ශ්‍රී ලංකාව විශිෂ්ටයන් අතර විශිෂ්ටයෝ වෙති | සිළුමිණ

ශ්‍රී ලංකාව විශිෂ්ටයන් අතර විශිෂ්ටයෝ වෙති

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් සංගමය සංවිධානය කල ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය 2018 පසුගිය 26 වැනිදා සිට 28 වැනිදා දක්වා තෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් විය. එහිදී විශීෂ්ටයන් අතර විශිෂ්ටයන් ලෙස අභිෂේක ලැබීමට ශ්‍රී ලංකාව සමත් වු අතර චන්ද්‍රීකා ද සිල්වා ජයග්‍රහණ ත්‍රීත්වයකට හිමිකම් කීමට සමත් විය.

ඉන්දුනීසියාව දෙවන ස්ථානයට වැඩිම ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත් වූ අතර ඉන්දියාව තෙවන ස්ථානයට වැඩිම ජයග්‍රහණ දිනාගැනීමට සමත් විය.

මෙරට ප්‍රථම වතාවට සංවිධානය වු ජාත්‍යන්තර ප්‍රවිණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියට ඉන්දියාව, චීනය, තායිවානය, ඉන්දුනීසියාව, මැකාවෝ, නේපාලය, නවසීලන්තාය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව හා සත්කාරක ශ්‍රී ලංකාව සහාභාගී වීය.

තරග 292ක් වෙනුවෙන් විදේශීය තරගකරුවන් 84 දෙනෙකු ඇතුලු තරගකරුවන් 300ක් සහාභාගීත්වයෙන් ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීති ප්‍රකාරව අවසන් විය. එහිදී වයස් කාණ්ඩ 9ක්( 35ට වැඩි, 40ට වැඩි, 45ට වැඩි, 50ට වැඩි, 55ට වැඩි, 60ට වැඩි, 65ට වැඩි, 70ට වැඩි, 75ට වැඩි) ය‍ටතේ තරග පැවැත් විය.

වයස අවුරුදු 45ට වැඩි කාන්තා යුගල තරගයෙන් විපුලි අබේසේකර හා රන්ජනී සෙනෙවිරත්න ජයගැනීමට සමත් විය.

වයස අවුරුදු 40ට වැඩි කාන්තා යුගල තරග ඉසව්වෙන් එච්. චන්ද්‍රිකා ද සිල්වා හා කෞෂල්‍යා දිසානායක ජයගත් අතර 65ට වැඩි පිරිමි යුගල තරගයෙන් රොහාන් ද සිල්වා හා ෆිට්ස් මෙයිනාකි ජයගැනීමට සමත් වූහ.

60ට වැඩි හා 65 වැඩි කාන්තා ඒකල තරග ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ වි‍ජයලක්ෂ්මී ජී. පුංචිහේවා ජයගැනීමට සමත් වු අතර 50ට වැඩි හා 55ට වැඩි කාන්තා ඒකල තරග ඉසව් දෙකෙන්ම ඩබ්ලිව් ශ්‍රීයානී දිපිකා ද සිල්වා ජයගැනීමට සමත් වූවාය.

40ට වැඩි හා 45ට වැඩි ඒකල තරග ඉසව් දෙකෙන්ම චන්ද්‍රිකා ද සිල්වා ජයගත් අතර 35ට වැඩි ඒකල තරග ඉසව්වෙන් උමන්ගා රත්නායක ජයගැනීමට සමත් වූවාය.

55ට වැඩි පිරිමි ඒකල තරග ඉසව්වෙන් ජනත් රෝහණ ප්‍රනාන්දු ජයගැනීමට සමත් වු අතර 50ට වැඩි ඒකල තරග ඉසව්වෙන් නිරෝෂන් විජේකෝන් ජයගැනීමට සමත් විය.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරු අජිත් වීරසිංහ තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර ජයග්‍රහකයන් උදෙසා පදක්කම් හා මුදල් ත්‍යාග හිමිවිය.

පළමු වරට ශ්‍රී ලංකාවේ පැවැති මෙම තරගාවලියට මුදලින් ඇමෙරිකානු ඩොලර් 7500 ක සමස්ථ ත්‍යාග මුදලක් පිරිනෑමීමට තරග සංවිධායකයන් කටයුතු සම්පාදනය කර තිබූ ඇති අතර තරගාවලියට සහභාගිවන සැම තරග කරුවෙකුටම වටිනා මැණික් ගල් පිරිනැමීමට රාජ්‍ය මැණික් සංස්ථාව ඉදිරිපත්ව සිටියේය.

තරගාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා සහාභාගී සිටි අතර අවසන් ජයග්‍රහකයන් ‍උදෙසා පදක්කම් හා සහතික පත් ප්‍රදානය සිදු වුයේ යුදහමුදාපති තුමන් අතිනී.

තරගාවලියටමොබිල් ලුබ්ලිකන්, 3M, රොවින් ක්‍රියේටිව් සර්විසස් හා වික්ටර් ඇන්ඩ් හෙලදිව් සමුහිත අනුග්‍රහකත්වය පිරිනැමෙන අතර රාජ්‍ය මැණික් සංස්ථා වද තරගාවලියේ සත්කරකත්වය වෙනුවෙන් දායක විය.

අදහස්