ආණ්ඩුව පැවතුණේ රනිල්ගේ දක්ෂතාව නිසා නොවෙයි; ජනාධිපතිගේ දක්ෂකම නිසයි | සිළුමිණ

ආණ්ඩුව පැවතුණේ රනිල්ගේ දක්ෂතාව නිසා නොවෙයි; ජනාධිපතිගේ දක්ෂකම නිසයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ඩිව් ගුණසේකර 1986 සිට තෙවරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වත්මනෙහි සක්‍රීයව වමේ දේශපාලනයෙහි නිරත වන ජ්‍යෙෂ්ඨතම චරිතයක් වේ. වත්මන් දේශපාලනය පිළිබඳව දුරදක්නා නුවණකින් දකින හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණය රටේ අනාගත අරාජිකත්වය තුරන් කිරීමට බුද්ධිමත් තීරණාත්මක තීන්දුවක් ‍ලබා දෙතැයි පවසයි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ විරූ සිද්ධි දාමයක් පාර්ලිමේන්තුව තුළ ඇති කිරීමට පාර කැපු වත්මන් කථානායකවරයා පාර්ලිමේන්තුව අවුල් ජාලාවක් කිරීමට ඍජු ලෙසම දායක වූ බව සිළුමිණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පැවැසීය.

මේ ඇති වී තියෙන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය ඇති වෙන්න මූලිකම හේතුව තමයි මූල්‍ය අර්බුදයෙන් හටගත් ආර්ථික අර්බුදය. එම අර්බුදයයි දේශපාලන අර්බුදයක් දක්වා විහිදිලා තියෙන්නෙ. මේ ආර්ථික අර්බුදය ඇති වෙන්නෙ රට තුළ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිය නිසායි. එම ආර්ථික ප්‍රතිපත්තිවලට මූලික ලෙසම ආසන්න හේතු වගේම දුරස්ථ හේතු කාරණාත් තිබෙනවා.

එම දුරස්ථ හේතු ලෙස කීවොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එම ව්‍යවස්ථාවත් සමඟ හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වගේම බිහිවූ මැතිවරණ ක්‍රමය කියන මේ කාරණා තුනයි අද රට තුළ පවතින ආර්ථික අර්බුදය ඇති කර තිබෙන්නෙ. සරලව කීවොත් එම ආර්ථික අර්බුදය මේ වන විට රට තුළ බරපතළ ලෙස ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර තිබෙනවා.

එදා ජේ. ආර්. හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන සමයේ ලෝකයේ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය වගේම සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියත් පැවැතුණා. ඔය විවෘත ආර්ථිකය කියන නම මාධ්‍යයෙන් භාවිත කළ නමක්නේ. එහි විද්‍යාත්මක නාමය නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියයි. වැඩිදුරටත් කියනවා නම්, ධනපති ක්‍රමයේ නව උපායමාර්ගයක් තමයි එය. ඒ කියන්නෙ ප්‍රාග්ධනයට විමුක්තිය ලබාදීම හෙවත් නිදැල්ලේ හැසිරීමට ඉඩ ලබාදීමයි. ඊට කිසිදු ලෙසකින් රාජ්‍ය බලය ඇඟිලි ගැසීමක් සිදු වන්නෙ නැහැ. එම ආර්ථික ප්‍රතිපත්තිය ලෝකය පුරා වේගවත්ව ගලා ගියේ 1991 සෝවියට් සංගමය බිඳ වැටුණායින් පසුව. එම ආර්ථික ප්‍රතිපත්තිය අප රට තුළ වේගවත්ව ක්‍රියාත්මක වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කාල‍යේ. ජේ. ආර්. කාලේ කිසිදු ලෙසකින් පෞද්ගලිකරණය කියන සංකල්පයක් තිබුණේ නෑ. එය මෙරටට පැමිණියේ ප්‍රේමදාස කාලේ.

