මං ජාත්‍යන්තර කාටින් ට්‍රැක් එකක් හැදුවා ඇවිත් ප්‍රයෝජන ගන්න | සිළුමිණ

මං ජාත්‍යන්තර කාටින් ට්‍රැක් එකක් හැදුවා ඇවිත් ප්‍රයෝජන ගන්න

 මිලියනයකට වැඩි මෙරට ත්‍රීවිල් ජනතාව පමණක් නොව, බහුතර ශ්‍රී ලාංකිකයන් ද ඩේවිඩ් පීරිස් කවුරුන්දැයි දකින්නේ අද පළමු වතාවට විය හැකිය. මාධ්‍යයේ පෙනී සිටීමට ඇති දැඩි අකැමැත්ත මැද වුවද සිළුමිණ වෙනුවෙන් මා හා කතා කරන්නට එකඟ වීම පිළිබඳ පීරිස් මහතාට කෘතඥ විය යුතුය. ශ්‍රී ලාංකේය ව්‍යාපාර නායකයින්ගේ ලැයිස්තුවේ ඔහු අමතක කළ නොහැකි චරිතයකි. කිසිසේත් අත්හළ නොහැකි චරිතයකි. එමෙන්ම, අවුරුදු 50 ක් වූ ව්‍යාපාරික ජීවිතය තුළ ඔහු මාධ්‍යයක පෙනී සිටින්නේ පළමු වතාවටය.

මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සු ත්‍රීවීලර් පැද්දට, ඒවායේ ගමන් බිමන් ගියාට ලංකාවට ත්‍රීවිල් හඳුන්වා දුන් ඔබව දකින්නෙ පළමු වතාවට වෙන්න ඇති....

මේ මං කැමැති දෙයක් නෙවෙයි. මෙච්චර කාලෙකට මං, පත්තරේකට කතා කරපු කෙනෙකුත් නෙවෙයි. මට කනගාටු, ඔබේ මේ කරදරෙන් මට බේරෙන්න බැරිවුණු එක ගැන.

ඇත්තට ම ඇයි ඔබ මාධ්‍යයෙන්, මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්නෙ...

ඒ මගේ විදිය. කිසිම දවසක මගේ ෆොටෝ එකක්වත් මේ විදියට පත්තරේ දාන්න දීලා නැහැ. කවුරුත් වැඩිය මාව හැඳිනුවෙ නැති වුණාට මං වැඩ කරන්නෙ, ජීවත් වෙන්නෙ මේ රටේ මිනිස්සු එක්කම තමයි.

ඔබේ පැලැන්තියෙ බොහෝ සභාපතිවරුන්ට සාපේක්ෂව ඔබ ඉතා හොඳින් මවුබස කතා කරනවා...

මගේ අම්මා බර්ගර් ජාතික වුණාට තාත්තා හොඳ සිංහලයෙක්. මං ඉගෙන ගත්තෙ ඉංග්‍රිසි මාධ්‍යයෙන් වුණාට, ජීවත් වුණේ මේ සාමාන්‍ය සමාජයේ. සෙන්ට් තෝමස් එකේදි, පින්ටෝ ජයවර්ධන මහත්මයාගේ ‘හෙළ බස’ සංගමයෙත් හිටියා. ඉතින් මට මගේ මවුබස බැරි මොකද.

එතකොට ‍රිචඩ් පීරිස් සමාගම හැදූ, රිචඩ් පීරිස් ඔබේ කවුද...

මගේ තාත්තගෙ මල්ලි. තාත්තා, පර්සි පීරිස්. බාප්පා රිචඩ් පීරිස්. දෙවැනි ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍ය හමුදා වාහනවල, ටයර් නැවත පිරවීම තමයි රිචඩ් පීරිස් ව්‍යාපාරයේ ආරම්භය. තාත්තයි බාප්පයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ තවත් අධ්‍යක්ෂවරු දෙන්නෙක් එක්ක.

