සකපෝරුවෙන් හැඩ නොවුණු රණාලේ මැටි නිමැවුම්කරුවන්ගේ කතාව | සිළුමිණ

සකපෝරුවෙන් හැඩ නොවුණු රණාලේ මැටි නිමැවුම්කරුවන්ගේ කතාව

  • මැටි මිලදී ගන්න තැන් නැහැ
  • බඩු අලෙවි කරගන්න කිසිම ප්‍රශ්නයක් නෑ
  • ලෑන්ඩ්මාස්ටරයක මැටි අඹරන්න රු. 2,500ක් යනවා
  • මැටි නිෂ්පාදනවලින් ලාබ ලබන්නෙත් අතරමැදියෝ
  • ආණ්ඩුවෙන් බලපත්‍ර ගන්න වුණු නිසා මැටි කියුබ් එක 10,000 ට නැඟලා

ජීවත්වන්නට අරගල කරන බොහෝ මිනිසුන්ගේ ජීවිතවලට අර්ථකථන දෙන්නට අපට නොහැකි වුණත් ඒ ජීවිත කැටයම් නොවුණේ මන්දැයි කෙනකු විමසුවහොත් ඒ සඳහා නම් පිළිතුරක් නැති වන්නට හේතුවක් නැත. මේ එවන් කැටයම් නිර්මාණය කරන නමුත් ඒ කැටයමින් ජීවිත හැඩ නොවුණු මැටි නිමැවුම්කරුවන්ගේ කතාවයි. මේ කතාවෙන් පසුවවත් අපට ඒ ජීවිතවල ඇති විසඳාගත හැකි ප්‍රශ්න හඳුනාගෙන ඊට පිළියම් යෙදිය හැකිනම් කතාවෙන් ඔබ්බට වන මානූෂීය මෙහෙයුම සාර්ථක වනු ඇත. නැතිනම් මෙය තවත් ද්‍රෝණයකින් බැලීමක් පමණක් ම වනු ඇත.

රණාල සුදැවිල ග්‍රාමයේ පදිංචි රෝහිණි අනුරලතා වසර තිහක් මුළුල්ලේ මැටි භාණ්ඩ නිෂ්පාදනයේ නිරත වී සිටින දිරිය කාන්තාවකි. තම සැමියාගේ සහය ඇතිව මැටි පහන්, කිරි උතුරවන මුට්ටි, ආරක්ෂක මුට්ටි, පාත්තර වැනි මැටි භාණ්ඩ නිපදවන රෝහිණිගේ අත්වැල කැඩී ගියේ මීට වසර හතරකට පෙරදීය. සැමියාගේ වියෝවෙන් පසුව තනිව ම මැටි සමඟ ඔට්ටු වෙමින් දිවි සරි කර ගැනීමට වෙර දරන ඇගේ දෑතින් පහන් දහස් ගණනින් නිමැවුණ ද ඇගේ ජීවිතයට ලැබුණු ආලෝකයක් නැත. කිරි මුට්ටි දහස් ගණනින් නිපදවුවද ඇයට කිරි ඉතිරුණේ නැත. ඇය ගත කරන්නේ කටුක ජීවිතයකි.

එහෙත් ඊට හේතු වූයේ ගොවියන්, ධීවරයන් වැන්නන් මුහුණදෙන ආකාරයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ප්‍රශ්නය නම් නොවේ. මැටි නිෂ්පාදන කර්මාන්තයට කිසිවකුගේ අවධානය යොමු නොවීමෙන් නිෂ්පාදනයේදී විවිධ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවීමයි.

“ඉස්සර මැටි කියුබ් එකක් රු. 2500.00 යි. දැන් මැටි කපන්න ආණ්ඩුවෙන් බලපත්‍ර අරගන්න සිද්ධ වෙලා. ඒ නිසා මැටි කියුබ් එකක් දැන් රු. 10,000 කට ඉහළ නැඟලා. ඊට පස්සේ මැටි අඹරලා පදම් කරගන්න ඕනෑ. මැටි අඹරන මැෂිමෙන් ලෑන්ඩ්මාස්ටරයක මැටි අඹරන්න රු. 2500 ක කුලිය දෙන්න ඕනෑ. බඩු පුච්චා ගන්න පෝරණුවට දර, පොල්ලෙලි, පිදුරු සල්ලිවලට ගන්න ඕනෑ. ඒ වියදමට සරිලන විදිහට අපේ මැටි භාණ්ඩ මිල ඉහළ යන්නේ නැහැ. අපෙන් මැටි පහනක් මිල දී ගන්නේ රු. 1.60 කට. පොඩි කිරි මුට්ටියක් ගන්නේ රු. 18.00 කට. අපිට අඩුම වශයෙන් අපි වැඩ කරන මඩුව හදාගන්නවත් උදව් කරන්නේ නැහැ. මේ ළඟදි සමෘද්ධියෙන් කණු 6ක් දුන්නා. ඒත් ෂීට් නැහැ. සහනදායි ක්‍රමයකට ණයක් දෙන්නේ නැහැ. ලොකු ලොකු බිස්නස්කාරයන්ට නම් බැංකුවලින් ණය දෙනවා. අපි වගේ පුංචි මිනිස්සුන්ට ණය ගන්න ගියාම දාහක් ප්‍රශ්න.” රෝහිණි අනුරලතා මුහුණදෙන ප්‍රශ්න අප ඉදිරියේ දිග හැරියාය. කොපමණ දුක් කම්කටොලු මධ්‍යයේ වුවද ඈ මැටි කර්මාන්තය අත් හැරීමට සූදානම් නැත. එය ඇයට පරම්පරාවෙන් උරුම වූවකි.

