වස‍රේ විශිෂ්ට මලල ක්‍රීඩා ශූරයා සහ ශූරිය අනිද්දා කරළියට | සිළුමිණ

වස‍රේ විශිෂ්ට මලල ක්‍රීඩා ශූරයා සහ ශූරිය අනිද්දා කරළියට

අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය (අයි.ඒ.ඒ.එෆ්) විසින් වාර්ෂිකව විශේෂ සම්මාන උලෙළක් පවත්වයි. ඒ මලල ක්‍රීඩා සම්මාන උලෙළයි. එහිදී අදාළ වසරේ දස්කම් දැක්වූ සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ඔවුනට සම්මාන පිරිනමයි.

2018 වසරේ මෙම සම්මාන උලෙළ අනිද්දා (04) මොනකෝ රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සම්මාන උලෙළේදී ප්‍රධානතම සම්මාන දෙකක් පිරිනැමෙයි. ඒ වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවටයි.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය මෙසේ වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා සම්මාන පිරිනමන්නේ 1988 වස‍රේ සිටය. මෙහිදී එම සම්මේලනය සංවිධානය කරන තරගාවලියන්හිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් දෙසට අවධානය යොමු කරනු ලබයි.

එමෙන් ම එහිදී සලකා බැලෙන තරග ඉසව් කිහිපයක් ම වේ‍. ඒ ජවන සහ පිටිය, රට හරහා දිවීම, මාර්ග ධාවන සහ තරග ඇවිදීමයි.

අදාළ වසරේ ඉහත ඉසව්වලදී ඉහළතම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් අන්තර්ජාතික මලල ක්‍රීඩාවට සම්බන්ධ විශේෂඥ කමිටුවක් මඟින් තෝරා ගැනෙයි. මෙම කමිටුවට මහාද්වීප හයම සම්බන්ධය. අවසානයේදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකා පිරිස 10 දක්වා අඩු කරයි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකා දෙඅංශයන්ට 05 බැගිනි.

පසුව අවසානයේදී ඡන්ද විමසීමක් මඟින් ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාව තෝරා ගනු ලබයි. එහිදී ඡන්ද විමසීමට කොටස් 03 ක් සම්බන්ධවේ. මින් සියයට පනහක් ඡන්දය භාවිත කරන්නේ අයි.‍ඒ.ඒ.එෆ්. සභාවයි.‍ ඉතිරි සියයට විසි පහ බැගින් අයි.ඒ.ඒ.එෆ්. සාමාජික සාමාජිකාවන් සහ පොදු ජනතාව අතර බෙදී යයි. පොදු ජනතාව අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරති.

2018 වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩකයෝ 05 මෙසේය. ක්‍රිස්ටියන් කෝල්මන් (ඇමෙරිකාව), ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් (ස්වීඩනය), ඊලියුඩ් කිප්චෝගේ (කෙන්යාව), කෙවින් මායර් (ප්‍රංසය), අබ්ඩෙර්රහ්මන් සැම්බා (කටාර්)

ක්‍රීඩිකාවෝ 05 මෙසේය ඩීනා ඈෂර් ස්මිත් (බ්‍රිතාන්‍යය), බියට්රිස් චෙ‍ප්කොයෙච් (කෙන්යාව), කැටරින් ඉබාර්ගුයෙන් (කොලොම්බියාව), ෂෝනේ මිලර් යුයිබෝ (බහමාස්), නාෆිසාටොයු තියාම් (බෙල්ජියම)‍

මේ අතරින් 2018 වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකා මෙම සම්මාන උලෙළේදී සජීවීව හෙළිදරව් කරනු ඇත.

මෙම සම්මානය වැඩිම අවස්ථා ගණනකදී හිමිකර ගත් ක්‍රීඩකයා වනුයේ ජැමෙයිකාවේ යුසේන් බෝල්ට්ය. මීටර් 100 සහ 200 කෙටිදුර විශිෂ්ටතමයා ලෙසට සැලකෙන බෝල්ට් හට වසරේ ක්‍රීඩක සම්මාන 06 කි.

මේ සුවිශේෂී සම්මානය වැඩිම අවස්ථා ගණනකදී හිමිකර ගත් ක්‍රීඩිකාව වනුයේ රුසියාවේ යෙලේනා ඉසින්බායේවාය. රිටි පැනීමට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසට ඉසින්බායේවා සැලකෙයි. ඇයට මෙම සම්මාන තුනකි. ඇමෙරිකානු කෙටිදුර ධාවන ශූරියක් වූ මේරියන් ජෝන්ස් ද මෙම සම්මාන තුනක් හිමිකර ගත්තාය. එහෙත් තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා ඇයට එක් සම්මානයක් අහිමි විය.