ත්‍රී විලර් සංස්කෘතියක් මේ රටට බිහි කළේ ඔබ...

ඒකට හුඟක් අය දැන් දොස් කියනවා. නමුත් දවසකට රුපියල් තුන්දාහක් විතර හම්බකරගෙන, තමන්ගෙ පවුල්වල වැඩත් කරගෙන ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ස්වාධීනව. ඒ මිනිස්සු දියුණු වෙන්නෑ. රටේ කර්මාන්තවලට මිනිස්සු නෑ. මේ වගේ කතා කිව්වට, අද සේරම ත්‍රීවිලර් නැවැත්තුවත් මොකක්ද, මේ රටේ ඒ අය වෙනුවෙන් හදලා තිබෙන වැඩපිළිවෙළ. ශ්‍රමයට සරිලන වැටුපක් ගෙවන කර්මාන්ත තියෙනවා නම් මිනිස්සු යයි. පොඩි පඩිවලට දවසම වැඩ කරලා පවුලක් ජීවත් වෙන්න පුළුවන්ද අද. මිනිස්සු එක එක කතා කියනවා. විසඳුම් ඉදිරිපත් කරන්නෙ නැහැ.

ලංකාවට ත්‍රීවිලර් ගෙනා එක ගැන ඔබ අද කනගාටු වෙනවද...

නැහැ. මම ඒක නොගෙනාවා නම් අද ඒ මිනිස්සු ලක්ෂ ගණනට ආණ්ඩුව රස්සා දෙනවද.. නැත්නම් වෙන කවුරු හරි රස්සා දෙනවද... මේ වෙනකොට අපි ගෙන්වා තිබෙන ත්‍රීවිලර් ප්‍රමාණය ලක්ෂ 12 ක්. ඒවායින් යැපෙන දරු පවුල් සංඛ්‍යාව ඊටත් වැඩියි. ඒ කාලෙ අපි බජාජ් ත්‍රීවිලර් එක හැඳින්වුවෙ, ‘දුප්පතාගෙ හිතවතා’ කියලා.

ත්‍රීවිලර් ලෝකෙ ඔබ ඉන්නෙ කොහොම තැ‍නකද...

වැඩිම අලෙවියක් කරන, ලෝකෙ ලොකුම බජාජ් ඩීලර් අපි. ඒ වුණත් දැන් මේ ගොඩනැගෙන විවිධ මත නිසා දෝ ලංකාවෙ ත්‍රීවිලර් අලෙවිය අඩුයි. ටැන්සානියාවෙත් අපිට තිබුණා ශාඛාවක්. ඒක දැන් නැහැ.

ලංකාවට ගෙනා පළමු ත්‍රීවිලරයේ මිල කීයද...

රුපියල් 15,000 යි. මුලින් ම ගෙනාවෙ ත්‍රීවිලර් පහක් නැත්නම් හයක්. ඒකත් එළවන්න දන්න කෙනෙක් නැහැ. ඒ නිසා පළවෙනි ත්‍රීවිල් ඩ්‍රයිවර්ගෙ ඉඳලා හාර පන්සියයක් විතර යනකල් පුහුණු කළේ මං.

ඇයි ඒ කාලෙ පටන් ම බජාජ් විතරක් ගේන්නෙ...

ලෝකෙ අඩුම මිලට තියෙන හොඳ ම ත්‍රීවිලර් ‍එක, ඉන්දියාවෙ ‘බජාජ්’. අපි බජාජ් මෝටර් සයිකල් ගෙන්වන්න ගත්තෙත් ඒ කොලිටිය නිසා, ඒ වුණාට කනගාටුවට කාරණය තමයි අද ලක්ෂ අටක් විතර වෙන ත්‍රීවිලර් එකෙන් ලක්ෂ පහක් විතරම දුප්පත් මිනිස්සු ගෙවන්නෙ ආණ්ඩුවට. ත්‍රීවිලර් එකේ

වටිනාකමටත් වැඩිය වැඩියි, අද තියෙන වැට් බදු... ඩියුටි. හුඟ දෙනෙක් කියන්නෙ ත්‍රීවිලර් බොහොම අනාරක්ෂිතයි කියලා...

