයි.

සම්මා දිට්ඨි කියන්නේ පින් පව් හොද නරක යන ගුණාංගයන්ටයි. ඒ වගේම සම්මා දිට්ඨියෙන් යුතුව කුසල ධර්මයේ යෙදී වාසය කරලා මරණින් මතු බොහෝ සැප ඇති දෙව්ලොව උපදිනවා.

තවත් සමහර කෙනෙක් ඒ වගේ ත්‍රිවිධ සුචරිතය හේතු කොටගෙන මරණින් මතු මිනිසුන් අතර උපත ලබනවා. තවත් සමහර කෙනෙක් ත්‍රිවිධ දුශ්චරිත හේතු කරගෙන එනම් කාය වචී, මනෝ දුශ්චරිතයන් යන දුශ්චරිත වගේම ආර්යයන් වහන්සේට නින්දා අපහාස කිරීම, මිත්‍ය දෘෂ්ටිකව වාසය කිරීම, මිත්‍ය දෘෂ්ටිකව නොයෙක් අකුසල කර්මයේ යෙදීම හේතු කොටගෙන මරණින් මතු ප්‍රේතආත්ම භවයේ උපත ලබනවා. ඒ විදිහට ම ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදී මරණින් පසු තිරිසන්ගත සතුන් අතර උපත ලබනවා. ඒසේම ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදෙන අය මරණින් මතු නිරයේ උපත ලබනවා නිරයේ උපත ලබන සතුන් කොටස් දෙකකට බෙදනවා . බලවත් විදිහට පවු කරලා උපදින අය මහ නිරයේ උපත ලබන්නේ. බලවත් විදිහට පව් නොකළ තැනැත්තන් නිරයේ ද්වාර සමීපයේ උපත ලබනවා. ද්වාරය කියන්නේ දොරටුවයි. නිරය පෙනෙන සිමාවේ පිහිටි දොරටුව සමීපයේ ඒ සත්ත්වයන් උපත ලබනවා. මිනිස් ලොව වරදෙහි හැසිරෙන්නන්ට දඬුවම් පමුණුවන්නන් සේම නිරයේ උපදින අයට දඬුවම් ලබාදෙන අය සිටිනවා.

යම රජ කියන්නේ කවුද? යම රජ කියන්නේ විමාන ප්‍රේතයෙක්. මේ විමාන ප්‍රේත කියන්නේ කවුද? විමාන ප්‍රේත කියන්නේ දෙවිවරුන් වගේ දිව්‍ය විමාන වල උපදින ප්‍රේත කොටස් ඉන්නවා. දිව්‍ය විමාන වැනි විමානවල ජීවත්වෙන ප්‍රේත කොටස්වලට කියන්නෙ වේමානික ප්‍රේතයන් කියලා. මේ ප්‍රේත කොට්ඨාසය බොහෝ සැපසම්පත් විඳිනවා. එක් කාලයකට තවත් කාලයකට බොහෝ දුක් අනුභව කරනවා. යමරජත් එහෙමයි. දිව්‍ය විමාන ඇතිව එක කාලයකටත් තවත් කාලයකට බොහෝ දුක් අනුභව කරනවා. නමුත් යම රජතුමා ඉතා ධාර්මික රජකෙනෙක් කියලා කියන්නට පුළුවන්.

යම රජ තුමා තමන් සමීපයට කෙනෙක් පැමිණියාම කල්පනා කරනවා මේ පින්වත් සත්වයා අකුසල් කරලා නිරයට ඇවිත් තියෙන්නේ. මේ සත්ත්වයාට පිනක් මතක් කරලා දුන්නොත් මේ සත්ත්වයා මරණින් මතු නිදහස් වෙනවා කියලා හිතනවා. එයින් පසුව ප්‍රශ්නයක් නඟනවා, එම්බා පුරුෂය ඔබ මිනිස් ලොව සිටින කාලයේ පළමු වැනි දේවදුතයා දැක තියෙනවාද? නිරයේ උපන් සත්වයා කියනවා, නැත ස්වාමිනි කියලා. ඉන් අනතුරුව යම රජ ප්‍රශ්න කරනවා එම්බා පුරුෂය ඔබ දැක තියෙනවා ද මිනිසුන් අතර උඩුකුරුව සයනය කරන අත්පා ඇතත් ඇවිදීමට නොහැකි කුඩා දරුවකු දැකලා නැතිද කියලා. තියනවා කියලා නිරයගාමී සත්ත්වයා ප්‍රකාශ කරනවා. එ් අවස්ථාවේ සිතුණේ නැතිද? මම උපදින ස්වභාවයෙන් යුක්තයි කියා. මම ඉපදීම ඉක්මවාගොස් ..........මා කරා පැමිණෙන්නට පෙර කුසල් දහම් සිදු කළ යුතුය කියලා ඔබට සිහි වුණේ නැද්ද කියලා යම රජතුමා කියනවා. එවිට නිරයගාමියා කියනවා නැත ස්වාමිනී, මා කුසල ධර්මයන්හි ප්‍රමාද බවට පත් වුණා කියලා.

