රට නසන්නට අම්පාරට ගොඩබැස්ස සේනා දළඹුවාගේ මාරක සේනාව | සිළුමිණ

රට නසන්නට අම්පාරට ගොඩබැස්ස සේනා දළඹුවාගේ මාරක සේනාව

  • ආක්‍රමණිකයා ගස්වල යුෂ උරා බොන සලබයෙක්
  • දවසකට කිලෝමීටර 100ක් පියාඹනවා
  • කෘමිනාශකවලින් විනාශ කරන්න බෑ
  • දළඹුවා අසීමිත බඩගින්නෙන් පෙළෙන්නෙක්
  • දිනකට වගාබිම් අක්කර ගානක් විනාශ කරනවා
  • අප්‍රිකාවෙන් අඩක් විනාශ කරලා

මීට මාස හතරකට පමණ පෙර හින්දුස්ථාන් ටයිම්ස්, ඉන්ඩියන් එක්ස්ප්‍රස් මෙන්ම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත්වල කෘමි ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවූයේය. මේ අනතුරු ඇඟවීම කර තිබුණේ එම කෘමි ආක්‍රමණය සිදුවහොත් වගාබිම් ඇතුළු බොහෝ හරිත පරිසර පද්ධති උන් යටතට පත් කර බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව කියන්නටය. ඉන්දියාව මතු නොව එකම භූමියක පැතිරී ඇති පකිස්ථානය, නේපාලය, බංගලාදේශය වැනි රටවල් මේ අනතුරු හැඟවීමෙන් වික්ෂිප්ත විය. වසරකට පෙර අප්‍රිකානු මහාද්වීපය මේ කෘමියා විසින් මලගමක් බවට පත් කළේය. සමහර අප්‍රිකානු රටවල වගාබිම්වලින් සියයට 50ක් සහමුලින්ම වැනසුණේය.

ආක්‍රමණිකයා ගස්වල යුෂ උරාබොන සලබයෙකි. ස්පොඩොප්ටෙරා ෆ්රුගිපර්ඩා (Spodoptera frugiperda) උගේ විද්‍යාත්මක නමය. මිනිස්සු වැඩිපුර හඳුනන්නේ මේ සලබයාගේ කීටයාය. ඉංග්‍රීසියෙන් කියන්නේ Fall Armyworm ( ෆෝල් ආමිවරම්) කියාය. අපේ අය අසා තිබුණේ සේනා දළඹුවා ලෙසය. මේ දළඹුවාගේ ස්වරූපය තැතිගන්වන සුලුය. ඌට ඇත්තේ අසාමාන්‍ය බඩගින්නකි. සේනා දළඹුවාගේ සේනාවට එක් රැයකින් අක්කර ගණන් වගාබිම් මුළුමනින්ම ව්‍යසනයට ලක් කරන්නේ උන් පෙළන මේ අසාමාන්‍ය බඩගින්න නිසාය. ඌ ශාක වර්ග සියයකට ආසන්න ප්‍රමාණයකට ප්‍රිය කරන බව කීවත් ප්‍රියතම ආහාරය බඩඉරිඟුය. කුරක්කන්, ගෙයම්, රටකජු, උක්, කපු මේ සත්වයාගේ යෝධ බඩගින්න හමුවේ සහමුලින්ම වැනසෙයි.

සලබයාට වේගවත් පියාසර හැකියාවක් ඇත. දිනකට කිලෝමීටර 100කට වැඩි දුරක් පියාඹිය හැකිය. ඉතින් මේ සලබයාට තමිල්නාඩුවේ සිට එළිපත්තට බැස්සාක් තරම් පහසුවෙන් රටට ඇතුළු විය හැකිය. සුළඟ හමන දිශාවට අනුව ඒ හැකියා තවත් වැඩි වෙයි. සත්වයාගේ ප්‍රජනන වේගය අතිශයින් ඉහළය. ජීවිත කාලය පුරා බිත්තර 1000කට වඩා දමයි. තවත් ව්‍යසනයක් වන්නේ මේ සලබයා කෘමිනාශකවලට පහසුවෙන් ප්‍රතිරෝධීතාව ගොඩනඟා ගන්නට හැකි එකෙකු වීමය. දූපතක් ලෙස පිහිටා ඇති රටක ස්වභාවික පාරිසරික වටපිටාව විසින් සලසා දෙන ආකර්ෂාව මේ පරිසරය හමුවේ වලංගු වූයේ නැත. දැන් මේ බිහිසුණු කෘමි උවදුරේ මරණීය සෙවණැලි නැගෙනහිර අපේ වගාබිම්වලින් වාර්තා වී හමාරය.

