දෙස - බස - රැස කළ සුපුබුදු මහ පඬි කිවියර අහුබුදු | සිළුමිණ

දෙස - බස - රැස කළ සුපුබුදු මහ පඬි කිවියර අහුබුදු

  • කලාසූරී අරීසෙන් අහුබුදු (1920-2011) සූරීන්ගේ සත් වන ගුණානුස්මරණය නිමිත්තෙන් සැකසුණු විශේෂ ලිපියකි

යම් මිනිසකු යම් රටෙක උපදිනවාද, ඒ උපන් මොහොතේ පටන් හෙතෙම තමාගේ පණ උහුලන හුස්ම එම පරිසරයේම අදින්නේය. තමා කන දෙයටත්, බොන දියටත් අන් හැම කටයුත්තකටත් ඒ පරිසරයට ඔහුගේ ණය සිලව්වක් ඇති බවට කවර කතාද?

‘අම්මා’ යන උතුම් වදනින්, මවුකිරි සුවඳ මුසු වී හිමි වන මවුබස සිඟිති අවදියේම යමකු අයත් විය යුතු ජන රැස හෙවත් ජාතියද පෙන්නා දෙයි. එපමණක්ද? ඔහුගේ ඇස පාදා දීමට පිහිට වන එබසම ඔහු ආදි මුතු-මිත්තන්ගේ උරුමයේ කොටස්කරුවකුද කෙරෙමින් ඔහුගේ ජාතිකත්වය තවද තහවුරු කෙරෙයි. මේ කරුණු නිසාම යම්කිසි බසකට, රැසකට, දෙසකට උරුමකම් ඇති හැමදෙනම තමා අයත් ඒ තෙරුවන වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් රැසෙකි. මේ යුතුකම් අත්පුදෙන් ඉටු කරන්නේ හොඳ මිනිසෙකි. එබන්දෝ ජන මුළෙහි හරසරට නිස්සෝය.

‘කොග්ගල ප්‍රාඥයා’ අභිධානයෙන් සුපතළ මාර්ටින් වික්‍රමසිංහයන් දිනූ තැන් සිට නෙත් කැලුම් වැටෙන මානයේ කොග්ගල මලලගම මුදිල්ලගහවත්තේදී 1920 මාර්තු 18 වැනිදා ඉපිද, 2011 මැයි 26 වැනිදා සුර ලෝ පඬි සබයට ගිය අරීසෙන් අහුබුදු සූරීහුද සිය ජන මුළෙහි මහත් හරසරට නිස්සෙක් වූහ.

කුමරතුඟුන් දැල්වූ ‘ලක්මිණිපහනේ’ ළබැඳි දායකයකු වූ ඔහුගේ සීයා කෙනකුන් වූ සලමන් වතුගෙදරයෝ බිලිඳු අහුබුදුවනට ඇසෙන්නට ගුත්තිලය, කුසදාකව, අන්ධභූත ජාතකය හඬ නඟා කියැවූහ. දස හැවිරිදි වන විට එපොත් තුනමැ කටපාඩමින් කියන්නට අහුබුදු පටන් ගත්තේය. බාල කාලයේදීම ලද රසවත්කම හේතුවෙන් අහුබුදුවෝ බස කෙරෙහි ලොල් වූහ. එදා බසෙහි රස අවුස්සා දුන්, බසින් ගත හැකි වැඩ ‍පෙන්වා දුන් කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සෙවණට පත් වීමෙන්ද නොතිත් ඇල්මෙන් පොතපත සේවනයෙන්ද බසිසුරුකම් ලත් හේ කුඩා කල ගමේදී දුටු බ්‍රම්පෝඩ් නාඩගම, දිනතර නාඩගම ඔස්සේ ගීයට නැඹුරු විය. ඉන් ලත් ආභාසයෙන් එකල්හිම විදුර ජාතක නාඩගමක් රචනා කොට පන්සල අසල රඟ දැක්වීය; ඉනුදු නොනැවතී අම්බලන්ගොඩ සංගීතඥ සමරපාලගෙන් සංගීතය හදාරා, 1941දී වයලීන වාදනයෙන් ගාන්ධර්ව ප්‍රාරම්භයද සමත් විය.