අපිත් අපේ ජිවිතේ මේ ආකාරයට පුංචි දරුවන් දැකලා තියනවා. කිසිවක් කරගන්න බැරිව තමන්ගේ මලමුත්‍රා ගොඩෙහි වැතිර සිටින මේ දරුවන් දැක ඇතත් ඒ දරුවන් ඔබට ඉතා වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා. අත්පා තිබුණට අත්පා වලින් කිසියම් දෙයක් කරන්නට හැකියාවක් නැහැ. මුඛයක් තිබුණට කතාකරන්නට නොහැකි මම තමන්ගේ මලමුත්‍රා ගොඩෙහි වැතිරී සිටිනවා. ඔබත් ඒ වගේම හිතන්න .

යම රජ මේ ආකාරයට වැඩිහිටි වියට පත් වු අය පිළිබඳත් විමසනවා. ඒ අනුව ආයුෂ ගෙවිලා ගිය වැඩිහිටි අය දැක තිබේද? පොල් හනස්සක් සේ නැමුණු ශරිරයක් ඇති රැලි වැටුණු සිරුරක් ඇති සැරයටියක වාරුවෙන් යන ස්ත්‍රියක හෝ පුරුෂයකු ඔබ දැක ඇතිද ? ඒ අවස්ථාවේදී සිහියට නැඟුණේ නැතිද මමත් මේ වගේම වයසට යනවා. ජරාජීර්ණ වෙනවා. දුර්වල වෙනවා කියලා. වයසට යන්නට පෙර දුර්වල වන්නට පෙර සිතුණේ නැතිද සිතින් කයින් වචනයෙන් පින් දහම් කළ යුතුයි කියා.

නැත ස්වාමිනී, මම කුසල ධර්මයන් ප්‍රගුණ කළ යුතු යැයි සිතුවේ නැහැ. මම කුසල ධර්යන්හි ප්‍රමාද වුණා කියලා. ඒ තැනැත්තා ප්‍රකාශ කරනවා. ඔබත් ඔබේ ජිවිතයේ මේ ආකාරයෙන් කොතෙක් දැක ඇතිද? ඒ අය ඔබට වටිනා පණිවුඩයක් දි තිබෙනවා. ඒ ප්‍රකාශ කරන පණිවුඩය තමයි ඔබත් මම වගෙම වයසට යනවා. ජරාජීර්ණ වෙනවා දුර්වල වෙනවා. ඉන් පෙර කුසලයේ යෙදෙන්න කියන පණිවුඩය නිතර ලබාදෙනවා.

නමුත් අපි ඒ පණිවුඩය දැකලත් වැඩිහිටියන් දැකලවත් පිනට දහමට යොමු වුණේ නැහැ. එහෙම යොමු වෙලා තිබුණා නම් යම රජ මේ ප්‍රශ්නය නඟන කොට තමන් කරපු පින් සිහි වෙනවා . එසේ යම රජ තුන්වැනි අපාය ගාමියාගෙන් විමසනවා, ඔබ දැකලා නැද්ද මිනිසුන් අතර දැඩිව රෝගී වුණු වෙන කෙනෙකු විසින් නැඟිට්ටුවා වැසිකිළි කැසිකිළිවලට එක්කගෙන යන රෝගීන්. නුවණ තිබෙන්නාවු සිහිය ඇති වැඩිහිටියෙකු ව සිටි ඔබට හිතුණේ නැද්ද මමත් ලෙඩ වීමෙන් නිදහස් වී නැහැ. ලෙඩ වීම මා කරාත් පැමිණිය හැකි බව ඔබ

සිතුවේ නැද්ද යනුවෙන් ප්‍රකාශ කරනවා. මා කුසලකර්ම වල නිරත විය යුතුයි කියල හිතුණෙ නැද්ද කියල ප්‍රකාශ කරනවා. නැත යැයි ඒ තැනැත්තා ප්‍රකාශ කරනවා.

ඊළඟට හතරවන දේවදුතයාගෙන් විමසනවා. හතර වෙනි දේව දුතය වන්නේ වරදක් කරලා දඬුවම් විදින කෙනෙක්. වරදක් කරලා දඬුවම් විඳින කෙනෙකු නම් සිතන්නට ඕන වැරැදි කරන අයට මෙතරම් දඩුවම් ලැබෙනවා නම් මරණින් මතු නිරයේ ඉපදුණාට පස්සේ

මොන තරම් දඬුවම් ලබනවා ද කියලා.

