රටේ ගොවි බිම් සියල්ල අස්වද්දන්න සූදානම් | සිළුමිණ

රටේ ගොවි බිම් සියල්ල අස්වද්දන්න සූදානම්

ඡායාරූප - අඹන්පොළ සමූහ,අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
නිහාල් පී. අබේසිංහ,අනිල් ගාමිණී විජේරත්න
  • මෙවර අක්කර ලක්ෂ 25ක් වවනවා; කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • අපිත් අක්කර ලක්ෂ 3ක් අස්වද්දනවා; මහවැලි අධිකාරිය
  • රටේම ගොවීන් දැන් පවුල් පිටින්ම කුඹුරු වැඩ; ගොවි සංවිධාන

පොලොන්නරුවේ මගේ මිතු‍රකුට මා දුරකථන ඇමතුමක් දුන්නේ ඔහු සේවය කරන කාර්යාලය මගින් මට රාජකාරියක් කරවා ගැනීමට ය. එහෙත් ඔහු නිවාඩු දමා ඇත. ජංගම දුරකථනය ද අක්‍රිය ය. මම ඔහුගේ නි‍ෙවසට කථා කළෙමි‍. ඔහුගේ දුව කීවේ සුවිශේෂී කතාවකි.

“තාත්තා වෙලේ. මේ දවස්වල වතුර ඇවිල්ලා කුඹුර හදනවා. දැන් මේ පැත්තේ හැමෝම මේ දිනවල කුඹුරු වැඩ. ඒ දියණිය පැවැසුවේ ඉතා සතුටිනි. මේ වගේ වැස්සයි වතුරයි ආවේ අවුරුදු තුනකට පස්සෙලු. ඒ නිසා මේ පැත්තේ අය සේරම මේ දවස්වල කුඹුරු වැඩ. ඒ දියණිය පැවසුවේ දැඩි සතුටකින් යුක්තව බව පැහැදිලි විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපා‍ර්තමේන්තුව කාලගුණ දත්ත අංශය පවසන පරිදි මෙලෙස පුලතිසිපුරවරයට පමණක් නොව රටේ බොහෝ පළාත්වල ලොකු වැස්සක් ආවේ වසරකට පසුවය. එය මගින් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි අන්දමට අවශ්‍ය කටයුතු කිරීම අප සතු යුතුකමකි.

කන්න 5කට පසු පසුගිය සතියේ අපේ රටේ බොහෝ ජලාශ හා වැව් පිරී ඉතිරී ගි‍යේය. ඒ අනුව දැනටමත් මෙවර මහ කන්නයේ ඓතිහාසික ලෙස කෙත් බිම් අස්වැද්දීමට අපේ ගොවි ජනතාව කටයුතු කරමින් සිටිති.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන ආකාරයට පසුගිය දිනවල ලැබුණු වැස්ස නිසා පොලොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, ත්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට, අම්පාර, පුත්තලම, මාතලේ, මහනුවර වැනි දිස්ත්‍රික්කවල වැව් ජලාශ හා ගංගා පූර්ණ ලෙස පිරී ඇත.

‍මේ අනුව මුළු රටේම කුඹුරු අක්කර ලක්ෂ 25කට‍ ආසන්න බිම් ප්‍රමාණයක් මේ ජලයෙන් සරු කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම වාරිමාර්ග හා මහවැලි බලධාරීහු පවසති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ වාරිමාර්ග අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසුවේ වසර 3කට පසු මෙරට බොහෝ ජලාශ හා වැව් පිරී ඉතිරී ගොස් ඇති බවයි.

“අම්පාර හැර රටේ හැම ජලාශයකම වැවකම ගඟකම ජලය වැඩිවෙලා. අපිට ඒ ජලය ආරක්ෂා කරගෙන වගාවට ජලය ලබාදෙන්න අවශ්‍යයි. අද වනවිට අනුරාධපුර, බදුල්ල, මහනුවර, මන්නාරම වැනි දිස්ත්‍රික්කවල සියලු ජලාශ හොඳටම පිරිලා. මෙතෙක් කල් ජල ධාරිතාව සියයට 15ක් වූ පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කවල ජලාශවල පවතින ජල ධාරිතාව සියයට 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව මේ රටේ වැඩි ප්‍රමාණයක ජලාශ හා වැව් පිරීමට ඇති තරම් ජලය ලැබුණේ වසර 3කට පස්සේ” පලුගස්වැව මහතා පැවසීය.