සිය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ මැටි කර්මාන්තය තමාගේ ජීවනෝපාය වීම පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන කාන්තාවක් අපට සුදැවිල දී හමු විය. ඈ නිරූපා ස්වර්ණමාලි ය.

“ඇත්ත ම කියනවා නම් මම මැටි බඩු හදන්න ඉගෙන ගත්තේ තාත්තාට බයෙන්. අපේ තාත්තා ගෙදර ඉඳලා මේ කර්මාන්තය කළේ. අපි ඉස්කෝලේ ඇරිලා ආපුවා ම අපිට බැණලා සකපෝරුවට අත හුරු කළා. තාත්තාට තියෙන භයට මම සකපෝරුවේ බඩු හදන්න ඉගෙනගත්තා. අනේ, අපේ තාත්තාට මම හැමදාම පින් දීලා වැඩ පටන් ගන්නේ. තාත්තා උගන්නපු නිසා තමයි අද මම කීයක් හරි හම්බ කර ගන්නේ.” යනුවෙන් නිරූපා ස්වර්ණමාලි පැවසුවාය.

එහෙත් මැටි භාණ්ඩ නිෂ්පාදනයේ නිරත වී සිටින කේ. සුමනාවතීට මෙය උරුම වූයේ පරම්පරාවෙන් නොවේ. ඈ අම්බලන්ගොඩ උපන් කාන්තාවකි. රණාල සුදැවිල ගමට ඈ පැමිණියේ විවාහයත් සමඟ ය. ඇගේ සැමියාගේ පරම්පරාව මැටි භාණ්ඩ නිෂ්පාදනයේ නිරත වූ පිරිසකි. සැමියාගේ ඥාතින් මැටි භාණ්ඩ නිර්මාණය කරන අයුරු ආසාවෙන් බලා හිඳ අත හුරු කර ගෙන සිටි ඈ සකපෝරුව කරකැවීමට පටන් ගත්තේ ජීවන චක්‍රය කරකැවීමට අවැසි ශක්තිය තවතවත් ශක්තිමත් කිරීමට ය. සුමනාවතී සකපෝරුව කරකැවීම අරඹා දැන් වසර 10 ක් පමණ ගත වී තිබේ.

අපි එහි යන විට මැටි භාණ්ඩ පිළිස්සීම සඳහා පෝරණුවට ගිනි දමමින් සිටි ඈ සිය හදේ ඇවිළෙන ගිනි පිට කළේ මෙලෙසිනි.

“මම මේ වැඩේ පටන් ගත්තේ මෙයින් ලාභ ලබන්න පුළුවන් නිසා. අපිට බඩු අලෙවි කිරීමේ කිසි ම ප්‍රශ්නයක් නැහැ. මුදලාලිලා ගෙදරට ම ඇවිත් බඩු ගන්නවා. අපි තව බඩු හදනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතිව විකුණගන්න පුළුවන්. ඒත් අද තියෙන වියදම් එක්ක අපි හරිම අමාරුවෙන් මේක කරගෙන යන්නේ. මැටි කියුබ් එකේ මිල ඉහළ ගිහිල්ලා. වැඩ කරන අයටත් පඩිනඩි ගෙවන්න ඕනෑ. මැටි පහන් 1000 ක් හදපුවාම රු. 500.00 ක කුලිය දෙනවා. අපි වගේ පොඩි ව්‍යාපාරිකයන්ට කිසිම සහනයක් නැහැ. ඒ නිසා මම පොලියට මුදල් අරගෙන තමයි මේ ව්‍යාපාරය කරන්නේ. මාසයකට රු. 30,000 ක් අයින් කරන්න ඕනෑ ණය බේරන්න. මේ පාරම්පරික කර්මාන්තය රැකගන්න රජයෙන් සහයෝගයක් දෙනවා නම් ලොකු දෙයක්.” යනුවෙන් කේ. සුමනාවති ඇගේ දුක් ගින්දර පිට කළාය. රණාල සුදැවිල පදිංචි නිරූපා ස්වර්ණමාලි පවසන්නේ ද ඊට නොදෙවනි කතාවකි. ඇය ද ජීවන බරින් මිරිකී සිටින්නීය. එහෙත් ඇයට මැටි භාණ්ඩ අලෙවි කිරීමට සිදු වී තිබෙන්නේ සෙසු අයට වඩා අඩු මුදලකට ය. එනම් සෙසු නිපැයුම්කරුවන් පාත්තරයක් රු. 10.00 කට අලෙවි කරන විට ඇය අලෙවි කරන්නේ රු. 6.00 කට හෝ 7.00 කටය. ඊට හේතු වී තිබෙන්නේ ඇගේ නිෂ්පාදන පුළුස්සන්නේ නැතිව අමුවෙන් විකිණීමයි. ඈ සිය ගෙවත්තේ පෝරණුවක් සාදා පිළිස්සීමේ කටයුතු ආරම්භ නොකරන්නේ ඇගේ දරුවන් සිවුදෙනා කුඩාවියේ පසුවන බැවිනි. ඇගේ සැමියා එදිනෙදා ලැබෙන කුලී වැඩකින් කීයක් හෝ සොයා ගෙන දරුවන්ගේ බඩකට පුරවන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදනය සිය ජීවනෝපාය කර ගැනීමට ප්‍රමාණවත් නොවන නිසාය.

