මම රේස් පදින්නේ ගමේ අය එකතු වෙලා අරන් දීපු සයිකලයෙන් | සිළුමිණ

මම රේස් පදින්නේ ගමේ අය එකතු වෙලා අරන් දීපු සයිකලයෙන්

පපැදි ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද?

අපේ ගමේ පාපැදි රේස් පදින අයියා කෙනෙක් ඉන්නවා චන්දන කඳනාරච්චි කියලා. මම 11 වසරේ ඉගෙන ගන්න කොට ම මේ අයියාව හම්බ වුණා. මම කලින් මැරතන් දිව්වා. ඒ අයියා රේස් පදින්න ආසද කියලා ඇහුවම මම කැමැති වුණා. එයා තමයි බයිසිකලයකුයි, සපත්තුයි අරන් දුන්නේ. අදටත් ඒකේ වෙනසක් නෑ. ඒ අයියාගේ උපදෙස් එක්ක තමයි රේස් පදින්නේ. පුහුණුකරු විදියටත් එයා තමයි හැම දෙයක් ම බලන්නේ. මීට අවුරුදු 12කට කලින් තමයි මම රේස් පදින්න යොමු වුණේ.

ඉස්කෝලේ ගියේ අඹතලේ ටිකිරි කුමාර විදුහලට. ඉස්කෝලේ ක්‍රීඩා තිබුණට සයිකල් නෑ. ඒ හින්ද තමයි මැරතන් ක්‍රීඩාව තෝර ගත්තේ. අවුරුදු උත්සවවල මැරතන් දුවන කොට තමයි මේ අයියා හම්බ වුණේ.

චන්දන කඳනාරච්චිත් සයිකල් ශූරයෙක්?

ඔව්. එයා ගුවන් හමුදාවට රේස් පැදලා තියෙනවා. ලංකා සවාරියේ පවා දෙවැනි ස්ථානය දිනා ගෙන තියෙනවා. ගමේ රේස් පදින අය ඉන්නවා. මටත් ලොකු ආසාවක් තිබුණට, බ‍යිසිකලයක් තිබුණේ නෑ. මම ඉතින් කරන එකම දේ තමයි මේ අයගේ පස්සේ යනවා. මේක බලාගෙන ඉඳලා තමයි චන්දන අයියා එයාගේ බයිසිකලය දුන්නේ. මම පදින්න ගන්න කොට ම චන්දන අයියා රේස් පදින එක නැවැත්තුවා. ඊට පස්සේ මාව ට්‍රේනින් කරන්න පටන් ගත්තා.

පාපැදි ධාවන පථයක සැලසුම දැක්ක ගමන් මොනවාද හිතෙන්නේ?

අපිට සාමාන්‍යයෙන් රේස් එකකට මාසයකට කලින් දැනුම් දෙනවා. ඒ විදියට පුහුණුවීම් කරනවා. හුඟක් වෙලාවට කඳු, තැනිතලා සහ පල්ලම්සහිත මාර්ගයක් තමයි තියෙන්නේ. අපි අවශ්‍ය විදියට තනි තනිව වගේ ම කණ්ඩායමක් විදියටත් පුහුණුවීම් කරනවා. මම කඳු වැඩියි නම් ආසයි. මට කඳු තරණයේ විශේෂ වාසියක් ගන්න පුළුවන්. කඳු මාර්ගවල තමයි වැඩියෙන් පුහුණුවීම් කරන්නේ. චන්දන අයියා කියන්නෙත් විශේෂයෙන් කඳු ආශ්‍රිතව ට්‍රේනින් කරන්න කියලා තමයි.

පාපැදි තරගවල අනතුරු කියන්නේ සාමාන්‍ය දෙයක්නේ. ඔබේ අත්දැකීම් කො‍ෙහාමද?