ඉන් පසුව පස්වැනි දේව දුතයා ගැන අහනවා. එම්බා දුතය, ඔබ මිනිසුන් අතර ඉපදුණ පස්වැනි දේවදුතයා වෙනවා. ඒ දේවදුතයාගෙන් අහනවා එක් දිනක් හෝ දැක නැද්ද මැරිලා දිනතුනක් හතරක් ගතවන තැන ඉදිමිලා ගිය මලසිරුරක්.

දැක ඇත ස්වාමිනී ඒ වෙලාවේ සිතුණේ නැද්ද මරණය පත් වෙනවා මරණින් මා නිදහස් වී නැහැ මරණය මා කරා පැමිණෙන්නට පෙර කුසල්දහම පිරිය යුතු බව සිතුවේ නැද්ද? නැත ස්වාමිනී කියලා ඒ තැනැත්තා පිළිතුරු දෙනවා.

මේ ආකාරයට යමරජ සෑම කෙනෙකුගෙන්ම විමසනවා ද? සමහර අයගෙන් අහන්නේ නැහැ. විශාල පව් කළ තැනැත්තන් පිළිබඳ දේවදුතයන්ගෙන් වත් විමසීමක් කරන්නේ නැහැ. ඒ වගේම කුඩා පව් කරලා නිරය පෙනෙන සමීපයේ හි ඉන්නා අයගෙන් මේ ප්‍රශ්න නගන නමුත් සමහර තැනැත්තකුට දේවදුතයන් ගැන ප්‍රශ්න නැඟීමටත් පෙර තමන් කරන ලද පුන්‍ය කර්මයන් පිළිබඳ සිහි වී නිරයෙන් නිදහස් වෙනවා.

අතීතයේදී ජයසේන කියන තැනැත්තා ආකාස චෛත්‍යයට ලස්සන රන්මාලයක් හදලා පුජා කළා. මේ රන්චේතිය සුළඟින් සැලෙන අවස්ථාවේදී ඉතාම මිහිරි සද්දක් නැඟෙනවා. යම් අකුසලයක් හේතු කරගෙන ඔහු නිරයේ ගිනි ජාලා පෙනෙන දුරක ඉපදුණා. ඒ ගිනි ජාලා පුපුර පුපුරා නැඟෙන සද්දය නිසා ඔහුට මතක් වුණා රන් පත සුළඟින් සැලෙන සද්දය. එය මතක් වීමත් සමඟ මරණයට පත්වුණා . මරණයට පත්වී දෙව්ලොව උපත ලැබුවා.

මේ විදිහට නිරයේ උපත ලැබුවද තමන් කළ පින මතක් වෙනවා. පිනමතක් වන අවස්ථාවේදී ම නිරයෙන් නිදහස් වෙනවා. ඉන් පසුව නැවත මිනිස් ලොව හෝ දෙව්ලොව උපත ලබනවා. තවත් එක් පිය කෙනෙක් ශාසනයට තම පුතු පුජා කළා. ඒ ස්වාමින්වහන්සේ ට සිවුරක් පුජා කළා. ඒ සිවුර පුජා කළේ උන්වහන්සේගේ අතට නෙමෙයි. පාමුලට සිවුර දාලා පුජා කළා. සිවුරු පුජාව ඉතා උසස් පින්කමක්. සමහර විට ඒ වගේ සිවුරු පුජා කරන්න වෙන්නේ අතීතයේ එක දවසයි .ඒ තරම් අපහසුවෙන් තමයි සිවුරක් සකස් කරගන්නේ. එය මුළු ජීවිතේටම සිහි වෙනවා. අකුසලයක් හේතුවෙන් නිරයගාමි වූ මේ තැනැත්තා ද නිරයේ ඉපදෙනවා. අවසානයේ ගිනිජාලා පුපුරන ශබ්දයෙන් ගිනිජාලා අතරින් තමා පුජා කළ සිවුර මතක් වුණා. ඒ මොහොතේ සිහි වුණ පිනෙන් දෙව්ලොව ඉපදුණා. මේ වගේ පින් කරන ලද තැනැත්තන් සම්බන්ධවද යම රජ තුමා ප්‍රශ්න මතු කරන්නෙ නැහැ. පින් සිහි කරන්නේ නැති අයගෙන් පමණයි විමසන්නේ. දේවදුතයන්ගෙන් අපායගාමි පුද්ගලයන් ගැන යමරජ අහන විට අපායගාමි පුද්ගලයාට එක වරක් අසන විටම පින් සිහි වෙනවා. තව කෙනෙකුට කිහිප වතාවක් මතක් කළ විට පමණයි පින් සිහිවෙන්නේ. දේවදුතයන් මාර්ගයෙන් අසද්දි පින සිහි නොවුණත් තමාම සිහිපත් කරගෙන මරණයට පත්වී දෙව්ලොව හෝ මිනිස් ලොව උපදිනවා.

මෙම සුත්‍රයේ ඉතිරි කොටස ලබන සතියේ පළ වෙයි.

 

 

Comments