බීපු මනුස්සයෙක් ත්‍රීවිලර් එකක් නෙවෙයි මොන වාහනයක් එළෙව්වත් අනාරක්ෂිතයි. තුන්දෙනකුට යන්න පුළුවන් තැන පහක් දහයක් පටවාගෙන ගියොත් ඒකත් අනාරක්ෂිතයි. ලයිසන් නැතිව එළෙව්වොත්, එක කකුළෙන් එළෙව්වොත් වෙට්ටු දමමින් ගියොත්, මාර්ග නීති කඩමින් ගියොත් අනාරක්ෂිත තමයි. ඒක වාහනේ වැරැද්ද නෙවෙයි, එළවන මනුස්සයාගෙ වැරැද්ද. වාහන එළවන විදියක් තියෙනවා. වේග සීමා තියෙනවා. මේවා කඩ කළාම, යන ගමන අනාරක්ෂිතයි තමයි.

ඔබ ගෙනා ත්‍රීවිලර් මිනිස්සු මෙහෙම වැරැදි විදියට පදිනකොට ඔබට මොකද හිතෙන්නේ...

එහෙම එළවන අයට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැති එක ගැන මහ විශාල කනගාටුවක් දැනෙනවා. වාහනයක් අතට ගන්නවා නම් ඒක පදින්න ඕනෙ නියම විදියට. එහෙම මිනිසුන්ට දඬුවම් නොකර ඒ වරදත් වාහනේ පිට පටවන එක නෙවෙයි, මේ ප්‍රශ්නෙට විසඳුම.

වයස 81 ක්. ඔබ තවමත් වැඩ කරනවා. මහන්සි නැද්ද ජීවිතේ...

මට කවදාවත් වයස ගැන මතක් වෙන්නෑ. මං තවමත් ව්‍යායාම් කරනවා. කන්නෙ බොන්නෙ මගේ බිරිය ගෙදර ම වවන එළවළු පලතුරු. මැල්ලුම්. මගේ බත් පිගානෙන් බාගයක් ම කොළ මැල්ලුම්. මං ජීවත් වෙන්නෙ පුළුවන් තරම් ස්වභාව ධර්මය එක්ක. මගේ ගෙදර තියෙන්නෙ බොල්ගොඩ ගඟ ළඟ. ගෙදර ගස් කොළන් - මල් හැමදේම වවලා තියෙන්නේ. හිතුණොත් මං බොල‍්ගොඩ පරත්තෙ මගෙ ගෙදර ඉඳන් බණ්ඩාරගම - ගැලනිගම මේ රේස් ට්‍රැක් එකට එන්නෙ මගේ බෝට්ටුවෙ. විනාඩි දහයක ගමනක්. මං වැඩ කරන්නෙ සතුටින්. ඉතින් මට මහන්සියක් දැනෙන්නෙ නැහැ. හැබැයි මට දැන් විශ්‍රාම ගන්න ඕනේ. ගිහින් කරන්න දේ හුඟක් තිබෙනවා.

දැන් වැඩිය පිටරට යන්නෙත් නැද්ද...

ඉස්සර වගේ වැඩවලට යන්නෑ. දැන් මං යන්නෙ මගේ පොඩි පුතා ඉෂාන්ගේ රේස් බලන්න විතරයි. එයා පදින හැම තරගයක් ම වගේ මං බලන්න යනවා. එයා රේස් පදිනකොට මං ඉස්සර රේස් පැදපු හැටි මතක් වෙනවා.

රේසින් කාට්... බෝට්ටු.... ගුවන් යානා... මොනවද ඔබ පැදලා නැත්තෙ...

