අලුත් මතයක් එක්ක අලුත් ආණ්ඩුවක් එන්නම ඕනෑ | සිළුමිණ

අලුත් මතයක් එක්ක අලුත් ආණ්ඩුවක් එන්නම ඕනෑ

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පසුගිය දිනක ප්‍රකාශයට පත් කර තිබුණා. මෙය අලුත් තත්ත්වයක් නේද?

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවා කියලා කිව්වත් කොහොමද එය කරන්නේ කියලා පැහැදිලි කර කිව්වේ නැහැ. ඒ අය කියන්නේ ඔක්තෝබර් 26 වැනිදාට‍ කලින් තිබුණ තත්ත්වයට පත් කරන්න සහයෝගය ලබාදෙන බවයි. ඒ තත්ත්වයට පත් කරන්න කිසිසේත්ම නොහැකියි.

එයට හේතුව අද ඇති වෙලා තියෙන්නේ අලුත් තත්ත්වයක්. එක් අතකින් ශ්‍රිලනිපය යහපාලන රජයෙන් ඉවත් වෙලා තියෙනවා. අනෙත් අතින් හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කර ති‍ෙයනවා. ඒ නිසා ඔක්තෝබර් 26 වැනිදාට පෙර තත්ත්වයට පත් කරන්න කිසි සේත් නොහැකියි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ මතු වී ඇති මේ අර්බුදය විසඳාගන්නේ කොහොමද?

අපේ රටේ 2015 මැතිවරණය අරගෙන බැලුව හොත් එහිදීත් එක්සත් ජාතික පක්ෂයට සහ පොදුජන එක්සත් පෙරමුණටත් 106 සහ 95 වශයෙනුයි ආසන හිමි වෙලා තිබුණේ. දෙමළ සන්ධානයට 16ක් ජනතා විමුක්ති පෙරමුණට 6ක් වශයෙනුයි ආසන හිමිකරගෙන තිබුණේ. මේ වන විට ලංකාවේ තිබුණ ප්‍රධාන දේශපාලන බලවේග දෙකට ම බහුතරයක් නැහැ කියන තැනයි මම ඉන්නේ. 2015 වර්ෂයේදී මේ බහුතර මන්ත්‍රීන් සංඛාවක් නැති අර්බුදය නිසා අපි ආණ්ඩුව හැදුවේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවෙලයි. එදා පක්ෂ දෙක එකට එකතු වෙන්න හේතුව තමයි ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතරයක් නොමැති කම. අදත් ඉන්නේ ඒ තත්ත්වයේමයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට 113ක බහුතර මන්ත්‍රි සංඛවක් පෙන්වීමට සුදානමින් ඉන්නවා.

එජාපය ඇතැමුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතර මන්ත්‍රීන් සංඛාවක් නොමැති බව ඔවුන් සඳහන් කරනවා. බහුතර මන්ත්‍රි සංඛාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වීමට නොහැකි වුවහොත් නව ආණ්ඩුවේ ඉදිරි ගමනට කුමක් වෙයිද?

කිසිදු දෙයක් සිදු වන්නේ නැහැ. මක් නිසාද යත්; ලෝකයේ ඕනෑ තරම් සුළුතර ආණ්ඩු තිබිලා තියෙනවා; ලංකාවෙත් තිබිලා තියෙනවා. ඒත් මේ තත්ත්වය රජයක් ගෙනියන්න බාධාවක් ලෙස සලකන්න බැහැ. මේක බාධාවක් ලෙස හුවා දක්වන පිරිසක් ඉන්නවා. ඒ අතරින් විශේෂයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව මෙහෙයවන ආකාරය සහ ඔහුගේ ක්‍රියාකලාපය නිසා මෙය දැවැන්ත අර්බුදයක් ලෙස නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට අග්‍රාමාත්‍යවරයගේ පත් කිරීමට එරෙහිව මන්ත්‍රී කණ්ඩායමක් රීට් ආඥාවක් ඉල්ලා තිබෙන ඇති අතර, එය මේ වන විට විභාගයට ගනිමින් තිබෙනවා.‍ ඒ පිළිබඳ තීන්දුවක් ලබාදෙන තුරු ඉහත කරුණ සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයට හැකියාවක් තිබෙනවාද?

