වාර්තාගත පරා මාළු අස්වැන්නක් | සිළුමිණ

වාර්තාගත පරා මාළු අස්වැන්නක්

  • එකම දැලේ කිලෝ 1825 ක්
  • ලාභ ලැබුවේ අතරමැදියා
  • රුපියල් නවලක්ෂ අසූ දහසකට වෙන්දේසි වෙයි
  • මිල තීරණය දකුණෙ මුදලාලිලා අතේ

''හැමදා නියං එකදා වැහි වලාවේ'' යනුවෙන් කියමනක් තිබේ. මුලතිව් පළාතේ මාන්කුඩිඉරිප්පු ධීවර ගම්මානයේ වැසියන්ට ද මේ කියමන පසුගිය දා වලංගු විණි.

මුලතිව් ධීවරයන්ගේ ධීවර රස්සාවේ සොඳුරුතම දිනය එදා උදා විය. මාන්කුඩිඉරිප්පු ගම්මානයේ ගැහැනු පිරිමි ළමා ළපටි යන සියල්ලෝ ම එදා මුහුදු වෙරළට දිව ගියේ වාසියේ තරම ඔවුන්ට ද අදහා ගැනීමට නොහැකි වූ නිසා ය.

මුලතිව් මාන්කුඩිඉරිප්පු ධීවර වාඩි පෙළේ පිරිසගේ දැලට පරා වර්ගයේ මාළු කිලෝ 1825 ක් එකම දිනක හසුවූයේ ඔවුන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ අන්දමට ය.

මුලතිව් ධීවර සමීතියේ සභාපති එස්. අන්තෝනිමුත්තු ජීවිතයේ කිසිදාක අත්නොවිඳි මේ අපූරු අත්දැකීම විස්තර කොට සිටියේ මෙසේය.

'' මේ දවස්වල අපිට මුහුදු යන්න බැහැ. මුහුදු යන්නෙත් නෑ. නාවික හමුදාවයි ධීවර පරීක්ෂක මහත්වරුයි අපිට මුහුදු යන්න නොදී දැන් මාසයකට වැඩියි. හැමදාම මුලතිව් මුහුදේ මොකක් හරි වෙනසක් වෙනවා. මේ දවස්වල සුළඟ තදයි. ඒ මදිවට වැස්ස වහිනවා.මේ නිසා තමයි මුහුදු යන්න දෙන්නේ නැත්තේ.

අනිත් කාරණය මේ දවස් වල මුලතිව් මුහුදට වාරකන් කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ කාලයට මේ මුහුදේ අහුවෙන්නේ සාලයෝ..සූඩයා..හුරුල්ලා වගේ පොඩි මාළු විතරයි. ඒකත් එක්කෙනකුට දවසකට කිලෝ හතරක් පහක් විතරයි.

මේ සිද්ධිය වුණු දවසෙත් මුහුදු යන්න තහනම් නිසා ළඟ තැනක තමයි දැල එළුවේ.

දැල එළලා උදේ ගොඩට අදිනකොට අදින්න බෑ. අපි හිතුවා තල්මහෙක් පැටලිලා කියලා. තවත් කෙනෙක් කිව්වේ දැලේ බරුවක් (මුහුදේ දී බරට යොදන දේ) පැටලිළා ඇති හෙමින් අදිමු නැත්නම් දැල ඉරිලා යන්න පුළුවන් කියලා. මීට ඉස්සර එහෙම වේලත් තියනවා..

කොහොම හරි අපි හෙමින් හෙමින් ඇද්දා අදින්න බෑ. අනිත් අයත් ඇවිත් උදව් කළා. අවසානෙදි ගෙවල් වල ගෑනු දරුවෝ පවා ඇවිත් දැල ඇද්දා. දැල මඟට එනකොට අපිට තේරුණා මුළු දැලේම පිරිලා ඉන්නේ මාළු තමයි කියලා. අපි දෙවියන් සිහි කළා. දෙවියන්ට ස්තූති කළා. ඊට පස්සේ අපේ කෑ ගැහිල්ල ඉබේම වැඩි වුණා.

