කථානායකවරයාට හඬ අනුව ඡන්දය විමසන්න පුළුවන් | සිළුමිණ

කථානායකවරයාට හඬ අනුව ඡන්දය විමසන්න පුළුවන්

කථානායකවරයා පක්ෂග්‍රාහී බව පවසමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ කෙසේද?

කථානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන අය තමයි තමන්ගේ මතයට පක්ෂ නොවූ නිසා පක්ෂග්‍රාහී බව පවසමින් ඉන්නෙ. මේ සදාචාර විරෝධී කුමන්ත්‍රණය වහගන්න කථානායකවරයා පක්ෂග්‍රාහී බව පවසමින් කතා කරන අයගේ අර්ථ විග්‍රහය අනුව පේනවා ඔවුන් කොයි තරම් දුර්වල වෙලා ද කියලා. කථානායක ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව පැහැදිලිව කියනවා.

ආණ්ඩුවකට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් වැනි කටයුත්තකදී හඬ අනුව කටයුතු කිරීම සුදුසු නොවන බවට ජනාධිපතිවරයාත් කරුණු දක්වා තිබුණා.

ජනාධිපතිවරයාට අවශ්‍ය විදිහට නෙමෙයි පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වන්නේ. සරලව කියන්න තියෙන්නෙ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට හඬ අනුව ඡන්දය විමසන්න පුළුවන්.

123ක් බහුතරයක් ආණ්ඩුවට එරෙහිව අස්සන් දුන් බව ඔබ කිව්වා. එයින් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවක්?

මෙතැන සිදු වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා මෙරට මූලික නීතිය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්. එහෙම නැතිව අපට කිසිම පක්ෂයක් දිනවන්න හරි පරාද කරන්න හරි අවශ්‍යතාවක් නැහැ. මූලික නීතිය කඩන අය නීතියට ගරු කරන අයට විරුද්ධ ලේබල් ගහනවා.

මහින්ද අමරවීර මහතා පසුගිය දිනෙක ප්‍රකාශයක් කර තිබුණා එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙකම එක් න්‍යාය පත්‍රයකට වැඩ කරන කතාවක්. ඒ ගැන මොකද කියන්නෙ.

මහින්ද අමරවීර වගේ අය පෙරළුණ පිට හොඳයි කියන අය‍නෙ. අපි එතුමාගෙන් අහන්නෙ පසුගිය මැයි මාසේ රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය ගෙනාපු වේලාවෙ කාට ද ඡන්දය දුන්නෙ කියල‍ා. රනිල් වික්‍රමසිංහ බේර ගත්ත විශ්වාසභංගය පරාද කරන්න ඡන්දය දීපු මහින්ද අමරවීර අද අපට චෝදනා කරනවා. අපට කියන්න තියෙන්නෙ එයාලට ලැජ්ජ නැති වුණාට අපට ලැජ්ජාවක් තියෙනවා. එදා රනිල් රැක්කා. අද නීති විරෝධීව පත්වුණු මහින්ද අගමැතිව රකිනවා‍. එයාලට ප්‍රතිපත්තියක් නැති වුණාට අපට ප්‍රතිපත්තියක් තියෙනවා.

මේ වන විට පාතාලය මෙන් ම ආවා කල්ලිය යම් නිහඬතාවට පත්වෙලා. සුළු සිදුවීම් හැරෙන්නට දරුණු අපරාධ සිදුවන්නේ නැහැ. ආවා නායකයා බාර වුණා. මේ සිදුවීම් නිසා මහින්ද අගමැතිවරයාත් පැමිණීම රටේ නීතිය ආරක්ෂා වන බවක් පෙන්නුම් කරන්නේ නැද්ද?

පාතාලය නිහඬ වෙලා කියන කතාව නම් අපට පෙනෙන්න නෑ. පාතාලයත් එක්ක වැඩ කරපු චණ්ඩි මල්ලිලාත් එක්ක වැඩ කරපු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ දේශපාලනය කරපු අවනීති මජර කල්ලි කවුද කියල පාර්ලිමේන්තුව ඇතුළේ පෙන්නුවානෙ. ඒ නිසා ඒ ගොල්ල ගෝලයනට කියලා ඇති මේ දවස්වල මුකුත් කරන්න එපා ටිකක් යන්න දෙන්න කියලා.