කුමාරතුඟු අනුගාමික වෙල්ලාල ජයමහ වෙදැදුරාණෝ යොවුන් අහුබුදු හෙළ හවුලට හවුල් කරගත්තෝය. අහුබුදු සූරීන්ට කුමරතුඟු ඇසුරට පින ලැබෙන්නේ එනයිනි.

“අමා වතුර කියැවූ දා මට හිතුණේ ගුරුළුදැමි ඇදුරිඳුන් දකින්නට ඒ යුගයේ මා ඉපැදී උන්නා නම් කොතරම් වාසනාවෙක්ද කියායි. බුත්සරණ කියවද්දී විදුසක්විති කිවියන් ගැනද කව්සිළුමිණ, සදහම් රුවන් වැළ කියවද්දී මහලු පැරැකුම්බා නිරිඳුන්, දහම්සෙන් හිමියන් ගැනැද වෙන වෙනමැ එසේ සිතා දුක් වුණෙමි. එහෙත් මේ අවදියේ උපන්නායින් ඒ මහ හතරදෙනාමැ එක්තැනැ දුටුවා‍ සේ මට මහ සොම්නසෙක් ලැබුණේයැ. මේ ලැබිල්ල මට ලබා දුන්නේ කුමරතුඟු ඇසුරයි.

“... කුමරතුඟුවෝ කිතු වසින් 1887 වැන්නෙහි ඉපැදී 1944 වැන්නෙහි මළෝය. ඔවුන්ගේ දිවිය සත් පණස් වසරෙකි. ඉන් මා ලද ඇසුර පස් වසරයි; ඉනුත් අවසන් පස් වසරයි. ‘කුමරතුඟු ඇසුර’ නමින් මේ එන්නේ ඒ පස් වසරේ ඇසුරේ ඇතැම් විත්තියි.”

‘කුමරතුඟු ඇස‍ුරේ’ මුල්මැ මැය ‘කුමරතුඟු උමතුව’ යන්නයි. එහෙත් අහුබුදුවන්ගේ ඒ ‘උමතුව’ දුරැලන්නේද කුමාරතුංගයන්ම බව ‘කුමරතුඟු ඇසුර’ හෙළිදරවු කරන්නේ මේ අයුරිනි:

“වෙල්ලාල ජයමහ මහ කිවියාණන්ගේ අසරින් පුවත්පත්වලට යම් යම් විටැ සුළු සුළු පැදි පබැඳුම් මා ලීවා මිසක් යම් කිසි දවසෙකැ වත් ගතක් ලියා තැබිය යුතුයැ යන හැඟීමෙක් එදා මට ඇති වූයේ නොවේ. එහෙත් මෙහිමැ (කුමරතුඟු ඇසුර) තැනෙකැ එන වෙසක් පඬුරෙහි මා ලියූ කව් පෙළට කුමරතුඟුවන් ‘තුන් දෙනකුගේ - තුන් සරසවියන් අවුත්...’ ඈ විසින් තැනක් දීමත්, මුලින්මැ හමු වූ දා ගුරුන් ඉදිරියේ මට කළ පැසැසුමත් නිසා මා සිතට මහ දිරියක් ඇතුළු වූ බව කිව යුතුයැ. මම ඒ දිරි ඉදිරි කැරැගෙනැ ලිවිසැරියට සේවාවක් කිරීමට ඉටාගත්තෙමි. එහෙත් කුමරතුඟුවන්ගේ අදහස්, මත ඈ නොවිමසා දෙව් බසක් සෙයින් ඇදැහීමේ දුගුණය, දුබලතාව මා කෙරේ වීයැ. දිනක් කුමරතුඟු‍වෝමැ ඒ ගුණයට තදින් පහර දී මා මහ විළියට පත් කොළෝයැ. මා සේමැ මේ යුගයේ හෙළ තුරුණු පෙළ නිදහස් සිතීමට බැස්සූ කෙනකුන් හැටියට මම කුමරතුඟුවන් අගය‍ කෙරෙමි.

“... එදා ඔහු විරිත් වැකියෙහි එන ‘දෙවියකු කී දැයක් වත් කරුණු නැතිවැ නො අදහනු’ යන්න මා හද මැද හොඳට අඳවා ලූහ; ‘දන්නේ නම් කිසි ගෝළයෙක් තම ගුරුන් දත් දෑ ඉකුම්වා යමක් ...’ යනුදු උස් හඬින් ගයා කන් පුනීලයෙන් එහැඟුම්, සිත් ගුළාවට පෙරා ලූහ”යි අරීසෙන් අහුබුදුවන් 1957 දී පළ කළ ‘කුමරතුඟු ඇසුරෙහි’ ලා පවසන්නේ, කුමරතුඟු පඬි බස පරිද්දෙන්ම තමන් හෙළ හවුල කෙරෙහි අඳ බැතින් බැඳී නොසිටි බවයි.