ජේ. ආර්.ගේ කාලේ වුණේ වෙළෙඳ ක්‍රමයේ ලිහිල් බවක් ඇති කිරීමයි. ජේ. ආර්.ගේ සැලැසුම් ක්‍රියාත්මක නොවුණේ 83 යුද්ධය නිසායි. කොහොම වුණත් ධනේශ්වර ක්‍රමය වුණත් සංවර්ධන ක්‍රමයක්. එහි බෙදී යෑම අතින් ධනපති පන්තියට වාසියක් ඇති. එහෙත් අද ඇමෙරිකාව, යුරෝපා රටවල් සංවර්ධනය වෙලා තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය මඟින්. අපි එය බැහැර නොකළ යුතුයි. නමුත් ජේ.ආර්.ට එම ක්‍රමය ඉදිරියට ගෙන යෑමට නොහැකි වුණේ 83 සිට 89 දක්වා පැවැති යුදමය වාතාවරණයයි.

පසුව රට තුළ පැවැති යුද්ධයත් සමඟ කිසිදු සංවර්ධනයක් සිදු වුණේ නැහැ. ඒ කියන්නෙ 78 සිට 2009 දක්වා මහවැලිය පමණයි සංවර්ධන ව්‍යාපෘතියක් සිදු වුණේ. 2009 යුද්ධය අවසානයත් එක්ක මහින්ද ජනාධිපතිතුමා යම් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ කාලයේ තමයි නිදහසින් පසුව සිදුවූ වේගවත්ම සංවර්ධන වැඩපිළිවෙළ සිදුවුණේ. අධිවේගි මාර්ග, වරායවල්, ආදි නොයෙක් ලෙසින්.

නමුත් මූලික ප්‍රශ්න කිසිවක් විසඳුණේ නෑ. ඒ කියන්නෙ සමාජයේ දරිද්‍රතාව, ආදායම් පරතරය ආදිය. ඒ සියලු දේටම බලපෑවේ ජේ.ආර්.ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඉන් සිදුවුණේ රජයේ ආදායම් බිඳ වැටීමයි. මං ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස සිටි 2005 සිට 2015 කාලය තුළදී හැමදාම කැබිනට් එකේ සටන් කළා රජයේ ආදායම් වැඩි කරගැනීමට. මං ඒ අවස්ථාවල පෙන්වා දුන්නා රජයේ ආදායම් වැඩි නොවුණහොත් අනිවාර්යයෙන්ම රට ආර්ථික අර්බුදයකට යන බව.

බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්.ට රට බාර දෙන විට දළ දේශීය නිෂ්පාදිතය 24%යි. අද සියයට දහයයි. මේකෙන් වෙලා තියෙන්නෙ භාණ්ඩාගාරයට මුදල් නැති වීමයි. අද භාණ්ඩාගාරයට ලැබෙන මුදලින් රජයේ සේවකයන්ගේ පඩි ගෙවලා, විශ්‍රාම වැටුප් ගෙවලා, එදිනෙදා වැඩ ටික කරගන්නත් අමාරුයි. ඉතින් මුදල් නැති නිසා රට තුළ සංවර්ධනයක් නෑ. මිනිසුන්ට අවශ්‍ය සෑම දෙයක්ම සිදුවන්නෙ රට ඇතුළින් වගේම ජාත්‍යන්තරයෙන් ණයට ගෙනයි. අද වන විට අපනයනවලට වඩා ආනයන වියදම් දෙගුණයක්. මේ වන විට රජය ඩොලර් බිලියන 53ක් ජාත්‍යන්තරයට සේම රට ඇතුළින්ද ණයට ගෙන තවත් රුපියල් ට්‍රිලියන් 10ක් ණයයි.

ඒ නිසා මං කියන්නෙ රජයේ ආදායම් බිඳ වැටීමයි මේ අර්බුදයට ප්‍රධානම හේතුව. මේ ආර්ථික අර්බුදය තමයි අද දේශපාලන ක්ෂේත්‍රයෙන් පිළිබිඹු වන්නෙ. එය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනාව රජයට විරුද්ධව ජනතාව ඡන්දය පාවිච්චි කොට පෙන්වූවා‍.