මගේ නෛතික දැනුම අනුව ඒ වෙනුවෙන් රීට් ආඥාවක් ලබාගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තුවකට ඇමැතිවරුන් පත් කරන්නෙත්, අගමැතිවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පත් කරන්නෙත් ජනාධිපතිවරයායි. එවැනි තත්ත්වයක් මත ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රීට් ආඥාවක් ලබාගන්න පුළුවන්ද කියන දේ ගැටලුවක්. කෙසේ වෙතත් අධිකරණයට නඩු ගණනාවක් ඉදිරිපත් වෙලා ති‍ෙයනවා. අධිකරණය මේ සඳහා තර්ක කිීමට අපේ පාර්ශ්වයෙන් නීතිඥවරුන් පත් කර ති‍ෙයනවා. ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය පියවර ගනීවි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදෙන තුරු විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්න බැහැ කියලද ඔබ කියන්නේ? එසේනම් එය ව්‍යවස්ථාවට මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝගවලට පටහැණි ක්‍රියාවක් නේද?

පැහැදිලිවම. මේ අය දිගට ම ක්‍රියා කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝග නොතකා බව ඉතා පැහැදිලියි. මම හිතන්නේ ඒ පිළිබඳ ව මූලික තර්කයක් ඉදිරිපත් කරලා කිහිප දෙදෙනෙක් අධිකරණයට ගිහින් තියෙන නිසා සුදුසුකම් කෙසේ වෙතත් එය ඉල්ලන්න නෛතික හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවක් එවැනි අවස්ථාවක මේ වැනි කාරණාවක් පිළිබඳව සලකා බලන්නේ නැහැ. මේ විශ්වාස භංගය ගැන සුවිශේෂ වශයෙන් සඳහන් කළ යුතු වන කරුණක් තිබෙනවා. මේ අය ක්‍රියා කළේ ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැණිවයි. එයත් අපේ විරෝධතාවට විශේෂයෙන් බලපානු ලබන කරුණක්. ඒ විරෝධතාව නොතකා කථානායකවරයා ක්‍රියා කිරීම නිසා තමයි පාර්ලිමේන්තුව තුළ මෙවැනි කලබලකාරී තත්ත්වයක් උද්ගත වුණේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් පෙන්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නැහැ නේද?

මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකට ම ඇත්තේ සමාන පිරිසක්. එක්සත් ජාතික පක්ෂයට 82 ක් වැනි ප්‍රමාණයක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 82 ක් වැනි පිරිසක්. පසුගිය 2015 මැතිවරණයෙන් අනතුරුව මේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් නොමැති වීමේ මේ අර්බුදය මේ තත්ත්වය එදත් විසඳු‍ෙණ් ප්‍රධාන පක්ෂ දෙකේ බහුතර මන්ත්‍රී සංඛාවක් එකතු වීමෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමෙනුයි. මේ අනුව අද වන විට උද්ගතව තිබෙන තත්ත්වය වන්නේ ප්‍රධාන පක්ෂයක් ඉවත් වෙලා ති‍ෙයනවා ආණ්ඩුවෙන්. ඒ නිසා ඒ අර්බුදකාරී තත්ත්වය නැවත උදා වෙලා ති‍ෙයනවා. එවැනි තත්ත්වයක් මත මේ අර්බුදය මහ මැතිවරණයකින් කෙළවර කරනවා මිසක වෙනත් කිසිදු විකල්ප හෝ විසඳුමක් නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වෙලා තියෙනවා නේද?

මැතිවරණයක් කැඳවීමකින් තොරව මේ ගැටලුවට විසඳුමක් දෙන්න අමාරුයි. වෙන කුමක්ද අපට ගත හැකි විසඳුම? ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තියෙන්නේ. හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කිසිදු ප්‍රසාදයක් නැහැ. ඒ නිසා ඔහු පත් කිරීමට ජනාධිපතිවරයා කැමැති නැහැ. කථානායකවරයා විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව නිසි ආකාරයට කැඳවීමක් කර නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ බහුතරයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා තමාගේ බලතල පාවිච්චි කරලා තියනවා. ඒ බලතල අනුව ඉදිරියේදීත් සුදුසු කටයුතු ජනතාවට හිතකර ආකාරයට සිදු කෙරෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව මෙවැනි අවස්ථාවක සිදු විය යුතු කාරණාව සම්බන්ධයෙන් නීතිමය අර්ථ නිරූපණයක් සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් වෙලා ඉන්නවා.

