නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය ගෞරවනීය අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ නව මානයක් | සිළුමිණ

නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය ගෞරවනීය අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ නව මානයක්

අන්තර්ජාතික සම්බන්ධතා යනු රටවල් ස්වකීය අභිලාශයන් ඉටු කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සුජාතකරණය කරන ක්‍රමවේදයකි. බටහිර ජාතීන් ලෝකයම තම අණසක යටතට ගනු වස් ගෙන ගිය විජිතකරණ අරගලයේදී, තුවක්කුවෙන් බැරි කොටසක් තිබෙන බවත්, එය දිනන්නට නම් කුරුසය යොදා ගත යුතු බවත්, ඔවුහු මීට වර්ෂ 500කට පෙර සිට දැන සිටියහ. ශ්‍රී ලංකාවේ අද ඇති වී තිබෙන තත්ත්වය හමුවේ බටහිර තානාපති කාර්යාල හැසිරෙන්නේ ද, එදා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී මුත්තලා ගුරු තනතුරෙහි තබා ගෙන බව පෙනේ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කීවාක් මෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටනට පණ පෙවීමට ඕල්කොට් තුමා බටහිරින්ම පැමිණියේය. අද ශ්‍රී ලංකාව අන්තර් ජාතික වශයෙන් අපකීර්තියට පත් කිරීමටත් එමගින් අපගේ ස්වාධිපත්‍යය අන්තර්ජාතික න්‍යාය පත්‍රයකට යටපත් කිරීමටත් ගන්නා උත්සාහයේදී එම අධිපතිවාදයට එරෙහිව හඬ නැගීමට කීර්තිමත් බටහිර ජාතිකයකුම ඉදිරිපත් වී තිබීම ප්‍රශංසනීය වේ. නේස්බි සාමි නමින් ප්‍රකට මේ සුවිශේෂ පුද්ගලයා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමි මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකි. ශ්‍රී ලංකා රාජ්‍යයේ මිත්‍රයෙකි. අඩ සියවසක් තිස්සේ ශ්‍රී ලංකාව ඇසුරු කළ, බෙදුම්වාදී යුද්ධය වැනි දුෂ්කර අවස්ථාවලදී පවා සමස්ත ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටියෙකි. යුද අපරාධ සම්බන්ධ චෝදනා අප රටට එරෙහිව එල්ල කෙරුණු මොහොතේ, ශ්‍රී ලංකා පාර්ශ්වය මතවාදී වශයෙන් ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නෙකි. අඩ සියවසක දේශපාලන මෙන්ම රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත එතුමන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය හමුවේ සිදු කරන ප්‍රකාශය කඩිමුඩියේ කටයුතු කරන පක්ෂග්‍රාහී තනාපති කාර්යාල ඒජනත්යන්ට මෙන්ම ඔවුන්ගේ හඬ අසා එයම කියවන දේශීය ගිරා පෝතකයන්ටත් යස පාඩමකි.

ශ්‍රී ලංකාවේ සිදු වී ඇත්තේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී හියුගෝ ස්වයර් නම් හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයකු කළ ප්‍රකාශයට නේස්බි සාමිවරයා පිළිතුරු දුන්නේ මෙසේය

“බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නකු ගරු කළ යුතු නීතිය එය නොවේ. අපට අපගේ ම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්ෂ පහනක් පුරා (ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්) මා කළ සේවයේදී මා ඉතා පරිස්සම් වුණා. මම කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියේවත් ව්‍යාපාරයක නිරත වූයේවත් නෑ. මගේ මන්ත්‍රී සගයන් ද එලෙස කටයුතු කළ යුතු යැයි මම යෝජනා කරනවා”. මෙය බැලූ බැල්මට ම සාමාන්‍ය ප්‍රකාශයක් නොවේ. වෙනත් රටක කටයුතුවලට මැදිහත් වීමේදී පවත්වා ගත යුතු සීමාව සහ ශික්ෂණය පිළිබඳ මහාර්ඝ උපදේශයකි.