වෙසක් පඬුර (1938), කව් මඟ (1944), හදිය (1945), ඔවය (1948), අඩුව (1952), රස නිදසුන (1960), ග‍ඟේ ගිය මිණ (1962), දනවත් වීමේ මඟ (1962), පරෙවිය සාම අස්න (1962), රස දහර (1969), බෝ පුද (1982), කඳදෙව් උපත (1983), බුද්ධ වංසය (1984), සිංහල වංස කතාව (1985), සෙත් වතුර (1985) ආදි රස පිපාසා නිවන මිහිර පිරි කවි පොත්ද, වෙට්ටපිත්තලය හා පෙරැළිය (1945), හෙළ හැතිරිය (1952), රාජ යෝගය - රිදී රේඛාව (1987) ආදි නළුද, අලවු විනය (1952), පරෙවිය (1963), අබිනික්මන (1965), මඟුලේ මඟුල (1968), ඇසළ සඳ (1969), බලාපොරොත්තු (1972), සීගිරි හබය (1967) ආදි ඉඟි නළුද, අතු අගැ දිලි වන මල් (1987), සක්විති කිත් රැස (2013 - වියොවින් පසු පළ කැරැවිණි) ආදි ගීත රස මංජුසාද රසවතුනට තිළිණ කළ අරීසෙන් අහුබුදු සූරීහු, කුමරතුඟු ඇසුර (1957), කිවිසුරු පවත (1964), මිතුරු වියොව (1965) යන අනගි සිරිත්ද, කතන්දර පොත් 23ක්ද, සිප් වදන් සැකැසුම්, වියරණ, සඟරා ඈ හෙළ දැය දැනුවත් කරන්නා වූ සරු ගත් රැසක්ද බිහි කරමින් බස පොහොසත් කළෝය. මේ සියලු ගත් රුවන් ඔස්සේ අහුබුදු සූරීන් යත්න දැරුවේ තම දෙස, බස, රැස වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කරන්නටය; හෙළ දැයේ අබිමානය වඩනු පිණිස හෙළ ඉතිහාසයේ අදීනත්වයත්, එඩිතර බවත්, කලා කුසලතායෙන් කලා රසිකත්වයෙන් උසස් බවත් තහවුරු කරන්නටය.

අරීසෙන් අහුබුදු සූරීහු දෑහිතකාමියෙකි; දෙස, බස, රැස තෙරුවන සේ සැලකූවෙකි; සාහිත්‍යධරයෙකි; බස පිරිසිඳ දත් පඬිරුවනෙකි; මහ වියරණ ඇදුරෙකි; හෙළයේ යටගියාව වත්මනට ගෙනා ඉතිහාසඥයෙකි; ජ්‍යොතිෂඥයෙකි; චතුර දේශකයෙකි; රස කතාකරුවෙකි; රස නළු රචකයෙකි; ප්‍රතිභාන්විත කවියෙකි; සමාජ ශෝධකයෙකි; විශිෂ්ටතම ගීත ප්‍රබන්ධකයෙකි; සැබෑ සත්ගුණවතෙකි; ශික්ෂාකාමි බෞද්ධයෙකි.

මේ කවර ක්ෂේත්‍රයක වුව අහුබුදු සූරීන් සිටින්නේ හිණිපෙත්තෙහිය. භාෂා ශාස්ත්‍ර අරබයා මෙරට ශාස්ත්‍රවන්තයන් සමඟ සංවාද-වාද විවාදවල නියැළෙමින් මෙරට ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට අහුබුදුවන් කළ අනුපමේය සේවාවට කලකට ඉහත ඔහු පිළිබඳ පළ කෙරුණු ‘අරීසෙන් අහුබුදු හරසරණිය’ ග්‍රන්ථය ප්‍රබල සාක්ෂි සපයන්නේය.