ජීවිතේ පුළුවන් කාලෙ හැම දේම කරන්න ඕනෙ. රේසින්වලට තියෙන ආසාව නිසයි, අක්කර 24ක මේ තරම් විශාල රේසින් ට්‍රැක් එකක් හැදුවෙත්. ‘Sri Lanka Karting Circuit’ කිව්වම දැන් ජාත්‍යන්තරයේත් අපේ මේ ධාවන පථය හරි ප්‍රසිද්ධයි. දකුණු ආසියාවට ම තිබෙන හොඳම කාටින් ට්‍රැක් එක මේක. පිටරටින් තරග ගෙන්වාගන්න, මේ ට්‍රැක් එකේ ප්‍රමිතිය සහ තත්වය ඉහටත් උඩින්. මේක රජයක් කරන්න ඕනෙ දෙයක්. අපි රුපියල් මිලියන 800ක් වියදම් කරලා රටට මේ සම්පත හැදුවා. ඒත් ක්‍රීඩා අමාත්‍යාංශයටවත් සංචාරක අමාත්‍යාංශයටවත් මේකෙ වටිනාකමක් නැහැ.

මොකක්ද තිබෙන ගැටලුව...

මේ රේසින් කාට් එකට ලංකාවෙ බදු ගහන්නෙ ප‍ාරේ පදින කාර්වලට සමාන කරලා. මේවා පොඩි රෝද සහිත, ට්‍රැක් එකක විතරක් පදින කාට් වර්ගයක්. මේ කාට් එක සමාන වෙන්නෙ වතුරෙ පදින ‘ජෙට්ස් කී’ එකට. ඒකට ඩියුටි නැහැ. හැබැයි, මේ කාට් එකේ ටයර්වලට විතරක් 82% ක් බදු. ඒ බදු නිසා ම කාට් එකක මිල, රුපියල් මිලියන එකහමාරක් විතර වෙලා.

එතකොට සංචාරක අමාත්‍යාංශයට තිබෙන සම්බන්ධතාවය කුමක්ද...

ඇයි, ජාත්‍යන්තර තරගවලට කණ්ඩායම් එනකොට ඒ අයගෙ ආධාරකරුවො, ගෙවල්වල අය එනවා. ඒ අයගෙම මිකැනික්ස්ලා එනවා. මේ රේස් කරන්නෙ, තියෙන කියන රටවල සහ පවුල්වල උදවිය. ඒ නිසා මේ අය තරගවලට ආවම ලංකාවෙ හොඳ හෝටල්වල නවතිනවා. ඒකෙ වාසිය සංචාරක කර්මාන්තයට නෙවෙයිද. මේ ට්‍රැක් එක හදලා මාස දහයක් ගත වුණා, අපේ උනන්දුවෙන් හැර, පිටරට තරග ගෙන්වා ගන්න මේ කවුරුවත් මෙතෙක් මැදිහත් වෙලා නැහැ.

මොනවද මෙහි පැවැත්වෙන ක්‍රියාකාරකම්...

කාටින්, කිඩ්ස් කාටින්, රයිෆල් ෂූටින්, පූල් ටේබල්, බාස්කට් බෝල්, ස්විමින්... දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා මේ ඕනෑම කෙනකුට මේ ඕනෑඹ ක්‍රීඩාවක් කළ හැකියි. පහුගිය ජනවාරි මාසෙ පැවති x 30 Asia Cup තරගයේ හුඟක් පුංචි ළමයි පවා කාටින් කළා. රටවල් නවයකින් විවිධ කාණ්ඩවල තරගකරුවො ආවා. අපේ රටේ ළමයින් මේ තැන දකින්න ඕනේ. දැන් මගේ පූර්ණ අවධානය තිබෙන්නෙ මේ කාටින් ට්‍රැක් එකට. මිනිස්සු මේකෙ ප්‍රයෝජනය ගන්නවා තරම් සතුටක් මට තවත් නැහැ.