එදා රනිල් අගමැති වුණාට ඔහුට කිසිදු බලයක් තිබුණේ නෑ. මන්ත්‍රීවරු 40 ගානයි හිටියේ. තුනෙන් දෙකක බලයක් අනෙක් පැත්තට තිබුණා. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු හැම දේකටම ශ්‍රීලනිපය ඇතුළු විපක්ෂය ඡන්දය ප්‍රකාශ කළා. අන්න ඒ දේ රනිල් වික්‍රමසිංහ අද අමතක කරලා. රනිල්ට එදා ඒ විදිහට ශ්‍රීලනිපයේ අයගේ කැමැත්ත ලබා ගැනීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ සභාපතිකම ජනවාරි 10 වැනිදාම මෛත්‍රී ජනාධිපතිතුමාට බාර දුන් නිසායි. ඒක නිසා එදා ආණ්ඩුව පැවැතියේ රනිල්ගේ දක්ෂතාව නිසා නොවෙයි ජනාධිපතිවරයාගේ දක්ෂකම නිසායි. ඒ නිසා තමයි 2015 අගෝස්තු වෙන කල් කිසිදු කරදරයකින් තොරව රජය ඉදිරියට ගියේ.

එහෙත් ඔය අතරේ ජනපති සහ අගමැති අතර ප්‍රතිපත්ති ගැටුම් ඇතිවුණා. ආර්ථික අර්බුදයත් සමඟ හටගත් ඒ සියලු ගැටුම්වලට විසඳුම් ලෙසයි ජනාධිපතිවරයා දේශපාලන විසඳුම් තුනක් ගත්තේ.

එක, අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයකු පත් කිරීම. දෙක, පාර්ලිමේන්තුව වාර කල් දාන්න. තුන, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නව අගමැතිවරයකු පත් කිරීමේදී කරුට හෝ සජිත්ට ගන්න කීවා. ඔවුන් බෑ කියලා. අන්තිමට ගන්න තියෙන එකම විසඳුම ජනපතිවරයා ගත්තා.

ජනපතිවරයා ගත් තීන්දු තීරණවලට ඍජු ලෙසම බලපා තිබෙන්නේ 19 වැනි සංශෝධනය පමණක් ගෙන ඒම බවත්, 20 වැනි සංශෝධනය සම්මත කර තිබුණා නම් මේ කිසිවක් සිදු නොවන බව පවසන ඩිව් ගුණසේකර මහතා,

රනිල් කළේ 19 වැනි සංශෝධනය ගෙනල්ලා ජනපතිගේ බලතල අඩු කරලා ඔහුට බලයක් ලබා ගැනීමට තැත් කිරීමයි. ඒත් ඔහුට කිසිදු බලයක් නෑ. මේ සියලුම ගැටුම් ඇති කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. යහපාලන ආණ්ඩුවේ තිබූ තීරණ දෙකක් තමයි වහා 19 වැනි සංශෝධනය සහ 20 වැනි සංශෝධනය ගෙන ඒම.

එදා අගෝස්තුවල ඡන්දයකට යෑමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර 19 සහ 20 ගෙන ඒමටයි තිබුණේ. 20 කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් විසුරුවා හැරීමට පෙර 20 ගෙනාවේ නෑ. හිතාමතා ‍නොගෙනාවද, ඇයි එය නොගෙනාවේ කියන දේ ගැන මම නිශ්චිතවම දන්නෙ නෑ. කෙසේ හෝ ආණ්ඩුව එය ගෙන ඒමට උනන්දුවක් දැක්වූයේ නෑ. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි උනන්දු වුණේ. අන්න ඒ 20 වැනි සංශෝධනය ගෙනල්ලා තිබුණා නම් බොහෝ විට අද මේ අර්බුදය ඇති නොවෙන්න තිබුණා. ඒ කියන්නෙ රජයට බහුතරයක් නැති නම් මැතිවරණයකට යෑමයි එමඟින් සිදු වන්නෙ.

ඇත්තටම 19 සංශෝධනයට මමත් ඡන්දෙ දුන්න කෙනෙක්. එහි යහපත් දේවල් තියෙනවා... ස්වාධීන කොමිෂන් සභා වැනි ඉතාම හොඳ දේවල්. මට මතකයි, රනිල් මෙය සම්මත කරන වේලාවෙ නොයෙක් ‍නොයෙක් අර්බුද මතු කරලා පාර්ලිමේන්තුවෙන් නැඟිටලත් ගියා. ජනාධිපතිතුමා ඇවිල්ලයි අර්බුදය සමනය කළේ.

