අගමැති පත් කරන ජනාධිපති මතය | සිළුමිණ

අගමැති පත් කරන ජනාධිපති මතය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතරය වන 113ක මන්ත්‍රී සංඛ්‍යාව තිබුණත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බව, මෙරට සිටින විදෙස් මාධ්‍ය නියෝජිතයන් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝකයටම ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම හා රාජ්‍ය පාලනයේ සම්ප්‍රදායයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික අදහසක් බවට එය සීමා කිරීම හෝ එසේ අර්ථ දැක්වීම වැරදි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනු ව්‍යවස්ථාව පරිදි ‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති වරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය‘ යැයි සඳහන් වේ. ඊට අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ගණන් බැලිය යුතු වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව බව පැහැදිලිය. මහජන වරම වෙතින් බලාපොරොත්තු වන දේශපාලන විශ්වාසය සමඟ ජනාධිපතිවරයාගේ මතය සමපාත වන බැවිනි. ජනාධිපතිවරයාගේ ‘මතය‘ හුදු පෞද්ගලික කාරණාවක් නොවේ ද යන සීමාන්තික රාමුවේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත රාජ්‍ය පාලන සම්ප්‍රදාය ගණන් බැලිය නොහැකි බව ඒ අනුව පෙනී යයි.

ජනාධිපතිගේ මතය ප්‍රමුඛ වීම

එසේ ගණන් බැලීම යනු අතිශය පෞද්ගලික එමෙන්ම උද්දච්ච මත ප්‍රකාශ කිරීමක් මිස පළල් දේශපාලන දැක්මකින් යුතුව අදහස් දැක්වීමක් නොවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායත් ක්‍රියාත්මක වීමේ දී ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු විය යුතු වීම මෙහිදී කිසි විටෙක අමතක නොකළ යුතු කාරණයයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයට අනුව ජනාධිපති ධුරය යනු ජනතා පරමාධිපත්‍යය සෘජුවම නියෝජනය කරන එකම අවස්ථාව වීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුයි.

විධායකය හෙවත් ජනාධිපති, ව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව හා අධිකරණය මෙරට රාජ්‍ය පාලනයට අදාළ මුදුන් කණු තුන වේ. දේශපාලන විද්‍යාවේ සඳහන් වන සංවරණ හා තුළන ආණ්ඩු ක්‍රමයක් යටතේ මේ ආයතන තුනට එකිනෙකා අභිභවා කටයුතු කළ නොහැකිය. එහෙත් විධායකය හෙවත් ජනාධිපති රටේ රාජ්‍ය නායකයා වන බැවින් ද, ජනාධිපති තෝරා ගනු ලබන්නේ ජනතා පරමාධිපත්‍ය සෘජුව පවරන මහජන ඡන්දයකින් වන බැවින් ද, පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පත් කෙරෙන මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගන්නා අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය විධායකයේ කොටසක් පමණක් වන බැවින් ද රාජ්‍ය නායකයා වන ජනාධිපතිගේ මතය ප්‍රමුඛ වීම ස්ථාවර රාජ්‍ය පාලනකට ද අත්‍යවශ්‍ය වන්නකි.

එසේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලධර්මය ම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් වේ.

පරමාධිපත්‍යයට හා රටේ දේශපාලනය

මෙම ව්‍යවස්ථාව ඇමරිකාවේ හා ප්‍රංශයේ ක්‍රියාත්මක ජනාධිපති ආණ්ඩු ක්‍රමවල එකතුවක් හෙවත් මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වන නමුදු පැහැදිලිවම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ලෙස එයින් වෙනස් වේ. රටේ දේශපාලන සම්ප්‍රදායට අනුව ද නිශ්චිත රාජ්‍ය නායකයා ජනාධිපති ධුරයෙන් ප්‍රකාශ වේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ කවර අයගේ කවර දේශපාලන අරමුණක් අරභයා වුව ද ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ එකී මූල ධර්මය අභිභවන්නට එයට ද නොහැකි විණි.

රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බවට ප්‍රකාශිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘මතය‘ ජනතා පරමාධිපත්‍යයට හා රටේ දේශපාලන ස්ථාවර භාවයට වැදගත් වන හා අදාළ වන ආකාරය තව දුරටත් පැහැදිලි කර ගැනීම වටී. ගෙවුණු වසර තුනහමාරක කාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ කටයුතු කළේ රටේ ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් යැයි පෙන්නුම් කෙරෙන ලෙස වීම සැලකිල්ලට ගැනීමත් මෙහිදී වැදගත්ය.

