වැසිකිළි වළට අත දමා ගොඩගත් දික්වැල්ලේ ලොකුම කුඩු තොගය | සිළුමිණ

වැසිකිළි වළට අත දමා ගොඩගත් දික්වැල්ලේ ලොකුම කුඩු තොගය

එය විසල් මැදුරකි. හාත්පස අහස උසට බැඳි තාප්පයෙන් වටවී ඇත. විසල් ගේට්ටුවකින් ප්‍රවේශ දොරටුව ආවරණය කර තිබේ. නිවසේ සිටින්නේ රූබර යුවතියකි. ඇය වරක් දුටුවිට යළිත් වරක් නොබලා සිටිය නොහැකි තරමේ ලාස්‍යයකින් යුක්තය.

එහෙත් ඒ රූබර උවනට කාමුක දෙනෙතට යටින් තිබුණේ බිහිසුණු ව්‍යසනයකි. ඇය ඉතාම සූක්ෂම ලෙස මත්කුඩු ජාවාරමේ යෙදුණ ජාවාරම්කාරියක් වූවාය. ඒ ජාවාරම ගැස්සීගිය සමහර අවස්ථාවලදී ඇය බන්ධනාගාරගත වූවාය. ඇප පිට නිදහස්ව පැමිණියාය. මේ වනවිට සිව්වරක් ඇය බන්ධනාගාරගත වී සිටියාය.

ඒ ලබාගත් අත්දැකීම් නිසාම ඇය පොලිසිය හා හොරා පොලිස් තරගයකට සිටියේ දැඩි සූදානමිනි. ඇයගේ නිවසට ඇතුළු විය හැක්කේ ඇයගේ අනුමැතිය සහිතව පමණි. ගේට්ටුව අසලට එන පුද්ගලයන් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව සහිත නිවසේ සඳළුතලය නිර්මාණය වී තිබුණේය. එමෙන්ම ඇය දිවා කාලයේ නිවසේ සිටිනා විට සැරසී සිටියේ රාත්‍රියට අඳිනා දුහුල් ඇඳුමකිනි. එසේත් නැතිනම් නාන ඇඳුමකිනි. මේ තත්වය මත පොලිසියට එක්වර නිවසට ඇතුළු වී සෝදිසි මෙහෙයුම් කිරීමට නොහැකි විය. ඇඳුම් මාරු කරගෙන එන මුවාවෙන් ඇය සැමදාම කරනු ලැබුවේ තමන් ළඟ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය සැඟවීමය.

ඇය මත්ද්‍රව්‍ය ජවාරම කරන බවත්, ඇය ඉලක්ක පාරිභෝගික කණ්ඩායම සැදී ඇත්තේ තරුණ ධීවරයන්ගෙන්, පාසල් වයසේ තරුණයන්ගෙන්, ත්‍රීවිල් රියදුරන් ඇතුළු තරුණ කණ්ඩායමකිනි. ඔවුන් එකිනෙකා විටින් විට ඇයගේ නිවසට පැමිණෙන්නේය. එය සිදුවන්නේ සැක නොසිතෙන ආකාරයෙනි. දික්වැල්ල පොලිසිය මේ විෂම ජාවාරම කාලයක් තිස්සේ දීර්ඝ ලෙස විමර්ශනය කළේය.

නිශ්චිත දිනය උදාවිය. දික්වැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලසේකරත්, කාන්තා පොලිස් නිලධාරිනියෙක් ඇතුළත් පොලිස් වැටලීම් කණ්ඩායමත් මේ කුඩුකාරියගේ නිවස වැටලීමට සූදානම් වූහ.

පොලිස් කණ්ඩායම නිවස අසලට එන විට ඒ දුටු කාන්තාව වහා නිවසේ ප්‍රවේශ ගේට්ටුවට අගුළු ලෑවාය. අනතුරුව වහා නිවස තුළට දිව ගියාය. විසල් තාප්පය මතින් පැනගත් පොලිස් කණ්ඩායම කාන්තාව සමගම නිවස තුළට දිව ආහ. ජාවාරම්කාරිය දිවගොස් තිබුණේ නාන කාමරය වෙතය. පොලිස් නිලධාරීන් නානා කාමරය විවර කරගෙන ඊට ඇතුළු වූයේ කාන්තා පොලිස් නිලධාරිනිය පෙරටු කරගෙනය. දොර විවෘතවත්ම ඔවුන් දුටුවේ බියපත් ජවාරම් කාරිය වැසිකිළි වළට යමක් දමා ජල පහරකින් එය ගිල්වා දමන්නට හදන අයුරුය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් වහාම පැන වැසිකිළි වළට අත දමා එහි ගිල්වා දමන්නට උත්සාහ කළ කුඩා පාර්සල් පහක් එළියට ගත්තේය. ඒ පාර්සල් පහේ තිබුණේ හෙරොයින්ය. හෙරොයින් මිලි ග්‍රෑම් පනස් දහසක් ඒ තුළ විය. වටිනාකම වශයෙන් ගත්විට එය රුපියල් ලක්ෂ විස්සටක ආසන්නය. දික්වැල්ල ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ වැඩිම හෙරොයින් තොගය එය විය. කාන්තාව අත්අඩංගුවට ගැනුණි. පස්වන වරට ඇය කුඩු ජාවාරම නිසා බන්ධනාගාරයේය. මෙවර නම් ඇයට බේරීමක් නැත. අත්අඩංගුවට පත්වෙන්නේ බඩුත් එක්කමය. මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජී.එච් මරපන ගේ උපදෙස් මත, දික්වැල්ල පොලිස් ස්ථානාධිපති එම්.පී.දුමින්ද කුලසේකර ඇතුළු කණ්ඩායමක් මේ මෙහෙයුම කළහ.

අදහස්