අලුත්ම තොරතුරු අනුව මේ වනවිට රන්දෙණිගල, කන්දලම, කලාවැව, නාච්චදූව, නුවරවැව, දම්බරුව, සොරබොරවැව, මවුආර, පරාක්‍රම සමුද්‍රය, කිඹුල්වානඔය, තබ්බෝව, වාන් ඇළ, දැදුරුඔය, කාසල්රි, මාඋස්සාකැලේ, රාජාංගණය, මහවිලච්චිය යන ජලාශ මේ වනවිට වාන් දමා ඇත.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක සාමාන්‍ය ජල ධාරිතාව මේ වනවිට සමස්තයක් ලෙස 53%ක මට්ටමේ පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 11 ජල ධාරිතා ප්‍රතිශතය 69%ක් වන අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 73%ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල පාලන හා පුහුණු කටයුතු අධ්‍යක්ෂ ඉංජිනේරු වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසීය. පසුගිය 04 වැනිදා වන විට සෙසු දිස්ත්‍රික්කවල ප්‍රධාන ජලාශයන්හි ජල ධාරිතා ප්‍රතිශතය මෙසේ ය. අම්පාර 22%, බදුල්ල 92%, කුරුණෑගල 88%, මොනරාගල 46%, පුත්තලම 36%, වවුනියාව 32%, මඩකළපුව 46%, ගාල්ල 59%, මහනුවර 88%, ත්‍රිකුණාමලය 32%, හම්බන්තොට 91% ක් සහ මන්නාරම 90%ක් වශයෙනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ වශයෙන් ගතහොත් රාජාංගණය, මහවිලච්චිය, නාච්චදූව, නුවරවැව ජලාශවල ජල ධාරිතා ප්‍රතිශතය 97% දක්වා ඉහළ අගයක් ගන්නා අතර, වාන් මට්ටමට පැමිණ තිබෙනවා. එම ජලාශවල ජලය පාලනය කොට ආරක්ෂිත පියවරක් ලෙස වාන් දොරටු කිහිපය බැගින් විවෘත කිරීම සිදුකෙරෙන බව පලුගස්වැව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වසර තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති දැඩි නියඟය නිමා කරමින් මාසයකට අධික කාලයක් තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැ‍ෙළන තද වර්ෂාව සමඟ ප්‍රදේශයේ පිහිටි මහා වැව් වන මහවිලච්චිය තුරුවිල, නාච්චදූව, නුවරවැව මහකනදරාව ඇතුළු වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර වසර තුනකට පමණ පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් හැරෙන්නට සෙසු වැව් සියල්ල ජලයෙන් පිරී ඉතිරී ගොස් ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කය මහා වැව් මධ්‍යම ප්‍රමාණයේ හා කුඩාවැව් තුන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙන අතර පතුලටම සිඳී ගොස් තිබූ වැව් අතරින් සියයට අනූ පහක පමණ ප්‍රමාණයක් ජලයෙන් පිරී පවතියි.

ඊට අමතරව තිසාවැව, වික්ටෝරියා, කලාවැව, රාජාංගණය, ගිරිතලේ - ගල්හිටිය, රත්කඳ, උඩවලව වැනි ජලාශ සියයට 9කට වඩා පිරී ඇත.

ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ හැර අන් සියලු ජලාශවල ජල ධාරිතාව ඉහළ යමින් පවතී.

“මේ වගේ ජලාශ පිරුණේ වසර 3කට පස්සේ අපි සේරම කන්න 5ක් නියඟයෙන් දුක් වින්දා. අපිට කන්න දෙයක් තිබුණේ නැහැ. හරියට කුඹුරක් වගා කළේ කන්න 5කට පෙර.