2014 ගිරිවාපත්තුවෙන් තල් අරණට රේස් එකේ, මම ඉදිරියෙන් ඉඳලා කුරුණෑගලදි වැටිලා මුහුණ දරුණු විදියට තුවාල වුණා. අනන්තවත් වැටිලා අනතුරු වෙලා තියෙනවා. පොකුරක් විදියට ඇවිත් තරග අවසන් කරන්න යන‍කොට මේ අනතුරු වැඩියෙන් ම වෙන්නේ. මොන විදියකටවත් නවත්ත ගන්නවත්, අනතුරක් වළක්වා ගන්නවත් බෑ.ඊළඟ තරගයට යන ‍කොටත් සාමාන්‍යයෙන් කලින් තරගවල අනතුරු මතක් වෙනවා. හැබැයි ඉතින් තරග අවසාන ‍ෙර්ඛාව දකින කොට නම් ඒ අනතුරු ඔක්කෝ ම අමතකයි. දවසක් වැලිමඩ පල්ලමක් බහිද්දි, වේගය පාලනය කර ගන්න බැරුව වංගුවකදි ගෙයක් ඇතුළේ නැවතුණේ. මම සාමාන්‍යයෙන් පල්ලම් බහින කොට බයයි. හැබැයි වැලිමඩ අනතුරින් පස්සේ ඒ බයත් නැති වුණා. පල්ලම්වලදි තමයි ගොඩක් වැටිලා තියෙන්නේ. කඳුවලදි නම් හොඳට පැදලා යනවා. පල්ලම්වලදි නම් අවුල්. රේස්වලදි මේවා මතක් වුණත් බයක් නම් දැනෙන්නේ නෑ.

ධාවන පථයකට ආවට පස්සේ මොනවා ගැන ද වඩාත් අවධානය යොමු කරන්නේ?

මම දිනනවා කියලා හිතලා නම් තරග කරන්නේ නෑ. අපේ කණ්ඩායමේ 10 - 12ක් හිටියොත් ඒ අතරින් කවුරු දිනුවත් අවුලක් නෑ. අදියර තුනක තරගයක් ගත්තොත් මම විනාඩි පහක විතර පරතරයක හිටියොත් මාව ඉදිරියට ගන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. මට වඩා නවකයකු ඉදිරියට ඇවිත් හිටියොත් ඔහුව තවදුරටත් ඉදිරියට ගන්න තමයි බලන්නේ.

තරගයකදි ඔබ පෙරමුණ ගන්න බලන්නේ ආරම්භයේදී ම ද? මැද දී, අවසානයේදීද?

කොළඹ - මාතර වගේ සමතලා අදියරකදී නම්, පටන් ගැන්මේ දීම ගිහින් අවසානයක් දකින්න අමාරුයි. මොකද ඔක්කෝ ම ඇ‍ඟේ හයියට උපරිමයෙන් ම පදින නිසා. කඳුවලදි වගේ නම් රේස් එක පටන් ගන්න තැනේදී ම පෙරමුණ ගන්න ඕනෑ. අපි කඳුවලට බය නැත්නම් පළමු වැනි කිලෝ මීටර් 10 දීම මේ දේ කරන්න ඕනෑ. තැන්නෙදි පළමු කිලෝ මීටර් 10 පොකුරට ගියොත් හොඳ අවසානයක් දකින්න අමාරුයි.

ඔබේ තරග ජීවිතයේ මුණ ගැහිලා තියෙන හොඳ ම ප්‍රතිවාදියා කවුරුද?

එක්කෙනෙක් කියන්න අමාරුයි. හුඟක් දක්ෂයොත් ඉන්නවා. ගුවන් හමුදාවේ එහෙම විශිෂ්ට ක්‍රීඩකයෝ ඉන්නවා. අවසානයේ විශිෂ්ට විදියට තරග කරන ධාවකයන් තමයි ජීවන් ජයසිංහ, නවීන් රුචිර, යුද හමුදාවේ එහෙම ධාවකයෝ ඉන්නවා. මේ අයව තරග අවසානයට ම අපි අරගෙන ගියොත් තරගය පරාදයි. ඒ අය එක්ක පොකුරේ අපි පැද්දොත් පරාද වෙනවා. ඒ අය පුළුවන් තරම් මඟ දාලා යන්න තමයි අපි බලන්නේ. ඒ අය එක්ක තරග නිමා කරන්න අපි දක්ෂයෝ නෙවෙයි.