ඔ‍බ ගැන මේ තරම් දේ අපි අහන්නෙ පළමු වතාවට...

එහෙනම් තව එකක් දැනගන්න. 1971 මං ශ්‍රී ලංකා එයාර් ෆෝස් එකට ස්වේච්ඡාවෙන් වැඩකරපු පයිලට් කෙනෙක්. ඒ, 71 කැරැල්ල නිසා හටගත් රටේ කලබල කාලේ. කැරැල්ල ඉවරවුණාම මං අයින් වුණා. ආයෙමත් 1984 බැඳිලා 92 වෙනකල් වැඩ කළා. ඒ යුද්දෙ කාලෙ. තුවක්කු - බෝම්බ, මැරිච්ච මිනිස්සු, පණ අදින මිනිස්සු මේ හැමදේම - හැමෝම අරන් මං අහස්යාත්‍රාව පැදෙව්වා. රටට අවශ්‍ය වෙලාවට උදව්වට යන්න මං කවදාවත් දෙපාරක් හිතුවේ නැහැ. ඒ වෙලාවට මං බිස්නස් ගැන හිතුවෙත් නැහැ.

මොකක්ද ඔබ වැඩකරන විදිය...

වැඩකරන හැමෝටම අවශ්‍ය බලය සහ නිදහස දී තිබෙනවා. හැමදේට ම මං ඇඟිලි ගහන්න යන්නෑ. ඩේවිඩ් පීරිස් ගෲප් එකේ, එකකට එකක් වෙනස් ව්‍යාපාර ගණනාවක් තියෙනවා. වැඩකරන පිරිස 2400 ක්. ඒ හැම එකකට ම හොඳ මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. ඒවා බාර අය, ලොකු තැන ඉඳලා පහළට යනකල් තමන්ගෙ වගකීම අකුරට ඉටුකරනවා.

ඒ තරම්, සේවකයන් විශ්වාස කරන බොස් කෙනෙක් ඔබ...

මං කිසි කෙනෙක් අවිශ්වාස කරන්නෑ. හැබැයි විශ්වාසය කැඩුවොත් තියාගන්නෙත් නැහැ. ආයතනයක දියුණුවට හොඳ සේවකයන් තියා ගැනීම වගේ ම, විශ්වාසය කැඩූ පුද්ගලයන් ඉවත් කිරීමත් අත්‍යාවශ්‍ය දෙයක්.

පුංචි කාලෙ සිහි කරද්දි තවමත් මතකයෙ රැඳිලා තියෙන විශේෂ දෙයක් කියන්න...

මං තුනේ පන්තියට යනකල් අපි ජීවත් වුණේ කොල්ලුපිටිය මුහුදට කිට්ටු ගෙදරක. යුද්දෙ කාලෙ නිසා, නිතර ප්ලේන් යනවා. මට මතකයි දවසක් අපේ වහලට උඩින්, හුඟක් පහතින් ගිය ප්ලේන් එකක් මුහුදට කඩා වැටුණා. මම ඒක දැක්කා. ජපන්නු බෝම්බ දාපු කාලෙ නිසා, නිතර අහසෙ ගුවන් යානා ගියා. අම්මා කොච්චර එපා කිව්වත් මං එළියට බැහැලා අහස දිහා බලා හිටියා.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම කොල්ලුපිටිය ශාන්ත තෝමස් විදුහලේ. හතරේ පන්තියේ ඉඳන් ගල්කිස්ස ශාන්ත තෝමස්. හොඳම දේ තමයි, අම්මයි තාත්තයි එයාලට කැමැති දේ ඉගෙන ගන්න, අයියටවත් මටවත් බල නොකළ එක. අපි ඉගෙන ගත්තෙ අපිට කැමැති දේ. මං ඉස්කෝලෙට ක්‍රිකට් ගැහුවා. ඇත්ලටික් කළා. කරන දේ හරියට කරන්න, කියලා විතරයි දෙමවුපියො කිව්වෙ.