දැන් අප කළ යුත්තේ මේ ලැබෙන වැස්ස මගින් ලැබුණු ඉහළ ජල ධාරිතාව ඉදිරි යල හා මහකන්න සඳහා සුරැකිමයි. මේ සඳහා වාරිමාර්ග, මහවැලි, කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්වී දිගුකාලීන කළමනාකරණ සැලැස්මක් සකස් කළ යුතු බව කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස මහතා පවසයි.

මේ ලැබුණු ජලය නිසා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 3කට පසු මෙරට උපරිම කුඹුරු ප්‍රමාණයක් මෙවර වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව මහවැලි අධිකාරියේ කෘෂි සැලසුම් අංශය පවසන්නේ මෙවර කෙත් බිම් අක්කර ලක්ෂ 2.5ක් අස්වද්දන බව ය. පසුගිය වසරවල ජල හිඟකම් නිසා වගා කළ හැකිවූයේ මහවැලියට අයත් කෙත් බිම්වලින් සියයට 70 පමණ වුවත් මෙවර මහවැලි කෙත් බිම් හා අතිරේක භෝග වගා බිම් සියල්ලම වගා කරන බවත් ඊට අවශ්‍ය ජලය දැන් ලබාදෙන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රවිතාන මහතා පවසයි.

2017/ 18 මහ කන්නයේ දී මහවැලි බල ප්‍රදේශවල වගා කළේ අක්කර ලක්ෂ 2 ක් පමණි. මේ අනුව මෙවර මහවැලි අධිකාරියට අයත් බල ප්‍රදේශවල වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය සියයට 15කින් පමණ වැඩි වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේසිංහ මහතා පැවසුවේ මෙවර මහ කන්නයේදී ර‍ෙට් සියලුම දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ 22ක් පමණ අස්වැද්දීමට මෙවර ඉලක්ක කර ඇති බවයි‍. පසුගිය වසර 3 – 4 ඇතුළත මහකන්නයේදී වැව්වේ අක්කර ලක්ෂ 18ක් පමණක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු අක්කර ලක්ෂ 2.5 ක් පමණ මෙවර වැවීමට යෝජිතය.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ව්‍යාප්ති හා පුහුණු) අනුර විජේසිංහ මහතා පැවසුවේ මෙවර මහ කන්නයේදී කඹුරු ඉඩම් අක්කර ලක්ෂ 22ක් වැවීමට අපේක්ෂිත බවත් එමඟින් ලැබෙන අස්වැන්නෙන් අප රට සහලින් ස්වයංපෝෂිතවීම ස්ථිර බවත්ය. 2014 – 15 මහ කන්නයෙන් අපේ රට සහලින් ස්වයංපෝෂිත වී සිටියත් 2016 යල කන්නයේ සිට 2018 යල කන්නය දක්වා මෙරට වී නිපැයුම පහළ බැස තිබුණ බවත් අනුර විජේසිංහ මහතා පැවසීය.

2014/15 මහ දී රට ස්වයංපෝෂිත වූයේ ‍මේ වසරේ මෙන් අක්කර ලක්ෂ 22ක වගා ඉලක්කයක් ඇතිව වැඩ කිරීමෙන් බවත් ඔහු කීය. දැනට වැස්ස හා ජලය ඇති තරම් තිබීම නිසා කුඹුරු අක්කර ලක්ෂ 22ක් වගා කරන බවත් 2017 – 18 මහ කන්නයේ වගා කළේ අක්කර 15 ලක්ෂයක් බවත් ඔහු කීය.

මේ තත්ත්වය මත අද පොලොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, පුත්තලම, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, ගාල්ල, හා මාතර යන දිස්ත්‍රික්කවල සියලු ගොවීන් මේ දිනවල කුඹුරට බැස වගා කටයුතුවල යෙදෙන බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

“මේ පිළිබඳව අපට කරුණු දැක්වූ අනුරාධපුරයේ ගොවි සංවිධාන නායකයන් පැවසුවේ රටේ සිදුව‍ූ දේශපාලන වෙනසින් පසු ඇතිවූ ආශිර්වාදයක් ලෙස මෙලෙස මහකන්නය හොඳටම කරන්න වැස්ස ලැබුණු බවයි.