2015 ජනාවාරි 8වැනිදා පැවති ජනාධිපතිවරණයත් ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයත් විසින් ඉලක්ක කරන ලද දේශපාලන වැඩිපිළිවෙළක් තිබුණි. එහි හරය වූයේ යහපාලනය හා ශිෂ්ටසම්පන්න සාධාරණ සමාජයකි. ජනසමාජයේ සංහිඳියාවත් ජාතීන් අතර සහජීවනයත් එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂා කෙරිණි.

ලැබුණු ජනවරම

ජනාධිපතිවරයාට සෘජු ජනවරම ලැබුණේ ඊට අනුව රාජ්‍ය පාලනය ගෙන යෑමටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කිරීම සඳහා පෙළ ගැසුණු දේශපාලන බලවේගය නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය ද සිට ගත යුතුව තිබුණේ එම ඉලක්ක ගත රටට අදාළ පොදු වැඩපිළිවෙල පිණිසයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම මතය අනුව අගමැති තනතුරෙහි පිහිටුවනු ලබන්නේ ද එකී ජනතා වරමට අදාළ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙනි. අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය විධායකයේ කොටසක් ලෙස කල්පනා කොට ජනවරමට ගැළපෙන ජනාධිපතිවරයාගේ මතය අනුව යා යුතු වීම රට දේශපාලනව ස්ථාවර කරන මඟ විය.

දේශපාලන ප්‍රතිපත්තිය

ඒ මිස ජනාධිපතිවරයා බලයට ගෙන ආවේ තමන් බව කියා ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළ යුතුයි යනුවෙන් එක්සත් ජාතික පක්ෂය කල්පනා කළා නම් එය ඉතා පැහැදිලිවම ලැබුණු ජනවරමට පිටු පෑමකි. එහෙත් සිදු වූයේ ද එයමයි. දූෂණයට හා වංචාවට එරෙහිව කතා කළ දේශපාලන බලවේගය බලයට පත්වී මාසතුනක් ගත වෙන තැන, විශාල මුදල් මංකොල්ලයක් සිදු කළ බැඳුම්කර වංචාව ගැන අසන්නට ලැබුණි.

බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණයේ දූෂණ සහ වංචා ගණනාවක් මෙකල සිදුවූ බව රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බවට ප්‍රකාශ කළ විදෙස් මාධ්‍ය නියෝජිත හමුවේ දී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ ආකාරය මෙහිදී සිහිපත් කිරීම වටී. එයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකිරීමට ඇති ජනාධිපතිවරයාගේ මතය පැහැදිලිවම දේශපාලන ප්‍රතිපත්තියක් මත ගත් තීන්දුවක් මිස හුදු පෞද්ගලික අදහසක් දේශපාලනයට ඈඳා ගැනීමක් නොවන බවයි. ජනතා වරම මඟින් අපේක්ෂා කළ යහපාලනය, ශිෂ්ටසම්පන්න සාධාරණ සමාජය ගොඩනැඟිම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටින විට, විධායකයේ කොටසක් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්වීම තමා සතු වගකීමක් බව මේ ගත් ක්‍රියා මාර්ගයෙන් පෙන්නුම් කර ඇත. එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික මතය ප්‍රකාශ වීමක් නොව දේශපාලන ප්‍රතිපත්තිය මත ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයකි. ජනතා පරමාධිපත්‍යයට ගැළපෙන දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අදාළ වන ජනාධිපතිවරයාගේ මතය, විධායකයට සහය දක්වන අනෙක් දේශපාලන ආයතන කෙරෙහි ඇතිවන විශ්වාසය අනුව සකස්වීම ද වැළකිවිය නොහැකිය. එය සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අතරින අඛණ්ඩව ගලා යන සම්ප්‍රදාය ඇසුරිණි. ජනාධිපතිවරයාගේ මතය මෙන්ම විශ්වාසය ද ගොඩ නැඟෙන්නේ එම දේශපාලන සම්ප්‍රදාය ද ඇසුරුකර ගෙනයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථකථනය කෙරෙන විට ඒ අකුරු පේළි අතර රටට ආවේණික සංස්කෘතික කියවීමක් ද ඇති බව සිහි තබා ගත යුතුය.