අහුබුදු සූරීන්ගේ මාහැඟි ශාස්ත්‍රීය මෙහෙවර මෙරට විද්වතුන්ගේ අවධානයට පාත්‍ර වුවද එතුමා මෙරට බහුතර ජනතාව අතර සුපතළ චරිතයක් බවට පත් වන්නේ කලාවේ අතිසියුම් සාහිත්‍යයික වියමනක් සේ සැලකෙන ගීත ප්‍රබන්ධකයකුගේ භූමිකාව හේතුවෙනි.

කුමරතුඟුන්ගේ හෙළ රණ ගීය ඇතුළු රමණීය කාව්‍ය ප්‍රබන්ධවලට වශීකෘත වූ සුනිල් සාන්ත, හෙළ හවුලේ ඇත්තන් වූ රැ තෙන්නකෝන්, ගුණපාල සේනාදීර, අමරසිරි ගුණවඩු, ජයන්ත වීරසේකර, හියුබත් දිසානායක ආදීන්ගේ ප්‍රබන්ධ ගායනා කළද ඒවා හුදෙක් කාව්‍ය ප්‍රබන්ධය මිස සැබෑ ගීත ලෙස සැලකුණේ නැත. ඔවුන් අතුරින් සැබෑ ගීත ලක්ෂණ සහිත ප්‍රබන්ධ රචනා කළේ හියුබත් දිසානායකයන් පමණි. හෙළ ආරේ රචනා සොයමින් සිටි සුනිල් සාන්ත, 1944දී උණවටුණේ පැවැති හෙළ හවුලේ රැස්වීමේදී ගැයුණු කුමාරතුඟු සමරු ගීය ලියූ අරීසෙන් අහුබුදු හමු වීමේ සාර පලය වන්නේ ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතයේ උපතයි.

ලංකා මාතාව රැකුණොත් ගිනිදැල් නැ‍ඟෙන ලෝකුඹුවත් අපට සීත ගඟු‍ලක් බව කවියා කියයි. මූදින් අඟලක් ලක් පොළොව වැවෙතොත්, එහි පැන දිවි දෙන්නට වුව සූදානම් බවද, ලකට අතපොවනට යමකු අවහොත් උන් ලුහුබඳවා ගොස් ගොළු මුහුදට පලවා හරින බවද ඔහු කියයි. කොටින්ම ලක්බිම වෙනුවෙන් එන වෙඩිසැර ඔහුට මල් පෙති බඳුය. ලංකා මාතාව වෙනුවෙන් කොතරම් කැප වීද යත්, අවසනැ මේ කය එයටමැ පොහොර කරන්නට හේ සූදානම්ය. ජාතික ගීයක් තරමටමැ දේශ භක්තිය දනවන මේ විශිෂ්ට ගීතය එදාමෙදාතුර රසික තුඬතුඩ රැව්පිළිරැව් දීම පුදුමයක් නොවේ. සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වූ රේඛාවෙන් මර්සලීනු ජයකොඩි පියනම චිත්‍රපට ගීත කලාවට කැඳවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්හු ‘සන්දේශයෙන්’ අරීසෙන් අහුබුදුවන් චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට කැඳවති. එහිදී අහුබුදු සූරීහු ජයකොඩි පියනමටත් එහා යමින්, සිය වාග්පතිබවත් කිවිපතිබවත් සනාථ කිරීමට සමත් වනුයේ මෙලෙසිනි:

පුන්සඳ එළියයි ලෙළ මඳ සුළඟයි                                         

මල් මල් මල් සුවඳයි                                                

අනංගයාගේ මහ රජදහනයි

මල් මල් මල් සැරයයි...                                                          

සඳරැස් සිඹැසිඹැ සැනැසෙන පිරිසුදු                                     

සුදුවැලි පියවිල්ලයි

- ලලයිලයි සුදුවැලි පියවිල්ලයි

සිය මනමාලිට කොහා තුරුල් වී

කුහූ කුහූ හඬලයි

- ලලයිලයි කුහූ කුහූ හඬලයි

සන්දේශයට වස්තු වන්නේ පෘතුගීසීන් හා සම්බන්ධ කතාවකි. මේ ගීය ගැයෙන්නේ පෘතුගීසි සොල්දාදුවන් මීවිතකින් සප්පායම් වී, සිංහල යුවතියකගේ රැඟුමක් නරඹමින් සිටින විනෝදජනක අවස්ථාවකය. පෘතුගීසීන්ගේ ප්‍රචලිත ගී අතර ‘ලලයි ලිලයි ලයි නෝනගෙ’ යනුවෙන් ගී ඛණ්ඩයක් ඇත. ‘සුදුවැලි පියවිල්ලයි’ යන ‘ලයි’ යන්න තනුවේදී ‘ලලයිලයි - සුදුවැලි පියවිල්ලයි’ යනුවෙන්ද ‘කුහූ කුහූ හඬලයි - ලලයිලයි කුහූ කුහූ හඬලයි’ යනුවෙන්ද පුනරුච්චාරණය කෙරේ.