කෙසේ හෝ මේ 20 වැනි සංශෝධනය ගෙනැවිත් සම්පූර්ණ නොවූ නිසායි මේ ගැටලුකාරි තත්ත්වය අද උදාවෙලා තියෙන්නෙ. මේ ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයකට පරිවර්තනය වීමයි. එහෙත් සිදුවුණේ එම පරිවර්තනයේ මැදට පැමිණ නැවතීමයි. අන්න ඒ නිසායි අයහපතක් වගේම අවිනිශ්චිත බවක් රට තුළ ගොඩනැඟුණේ.

මේ තත්ත්වය ලෝකෙ කොහේවත් නැහැ. ඒ වගේම 78 ව්‍යවස්ථාවත් ලෝකෙ කොහේවත් නෑ. ඒ කියන්නෙ රාජ්‍යයේ, ආණ්ඩුවේ, අමාත්‍ය මණ්ඩලයේ වගේම ත්‍රිවිධ හමුදාවේ නායකයා තනි පුද්ගලයකු වන ක්‍රමයක් තියෙන්නෙ අපේ රටේ විතරයි. හැබැයි තේරුම්ගත යුතු තත්ත්වය තමයි 19 වැනි සංශෝධනය වූවත් අගමැති පරණ තත්ත්වයේම කියා. ඒ කියන්නෙ කවුරුන් හෝ කියනවා නම් අගමැතිට බලය තියෙනවා කියා. එහෙම දෙයක් නෑ අගමැති තවමත් ඇමැති මණ්ඩලයේ තවත් එක් ඇමැති කෙනෙක් පමණයි. අගමැතිට කිසිම විශේෂ බලයක් නැහැ.

ආණ්ඩුවේ සහ කැබිනට් එකේ නායකයා තවමත් ජනාධිපතියි. නමුත් මේ මිනිස්සු උපකල්පනය කරනවා 19න් ජනපතිගේ බලය අඩු වුණා... දැන් එයා ආණ්ඩුවේ නායකයා නෙවෙයි කියා. එය වැරැදියි... පොතේ හැටියට එහෙම වෙලා නෑ. ඒ බලය අගමැතිට ලැබෙන්නෙ 20 වැනි සශෝධනයෙන් පමණයි.

ඒ 20 වැනි සංශෝධනය නොකර සිටියේ ඇයිද කියාත් අහන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් තමයි. මොකද ඔහුටත් තිබුණාද දන්නෙ නෑ විධායක ජනාධිපති වීමේ සිහිනයක්. එහෙම වුණා නම් ඔය දැන් අගමැති බලතල කතා කරන කෙනා විධායක ජනාධිපති ක්‍රමයට උඩින්ම කැමැති වේවි.

මේ තිබෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැක්කෙ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. නීති විද්‍යාව අනුව රටේ පවතින තත්ත්වයත් තේරුම්ගෙන තීන්දුව දිය යුතු යැයි මම හිතනවා. ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් දෙයි ජනපතිට බලය තියෙනවාද නැද්ද කියා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීරණයක් දුන්නත් එය සියලු දෙනා පිළිගත යුතුමයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අර්බුදය දිග්ගැසුණොත් චෝදනාව එන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

යම් විදිහකින් ජනාධිපතිතුමා නිවැරැදියි කියා තීන්දුව දුන්නොත් අර්බුදය නිම වෙයි. ජනපති වැරැදියි කීවොත් ඔන්න නැවතත් විධායක සහ ව්‍යවස්ථාදායකය අතර විශාල ගැටුමක් ඇති වෙනවා. ඒ තත්ත්වය මුළුමනින්ම රට අරාජිකත්වයට රැගෙන ගොස් සිවිල් යුද්ධයක් දක්වාත් දුරදිග යන්නට ඉඩ තියෙනවා...

මොකද මහමැතිවරණයකට යන්නත් බෑ. අර්බුදය විසඳන්නෙත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳීමටත් බැරි වුණා... අන්තිමට මහජනයා නීතිය අතට ගනීවි.