යම් හෙයකින් මේ අවස්ථාවේදී මැතිවරණයක් කැඳවීම නුසුදුසුයි කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?

ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතරයක් පෙන්වීමට බැරි නම් එය හරිම සංකීර්ණ හා විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවට පත් වනවා. ඒ වගේම එය හරිම උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත් වනවා. බහුතරයක් දෙපාර්ශ්වයටම පෙන්වන්න බැරි වුව හොත් එය ව්‍යවස්ථාමය සේ ම රටේ අර්බුදයක් බවට පත් වනවා. ඒ හරහා නිර්මාණය වන ගැටලුව අපි කාටවත් නවත්තන්න බැහැ. මක් නිසාද යත්; අපේ ව්‍යවස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ අගමැතිවරයා ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන්නා සේම පාර්ලිමේන්තුව තුළ අණපනත් ආදියත් සම්පාදනය හා සම්මත කිරීම් සිදු කරගැනීමටයි. විශේයෙන් මෙහිදි මතු වෙලා ති‍ෙයන ගැටලුවක් වෙන්නේ ඊළඟ වසර සඳහා අය-වැය මුදල් පනත් අන්තර්ජාතික මුදල් ගනු-දෙනු සිදු වන කාලයක් මෙය. මහ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාව මතු වෙලා තියෙනවා.

මට තේරෙන හැටියට මහ මැතිවරණයක් සඳහා යා යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ඕනෑ. ඊට වඩා වෙනස් තීන්දුවක් අධිකරණයෙන් ලැබුණ හොත් නැවත වතාවක් සියල්ල පිළිබඳව සාකච්ඡාවට ගත යුතු බරපතළ ගැටලුවක් බවට පත් වනවා.

මෙය ව්‍යවස්ථාමය අර්බුදයක් නිසා උද්ගත වූ ප්‍රශ්නයක් ලෙසද ඔබ දකින්නේ?

මෙතැනදී අප තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ අපේ රටේ ව්‍යවස්ථාව කුමක්ද කියලා. අපේ රටේ ව්‍යවස්ථාව සැකසී ඇති ආකාරය කුමක්ද කියලා. අපේ රටේ ව්‍යවස්ථාව සැකසී ඇත්තේ විධායක බලතල මතයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දක්වා ජනාධිපතිවරයාගේ බලතල කුමක්ද කියා අප පැහැදිලි කර ගත යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපතිවරයකුගේ බලතල ප්‍රමාණයක් වෙනස් වුවත් විධායක ධුරයේ ඇති බලතල ඒ ආකාරයටම තියෙනවා. එ්ක වෙනස් කරන්න නම් 2/3ක පාර්ලිමේන්තු බහුතරයක් පමණක් නොව, ජනමත විචාරණයකටද යා යුතුයි. ජනාධිපතිවරයාගේ විධායක බලතල නිසයි එතුමා කැබිනට් මණ්ඩල ප්‍රධානියා බවට පත්වෙන්නේ; රටේ ප්‍රධානියා බවට පත් වෙන්නේ සහ ත්‍රිවිධ හමුදාවල අණ දෙන නිලධාරියා බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවන් පත් කිරීමේ ප්‍රධානියා හැටියටත් සලකන්නේ. ඔහු විසින් ඇතැම් පත් කිරීම් සිදු කරනවා කොන්දේසිවලට යටත්ව. පාර්ලිමේන්තුව කැඳවීම්, වාර අවසන් කිරීම්, විසුරුවා හැරීම් ආදි බලතල ඔහුට ති‍ෙයනවා.

මේ බලතල අනුව මෙය වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ ආණ්ඩුවක් නොවෙයි; මෙය විධායක ක්‍රමයේ ආණ්ඩුවක්. මේ ආකාරයේ පත් කිරීම්, අණ කිරීම් පැවැරී ඇත්තේ විධායක ජනාධිපතිවරයකුට ඇති බලතල මතයි.