කොළඹම ගෙවුණු ළමා කාලයක්, කවදාවත් ගමක් දැකලා තියෙනවද...

මොකද නැත්තේ, මං හොඳට ඈත ගම්වල ඇවිදපු කෙනෙක්. මගේ තාත්තා හැම නිවාඩුවකටම කැලේ යනවා. ඒ හැම ගමනකදිම මාවත් එක්ක යනවා. මගේ අයියා ඉයන්ට වැඩිය මේ ගමන්වලට ගියේ මං. ඈත ගම්මාන පහුකරගෙන අපි දවස් ගණන් කැලේ ඇවිදිනවා. කූඩාරම් ගහගෙන නතර වෙනවා. ගමක දුෂ්කර ජීවිතය මං හොඳට දැකලා තියෙනවා. අදටත් ඒ පුරුදු මගේ ජීවිතෙන් ඈත්වෙලා නැහැ. අවස්ථාව ලැබුණු ගමන් අදත් මං කැලේ යන කෙනෙක්.

ඒ වුණත් සල්ලි තිබෙන පවුලක දරුවෙක්නේ. කවදාවත් දුක් අමාරුකම් දැනිලා නැතිව ඇති...

මං ගල්කිස්ස ශාන්ත තෝමස් යද්දි, අපි හිටියෙ හයිඩ්පාර්ක් කෝනර් එකේ. එහෙ ඉඳන් අයියයි මායි ඉස්කෝලෙ ගියෙත් ආවෙත් බස් එකේ. තාත්තට ෆියට් කාර් එකක් තිබුණා. ඒ වුණාට අපිව කවදාවත් ඒකෙ යැව්වෙ නැහැ. පොකට් මනී කියලා මාසෙටම සත පණහක් ලැබෙන්න ඇති. තිබුණා කියලා, කිසිම දෙයක් අපිට ඕනෑවට වැඩිය ලැබුණෙ නැහැ.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...

මං හිටියෙ හරි නිදහස් ලෝකෙක. ඇති තරම් සෙල්ලම් කළා. දඟ වැඩ කරලා තාත්තගෙන් ගුටි කෑවා. ඒත් හරි සැහැල්ලුවෙන් ජීවත් වුණා. මං මට අරමුණු හදාගෙන තිබුණෙ නැහැ. හැබැයි ඕ - ලෙවල්වලින් පස්සෙ මට ඕනෙ වුණේ මෝටර් මිකැනික් ඉගෙන ගන්න. තාත්තා මාව එංගලන්තෙට යැව්වා. මං බොහොම කැමැත්තෙන් ගියා. අවුරුදු තුනක් එංගලන්තෙ ටෙක්නිකල් කොලේජ් එකක මෝටර් ඉංජිනියරින් ඉගෙන ගෙන මං ආපහු ලංකාවට ඇවිත් රිචඩ් පීරිස් මෝටර් කම්පැනියේ වර්ක් ෂොප් එකට බැඳුණා.

මොකක්ද ඔබ ඒ ආයතනයට කළ වෙනස...

ඒ මගේ පළමු රස්සාව. පඩිය රුපියල් දෙසිය පණහයි. පවුලේ ව්‍යාපාරය වුණාට පටන් ගත්තෙ පහළ තැනෙකින්. ඒ කාලෙ හරියට යුනියන් තිබුණා. ඒ වුණත් මං විනය හැදුවා. කාර්යක්ෂමතාව වැඩි කළා.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක...

රිච‍ඩ් පීරිස් සමාගමෙන් ඉවත්වෙලා මගේම ව්‍යාපාර ආරම්භ කළ එක. මං බජාජ් ත්‍රීවිලර් ලංකාවට ගෙනාවෙ රිචඩ් පීරිස් වැඩ කරද්දි. මගේම බිස්නස් එකේදිත්, මං ගෙනා ඒ බ්‍රෑන්ඩ් එකේ ජනප්‍රියත්වය එලෙසම තිබුණා. අද පාරෙ දුවන ත්‍රීවිලර්වලින් සියයට අනූපහක් අපේ බජාජ්.