ඇත්තටම පාර්ලිමේන්තුව අවුල් කළේ කථානායකවරයා. මම නම් දැක්කෙ නෑ මේ වගේ කථානායකවරයෙක්. මම කථානායකවරු දහදෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා, ඒ වගේම මුළු පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම කථානායකවරුන් දුන් තීන්දු තීරණත් මම අධ්‍යයනය කරලා තියෙනවා. ඔහුගේ පළමු මාධ්‍ය නිවේදනයෙන් කිව්වා නව අගමැතිවරයා පිළිගන්නා බවත් අවශ්‍ය ආසන පහසුකම් සලසන බවත්. ඒ අනුව ආසනයත් ලබා දුන්නා. පස්සෙ මොකද වුණේ. සුමන්තිරන් ස්ථාවර අණපනත් අත්හිටුවන්න යෝජනාවක් ගෙනාවා. අන්න එතැනින් තමයි වැරැද්ද වුණේ. මං හිතන්නෙ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිදු දිනෙක ස්ථාවර නියෝග අත්හිටුවීමක් විපක්ෂයෙන් සිදුවෙලා නෑ.

මං මේ සියලු දේ ගැන පසුගියදා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු වූ නිහාල් සෙනෙවිරත්නගෙන් විමසුවා. ඔහු කියනවා, 'අදහාගන්න බෑ කථානායකවරයාගේ හැසිරීම' කියා. ඒ වගේම පාර්ලිමේන්තුවට තිබෙන බලය පිළිබඳව ජනපති ප්‍රේමදාස සමයේ වූ සිදුවීමක්ද නිහාල්, මට සිහිපත් කළා.

දවසක් උතුරේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩු පැත්තට අරගෙන දිවුරුම් දීමට අවශ්‍ය වෙලා. ඉතින් ජනාධිපති ප්‍රේමදාස රාත්‍රියේම නිහාල් සෙනෙවිරත්නට කතා කරලා කියලා, ‘නිහාල් මට මේ මන්ත්‍රීවරයාව හෙට උදේම දිවුරුම් දෙන්න අවශ්‍යයි කියා...“ ඒ වෙලාවෙ නිහාල් කියලා, 'ඒක මට කරන්න බෑ... ස්ථාවර නියෝග අනුව එය ලිපියකින් දැන්විය යුතුයි වගේම න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතුයි... දිවුරුම් දීම සූදානම් කිරීමත් කළ යුතුයි කියා.' ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ දේවල් පිළිඅරන්.

එදා ප්‍රේමදාස ජනපතිවරයා ඒ මන්ත්‍රීවරයා අරගෙන මොකක් හෝ දේශපාලන උප්පරවැට්ටියක් කරන්න හදලා තියෙන්නෙ. ඒත් ඒ දේ වුණේ නෑ. අන්න ඒ වගේ ස්ථාවර අණපනත් තිබෙන්නෙ පාර්ලිමේන්තුවේ ගෞරවය, විනය, ශික්ෂණය රකින්නයි. එසේම ස්ථාවර අණපනත් කියන්නෙ මුළු 225ම එකතු වෙලා පාර්ලිමේන්තුව ගෙන යෑමට සකස් කරගත් එකක්. මෙදා මොකද වුණේ මුළු ස්ථාවර අණපනත් පද්ධතියම අත්හිටුවලා. සමහර වෙලාවට ස්ථාවර අණපනත් අත්හිටුවනවා පාර්ලිමේන්තුව කල් තබන විට, ඒ එම ඡේදය පමණයි. මුළු පද්ධතියම අත්හිටුව්වා කියන්නෙ, ස්ථාවර අණපනත්වල ඇතුළත් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට අඳින පලඳින ඇඳුමේ සිට වාඩි වන ආකාරය ගැනත්. කාන්තාවක්නම් අනිවාර්යයෙන්ම සාරියක් වගේම පිරිමියෙකු නම් ජාතික ඇඳුම හෝ ටයිකෝට් ඇඳිය යුතුයි වැනි දේ. නමුත් එම ස්ථාවර අණපනත් අත්හිටුව්වාම, ඕන කෙනෙකුට ඕන ඕන විදිහට එන්න පුළුවන්. ඒ කියන්නෙ තනිකරම පිස්සන් කොටුවක් හා සමානයි. කථානායක විසින් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් කොට ‘උඹලා ඕනෙ ඕනෙ විදිහට හැසිරියන්‘ කිව්වා හා සමානයි.