විධායක ක්‍රමයේ ආණ්ඩුවක් නිර්මාණය වූ විට එ් විධායක ක්‍රමයේ ආණ්ඩුවට වඩා විධායක ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අගමැතිවරයා හෝ ව්‍යවස්ථාදායකය හෝ බලවත් කියලා තර්ක කිරීම වැරදියි. එය ජනගත කිරීමට උත්සහ කළහොත් එය වැරදි මතයක් සමාජගත කරන්නට උත්සාහ කරන අසාර්ථක උත්සාහයක්. මක් නිසාද යත්; ජනතාව තම පරමාධිපත්‍ය බලය වන ඡන්ද බලයෙන් පත් කරගත් ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ.

ඒ නිසා ඒ උත්සාහය අසාර්ථකයි. අගමැතිවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා ත්‍රිවිධ හමුදාපතිවරුන් පත් කිරීම ඇතුළු එවැනි පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා; ඔහුගේ බලතල අනුව. විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී කථානායකවරයා මේ කාරණාව පිළිඅරගෙන නිත්‍යනුකූලව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා නීත්‍යනුකූල ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කළ යුතුයි.

එසේ ඉදිරිපත් නොකරන නිසයි මේ කලබැගෑනිය සිදු වුණේ. පාර්ලිමේන්තුවේ ඔහුට ඇති බලතල අතික්‍රමණය කරමින් පාර්ලිමේන්තුවේ නැති බලයක් ඔහු ආරෝපණය කර ගැනීමට යෑමක් මෙහිදී දකින්නට ලැබුණා. දැන් එය ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. මේ ව්‍යවස්ථා අර්බුදය සැබැවින්ම රටක් විදිහට ගත් විට අහිතකරයි. මේ වන විට පාර්ලිමේන්තුව මෙහෙයවන කථානායකවරයා එකහෙළාම පක්ෂග්‍රාහිව මේ ව්‍යවස්ථා අර්බුදයට සම්පූර්ණ වගකීම දරන්නට ඕනෑ පැහැදිලිවම පක්ෂග්‍රාහියි. කටයුතු කරන කථානායකවරයායි. කථානායකවරයා පාර්ලිමේන්තුව නිසියාකාරව මෙහෙයවන්නෙ නැති නිසා ඇති වෙලා ඇති තත්ත්වය අධිකරණය දක්වා ගිහින් ති‍ෙයනවා.

මෙවැනි අවස්ථාවකදී කථානායකවරයාගේ භූමිකාව කෙබඳු විය යුතුයිද?

කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව නිසි පරිදි මෙහෙයවන්නේ නැති වීම නිසා ඇතිව තිබෙන තත්ත්වය දැන් අධිකරණය දක්වා ගිහින් තිබෙනවා. ඇත්තටම කථානායකවරයා ජනාධිපතිවරයාගේ තීන්දුව පිළිගෙන මැති ඇමැතිවරුන්ට අගමැතිවරයාට අවශ්‍ය ස්ථානය දීලා පාර්ලිමේන්තුවේ සංවිධායකවරුවන්ට හිමිතැන දීලා, ඉන් පස්සේ විස්වාසභංගයක් නිසි ලෙස ඉදිරිපත් කළා නම් මේ ගැටුම් මේතරම් දුරදිග යන්නේ නැහැ. මට හිතෙන්නේ ඔහුට අවශ්‍යකරලා තිබුණා ගැටුමක් නිර්මාණය කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැටුමක් ඇතිවෙලා තියනවා. කථානායකවරයා කටයුතු කරන්නේ සහ පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙන්නේත් නිත්‍යනුකූලව නොවෙයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවීමට කරන ලද ගැසට් නිවේදනය බලගැන්වීම හැර වෙනත් කිසිදු විසඳුමක් මට නම් දකින්න නැහැ.

විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ විධායක බලතල අභියෝගයට ලක් කර ඇති බවක් දක්නට ලැබෙනවා. ඇතැම් බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු කර ඇති බවත් ඔවුන් සඳහන් කරනවා?

