අපි ආයෙත් මුල ඉඳන් පටන් ගනිමුද? | සිළුමිණ

අපි ආයෙත් මුල ඉඳන් පටන් ගනිමුද?

අප ටෙස්ට් වරම් ලැබු අවධියේවත් එංගලන්තයට එරෙහිව මෙවන් පරාජයන්ට මුහුණ නොදුන් අතර බංග්ලාදේශය හා සිම්බාබ්වේ වැනි නොමේරූ ටෙස්ට් කණ්ඩායම්ද ගෙදරට පැමිණ අපට අභියෝග කරන තත්ත්වයට අපේ ක්‍රිකට් පත් වී අවසන්ය.

අනූව දශකයේදී ලොව මුදුන් පෙත්තටම ගිය අපේ ක්‍රිකට් මෑතක් වන තුරුම එම තත්ත්වය ආරක්ෂා කරගෙන සිටීමට සමත් වුවත් දැන් සිදුව ඇත්තේ අපට වඩා පහතින් සිටින රටවලටත් පරාජය නොවී සිටීමේ අභියෝගයකි.

මෙවර මෙම තීරුවෙන් අපේ ක්‍රිකට් ගොඩ ගැනීමට නම් කුමක් කළ යුතු ද යන්න යෝජනා කිරීමට අදහස් කළෙමි.

ක්‍රීඩාවක් කඩා වැටීමේදී එක්කෝ ක්‍රීඩකයන්ගේ මට්ටම පහත වැටිය යුතුය. නොඑසේනම් පරිපාලකයන් පිස්සු නැටිය යුතුය. ඇත්ත වශයෙන්ම යම් පමණකින් ක්‍රීඩකයන්ගේ මට්ටම පහත වැටී ඇති බව පිළිගත යුතු වුවත් අප රටේ ක්‍රීඩකයන්ගේ ශක්තිය හෝ දක්ෂතාව පිළිබඳ ගැටලුවක් නොවේ. අවශ්‍ය වන්නේ එය නිසි පරිදි පෝෂණය කිරීමයි. එය රැඳී ඇත්තේ පාසල් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතේය. පටු පරමාර්ථ හා බල තණ්හාව වෙනුවෙන් ඔවුන් කටයුතු කරන්නේ නම් තව දුරටත් අපේ රටේ ක්‍රිකට් ගැන කතා කිරීමෙන් ඵලක් නොමැත්තේය.

බිලියන ගණන් වියදම් කොට ක්‍රීඩාංගණ ඉදි කර ඇති අපේ රටේ පාලකයන් පිනවීම වෙනුවෙන් තවත් එවැනිම මුදලක් අලුතින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ හදන්නට වෙන් කෙරේ. ක්‍රීඩා සමාජ අතරේ මිලියන ගණන් මුදල් ලබා දෙනු ලබයි. පැරදුණත් දිනුවත් ටෙස්ට් ක්‍රීඩකයන්ගේ තරග දීමනාව දිනෙන් දින ඉහළ දැමේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු මාස් පතා වැඩි කෙරෙන්නේ ලක්ෂ ගණන් වැටුප් සමගය.එකම රාජ කාරියට දෙතුන් දෙනෙක් සිටිති. ඒ අතර ලැබෙන මුදල් කෝටි ගණනින් වෙනත් ගිණුම් වලටද බැර කෙරේ.

මේ සියල්ල සිදුවද්දී ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් අතහැර බුරුතු පිටින් දක්ෂ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීමට යති.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඇති පුහුණු කිරීම් අංශයේ පඳුරකට පයින් ගැසු විට විසිවන තරම් පුහුණු කරුවෝය. දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්ද හතළිහකට ආසන්නය. මේ සියලු දෙනා ඉහළ වැටුප්ද ලබන්නෝ වෙති. ඇතැම් විශේෂඥ පුහුණු කරුවෝ වසර දහයකට ආසන්න කාලයක් එකම අංශයක විශේෂඥයන් ලෙස කටයුතු කළත් ඒ අංශ වලින් ඉදිරියට ආ ක්‍රීඩකයකු නොමැත.

ක්‍රිකට් පාලක මණ්ඩලය අවට තිබෙන එස්.එස්.සී., එන්. සී.සී.හා සී.සී.සී. ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ තුනේම පිහිනුම් තටාක, ක්‍රීඩක නේවාසිකාගාර හා ගෘහස්ථ ක්‍රීඩාගාර ඇත. (එන්.සී.සී.ගෘහස්ථ ක්‍රීඩාගාරය ගාමිණි දිසානායක ක්‍රිකට් පදනමට අයත්ය) එස්.එස්.සී. පිහිනුම් තටාකය හැර අනෙක් සියලු ඒවා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ම විටින් විට ලබා දුන් මුදල් යොදවා කරන ලද ඉදිකිරීම්ය.