මේ මාළු රස්සාව දැන් අවුරුදු හතළිහක් විතර කරනවා.මේ තරම් සතුටු වුණු දවසක් මේ මාළු රස්සාවේ අපිට තිබුණේ නෑ. අපි විතරක් නෙමෙයි ගෙවල් වල ඉදලා ආපු අපේ අයටත් ගොඩාක් සතුටක් දැනුණා මේ මාළු ගොඩ දැකලා.

දවල් වෙනකොට මාළු ටික ගොඩට අරන් වෙන්දේසියට දැම්මා. කිලෝ එක්දාස් අටසිය විසිපහම රුපියල් නවලක්ෂ අසූ දහසකට වෙන්දේසි වුණා. ''

මීට පෙර මුළු උතුරු පළාතෙන්ම වැඩිම මාළු තොගයක් අහුවුණේ යාපනයේ වඩමාරච්චි නැගෙනගිර පළාතේ ධීවරයන්ට බව මුලතිව් ධීවර සමීති නායකයා කියා සිටියේය.

යාපනයේ වඩමරච්චි පළාතේ ධීවර සමීති හැටකට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. නමුත් වැඩිම මාළු ප්‍රමාණයක් අසු වූයේ වඩමරච්චියේ මරදන්කේණී ධීවර ගම්මානයේ ධීවරයන්ට ය. එම ධීවර සංගමයේ සභාපති නිකුලස් පිගරාඩෝ ය. ඔහු පවසන්නේ මේ සිද්ධිය සිදු වූයේ පසුගිය වසරේදී බවයි.

''ගිය අවුරුද්දේ අපිටත් මේ විදිහට ම අහුවුණේ පරා මාළු ම තමයි.මාළු කිලෝ හාරදාහක් විතර හම්බ වුණා. ඒ සේරම විකුණන්න පුළුවන් වුණේ රුපියල් ලක්ෂ එකොළහකටයි.

කොච්චර මාළු අහුවුණත් වැඩක් නෑ විකුණන්න ගියාම ඉතාම අඩු මුදලකට තමයි විකුණන්න වෙන්නේ. සමහරදාට බෝට්ටුවේ තෙල් ටිකටත් පාඩුයි. මේක ඇර අපේ අයට කරන්න වෙන රස්සාවක් නැති හන්දත් වෙන රසාවක් නොදන්න නිසත් තමයි මේ මුහුදු රස්සාව කරන්නේ.

උතුරේ මිනිස්සු ධීවරයන් විදිහට මාළු ඇල්ලුවට වැඩක් නෑ. ඒ මාළු තොග ගන්න රජයෙන් කියලා තැනක් නෑ. අපි අපි එකතුවෙලා හදාගෙන තියන මාළු සමූපකාර ටිකත් නොතිබුණා නම් දකුණේ ඉදලා මේ පළාත්ට මාළු ගන්න එන මුදලාලිලා ටික අපේ මාළු අරන් යන්නේ නිකම්ම වගෙයි. දකුණේ ඉදලා එන මුදලාලිලා තමයි මාළු වල මිල තීරණය කරන්නේ. ඒ අය කියන ගාණට තමයි මාළු අපිට විකුණන්න වෙන්නේ.මේක නිසා උතුරේ මාළු වලට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. ඒවා මිලට ගන්න රජයේ කිසියම් ස්ථානයක් වගේම වැඩ පිළිවෙළකුත් ආරම්භ වෙන්න ඕනේ කියලයි අපි ඉල්ලා සිටින්නේ.