සන්දේශයේ ‘සුදට සුදේ වලාකුළයි’ යන කාව්‍යමය නැළැවිල්ලද කුමරතුඟුන්ගේ හෙළ රණ ගීය සිහිගන්වන ‘කෝ හතුරෝ කෝ හතුරෝ’ ගීතය සහ ‘පුර්තුගීසිකාරයා’ ගීතයද සන්දේශය කතා පුවත හා අත්‍යන්තයෙන් බැඳී සිටින ආකාරයෙන් රචනා කර තිබේ.

අහුබුදු සූරීන්ගේ වාචස්පතිත්වය පිළිබිඹු කරන තවත් විශිෂ්ට ගීයක් ඉඟි නළු ගී අතර වෙයි. ප්‍රේමකුමාර එපිටවෙලයන්ගේ ‘පරෙවිය’ ඉඟි නළුවේ සාම අස්න රැගෙන පරෙවියා යන්නේ අමෙරිකාව බලාය. ඒ යන ගමන් මඟ අප්‍රිකා - චීන අහස් කුස තරණය කරයි. පරෙවියා චීනය මතින් පියාසර කරද්දී ගැයෙන ගීය එක්වරම අපට ඇසෙන්නේ චීන බසින් ලියූ ගීයක් ලෙසිනි. එහෙත් සැබැවින්ම එය පිරිසුදු හෙළ බසින් ලියූ අපූරු ගීතයකි:

‍ලෝකෙන් ජන බලයෙන් වැඩි බිම් නම්

චීනුන්ගේ වෙයි මා බිම් මවු බිම්

පීකිං, නැංකිං, ක්වාතුං, ෂැංහයි...

මේ වන් පුර අන් කොයි වෙයි දෝ, හොයි...

හෝවැංහෝ, යැංසිකියැං, සිකියැං ගං

චීනේ ගොයියන්නේ දෙයියන් වන්

මාඕ සේතුං, චූ එන්ලායි තුම්

නාවන් සන්දයි චීනුන් නැංගේ...

චීන බසෙහි බහුලව යෙදෙන නාසික්‍ය ශබ්දය අපේ බසින් අනුස්වාරය හා සමීපව පිහිටුවීමෙන් චීන ‍බසෙහි අනන්‍යතාව ඉස්මතු කිරීමේ සංකල්පනාව භාෂා විශාරදයකුට මිස අන් කිසිවකුට බිහි කළ හැක්කක් නොවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන පරිදි මේ නම් බස් පෙළහරකි!

අහුබුදුවන්ගේ පෙම් ගී රස ඉතිරෙන ශෘංගාරාත්මක නිබන්ධ බවට පත් වෙයි. ඔහුගේ පරිකල්පනයෙහි ඇති අසිරිය මහා කවියකුට මිස, අනෙකකුට නිර්මාණය කළ නොහැකි තරම්ය:

අතු අගැ දිලි වන මල් - පිපෙන්නා

විඳැ විඳැ සඳ සිහිලැල්

මසිත් ඔබ හද සිහිලැල් - ලබාලා

පරයයි ඒ හැම මල්

කිරි සුදු හිම ගඟුලැල් - හැලෙන්නා

හිමගිරි ඇලයෙහි දුල්

ඔබැ ඇලයෙහි මනකල් - ගලයි මා

හද නොහැලී හැමකල්

දෝතල් තුරු මල් වැල් - එලෙන්නා

කොයි එගසින් අත්වැල්

මට ඇති ඔබ අත්වැල් - වෙළෙන්නෙමි

හිමි ඔබ හා හැම කල්

සඳ සිහිල විඳ පිපෙන වන මලට වඩා මැනවින් ඇ‍ගේ සිහිලෙන් හේ පුබුදු වෙයි. ගිරි ඇලයෙහි ගලන හිම ගඟුලට වඩා සුවයෙන් ඔහු ඇය ඇලයෙහි වෙසෙයි. අත්වැල් පතමින් වැඩෙන දෝතල් වැලට වඩා මනාව ඇගේ අත්වැල් ඔහු වටා වෙළෙයි. ඇය නිසා ඔහු ලත් චමත්කාරය කවියා විචිත්‍ර ලෙස වර්ණනා කරයි.