ජීවන් ජයසිංහ වගේ ක්‍රීඩකයන් එක්ක තරග කරන කොට ඔබේ ඇතුළාන්තය වැඩ කරන්නේ කොහොමද?

ජීවන් එක්ක තරග අවසානයට ආවොත් පරාදයි කියලා දන්නවා. එයත් එක්ක තරග අවසානයට ආ‍වොත් අපි හුඟක් තරග කරන්නේ 2 - 3 වැනි ස්ථානවලට.

අපි හුඟක් වෙලාවට බලන්නේ තරග අවසානයට කිලෝ මීටරයක් විතර තියලා ජීවන්ව හලලා එන්න තමයි.

ජීවන්ගේ ඔබ දකින දුර්වලතා මොනවාද?

කඳු මාර්ගවලදි ජීවන් පසු බසිනවා.

ඔබ තරගයකට යන්නේ ඔළුව පුරවාගෙනද හිස් කර ගෙනද?

කිසි ම දෙයක් නෑ. උදේ රේස් එකකට ගියා ම රේස් එක විතරයි. වෙන දේවල් ඔළුවට ගන්නේ නෑ. මතක් වෙන්නෙත් නෑ.

ඔබ කොහොමද තරගයකට යන කොට ඔළුව හදා ගන්නේ?

තරගයකට යන කොට ඒ දේ ඔළුවට දාගත්තොත් කන්නත් බෑ. කිසි ම දෙයක් කර ගන්නත් බෑ. සින්දුවක් අහගෙන තරගයකට එන්න වඩාත් කැමැතියි. රේස් එක ප්ලෑන් කරන්න ගියොත් පැද ගන්නත් බැරි වෙනවා.

SLT මේ පාර තරගය අනුරාධපුරයෙන් පටන් ගන්න කොට මට උදේ කන්න හිතුණෙත් නෑ. මං ඒ අදියරට එනකොට බය වෙලා හිටියේ. මට තත්පර 28 ක් පිටිපස්සෙන් ඒ තරගයේ ප්‍රතිවාදියා හිටියේ. මට ඒක ලොකු පීඩනයක් වුණා. රේස් එකේදි තමයි මං කන්න ගත්තේ. හැබැයි කිලෝ මීටර් 5 ක් විතර යන කොට බය මඟ හැරිලා ගියා. තරගය ටික දුරක් යන කොට මට තේරුණා අවුලක් නැතුව යන්න පුළුවන් කියලා.

අපේ ටීම් එකේ හොඳ හතර දෙනෙක් හිටියා. රජිත කුමාර, තුෂාර රාජපක්ෂ, පැතුම් වීරසිංහ සහ පින්තු සඳරුවන්.

ඔබේ පළමු තරගය මතකද?

හිඹුටානේ තිබ්බ පාපැදි සවාරිය. සිංගර් ආයතනය තමයි මේ තරගය සංවිධානය කළේ. මගේ පළමු තරගය ම ජය ගන්න පුළුවන් වුණා. පැදපු පළමුවැනි ස්ටැන්ඩඩ් රේස් තුන ම ජය ගත්තා. ඒ 2006 දී. ප්‍රධාන තරගයක් දිනුවේ ලක්පොහොර පාපැදි සවාරිය.

2006 සිට මේ දක්වා තරග කරලා මේ වන කොට අනවශ්‍ය දේවල් සේරම එළියේ තියලා තරගයකට යන්න පුළුවන් ද?

පුළුවන්. නිදිමරන දේවල් එහෙම ප්ලෑන් කරගෙන, හරියට තරගයකට ඔළුව හදාගෙන, ඕනෑම තරගයකට යන්න පුළුවන්. කොහොමත් මාස 1 1/2 ක විතර කාලයක් තරගයකට යන්න අපිට ප්ලෑන් කර ගන්න තියෙනවා. යුද හමුදාවේ ඉන්න කොට අපි කැම්ප් කරනවා. ‍ෙෆා්න්, ෆේස්බුක් එහෙම නෑ.

‍ෙම් කාලය තුළ ඔබ හඳුනා ගත්ත ඔබේ දුර්වලතා මොනවාද?