මෙම වාර්ෂික සම්මාන උලෙළේදී ඇමෙරිකාවේ ‍ෆ්ලොරන්ස් ග්‍රිෆිත් සහ ජැකී ජොයිනර්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙති. ඒ ඔවුන් නෑණාවරුන් වන බැවිනි. ෆ්ලොරන්ස් විවාහ වී සිටියේ ජැකීගේ සොහොයුරා වන අල් ජොයිනර් සමඟිනි. එමෙන් ම ෆ්ලොරන්ස්ගේ පුහුණුකරුවා ව‍ූයේ බොබ් කර්සිය. ඔහු ජැකීගේ සැමියාය.

2018 නිර්දේශිත ක්‍රීඩිකාවෝ

ඩීනා ඇෂර් ස්මිත් (බ්‍රිතාන්‍යය)

1995 දෙසැම්බර් 04 උපත ලැබුවාය. මීටර් 100 සහ 200 කෙටි දුර ඉසව් නියෝජනය කරන්නීය. අඩි 5 අඟල් 5 ක් උසැතිය. 2018 යුරෝපීය ශූරතාවලියේ ත්‍රිත්ව රන් පදක්කම්ලාභිණියකි. ඒ මීටර් 100, 200 සහ 4 x 100 සහාය දිවීමටයි. 2018 පොදු රාජ්‍ය මණ්ඩල 4 x 100 සහාය රන් සහ මීටර් 200 ලෝකඩ පදක්කම්ලාභිණියයි. අයි.ඒ.ඒ.එෆ්. වාර්ෂික ඩයමන්ඩ් ලීග් ශූරතාවලියේ සමස්ත සහ මහාද්වීපික කුසලානයේ දෙවැනි ස්ථාන හිමිකර ගත්තා ය. ඒ මීටර් 100 ඉසව්වටයි. එමෙන් ම මේ වසරේ මීටර් 100 සහ 200 සඳහා හොඳම කාලය වාර්තා කළාය.

බියට්රිස් චෙප්කොයෙව් (කෙන්යාව)

1991 ජූලි 06 උපත ලැබුවා ය. අඩි 5 අඟල් 7 ක් උසැතිය. ඇගේ තරග ඉසව් වනුයේ මීටර් 3000 බාධක සහ මීටර් 1500 වේ. මෙම වසරේදී මීටර් 3000 බාධක ඉසව්වට නව ලෝක වාර්තාවක් පිහිටුවූවා ය. එහි කාලය විනාඩි 8 තත්පර 44.32 කි. මෙම වසරේ බාධක දිවීමේ ප්‍රධාන තරග 08 න් 07 ක් ම ජය ගත්තාය‍. 2018 පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 1500 ඉසව්වට රිදී පදක්කමකි. බාධක දිවීමේදී මහාද්වීපික, අප්‍රිකානු ශූරතාවලිය සහ ඩයමන්ඩ් ලීග් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරියයි.

කැටරින් ඉබාර්ගුයෙන් (කොලොම්බියාව)

1984 පෙබරවාරි 12 උපත ලැබුවා ය. අඩි 5 අඟල් 11 ක් උසය. තුන් පිම්ම සහ දුර පැනීම තරග ඉසව් වේ. මධ්‍යම ඇමෙරිකානු සහ කැරිබියානු ශූරතාවලියේ ද්විත්ව රන් පදක්කම්ලාභිණියයි. තුන් පිම්මට මේ වසරේදී අපරාජිතයි. ඒ අවසන් තරග 08 ක් ම ජය ගනිමිනි. මෙම වසරේ හොඳම දක්ෂතාවයත් ඇයටයි. මීට අමතරව මහාද්වීපික සහ ඩයමන්ඩ් ලීග් ශූරතාත් ඇය හිමිකර ගත්තා ය.

ෂෝනේ මිලර් යුයිබෝ (බහමාස්)

1994 අප්‍රේල් 15 උපත ලැබුවාය. අඩි 6 අඟල් 1 ක් උසැතියි. කෙටි දුර ඉසව් ශූරියකි. පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 200 ශූරියයි. ඉසව් 05 ක තරග 15 කදී අපරාජිතයි‍. මින් 13 ක් ම අවසන් තරග වේ. මහාද්වීපික කුසලානයේදී ත්‍රිත්ව රන් පදක්කම් හිමිකර ගත්තා ය. ඒ මීටර් 200, 4 x100 සහ මිශ්‍ර 4 x 400 ඉසව්වලටයි. මීටර් 200 ඩයමන්ඩ් ලීග් ශූරියයි. මෙම වසරේ ගෘහස්ථ මීටර් 150 සහ 300 හොඳම කාලය ඇය සතු ය. මීට අමතරව මීටර් 400 ඉසව්වට මේ වස‍රේ හොඳම කාලයත් ඇය සතු කර ගත්තාය. එය එම ඉසව්වට 2009 වසරෙන් පසුව වාර්තා වූ වේගවත්ම කාලයත් වේ.

නාෆිසාටොයු තියාම් (බෙල්ජියම)

1994 අගෝස්තු 19 උපත ලැබුවාය. අඩි 6 ක් උසය. සත් ප්‍රයාම සහ උස පැනීම ඇගේ ඉසව් වේ. ගිය වසරේදී මෙම සම්මානය හිමිකර ගත්තේ ද ඇයයි‍. සත් ප්‍රයාමයේදී ඇය මෙම වසරේ දී අපරාජිතයි. 2018 යුරෝපීය ශූරියයි‍. එමෙන් ම මෙම වසරේ හොඳම දක්ෂතාවයත් ඇය සතුය. උස පැනීමට ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව ඇයට තෙවැනි ස්ථානය හිමිය.