ගීතයකින් මෙවන් අසිරියක් පළ කළ හැක්කේ දුර්ලභ ප්‍රතිභානයක් ඇති කවියකුට පමණි; දුර්ලභ වදන්පතියකුට පමණි.

අපේ වසන්ත උලෙළ සේ සැලකෙන ජාතික අවුරුද්ද ගැන බොහෝ කවීන්ගේ වැනුම් එරබදු මලටත්, කොවුල් නාදයටත් ලඝු වෙද්දී අහුබුදු කිවියා මවන විචිත්‍ර වදන් සිත්තම කොතරම් අපූරුද! වර්ණවත්ද!

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මී වදවලැ පැණි පුරවන්නී

කුරුලු සරින් කන් පිනවන්නී

මුළු ලෝ උයනක් කරවන්නී...

ජම්බු ගහට රත පොරවන්නී

බක් මී ගහ කහ අන්දන්නී

අඹ දලු ළා රත තවරන්නී

ලෝ කත විසිතුරු කරවන්නී...

ගමේමැ පුහුලම් ඉදවන්නී

සොරුන් බවට වවුලන් ලන්නී

නෙතැනැ වවුලු පළවල් දෙන්නී

ගම් දරුවන් හට වැඩ දෙන්නී...

ගමේම පුහුලන් ඉදුණු කල්හි ඉවසුම් නැති වවුලෝ නිතැතින්ම සොරකමේ එති. තැන තැන වවුල්පළවල් ළඟ ගම් දරුවන්ටද වැඩ වැඩි වෙයි.

අහුබුදු ගීතයේ අනන්‍ය සලකුණ වන්නේ නිරවුල් ව්‍යාකරණානුකූල භාවයයි. ඔහුගේ හැම ගීයකම බස පිරිපහදු කළ හෙළ බසයි. සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනයෙන්ද නිසර්ග සිද්ධ කවිත්වයෙන්ද අනූන ‍යථෝක්ත ගීත ප්‍රබන්ධ නූතන ගීත රචක පරපුරට පූර්වාදර්ශ නොවේද?

‘ජීවත් වන කිවියන්ගේ’ යන හිසින් ලියූ අර්ථාන්විත ගීතයක රස මතු කරමින් ලිපිය අවසන් කිරීම මැනවැයි සිතමි. අහුබුදු සූරීන් මේ ගීතය ලියන්නේ මහගම සේකරයන් අරබයාය. එහි වදනරුත් අප සමරන අරීසෙන් අහුබුදු කිවිඳුන්ටද සාධාරණ නොවේද?

ජීවත් වන කිවියන්ගේ

දිවියමැ දුක් ගීයක් නම්

ඒ ගීයමැ සොහොන් කොතෙන්

ඇයිද ලියන්නේ - කිවියනි

ඇයි ද ලියන්නේ...

වෙන ගීයක් ලියනු මැනවි

යළි හදවත් රන් කරවන

මේකයි අද දිනැ මහගම

ඔබට කියන්නේ...

දුක් ගීයක් සොහොන් කොතේ

ලියා ඉතින් වැඩෙක් නැතේ

සරසවි කවි ලොවට කියයි

සේකර මළ ලොවේ නැතේ...

සමරු ගී කුමකටද

නොමළ කවියකු නමට

ඔබ නමමැ ගීතයෙකි

මළවුනුත් පණ පොවන සේකර!

පරපුරින් පරපුරට

කව් සුවඳ හමා යන

ඔබ දිවිය කිවිඳුනේ

ජීවයයි ගීතයේ

ගීතයයි ජීවයේ

ජීවයයි ජාත‍ියේ...

පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ අහුබුදුවන්ගේ මේ ගී මාලාවම අරීසෙන් අහුබුදු සූරීන්ගේ කීර්ති කදම්බය අබියස පූජාවක් කරමු.

අදහස්