ඔය ප්‍රකාශ නිකුත් කරන අයත් ජාතිවාදීන්; අන්තවාදීන්. මේ අය ව්‍යවස්ථාව කියවලවත් තියනවා ද කියන එක ගැන ගැටලුවක් තියනවා 19 ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපතිවරයාගේ බලතල අවම කරලා නැහැ; ඒවගේම අගමැතිවරයා බලසම්පන්න කරලා නැහැ. ජනාධිපත්වරයා සතු ඇතැම් බලතල කොමිසන් සභාවලට පැවැරීමක් පමණයි කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසින් විසුරුවීමක් කරනවිට බාධා කිරීමක් පමණයි කර තිබෙන්නේ; එසේ නැතිනම් කිසිම බලපෑමක් කරලා නැහැ. ජනාධිපතිවරයා විසිනුයි අගමැතිවරයා පත්කරන්නේ. මේ අය දෙන්න හදන්නේ වැරදි අර්ථ නිරූපණයක්. එය මේ හරහා බොහෝම පැහැදිලිවම පේනවා. ඔවුන්ට ඕන කරන්නේ මේ තත්ත්වය ඇති කරන්න. මේ අයගේ අරමුණ වෙනත් එකක්. ඒ අය කල්පනා කරන්නේ ඒ අයට වාසිදායක දෙයක් ඇතිකරන්න. ඒ අය දන්නවා ඒ අයට ඕන දේවල් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි කියලා. ඒකයි මේ අය රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන්නට උත්සාහ කරන්නේ.

ඇතැම් අයගේ අදහස මේ අර්බුදයට විසඳුම වන්නේ ජනමත විචාරණක් පැවැත්වීම බවයි?

ජනමත විචාරණයක් ගැන අපට මේ වෙලාවේ කතා කරන්න බැහැ. ජනමත විචාරණයක් එන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ආවාට පස්සේ. අනෙක් කරුණු සමඟ සසඳා බලා ජනමත විචාරණයකට සහ තුනෙන් දෙකක ඡන්දයකට යන්න ඕන. මෙවැනි දෙයක් කළ හැකි වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධ ගැටලුවකදි පමණයි; එසේ නොමැති නම් වෙන දෙයක් කරන්න බැහැ.

මේ ආණ්ඩු පෙරළියත් සමඟ එජාප තුළ දුර්වල වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට ශක්තියක් ලැබුණා කියලා ඇතැම් අය කියනවා?

එහෙමම දුර්වල වෙලා හිටියා කියලා කියන්නත් බැහැ. එජාපයට යම් ප්‍රමාණයක ජන්ද ප්‍රතිශතයක් මේ රටේ තියනවා. එය අප පිළිගත යුතුයි. ඒත් විශේෂ ජනප්‍රියත්වයක් හෝ ශක්තියක් මට පේන්නේ නැහැ. යම් යම් ආකාරයට පක්ෂයේ නායකත්වය හැසිරෙන ආකාරයටයි පක්ෂයේ දුර්වලතා ඇති වන්නේ. මේ රටේ ඉන්න විදේශීය ගැති බලවේග, තානාපති කර්යාලවලින් ඔහු ශක්තිමත්, ජනප්‍රිය පුද්ගලයකු බවට පත් කරන්න උත්සාහ කරනවා. අපට පෞද්ගලික වශයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ. මේ කිසිදු කෙනෙක් සම්බන්ධව පුද්ගලිකව අපෙට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ක්‍රියා කරනවාද නැද්ද කියන දේ සම්බන්ධව පමණයි. ඒ ප්‍රශ්නයේදි මේ අය ව්‍යවස්ථානුකූලව කටයුතු කළේ නැහැ.

මේ තත්ත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 07 වැනිදා ප්‍රකාශයට පත්වීමත් සමඟ එතැනදී ඒ තීරණය කුමක් වුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් විදියට හෝ ඉදිරි මැතිවරණය තෙක් රජය පවත්වාගෙන යා යුතුයි කියලා ඇතැමුන්ගේ අදහස වෙලා ති‍ෙයනවා. මේ තත්ත්වය මත අනාගත දේශපාලන දිශානතිය ඔබ දකින්නේ කොහොමද?

මැතිවරණයකින් පමණයි මේ ගැටලුව විසදන්න පුළුවන්. මෙයට දෙපාර්ශ්වයටම කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. කුමක්ද අප කරන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කරයි. කුමක්ද කළ යුතු වන්නේ කියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මේ රටේ අනාගත දිශානතිය තීන්දු වනවා. රටක ව්‍යවස්ථා අර්බුදයක් වෙලා ති‍ෙයනවා; ඒ අනුව ආයතන ක්‍රියාත්මක කිරීමත් ගැටලුවක් වෙලා ති‍ෙයනවා.