ඝාතන කුමන්ත්‍රණය අලස දිසාවකට

ජනාධිපතිවරයා ඝාතනය කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රකාශ වූ විට එහි ඇත්ත නැත්ත සොයනවා වෙනුවට එය හුදු විහිළුවකට ගෙන එහි පරීක්ෂණ අලස දිසාවකට යොමු කිරීම ද හිටපු අගමැතිවරයා කෙරෙහි ජනාධිපතිවරයාගේ විශ්වාසය පලුදු වීමට බලපෑ බව ගම්‍ය වෙයි. මේ ආකාරයට ගෙනහැර දැක්විය හැකි කරුණු විසින් දිගින් දිගටම සනාත වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීන්දුව පැහැදිලිවම දේශපාලන හා ප්‍රතිපත්තිමය තීන්දුවක් බවයි. ඒ මිස එය කිසි විටෙක ජනාධිපතිවරයාගේ පෞද්ගලික අදහසක් ලෙස ලඝු කළ යුතු නොවේ.

විධායකයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අගමැති ඇතුළු ඇමති මණ්ඩලය ජනාධිපතිවරයාගේ මතය පරිදි පත් කළ යුතු වන්නේ පළමුව රටට අවශ්‍යවන දේශපාලන ස්ථාවර භාවය ආරක්ෂා වීම පිණිසයි. සෘජු මහජන ඡන්දයෙන් ජනිධිපතිවරයා පත් කෙරෙන මෙම ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ඇති වටිනා සිද්ධාන්තයක් වන්නේ ද එයයි. ජාතිවාදීව රට කැබලිවලට කඩා ගන්නට මාන බලන දේශපාලනයක් ක්‍රියාත්මක වන පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ මගින් ඉදිරිපත් කරන ලද යෝජිත විසිවැනි සංශෝධනය වැනි ව්‍යස්ථාවක්, ජනතා පරමාධිපත්‍යය මන්ත්‍රීවරු 225ක් අතරේ බෙදී ගිය පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට ඇති අවස්ථාවක්, රටේ ඒකීය භාවය වෙනුවෙන් වැළැක්වීමට ශක්තිය ඇත්තේ සෘජුවම ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන ජනාධිපතිවරයාගේ මතයටයි. එබැවින් අගමැතිවරයා ජනාධිපතිවරයාගේ මතය අනුව පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම රටේ දේශපාලන සම්ප්‍රදායට ද එකඟය. එමෙන්ම රටේ ඒකීය භාවය වෙනුවෙන් ද එය වැදගත්ය.

අගමැතිවරයා පත් කර ගැනීම

1978 දී ජනාධිපති ආණ්ඩු ක්‍රමය රටට හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, තම අගමැතිවරයා ලෙස ආර්. ප්‍රේමදාස මහතා පත් කර ගන්නේ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණ නිසාද? එසේ නැතිනම් තමන් විශ්වාස කළ දේශපාලන ස්ථාවර භාවය පිණිස තම මතයට අනුවද? ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා තම අගමැතිවරයා ලෙස ඩී. බී. විජේතුංග මහතා පත් කර ගත්තේ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණ නිසාද? එසේ නැතිනම් තම මතයට අනුවද? ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරයට පත් කර ගත්තේ එය තම මතය වූ නිසා නොවේද? එසේ නොමැතිව ඒ ගැන බහුතරයේ මතය විමසීමට ගියේනම් එතැනින්ම දේශපාලන අස්ථාවර භාවයක් පැන නගින්නට ඉඩ නොතිබුණිද? දෙවන වාරයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අලුතින් පත් වූ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළ ද ප්‍රතිපත්තිමය ගැටුමක් හටගෙන එම ආණ්ඩුවේ ද ස්ථාවර භාවය ගිලිහී ගිය ආකාරය මෙහිදී අවධාරණය කළ යුතුය. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ගත්තේ තම මතය අනුව අගමැති පත් කරන මඟයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රටේ පවතින එකී දේශපාලන සම්ප්‍රදාය ප්‍රතිපත්ති කාරණා මත ම අනුගමනය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරීම අත්හිටුවීම හෝ එයින් ඉවත් කිරීම හෝ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මුළුමනින්ම ව්‍යවස්ථානුකූල වනවා සේම රනිල් වික්‍රමසිංහ මහතා තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්නුව ද නැවත ඔහු එම ධුරයෙහි පිහිටුවන්නේ නැති බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබීම ද මේ අනුව මුළුමනින්ම ව්‍යවස්ථාවට එකඟ වේ.

ලක්ෂිත රාජතිලක

අදහස්