සැබෑ මිත්‍රත්වය

ඔහුගේ මේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාවෙන් ඔප්පු වූ අවස්ථාවක් නම්, යුද්ධයේ අවසන් දින කිහිපයේදී මිය ගිය ජන සංඛ්‍යාව පිළිබඳ විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් වූ අවස්ථාවයි. එහිදී, ශ්‍රී ලංකාවට එරෙහි පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ සංඛ්‍යාව වූයේ අවසන් අදියරේදී 40,000ක් තරම් ජන සංඛ්‍යාවක් මිය ගිය බවයි. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා විසින් පත් කරන ලද කුප්‍රකට දරුස්මාන් වාර්තාව මගින් ද ඉදිරිපත් වූයේ එකී සංඛ්‍යාලේඛනයයි. ඒ අනුව, සියලු බටහිර රාජ්‍යයන් ද එම සංඛ්‍යාව ම මන්තරයක් සේ ජප කරන්නට වූහ. එහෙත් ශ්‍රී ලංකා ආණඩුව පැත්තෙන් කීවේ, යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් ඇතුළුව සියලු දෙනා 7000ක් පමණ මිය ගිය බවයි. එහෙත් සියලු බටහිර රටවල් සහ ජාත්‍යන්තර ආයතන එම සංඛ්‍යාව බැහැර කළේ කිසිදු වග විභාගයකින් තොරවය. නේස්බි සාමිවරයාගේ සුවිශේෂී මැදිහත් වීම සිදු වූයේ මෙකී තත්ත්වය හමුවේය. යුද්ධයේ අවසන් කාලයේදී, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයට මහකොමසාරිස් කාර්යාලයේ ස්ථානගත කොට සිටි ආරක්ෂක කටයුතු සම්බන්ධ තනාපති නිලධාරියා බ්‍රිතාන්‍යයට දින පතා යැවූ වාර්තා ලබාගැනීමට නේස්බි සාමිවරයා කටයුතු කළේය. එම සමස්ත තොරතුරු ලබා දීම බ්‍රිතාන්‍ය රජය ද මග හරිමින් සිටි තැන, අවසානයේ නඩු මාර්ගයෙන් ඒවා ලබා ගැනීමට නේස්බි සාමිතුමාට හැකි විය. ඒ වාර්තා සැඟවූ හේතුව පෙනුණේ, ඒවා ලබා ගත් විටය. යුද්ධයේ අවසන් දින කිහිපයේදී මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 7,000ක් පමණ වන්නට ඇතැයි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෝශ්ගේ වාර්තාවල සටහන් වී තිබුණි. මෙම සොයා ගැනීමත් සමඟ, යුද්ධයේ අවසන් අදියර යනු සමූල ඝාතන සිදු වූ කාල පරිච්ඡේදයක් ය යන අන්තවාදී ප්‍රලාපය සුනු විසුනු කර දැමීමට විශ්ලේෂකයන්ට හැකි විය. තමන් රටක් සමග මිත්‍රශීලීව කටයතු කරන්නේ නම්, ඒ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු විනා පුද්ගලයකු හෝ පක්ෂයක් මුල් කරගෙන අන්තර්ජාතික සම්බන්ධතා පවත්වා නොගත යුතු බව මනාව පෙන්වා දීමට නේස්බි සාමිවරයාගේ මේ ක්‍රියාව ම නිදසුනකි.

යථාර්ථවාදීත්වය

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සිදුවීම ගැන මහත් සේ කලබල වී සිටින බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයට ඔහු කියා සිටියේ “එහි කිසිදු ව්‍යවස්ථා විරෝධී බවක් මම නම් දකින්නේ නෑ. එහෙත්, එය එතරම් සාමාන්‍ය දෙයක් ලෙස පෙනී යන්නේ නෑ. ඉතින්, සාමාන්‍යම නොවන දේ කොහිත් සිදු වෙනවා. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවත් නියමිත කලට අඩුවෙන් වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට රටේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි බව මම දන්නවා. ඔහු ජනතා ඡන්දයෙන් පත් වූ කෙනෙක්. එමෙන්ම රටේ ප්‍රධාන විධායක නිලධාරියා. එතුමන්ට රටට අවශ්‍ය දේ තීරණය කිරීමට හැකි බව මට විශ්වාසයි. මම එතුමන්ව කිහිප විටක් හමු වී තිබෙනවා. එතුමන් ගැන මට විශ්වාසයි.”

නේස්බි සාමිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අන්තර්ජාතික සම්බන්ධතාවන්ගේ සාර්ධර්ම ආරක්ෂා කර ගනිමින් රටවල් කටයුතු කළ යුතු වන්නේ කෙසේද යන්නයි. යම් රටක් තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතුය. ඒ බව හොඳින් දන්නා මේ විදේශීය පාර්ලිමේන්තු සහ තානාපති කාර්යාල රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නම්, ඒ පිටුපස හේතුවක් තිබිය යුතුය. රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදාය බිඳ හෙළමින් යම් පක්ෂයක් හෝ පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටී නම්, එයින් කියවෙන්නේ ඔවුන් වෙනුවෙන් සේවය කරන්නෙකු රැක ගැනීමට ඉදිරිපත්ව ඇති බවයි. විදේශීය න්‍යාය පත්‍ර රකින පුද්ගලයන් තම නායකයන් තබා ගෙන පෝෂණය කිරීමට ලංකාවේ මිනිසුන් සූදානම් නැති බව ශ්‍රී ලාංකිකයා පෙන්වා දුන්නේ මීට වර්ෂ 70කට පෙර සුද්දා එළවා දැමීමෙනි. දොන් ජුවන්ලා ශ්‍රී ලංකාවට නැවතත් අවශ්‍ය නැත.

 

අදහස්