ආණ්ඩුවේ පැවැත්ම සහ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

රජය පවතිනවා; රජය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. රජය පවතින මුත් දේශපාලනමය ප්‍රශ්නයක් තියනවා. එය රජයටත් බලපාන ප්‍රශ්නයක්. බරපතළ ව්‍යවස්ථා අර්බුදය තවත් තීව්‍ර වෙනවා. කථානායකවරයා නීත්‍යනුකූලව ක්‍රියා නොකිරීමෙන් මේ අර්බුදය මතු වෙලා තියෙනවා. ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා, මේ රටේ ව්‍යවස්ථාදායකය,

විධායක හා අධිකරණය එකිනෙකා අතර එකඟතාවක් තියෙන්න ඕනෑ. ඒවගේම එකිනෙකා අතර සමාන්තර ක්‍රියාවලියක් තියෙන්නත් ඕන. එ් අනුවයි රට පාර්ලිමේන්තුව හුදෙක් ම තක්කඩි විදිහට තමයි මේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ක්‍රියා කළේ. මම නම් කියන්නේ ඔහු මේ අවස්ථාවෙදි ඉල්ලා අස් වෙලා, සුදුසු ගෞරවනීය පුද්ගලයකුට මෙය ලබාදෙනවා නම් හොඳයි. ඒ අවස්ථාවේදි පාර්ලිමේන්තුව ඉදිරියට යන්න පුළුවන්.

කථානායකවරයා ව්‍යවස්ථාවට පටහැණි ආකාරයට ක්‍රියා කරනවා නම්, එවැනි තත්ත්වයක් මත මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද?

ඒ නිසා තමයි මා මෙය ව්‍යවස්ථා අර්බුදයක් කියලා කියන්නේ. මේ වගේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවුණ පළවැනි වතාව මෙය. අපි නිතර උත්සාහ කළා ජනාධිපතිවරයාට බලතල වැඩියි; ඒ නිසා මේ බලතල එය වෙනත් කෙනකුට දෙන්න ඕන කියලා. ඒ ගනු ලැබු උත්සාහයයි ව්‍යවස්ථා අර්බුදයක් දක්වා ගමන් කළේ. විධායක ජනාධිපති ධූරයක් ඇති රටක ජනාධිපතිවරයාගේ බලතල අඩුකරනවා නම් එය ඉතා සංයමයකින් කළ යුතුයි. එවැනි දේ සංයමයකින් නොකරන ලද හැම අවස්ථාවකම පැනනැඟී තිබෙන අර්බුදය තමයි මේ ඇති වෙලා තියෙන්නේ.

මම කියන්නේ අප තේරුම් ගත යුතු කාරණයක් වන්නේ අපේ ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ප්‍රංස සහ ඇමරිකානු ව්‍යවස්ථාවන් අනුවයි. මගේ තර්කයක් තිබුණා අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය පත් වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවෙන් නොවෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කැබිනට් එකට සම්බන්ධ වෙනවා නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි කියලා මගේ තර්කය වුණා. අපි විධායකයේ කටයුතු විධායකයට කරගන්න දීලා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයේ කටයුතු කරගත්තා නම් මේ තත්ත්වය මීට වඩා හොඳ වෙයි කියලා මම හිතනවා.

ලංකාවේ දේශපාලන සිතියම ස්ථාවර වෙන්න නම් ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. පසුගිය කාලය දෙස බැලු විට රටේ ආර්ථික ප්‍රතිඵල රටට ගෙන ඒමට අසමත් වුණා. ප්‍රධාන ආයෝජන ගෙන ආවේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ගෙ ජීවන වියදම ඉහළ නැග්ගා. රුපියල අවප්‍රමාණ වුණා. බදු බර කර්මාන්ත සම්පුර්ණයෙන් ම නැවතුණා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල තත්ත්වය දුර්වල වුණා.අයෝජන ඇණ හිටියා. මෙවැනි අවස්ථාවක අලුත් ආණ්ඩුවක්; අලුත් මතයක් සමඟ පැමිණිමෙන් පමණයි; මේ රටේ අලුත් වැඩපිළිවෙළක් සමඟ වැඩකරන්න පුළුවන් වන්නේ.

අදහස්