නොවැටී බිස්නස් කරන්න හොඳම විදිය කුමක්ද...

කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා ඉන්න එක. වැටෙන්නෙ නැත්තෙ කවුද.. වරදින්නෙ නැත්තෙ කාටද.. බිස්නස් කරනවා නම් ඕනෙ දේකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. විශේෂයෙන් රටේ පවතින තත්වය අනුව, දිගුකාලීන සැලසුම් තියාගන්න බැහැ. ඔබට බිස්නස් කරන්න අවශ්‍යනම් මේ වගේ අවිනිශ්චිත කාලවලට ‍ඔරොත්තු දෙන්නත් සූදානම් වෙන්න ඕනේ. අපි ඉන්නෙ එහෙම රටක.

ඔබේ බිරිය ව්‍යාපාරවලට සම්බන්ධයිද..

එයා සම්පූර්ණයෙන් ම සම්බන්ධ මගේ සහ දරුවන්ගේ ජීවිතවලට විතරයි. බිස්නස් නොකළාට එයාට බලාගන්න, හොඳ ළමයි හතර දෙනෙක් ඉන්නවා. ලස්සන මල් වත්තක් තියෙනවා. එළවළු පාත්ති තිබෙනවා. මුල ඉඳල ම එයා දීපු උදව්ව නෙවෙයි නම් මට මේ තරම් දුර එන්න ලැබෙන්නෙ නැහැ. අපේ බිස්නස් මේ තරම් ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. බිස්නස් එකේ නොහිටියට, බිරියක් විදියට එයා මට හැම උදව්වක් ම දීපු වයිෆ් කෙනෙක්.

දෙවියන් හා තිබෙන්නෙ කොහොම බැඳීමක්ද...

පාන්දර හතරට පහට නැගිටලා කරන පළමු රාජකාරිය තමයි ‘ප්‍රෙයාස්’ කියන එක. මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ‘අද දවසෙත් මට නිදහසේ ඉන්න දෙන්න’ කියලා විතරයි.

මේ සියල්ල ලැබුණෙ වාසනාව නිසාද...

ඔව්. ඒ වාසනාව දුක්නෙ ‘ගෝඩ්’. ප්‍රතිපත්තියක් විදියට මං සත්තු මරන බිස්නස් කරන්නෑ. රෝහල් අරින්නෑ. මං කරන්නෙ මටත් සතුටක් ලැබෙන බිස්නස් විතරයි.

ඔබෙන් පස්සෙ මේ ව්‍යාපාරවලට මොකද වෙන්නෙ...

මගේ ලොකු පුතා යොහාන්, පයිලට් කෙනෙක්. ටෙරුනි, ලොකු දූත් පිටරටක වැඩ. බෝධි, මගේ පොඩි දූ නම් මේ කොම්පැනියට වැඩ කරනවා. ඉෂාන්, රේස් පැද්දට බිස්නස් ගැන උනන්දුයි. මේ ව්‍යාපාර ගලාගෙන යන සිස්ටම් එකක් තියෙනවා. මගේ දරුවො වුණත් පුහුණුවක් ඇතිව මේවට ආවොත් මං සතුටුයි. කොහොම වුණත් ඩේවිඩ් පීරිස් සමාගම ඉදිරියට ගෙන යෑමේ වගකීම ඒ අයට තිබෙනවා. මොකද, මගේ බාප්පා - තාත්තා හැදූ ‘පීරිස්’ පවුලේ ව්‍යාපාරය දැන් තියෙන්නෙ පවුලෙන් පිට. ඉතිරිව තිබෙන්නේ මං හැදූ මේ ‘ඩේවිඩ් පීරිස්’ සමාගම විතරයි නිසා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්