ලංකාවෙන් ඇසුණු කතාව

අම්පාර දමනින් මුලින්ම ඒ බිහිසුණු පණිවුඩය පැමිණියේය. ඒ ආරංචිය රැගෙන ආවේ සජිත් ප්‍රියංකර නමැති දමන ප්‍රදේශයේ බඩඉරිඟු ගොවියෙකි. ඔහුගේ බඩඉරිඟු වගාවේ කොළ යම්කිසි සතෙකු විසින් කා දමා ඇති බව ඔහු දුටුවේය. ඒ වගා හානිය ඔහු මෙතෙක් අත්දුටු තත්වයන්ට වඩා බරපතළ බව පෙනිණි. ඔහු වැඩි විමසිල්ලෙන් බඩඉරිඟු පත්‍ර පරීක්ෂා කළේය. ඔහු දුටුවේ වෙනදා දක්නට නොලැබුණු දුඹුරු පැහැති පණුවකු එම පත්‍ර මත සිටින අයුරුය. ඒ වන විට කෘෂිකර්ම නිලධාරීන් පිටරටවල වගා ව්‍යසනයට ලක් කළ, ලංකාවට පැමිණීමට ඉඩ ඇති කෘමියෙකු හා උගේ දළඹු අවස්ථාව පිළිබඳව ගොවීන් දැනුවත් කර තිබිණි. තමන් දුටු දළඹුවා පිළිබඳ ඔහුට සැකයක් ඇති විය. ඔහු සැණෙකින් තොට්ටම මූලස්ථාන කෘෂි උපදේෂක සී.වයි. අලහකෝන්ව ඒ සම්බන්ධව දැනුවත් කළේය.

ඒ පිළිබඳ දැනගත් විගස කෘෂි උපදේශක චමින්ද වගා බිමට ගොස් පරීක්ෂා කළේය. මේ කියන ආක්‍රමණිකයා නම් ඔළුවේ ඉංග්‍රීසි වයි අකුරේ හැඩය යට අතට වෙන්නට සුදු පැහැයෙන් තිබිය යුතුය. ඔහු සිතුවා හරිය. ඒ සලකුණද හරියටම ගැළපේ. ඔහු මේ පිළිබඳ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සනිර් දැනුවත් කළේය. ඒ ආක්‍රමණිකයා ලංකාවට පැමිණ ඇත. දැන් එම ආක්‍රමණික සත්වයා අම්පාරේ මහඔය, හිඟුරාණ, උහන, දමන ආදී ප්‍රදේශ රැසක වගාබිම් වනසමින්ය.

මුලින්ම ඉන්දියාවට

සේනා දළඹුවාව නිශ්චිත ලෙසම ඉන්දියානු විද්වතුන් විසින් හඳුනාගන්නේ පසුගිය මැයි 18 දාය. ඔවුහු ජූලි තිස් වෙනිදා පළිබෝධ අනතුරු හැඟවීමක් කළහ. ඒ වන විට දකුණු ඉන්දියාවේ කර්ණාටක හා ආන්ද්‍රා ප්‍රදේශවල ගොවිබිම් සේනා දළඹුවා විසින් ව්‍යසනයට පත්ව තිබිණි.