2018 නිර්දේශිත ක්‍රීඩකයෝ

ක්‍රිස්ටියන් කෝල්මන් (ඇමෙරිකාව)

1996 මාර්තු 06 උපත ලැබීය‍. අඩි 5 අඟල් 8 හමාරක් උසැතිය. මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන තරග ඉසව් වේ. ලෝක ගෘහස්ථ වාර්තාව පිහිටුවීය. මෙම වසරේ මීටර් 100 හොඳම කාලය වාර්තා කළේය. ලෝක ගෘහස්ථ මීටර් 60 ශූරයාය. මෙවර ඩයමන්ඩ් ලීග් මීටර් 100 ශූරයාය.

ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් (ස්වීඩනය)‍

1999 නොවැම්බර් 10 උපත ලැබීය. උස අඩි 5 අඟල් 11 කි. තරග ඉසව්ව රිටි පැනීමයි. මෙම වසරේ හොඳම දක්ෂතාවය දැක්වීය. එමෙන් ම මෙවර වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරයාය. මේ වනවිට 08 වතාවක් ම වයස අවුරුදු 20 න් පහළ ලෝක වාර්තා පිහිටුවා ඇත. මෙම වසරේ හොඳම දක්ෂතා ගෘහස්ථ (මීටර් 5.88) සහ එළිමහන් (මීටර් 6.05) වේ.

ඊලියුඩ් කිප්චෝගේ (කෙන්යාව)

1984 නොවැම්බර් මස 05 උපත ලැබීය. අඩි 5 අඟල් 5 ක් ‍උසැතිය. මැරතන් තරග ඉසව්ව වේ. මෙම වසරේ එංගලන්තයේ ලන්ඩන් සහ ජර්මනියේ බර්ලින් මැරතන් තරග ජය ගත්තේ ය. බර්ලින් මැරතන් තරගය ජය ගත්තේ පැය 2 විනාඩි 01 තත්පර 39 ක කාලයක් වාර්තා කරමිනි. එය නව ලෝක වාර්තාව වේ. 1967 වසරෙන් පසුව පිරිමි මැරතන් තරගයක වඩාත් වර්ධිතම ලෝක වාර්තාව මෙය වේ.

කෙවින් මායර් (ප්‍රංසය)

1992 පෙබරවාරි 10 උපත ලැබුවේ ය. උස අඩි 6 අඟල් 01 කි. සත්ප්‍රයාම සහ දශප්‍රයාම ඔහුගේ තරග ඉසව්වන්ය. දශප්‍රයාමයට නව ලෝක වාර්තාවක් මේ වසරේදී පිහිටුවීමට සමත් විය. එහි ලකුණු ප්‍රමාණය 9126 කි. පැරණි ලෝක වාර්තාවට ලකුණු 9045 කි. එය 2015 වසරේදී පිහිටුවූයේ ඇමෙරිකාවේ ඇෂ්ටන් ඊටන් විසිනි. මායර් මෙම වසරේ ලෝක ගෘහස්ථ ශූරයාත් විය. ඒ සත්ප්‍රයාමයෙනි.

අබ්ඩෙර්රහ්මන් සැම්බා (කටාර්)

1995 සැප්තැම්බර් 05 උපත ලැබීය. මීටර් 4 x 400 සහ මීටර් 400 කඩුලු මතින් දිවීම ඔහුගේ තරග ඉසව් වේ. මෙම වසරේදී මීටර් 400 කඩුලු තරග ඉසව්වට හොඳම කාලය වාර්තා කළේ ය. එය 1992 වසරෙන් පසුව එම ඉසව්වට වාර්තා වූ වේගවත්ම කාලයත් විය. අවසන් තරග 09 ක් ම අපරාජිතයි. 2018 ආසියානු ක්‍රීඩා උලෙළේ ද්විත්ව රන් පදක්කම්ලාභියෙකි.

ඒ මීටර් 400 කඩුලු සහ 4 x 400 තරග ඉසව්වලිනි. මෙම වසරේ මහාද්වීපික කුසලාන මීටර් 400 කඩුලු ශූරයාය. එමෙන් ම ආසියානු ගෘහස්ථ මීටර් 4 x 400 ශූරයාය. සැම්බා උපත ලැබුවේ සවුදි අරාබියේය. නමුත් ඔහු මුල් වරට ජාත්‍යන්තරව තරග කළේ අප්‍රිකානු රටක් වන මොරිටේනියාව නියෝජනය කරමිනි. එය ඔහුගේ පියාගේ රට වේ. සැම්බා කටාර් රාජ්‍යය නියෝජනය කරන්නේ 2016 වසරේ සිටය.

ප්‍රශාන්ත ඇල්පිටිය

අදහස්