විශාල පරා මාළු ප්‍රමාණයක් එකවර ලැබීම නිසා එස්.අන්තෝනිමුත්තු ඇතුළු මුලතිව් මාන්කුඩිඉරිප්පු ධීවර ගම්මානයේ සියලු ම දෙනා මේ සතුට දරා ගැනීමට නොහැකිව පසු වූහ. ඒ දෙවියන් කාලයකට පසුව ඔවුන්ගේ මුහුණු දෙස බැලීම නිසා මහ මුහුදේ මාළු රෑන් වලට අධිපති දෙවියා ශාන්ත අන්තෝනි මුනිදුන් බවට ධීවරයෝ විශ්වාස කරති. කාලයක් ධීවරයන්ට මසුන් අල්ලා ගැනීමට නොහැකි වන විට ධීවරයන් මුහුදේ යන මඟෙහි මාළු රෑන් මවා දෙමින් ධීවරයන්ට ශාන්ත අන්තෝනී මුනිදුන් උපකාර කරණ බව ධීවරයන්ගේ විශ්වාසයයි. මහමුහුදේ අතරමං වූ ධීවරයන්ට පිහිටාධාර වන්නේ ද මේ ශාන්ත අන්තෝනී මුනිදුන් ම බව ධීවරයෝ නිතර ම සිහිපත් කරති.

යාපනයේ පිහිටි කච්චතීව් දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්ලයට ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ධීවරයන් පැමිණෙන්නේ ද ශාන්ත අන්තෝනී මුනිදුන්ට කෘතගුණ සැලකීමට ය. ඒ දෙවියන් මුලතිව් මාන්කුඩිඉරිප්පු ධීවර ගම්මානයේ වැසියන්ගේ මූණ දෙස බලා මහා මාළු කන්දක් ඔවුන්ගේ ළඟට ම ගෙනැවිත් දුන්නත් මාළු අලෙවියෙන් ලැබුණු ආදායම ධීවරයන්ට ප්‍රමාණවත්ද යන්න සලකා බලන විට කොතැනක හෝ විශාල අසාධාරණයක් සිදුව ඇති බව පෙනී යයි. සාමාන්‍යයෙන් මුහුදු කලාප වූ මන්නාරම ත්‍රිකුණාමලය පුල්මුඩේ වැනි පළාත් වල අද පරා මාළු කිලෝවක සිල්ලර මිල රුපියල් නවසීයත් දහසත් අතර මිලක් වෙයි.කොළඹ මහනුවර වැනි පළාතක පරා මාළු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් එක්දාස් දෙසීයකට වඩා වැඩි මිලකට ය. මුලතිව් මාන්කුඩිඉරිප්පු ධීවර ගම්මානයේ වැසියන්ගේ පරා මාළු කිලෝ එක්දාස් අටසිය විසිපහම අලෙවි වී ඇත්තේ රුපියල් නවලක්ෂ අසූදහසකට කට ය. මේ වෙන්දේසියේ වූ ගණන් බැලීමට අනුව පරා මාළු කිලෝවක මිල වී ඇත්තේ රුපියල් 537ක් වැනි මුදලක් පමණි. සියලු වෙළදාම් වලදී නිපදවන්නාට වඩා අතරමැදියා විශාල ලාභයක් උපයනවා මෙන්ම මුලතිව් මාන්කුඩිඉරිප්පු ධීවර ගම්මානයේ දී සිදුව ඇත්තේ ද එවැන්නම ය. මුහුදු රස්සාව ජීවිතයත් මරණයත් පරදුවට තබා කෙරෙන රස්සාවකි. මේ දිනවල උතුරේ මුහුදු රස්සාව අතිශයින් භායනකය. උතුරු මුහුදු කලාපයේම ධීවරයන්ට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙස නාවික හමුදාවත් ඒ ඒ පළාත් වල ධීවර නිලධාරීනුත් දැනුම් දී තිබේ. දැඩි සුළං සහිත තත්ත්වයත් වැස්සත් මුහුද රළු වීමත් නිසා පොදුවේ ධීවරයන්ට මේ තහංචිය පනවා ඇතත් මුලතිව් ධීවරයන්ට ඒ තහනම පනවා තිබුණේ මීට මාසයකට පමණ ඉහත සිටයි. එසේ දහදුක් විඳ අල්ලා ගන්නා මාළු අලෙවියේදී ධීවරයාට වඩා වැඩි මුදලක් අතරමැදියා ලබන්නේ නම් දෙවියන් කුමන දෙයක් මිනිසුන්ට ලබා දුන්නද පලක් නැත.

අදහස්