මේ සත්වයා ඉන්දියාව ආක්‍රමණය කළ බවට විශ්වාස කරන්නේ අප්‍රිකාවේ සිට පැමිණ ය. ඌ බිහි වී ඇත්තේ දකුණු ඇමරිකාවේ බව කියයි. අප්‍රිකානු මහාද්වීපයේ නයිජීරියාවෙන් මේ සත්වයා හඳුනා ගන්නේ වර්ෂ 2016 අප්‍රේල්වලදීය. එදා සිට අද දක්වා රටවල් 44ක් මේ කෘමි උවදුරින් පීඩාවට පත්විය. දකුණු අප්‍රිකාව මේ වසංගතය අබියස මුළුමනින්ම නිරුත්තර විය. බඩඉරිඟු අස්වැන්න මත යැපෙන අප්‍රිකානු රටවල් 12ක මුළු අස්වැන්න සියයට 12 සිට 53 දක්වා හානි විය. ඉන් විනාශ වුණු බඩඉරිඟු ප්‍රමාණය ටොන් මිලියන 20 ආසන්නය. එය ඇමරිකානු ඩොලර් බිලියන හයකට ආසන්න අස්වනු හානියකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැසිරීම

සැම්බියාව ගුවන් හමුදා සහයෝගය සහිතව සිය ආසාදිත වගාබිම්වලට කෘමිනාශක හෙළුවේය. එහෙත් උවදුර පාලනය නොවිණි. වෙනත් පරිසර ව්‍යසනයක් නිර්මාණය විය. ලෝකය කැලඹුණේය. පසුගිය 2017 වර්ෂයේ අප්‍රේල් මස රටවල් 29ට අයත් විද්‍යාඥයන් 160කට ආසන්න පිරිසක් කෙන්යාවේ නයිරෝබි නුවරට රැස්වී මේ උවදුරට පිළිතුරු සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. දළඹුවාට කෘමිනාශකවලට පහසුවෙන් ඔරොත්තු දෙන්නට හැකිය. උවදුර පාලනය කිරීම සඳහා ජෛව විද්‍යාත්මක ක්‍රමයක් පිළිබඳ සෙවීමට මේ පිරිස උත්සාහ කරති. තවමත් නිශ්චිත පිළිතුරක් නැත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම සතාගෙන් වන හානිය ගැන කලින්ම ගොවීන් දැනුවත් කර තිබිණි. ඒ වෙනුවෙන් මුලසිටම සුදානම්ව සිටීම නිසා ගොවියන්ද සිටියේ දැඩි සෙවිල්ලෙනි. දමන සජිත් ප්‍රියංකර දළඹුවා ගැන මුලින්ම තොරතුරු ගෙන එන්නට හැකිවන්නේ ඒ නිසාය. සේනා දළඹුවා කුඩා කළ කොළ පැහැතිය. ටික දිනක් යන විට දුඹුරු පැහැයට හැරෙයි. ශරීරය පුරාම ඉදිමුණු ගැටිති ක්‍රමවත් රටාවකට පිහිටා ඇත. හිසේ යටි පැත්තට වෙන සේ සුදු පැහැයෙන් වයි අකුරට සමාන හැඩයෙන් යුත් සලකුණක් නිසා මෙම දළඹුවා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

මේ පිළිබඳ අදහස් දැක්වූ පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරේරා අපට මෙසේ පැවසුවාය.

"මේ සේනා දළඹුවා ගැන අපි මුල සිටම අවධානයෙන් සිටියේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මඟපෙන්වීම මත අපි පූර්ව දැනුවත් කිරීමේ මෙහෙයුමක් දියත් කළා. ඒ ඉන්දියාවෙන් ඌ වාර්තා වුණාට පස්සේ. ඉන්දියාවේ වගාවන්ට හානි කරන කොට අපි අනුමාන කළා ලංකාවටත් මේ උවදුර පැමිණේවි කියලා. යම් කිසි වෙලාවක මෙම දළඹුවා ලංකාවට පැමිණියොත් ඊට මුහුණ දෙන්න අපි අපේ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීම් කළා. ඒ සමඟ පෝස්ටර් පත්‍රිකා බෙදාහරිමින් ලංකා පුරාම ගොවීන් දැනුවත් කළා.