මම කැම්ප් එකට ගියා ම තමයි හරියට පුහුණුවීම් කරන්නේ. ගෙදර ඉන්න කොට කම්මැළිකමටත් එක්ක නිදා ගන්නවා.

බණ්ඩාරනායක මාවතේ පුහුණුවීම් කරනවා. ඊට අමතරව හංවැල්ල කඩුවෙල හරහා ගිනිගත්හේන දක්වා යනවා. අපේ ගෙදර ඉඳලා ගිහින් එන්න කිලෝ මීටර් 186 ක් තියෙනවා. නිවාඩුවට සතියක් ආවොත් එක දවසක් අනිවාර්යයෙන් ම යනවා. තනියම තමයි ගිහින් එන්නේ.

ඔබේ අඩුපාඩු හදා ගන්න උනන්දු වෙනවා අඩුයි ද?

එහෙමත් නෑ. තරගයක් තියෙන ‍කොට අනිවාර්යෙන් ම පුහුණුවීම් කරනවා. SLT තරගයට කලින් දවස් 10ක් ගෙදර ඇවිත් හිටියා. ඒ දහයම ගම්පොල රම්බොඩ, නුවරඑළියේ පුහුණුවීම් කළා.

ඔබට අද ඔබ ගැන මොනවාද හිතෙන්නේ?

මගේ ජීවිතය ගැන මං ඉන්න තැන ගැන සතුටුයි. මට කලින් අපේ ගමේ රේස් පැදපු අය ඉන්නවා. අද මම ඒ අයට වඩා ඉදිරියෙන් ඉන්නවා.

දැන් රේස් පදින බයිසිකලය ගමේ ඔක්කෝ ම අය එකතු වෙලා අරන් දීපු එකක්. මගේ රුපියලක්වත් නෑ. මේ සයිකලයෙන් රේස් 30ක් විතර පැදලා තියෙනවා. එක් දින තරග නම් දිනලා තියෙනවා. ඊට අමතරව පැදපු තරගවලින් වැඩි තරග සංඛ්‍යාවක් දිනලා තියෙනවා.

පාසල් යන කාලේ තිබ්බ ටාගට් එක මොකක් ද?

මැරතන් දුවන එක තමයි. ලාඕජි තරගාවලිය දිනලා තියෙනවා. ඉගෙන ගන්න කොට එහෙම ලොකු ටාගට් තිබ‍ුණේ නෑ. අපොස සාමාන්‍ය පෙළෙන් එහාට යන්න තරම් ගෙදර ආර්ථිකය ශක්තිමත් වු‍ණේ නෑ.

ඊට පස්සේ අවුරුදු 5 - 6ක් ටයර් කඩයක වැඩ කළා. ඒ චන්දන අයියාගේ. ඉගෙනීම පැත්තෙන් එහෙම විශේෂ ටාගට් එකක් තිබුණේ නෑ. සමස්ත ලංකා දුර පැනීමෙන් දෙවැනියා වෙලා තියෙනවා. ඒ දහතුනෙන් පහළ තරග කරලා.

විදේශ තරග අත්දැකීම් මොනවාද?

සාග් තරගයේදී හයවැනියා වුණා. ජීවන් රන් පදක්කම දිනුවා. සිංගප්පූරුවේ කණ්ඩායම් තරගයකට ගිහින් අපි පළමු ස්ථානය දිනා ගත්තා. ජීවන් ජයසිංහ, තුෂාර රාජපක්ෂ, ගිය වසරේ SLT දිනුව චාමික සඳුන් අපි හතර දෙනා තමයි ඒ තරගයට ගියේ. සාමාන්‍යයෙන් ගත්තොත් දකුණු ආසියාව අපට දිනන්න පුළුවන්. ආසියාව දිනන්න අමාරුයි. අපේ තාක්ෂණයට වඩා උසස් තාක්ෂණය භාවිතා කරනවා. කෑම බිම්වල පවා ලොකු වෙනසක් තියෙනවා. කොන්ටාඩෝර් තමයි මගේ වීරයා. එයත් කඳු නගින්න දක්ෂයි. යුද හමුදාව අවශ්‍ය හැම පහසුකමක් ම ලබා දෙනවා.

අදහස්