වසර 2කට පස්සේ මෙහෙම වැස්සේ මේක දේව ආශිර්වාදයක් වගේ වැඩක්. අපි සේරම දැන් කුඹුරු වැඩ. මේ සැරේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් වී අස්වැන්නක් ලැබේවි, ගොවි සංවිධාන නායකයෝ පවසති.

මේ අතර දැන් නියඟය දරුණු පීඩාවක් වී පෙරදින හඬා වැටුණු වයඹ ගොවින් කුඹුරට බැස කුඹුරු වැඩ කරමින් මඩ නාගන්නේ සිනාමුසු මුහුණින්ය. වැව් කණ්ඩි මත පිරිත් කියමින් කිරි උතුරා දෙවියන්ට කන්නලව් කරමින් ඔවුහු අයැද සිටියේ වතුර බිඳුවක්ය. ඒ වතුර බිඳු මහ වැසි වී වැටෙමින් වැව් පිරී උතුරා කුඹුරු යායවල් වෙත ගලා බසින්නේ චිත්ත ප්‍රීතියෙනි.

ජල හිඟය නිසා එක දිගට කන්න හයක් කුඹුරු ගොවිතැන් කර ගත නොහැකිව සුසුම් හෙලමින් සිටි මී ඔය ගොවි ව්‍යාපාරයේ හැම බිම් අගලකම මේ වන විට වගා කටයුතු අරඹා ඇත. ජලය පිපාසයෙන් සිටි මෙම ගොවීහු කුහුඹි ගුලක් ඇවිස්සුණා සේ පවුල්වල ගැහැනු පිරිමි සැවොම එක්ව මෙවර වගා ඇරඹීම සිදුවෙමින් පවතී.

මී ඔය ගොවි ව්‍යාපාරයට අයත් අබකොළවැව, අතරගල්ල වැව හා පාළුකඩවල වැව ජලයෙන් පිරී එහි අවසානය පාලුව දක්වා ම ජලය නිකුත්කර තිබේ.

එපමණක් නොව මහගල්ගමුව, ඉහලගම හා පාලුව ප්‍රදේශ වලද වගා ආරම්භ කර ඇත. මෙවර ජලය හා වැස්ස ලැබීමත් සමඟම මෙම හැම බිම් අඟලකම වගා ඇරඹීම සිදුව තිබේ.

නිසි කලට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් හා වැස්ස ලැබීමෙන් ප්‍රීතියට පත්ව වගාවේ නියැළෙන ගොවියෝ මෙසේ පවසති.

මේ හිසේ කෙස් පැසෙන තුරුම වී වගාවේ යෙදුන වී වගාවට ආදරය කරන තරුණ ගොවින්ට ආදර්ශයක් සපයන ආර්.එම්. ගුණරත්න බණ්ඩා ගොවිමහතාය.

“අපි මේ වතුර ටිකක් දැක්කෙ අවුරුදු තුනකට පස්සෙ. වෙනදා අපි යල මහ ගොවිතැන් කරලා හොඳ ආදායම් ලැබුවා. කන්න හයක් වතුර නැතුව වගා නැති වුණා. අපිට දැන් වැස්සයි වතුරයි දෙකම තියෙනවා. හැමදාම මේ විදිහට වතුර තියෙනවා නම් තවත් මොනවත් අවශ්‍ය නෑ. අතේ හයියෙන් ගත සරු කරන්න අපට පුළුවනි.

නිසි කලට නිසි ලෙසට වගා කටයුතු ඇරඹීමට ගොවින් මෙහෙයවූ අබකොලවැව “ගැමුණු” ගොවි සන්විධානයේ ලේකම් ආර්.ඩී. සෝමරත්න මහතා තම හඬ අවදි කළේ මෙලෙසිනි:

“ගොවි සංවිධාන පිහිටුවාගෙන අපි උත්සාහ කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට ගොවිතැනට අවශ්‍ය පහසුකම් සැලසීමටයි. කන්න පහ හයක් අපට ජල හිඟය තිබුණා.