ලංකාවෙන් සතා වාර්තා වන විට ඌ ගැන ගොවීන් ඉතා හොඳින් දැනුවත් වෙලා හිටියෙ. ගොවීන්ගෙන් ලැබුණ තොරතුරු මත අපි අම්පාර ප්‍රදේශ රැසකට ගොස් ඒ පිළිබඳ සොයා බැලුවා. අපට වාර්තා වුණ සේනා දළඹුවා සාමාන්‍ය දළඹුවාට 99%ක්ම සමානයි. මෙම දළඹුවා තවම හමුව තිබෙන්නේ සුළු ප්‍රමාණයකයි. ඔබ නිරන්තරයෙන් වගා බිමට ගොස් භෝගයන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න. යම් කිසි අවස්ථාවක මෙම දළඹුවා හමුවුවොත් හැකි ඉක්මනින් කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන්ට දැනුම් දෙන්න. ඒසේ නොමැති නම් ගන්නෝරුව පැළෑටි සංරක්ෂණ සේවය අමතන්න. ක්‍ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනයටත් දන්වන්න." ඇය පණිවුඩයක්ද දුන්නාය.

"මේ වන විට අපි කීට විද්‍යාඥයන් කාර්යසාධන බළකායක් ලෙස තමයි මෙම උවදුර මර්දනය කරන්න කටයුතු කරන්නේ. කෘමි නාශක යොදනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2015 පළිබෝධ නිර්දේශය අනුව කොඩෙස්ටර් විශේෂය භාවිත කරන්න පුළුවන්. මේ වන විට අපි රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කරලා ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිත කරලා මෙම සේනා දළඹුවා මුළු දිවයිනෙන්ම තුරන් කරන්න සැලසුම් කරනවා. ඒ අනුව නොවැම්බර් මාසය තුළ දී අපිට මෙම සේනා දළඹුවා මුළුමනින් තුරන් කිරීමට හැකි වේ යැයි විශ්වාස කරනවා. මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා" යැයිද දයානි දයානි පෙරේරා වැඩිදුරටත් කීවාය.

පසුගිය කාලයේ බොහෝ ගොවීහු වැසි නැතිව වින්දහ. අම්පාරට නම් වසර දෙක තුනකින් නිසි පරදි වැසි වැස්සේ නැත. යාන්තමට මේ කන්නයේ නිසි සේ වැසි ඇද වැටිණි. ගොවීන් වගා කරන්නට පටන් ගත්තේ මෙදා සැරේවත් සරු අස්වැන්නක් ලබාගන්නට එයින් තම අටුකොටු පුරවන්නට බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ බලාපොරොත්තු දැන් වැටඋඩය. හිතුවේවත් නැති කෘමි වසංගතයකින් ඔවුන් බියවැදීය. මේ ව්‍යසනයෙන් රට ගලවා ගන්නට පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරෙරා ඇතුළු පිරිස මහත් වෙහසක් දරයි. කෘෂි උපදේශකවරු ගොවීන් දැනුවත් කරමින් ක්ෂේත්‍රයේය. අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සනිර්, අතිරේක භෝග පිළිබඳ විෂයානුබද්ධ නිලධාරි සංජීව, තොට්ටම මූලස්ථාන කෘෂි උපදේෂක අලහකෝන් යන නිලධාරි මහත්වරුන් ආචාර්ය දයානි මහත්මිය සමඟින් අම්පාරේ වගා බිම් පිරික්සමින්ය. ඒ අනෝරා වැසි මැදය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාස කිහිපයක සිට නිසි පියවර ගෙන ගොවීන් දැනුවත් කර තිබීම ගොවි මහත්වරුන්ගේ වාසනාවකි. නමුත් අපේ වගාවන් පිළිබඳ නිරන්තරයෙන් සෝදිසියෙන් සිට මෙම දළඹුවා සිටින්නේදැයි නිසි අවධානය යොමු කිරීම අපේ වගකීමක්ය. උවදුර ගැන වාර්තා වන්නේනම් කෘෂි උපදේශකවරයාට දැනුම් දිය හැකිය. එසේ නොමැති නම් 1920 අංකයට හෝ 081- 2388 316 අංකයට හෝ දැනුම්දිය හැකිය. මේ වසංගතය රටින් තුරන් කිරීමට ගොවීන් සියලු දෙනාගේම පුද්ගලික මැදිහත්වීම අවශ්‍යය.