එහෙත් සුදැවිල පදිංචි අජිත් කුමාරගේ ජීවනෝපාය වී තිබෙන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම ය. සිය බිරිය සමඟ එකතු වී සේවකයන් යොදවා ඔහු ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ සාර්ථක අන්දමිනි. දරුවන් තිදෙනා පෝෂණය කරමින් ගේදොර සාදාගෙන ජීවිතය ගෙන යන අජිත් කුමාර මුහු‍ණදෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මැටි මිල දී ගැනීමේ ගැටලුවයි. ඔවුන්ට අවශ්‍ය වේලාවට මැටි නොලැබීමෙන් නිසි වේලාවට භාණ්ඩ සැපයීමට නොහැකි වන අතර එයින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු අඩාල විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. “එක්තරා ජ්‍යොතිෂය පුවත්පතකින් අලුත් අවුරුද්දට මැටි මංජුසාවක් දුන්නා. ඒ මංජුසාව අවුරුදු 5ක් තිස්සේ නොකඩවා අපි තමයි හැදුවේ. ඇත්තට ම ඒ ඕඩරයෙන් තමයි අපිට ඔළුව උස්සාගන්න පුළුවන් වුණේ. මමත් බිරිය සමඟ එකතු වෙලා මේ ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු 25 ක් විතර වෙනවා. අපි පාරම්පරික මැටි කර්මාන්තකරුවෝ. අපිත් මේ ව්‍යාපාරය කරන්නේ බැංකු ණය අරගෙන. මම මැටි අඹරන මැෂිමක්, විදුලියෙන් වැඩ කරන සකපෝරුවක් මිලදී ගෙන තිබෙනවා. බඩුවලට ඉල්ලුමක් තිබෙනවා. තිබෙන එකම ප්‍රශ්නය වෙලාවට මැටි ගන්න බැරි වීම.

මැටි නිපැයුම් කර්මාන්තයේ නිරත වී සිටින සාර්ථක ව්‍යාපාරිකයකු වන අජිත් කුමාර, ඔහු මුහුණදී සිටින ව්‍යාපාරික ගැටලුව විස්තර කළේය.

මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී මුහුණපාන මැටි සොයා ගැනීමේ ප්‍රශ්නයට අමතරව තවත් අභියෝග කීපයක් ගැන අපට අනාවරණය කරනු ලැබුවේ දීපිකා ප්‍රියදර්ශනී ගාල්ලගේ ය. ඈ මැටි කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම්වරියයි. ඈ පවසන ආකාරයට මැටි, දර, පොල්ලෙලි, පිදුරු වැනි අමුද්‍රව්‍ය මිල ඉහළ යන අනුපාතයට මැටි භාණ්ඩ මිල ඉහළ නොයෑම ඔවුන්ගේ ලාභය අවම වීමට හේතු වේ. නිෂ්පාදන වියදම ඉහළ යන විට එළවළු, පලතුරු, සහල්, පාන් වැනි භාණ්ඩ නිෂ්පාදන මිල ඉහළ යෑම සාමාන්‍ය සිරිත ය. තෙල් මිල ඉහළ ගිය විට බස් ගාස්තු, ත්‍රීවිලර් ගාස්තු ඉහළ යන්නේ ඊට නිරපේක්ෂව ය. එහෙත් අමුද්‍රව්‍ය වියදම් කොපමණ ඉහළ ගියද මැටි පහන්, මැටි පාත්තර, කිරි මුට්ටි, ආරක්ෂක මුට්ටි වැනි නිෂ්පාදනවල ගැනුම් මිල ඉහළ යන්නේ නැත. පාරිභෝගිකයා වෙළෙඳ‍පළෙන් මිලදී ගන්නා මැටි භාණ්ඩවල මිල ස්ථාවර මට්ටමින් නොපවතින බව අප අත්දැකීමෙන් දනිතත් කඩහිමියන් මැටි භාණ්ඩ නිපැයුම්කරුවන්ගෙන් මිලදී ගන්නේ පරණ මිලට ම බව අපට ඉන් අපූරුවට පැහැදිලි වනු ඇත. මේ අනුව අනෙක් සෑම භාණ්ඩයකින් මෙන් ම මැටි භාණ්ඩවලින් පවා ලාභ ලබන්නේ අතරමැදියා බව රහසක් නොවේ.

“මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන අයගේ සංගමයක් අපි පිහිටුවාගෙන තිබෙනවා. මැටි කර්මාන්තකරුවන්ගේ සංගමයෙන් අපි කර්මාන්තකරුවන්ට විදුලියෙන් ක්‍රියාත්මක කරන සකපෝරු අරං දුන්නා. සංගමයෙන් මැටි අඹරන මැෂිමක් මිලදී ගත්තා. එය කුලියට දීලා සංගමයට මුදලක් එකතු කර ගන්නවා. ඊට අමතරව සමෘද්ධි බැංකුවෙන් ණය මුදල් අරං දුන්නා. සමෘද්ධියත් එක්ක එකතු වෙලා ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා.” යනුවෙන් සඳහන් කළේ සංගමයේ ලේකම් දීපිකා ප්‍රියදර්ශනී ගාල්ල‍ගේ ය.

ස්වයං රැකියාවක් වශයෙන් මල්පෝච්චි නිෂ්පාදනය කරමින් සිටි දීපිකා ප්‍රියදර්ශනි මැටි භාණ්ඩ නිෂ්පාදනයට යොමු වූයේ 2003 වර්ෂයේදී ය. ඉතා සුළුවෙන් ආරම්භ කළ ඇගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඇයට හැකි වූයේ මනා කළමනාකාරිත්වය නිසා බව ඈ සඳහන් කරන්නීය. අද ඇගේ සැමියා ද ඇගේ ව්‍යාපාරයට එක් වී සිටියි.

“මට පුද්ගලිකව තිබෙන ගැටලුව තමයි ඉඩකඩ නැතිකම. මැටි බාන්න ඕනෑ. දර ‍පොල්ලෙලි බාන්න ඕනෑ. ඒවා නොතෙමි තියාගන්න ඕනෑ. ඒවාට අවශ්‍ය තරම් ඉඩකඩ මට නැහැ. ඒ හැර මැටි කර්මාන්තකරුවන් විදිහට අපි පොදුවේ මුහුණදෙන ප්‍රශ්නය තමයි මැටි ප්‍රශ්නය. මැටි කපාගන්න ඉඩම් නැහැ. ඉඩම් අයිතිකාරයෝ ඉඩම්වලින් මැටි කපනවාට කැමති නැහැ. මොකද ඉඩමෙ වළ හෑරෙනවා කියලා. ඒ නිසා මැටි ගන්න හෑරුවොත් වළ වහන්න ඕනෑ. මැටි කපන්න බලපත්‍ර ගන්න ඕනෑ. ඊට පස්සේ මැටි ප්‍රවාහනය කරන්න බලපත්‍ර ඕනෑ. ඒ වගේම අපිට අවශ්‍ය පිදුරු හොයා ගන්නෙත් අමාරුවෙන්. මැටි භාණ්ඩ පුච්චන විට පිදුරු දාලා ආවරණය කරන්න වෙනවා. ඒකට පිදුරු ගන්න දැන් ඉස්සර වගේ කුඹුරු කරන්නෙත් නැහැනේ.” යනුවෙන් මැටි කර්මාන්තකරුවන් මුහුණපා තිබෙන ගැටලු දීපිකා ප්‍රියදර්ශනි ගාල්ලගේ විස්තර කළාය.

ඒ අතරවාරයේදී ඇගේ සැමියා වන බී. රණසිංහ පැවසුවේ ඔවුන් දෙදෙනාගෙන් පසුව ඔවුන්ගේ දූ දරුවන් මෙම කර්මාන්තයට අත නොතබන බව ය. ඔවුන්ගේ දියණිය උපාධිධාරිනියකි. මේ අනුව පරම්පරාවෙන් උරුම වූ මැටි කර්මාන්තය අනාගතයේදී ගිලිහී යන දිනය වැඩි ඈතක නොවේ.

 

අදහස්