දැන් කලට වෙලාවට කුඹුරු වැවීමට වැස්ස ලැබී තිබෙනවා. වැව් පිරී ඉතිරී ගලායන මො‍ෙහාතක් මේක. අපේ ගොවියො පස්වනක් ප්‍රීතියෙන් කුඹුරුවලට බැහැලා දෙවියන් බුදුන් සිහිකරගෙන මේ වන විට වැඩ. වෙනදා වගේ නොවෙයි මෙවර ගොවින්ට අවශ්‍ය පොහොර ටිකත් කලට වෙලාවට ලබලා දෙන්න හැකියාව ලැබුණා. අක්කරයකට යූරියා කිලෝග්රෑම් 86 ක් එම්.ඕ.ඩී. කිලෝග්රෑම් 20ක් හා ටී.එස්.ජී. කිලෝග්‍රෑම් 20ක් ලබා දෙනවා. ඒ අනුව අපි මේ වන විට අබකොලවැව ගොවි ජනපදය සඳහා අවශ්‍ය සියලු පොහොර ලබා දී හමාරයි. ගොවිජන බැංකුව හා අනෙකුත් රාජ්‍ය බැංකු හරහා ණය ලබා ගන්න ගොවින් වෙනුවෙනුත් ණය ලබා ගැනීමට අදාළ සියලු ලිපි ලේඛන අනුමත කර දී හමාරයි. රජය ගොවි ණය පොලිය කපා ගැනීම පිළිබඳවත් අපිට සතුටුයි.

ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ඩබ්.එම්. ප්‍රියන්ත වන්නිනායක ගොවි මහතා මෙසේ අදහස් දැක්වූවේය.

“අපි හැමදාම ගොවිතැන මුල් කරගෙන තමයි ජීවත් වුණේ. කන්න පහක් හයක් අපිට කිසිම ආදායමක් නැති තත්වයට පත්වුණා. මේ කන්නෙ නම් නියම කාලයට වගා කරන්න වතුර ලැබුණා. වැස්සත් ලැබුණා. සතුටුයි. වැඩේ තියෙන්නෙ වගාවට යන වියදම තමයි.”

රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණවලට අනුව ගොවියන් ගොවිතැනට මෙහෙයවන ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරු කෝසල නාරංගම්මන මහතා මෙසේ අදහස් දැක්වීය.

“අවුරුදු තුනක් විතර නිසි ජල ප්‍රමාණ නොලැබීමෙන් මී ඔය ගොවි ව්‍යාපාරයේ ගොවීන් ගොවිතැනේ යෙදීමට නොහැකිව පසුවුණා. මෙවර නිසි කලට වැස්ස ලැබෙන පෙර නිමිති තිබුණ නිසා අපි කලින් ම පෙර කන්න රැස්වීම් පවත්වලා කුඹුරු සුද්ධ කරගෙන වගාවට සූදානම් වන ලෙස ගොවීන් දැනුම්වත් කළා. වැස්ස ලැබෙනවාත් සමඟම ගොවීන්ට ගොවිතැන අරඹන ලෙස උපදෙස් දුන්නා. හොඳ අස්වැන්නකට ගොවීන් මෙහෙයවනවා. ඒ විතරක් නොවෙයි මේ විශාල ජලාශ තවමත් වාන් මට්ටමේ තියෙන්නෙ. මේ ජලය නිසි ලෙස කළමනාකරණයකර ඉදිරි යල කන්න‍යත් වී වගාව සඳහා ජලය ඉතිරි කර ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා.” කෝසල පැවසීය.

මේ අතර ‍ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික මැදිහත්වීම මත ඉක්මණින් ඉදිකළ මොරගහකන්ද ජලාශය දැන් සියයට 75ක් පිරී ඇත. මෙය ඉදිකිරීමෙන් පසු මේ තරම් ධාරිතාවකට පිරුණු ප්‍රථම අවස්ථාව මෙය බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා පවසයි. ඊට අමතරව ඊට අනුබද්ධ ලග්ගල කළු ගඟ ජලාශය ද දැන් පිරෙමින් පවතී. මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක වපසරයකින් යුක්තය. කළුගඟ පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයකි. මේ ජලාශ දෙකෙන් උතුරු මැදට හා වයඹ පළාතට ජලය දීම ආරම්භ කර ඇත.

 

අදහස්