තොට්ටම කෘෂිකර්ම බල ප්‍රදේශයේ මේ වන විටත් සේනා දළඹුවා ව්‍යාප්ත වෙමින් පවතිනවා. කෘෂිකර්ම දෙපරේතමේන්තුව මගින් මෙම හනිය විය හැකි බව කල්තියා දැනුම් දී තිබුණා. ඒ හානිය හඳුනාගෙන අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලය මඟින් පේරාදෙණිය ගන්නොරුව පැළැටි සංරක්ෂණ සේවයට ඒ බව දැනුම් දුන්නා. එය දැනගත් සැණින් වහම ක්‍රියාත්මක වූ කීට විද්‍යාඥ ආචාර්ය දයානි පෙරේරා මහත්මිය අම්පාරට පැමිණියා. මහ වැසි මැද වගා බිමට ගොස් පරික්ෂා කරමින් සේනා දළඹූවා පාලනය කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ වන විටත් අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම බල ප්‍රදේශයේ ව්‍යාප්ති සංග්‍රාමයක් ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර, පොස්ටර්, අත් පත්‍රිකා, කුඩා කණ්ඩායම් දැනුවත් කරමින් සහ ස්ථිර භෝග සායන පවත්වමින් ගොවීන් දැනුවත් කළා. මේ වන විට මෙම දළඹූවා පාලනය කිරිම සදහා සියලු කටයුතු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක සනිර් මහතාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් අම්පාර කාර්යාලයේ කෘෂිකර්ම නිළධාරින් විසින් සිදුකරනවා“

 

මගේ ඉරිඟු වගාවට දවස් 22ක් පමණ වෙනවා. මම දවසක් යද්දි මගේ ඉරිඟු වගාවේ කොළ කිසියම් සතෙකු විසින් කා දමා තිබෙනවා දුටුවා. මම ඒ සැණින් ඒ ගස පරික්ෂා කර බැලූවා කොළ කාපු සතා මොකාද කියලා. ඊට පස්සෙ මට හම්බ වුණා අත් පත්‍රිකාවේ හිටි ආකාරයේ දළඹූවෙක්. මම ඉක්මනින් තොට්ටම මුලස්ථාන කෘෂි උපදේශක චමින්ද අලහාකොන් මහතාට දැනුම් දුන්නා. චමින්ද මහත්තයත් එය දැනගත් මොහොතේම සියලු වැඩ නතර කරලා මගේ වගා බිමට ආවා. ඊට පස්සේ සොයා බලද්දි මේ සේනා දළඹූවා තමයි කාලා තියෙන්නේ කියලා ඔහුත් අනුමාන කරා. ඒ අනුව නිලධාරින් පැමිණ පරික්ෂා කර බලා මෙම දළඹුවා මර්දනය කරන්නට උපදෙස් දුන්නා“

 

“මම මේ පාර අක්කර පහක පමණ ඉරිඟු වගා කරලා තිබෙනවා. මේ වන විට වගාවට සති හයක් පමණ වෙනවා. මිට දින කිහිපයකට ඉහතදි ඔය කියන ආගන්තුක දළඹූවා මගේ වගාවේ සිට හමුවුවා. පසුව මම මේ පිළිබදව දමන කෘෂිකර්ම ව්‍යෘප්ති නිලධාරි චමින්ද අලහාකොන් මහතාට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු උපදෙස් දුන්නා කෘමි නාශක වර්ගයක් යොදන්න. ඒ කෘමි නාශක යෙදූ විට එම හානිය නැවතුණා. නමුත් නැවත ඒ හානිය සිදුව තිබෙනවා. මම හිත්න්නේ වටේ තිබෙන වගාවලින් නැවතත් එම සේනා දළඹූවා එන්න ඇති කියලා . ඒ නිසා බෙහෙත් ගහනවා නම් වගාවන් ඔක්කොටම එකවර බෙහෙත් ගහන්න වෙයි කියලා මම හිතන්නෙ.

අදහස්