මොකද ස්ථාවර අණපනත් අත්හිටුවලානේ. ඒ නිසා මේ ඇතිවූ තත්ත්වය පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ ඛේදනීයම තත්ත්වයක්. එදා එම යෝජනාව ගෙනා සුමන්තිරන් කියන්නෙ නීතිඥයෙක් වුණාට පාර්ලිමේන්තු අත්දැකීම් තියෙන කෙනෙක් නෙවේනෙ. ඔහුට කරන්න තිබුණේ අවශ්‍ය කෑල්ල පමණක් අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ඒමයි.

එදා කථානායකට කරන්න තිබුණේ මෙච්චරයි, සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ නීතියට වඩා සම්ප්‍රදාය බලවත්. එදා පාර්ලිමේන්තුව රැස් කළේ සැසිවාරය කල් තැබීමෙන් පසුවනේ. ජනපතිගේ ප්‍රකාශය කියවීමෙන් අනතුරුව පක්ෂ නායකයන්ගේ එකඟතාව මත සභානායක විසින් සභාව කල් තැබීමේ යෝජනාව ගෙන ඒමෙන් පසුව සභාව කල් තැබීමයි කරන්න තිබුණේ. එදාට වෙන දෙයක් නැහැ. පසුව තේරීම් කමිටු හැදීමෙන් අනතුරුවයි සියලු වැඩ කෙරෙන්නෙ. ඉන්පසුවයි විශ්වාසභංග යෝජනාවක් ගෙනෙනවා නම් එය න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඒ අවශ්‍ය ක්‍රියාපටිපාටියට අනුව කටයුතු සිදුවන්නෙ.

නමුත් මම නම් දන්නෙ නෑ මේ කථානායකවරයා කවුරුන් විසින් මෙහෙයවූවාද කියා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රණ්ඩු වෙනවා නම් කථානායක පාර්ලිමේන්තුව වහා අත්හිටුවායැයි පවසා නැඟිට යා යුතුයි. එය ස්ථාවර අණපනත්වල තිබෙනවා. ඒත් පසුගිය දිනවල සිදුවුණේ මොකක්ද, සියලු දේටම කථානායකත් සම්බන්ධ වුණානේ. ඔහු කථානායක තනතුරේ පමණක් නො‍ව සභාවේ ගෞරවයත් කෙලෙසුවා.

නමුත් සම්ප්‍රදායානුකූලව මහින්ද අගමැතිවරයා විශ්වාසභංගයෙන් පරාජය වුණා නම් ඔහුට ඉවත්වෙලා යන්න සිදු වෙනවා. එහෙත් ඒ දේවල් සිදු නොකොට කඩිමුඩියේ මෙහෙම කළේ අරලියගහ මන්දිරෙන් ඔහුට ලැබුණ 'ඕඩර්' නිසා වෙන්නට ඇතැයි මං හිතන්නෙ. ඒ වගේම කථානායක ඇතුළු ඒ සියලු දෙනාටම වුවමනා මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කිරීමත් බව පෙනෙනවා. ඒක නිසානේ කථානායක සියලුම තානාපතිවරුත් පාර්ලිමේන්තුවට කැඳවලා තිබුණේ.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට බහුතරය නැති බව එජාපය පවසනවා නම් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාටද බහුතරය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මේ ජවිපෙ අය ටීඑන්ඒ අය මහින්ද අගමැතිවරයා ධුරයෙන් පහ කරන්න එකඟ වුවත් රනිල් අගමැතිවරයා කිරීමට කිසිදු අවස්ථාවක එකඟතාවක් පළ කරලා නැහැ. ඔහුට ඉන්නෙත් සියයක පමණ පිරිසක්. එම නිසා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට ඔහුටද කිසිදු අවස්ථාවක් නැහැ.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්