එහෙත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කියා පිහිනුම් තටාකයක්, ක්‍රීඩක නේවාසිකාගාරයක් හෝ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වෙනුවෙන් කොළඹ ඉදි වුණු ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නැත. ජාතික තලයේ ක්‍රීඩකයෝ මෙම අවශ්‍යතා සපුරා ගන්නේ මෙකී ක්‍රීඩා සමාජ වලිනි.

සිදත් වෙත්තමුණි අතුරු කමිටු සභාපති ධූරය ඉසිලූ සමයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ මුල් ගල් තැබූ පිහිනුම් තටාකය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය අදත් මුල් ඇද පවතී.

කෝටි ගණනක් වියදම් කර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කළ නොහැකි මට්ටමේය. බිලියන ගණනක් වියදම් කර සැදු සුරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා සමාජ කණ්ඩායම් දෙකකට නැවතී සිටීමට තරම් නේවාසිකාගාරයක්වත් නැත. කවුරුන් කෙසේ සැලසුම් හැදුවත් අපේ ක්‍රිකට් සැලසුම්වල තත්ත්වය එසේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩි කාලයක් වැසි සහිතය. දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් එවිට සිටින්නේ ගෙදරට වෙලාය. දිස්ත්‍රික්කයකට එක බැගින් හෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් පුහුණුවීම් සඳහා නොමැති වීම එයට හේතුවයි. අද පාසල් මට්ටමේ හෝ සිටින බොහෝ පුහුණු කරුවන් තුළ එදා පුහුණුකරුවන් තුළ තිබූ කැපවීම නොමැත. ඇතැමුන් ගෘහස්ථ පුහුණු පහසුකම් ඇති පාසල් වල පුහුණුව භාර ගැනීමට ද අකැමැතිය. ඒ වැසි දිනවල ගෙදරට වී කාලය ගත කරන්නට ඇති කැමැත්ත නිසාය.

අපේ කනිෂ්ඨ ක්‍රීඩකයන් රැක බලා ගත යුතු අය වුවත් ඔවුන් රැක බලාගෙන පෝෂණය කිරීමේ කිසිදු වැඩ පිළිවෙළක් නොමැත. පාසල හැර ගිය විට බොහෝ දක්ෂ ක්‍රීඩකයන් නන්නත්තාර වී යන්නේ මේ නිසාය. නිසි කළමනාකාරිත්වයක් ‍නොමැති හේතුවෙන් එසේ ක්‍රිකට් ක්‍රීඩාව හැර දමා යන කනිෂ්ඨයන් අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයෝද වෙති.

එංගලන්තය අද අපේ ගෙදරට පැමිණ අප පරාජය කර ගියත් ලොවටම ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් රට ලෙස තවමත් ලෝක කුසලානයක් දිනා නොමැත. අපේ කුඩා දිවයින ලෝක ශූරතා දෙකක් දිනා තවත් ලෝක ශූරතා දෙකක අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ද සමත් වු බව අමතක නොකළ යුතුය.

පමා වී හෝ ඇස් අරින්නේ නම් හා පටු අදහස් අතහැර සියලු දෙනා එක්ව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමේ අරමුණින් එක්වන්නේ නම් අපේ ක්‍රීකට් ක්‍රීඩාව යළි ගොඩ ගත හැකිය.

සංගක්කාරලා, මහේලලා , මුරලිලා වුවද පිටත සිට විවේචනය කිරීම නවතා අඩු තරමින් තම මට්ටමේ එක් ක්‍රීඩකයකු හෝ බිහි කිරී‍මේ අභියෝගයක් බාර ගෙන ප්‍රායෝගිකව ක්‍රීඩාවට උදවු කරන්නේ නම් එය හොඳ පුර්වාදර්ශයක් වනු ඇත. ස්වේච්ඡාවට ඕනෑම බාධාවක් ගැටලුවක් නොවේ.

ක්‍රිකට් යනු අද මුදල් යහතින් හුවමාරු වන ක්‍රීඩාවකි. ඉන් ආර්ථික ප්‍රතිලාභ ලබන්නෝද බොහෝය. එහෙත් අනූව දශකයට පෙර සියල්ලෝම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප වුණේ මුදල් මත නොවන බවද අමතක නොකළ යුතුය. අපේ ක්‍රිකට් ලොව ඉහළම හිණි පෙත්තට රැගෙන ගියේ කොයි කාගේත් එම කැපවීමයි. ආයෙත් අපි එතනටම යමු! සිතිවිල්ලේ සිටම.......

රංජන් පරණවිතාන

අදහස්