රාජිත සේනාරත්න මහතා පසුගිය කාලයක පවසා තිබුණා. මහවිරු සමරුව වරදක් නැහැ කියලා. ඉල් මහ සමරුව පවත්වන්න හොඳ නම් ඇයි උතුරේ මිය ගිය රටේ අය සමරන්න බැරි කියලා. ජනතා විමුක්ති පෙරමුණ දෙන පිළිතුර කුමක්ද?

ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් නෙමෙයි. ආණ්ඩුව විසින් ඝාතනය කළ විරුවන් සැමරීමයි අද කරන්නේ. මේක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න අප දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ සටන් වැදුණු වීර කැප්පෙටිපොළ, ගොන්ගාලේ ගොඩබණ්ඩා වගේ අය අදත් අපි සිහිපත් කරනවා. රට බෙදන්න ජනතා විමුක්ති පෙරමුණ සටන් වැදිලා නැහැ. අපි සටන් වදින්නෙ රට ආරක්ෂා කරගත්ත මේ ධනපති ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ‍එරෙහිව සිදු වන දේට විරුද්ධවයි අප කටයුතු කරන්නේ.

රාජිත සේනාරත්න එක එක න්‍යායන් හදාගන්නවාට අපට කරන්න දෙයක් නැහැ. රටක නීතියට යටත්වයි අප සියලුම සිහි කිරීම් කරන්නෙ. එහෙම නම් අපේ මේ සැමරුම් ආණ්ඩුව තහනම් කරන්න ඕන. උතුරේ මහවිරු සමරුව සිදු කරන්නේ කවුද? අරමුණ මොකක්ද? සැමරුමට සහභාගි වන්නෙ කවුද? ඒ සඳහා යොදාගත්තෙ මොනවාද? ඒ අනුවයි ඒ අයගෙ තීරණය ගත යුත්තේ.

මේ අරාජික අස්ථාවර තත්ත්වය තවදුරටත් ඇදගෙන ගියොත් අපේ රටට අන්තර්ජාතික මැදිහත්වීම් පවා එන්න පුළුවන්. මේ අවස්ථාව පක්ෂ නායකයන්ගේ වගකීම විය යුත්තේ කුමක්ද?

මෙහි ප්‍රධාන වගකීම තියෙන්නෙ ජනාධිපතිවරයාට. ඔහු පැවසුවානෙ 113 සාක්කුවේ දාගෙනයි මේ පත්වීම කළේ කියලා. අපි කියන්නෙ පෙන්වන්න බහුතරය කියලා. 113ක් නැතිව රාජපක්ෂ මහතාත් අමාරුවෙ දාලා දැන් රට අරාජික වේගෙන යනවා. තමන්ට දෙවැනි වර ජනාධිපති ධූරය ලබාගන්නයි ඔහුගේ මේ උත්සාහය. මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැති නම් ඔහු ඉවත් විය යුතුයි. අරාජිකත්වය දුරු කරන්න කළ යුත්තේ 113 පෙන්වන්න පුළුවන් තැනැත්තාට බහුතරය හිමි බව සලකා ආණ්ඩුව බාර දීමෙනුයි. එවිට මේ ප්‍රශ්නය විසදෙයි. නිත්‍යනුකූලව ආණ්ඩුවක් පත්වීම මිස අගමැති වෙන්නේ රනිල් ද මහින්ද ද වෙනත් අයෙක් ද යන්න අපට අදාළ නැහැ.

පාර්ලිමේන්තුවේ විසඳාගත යුතු දේ පාර්ලිමේන්තුවට බාරදිය යුතුයි. එසේ නොවුණොත් අන්තර්ජාතික බලපෑම් කෙසේ වුවත් රටක් හැටියට අද හු‍ෙදකලාවීම නම් නවත්වන්න බැරි වේවි.

ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේ පවසන්නේ කුමක්ද?

ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි. මේ වසර 70ක් තිස්සේ සිදුවුණේ කුමක්ද යන්න ගැන. මේ පක්ෂ දෙ‍කින් එකකින්වත් ජනතාවට සෙතක් වෙලා නැහැ. මේ පැත්තෙ අය අර පැත්තට යනවා. ඒ පැත්තෙ අය මේ පැත්තට එනවා. පනින්නත් සල්ලි ගන්නවා. තියාගන්නත් සල්ලි දෙනවා. මේක තනිකරම දූෂණ ක්‍රියාදාමයක් වෙලා.

අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? අපට ලැබුණු ජී එස් පී ප්ලස් සහනය නොලැබෙන ලකුණු පහළ වනවා. සංචාරක ව්‍යාපාරය හොඳම කාල‍යේ අපි ඉන්නෙ. නොවැම්බර් මාසෙ තමයි වැඩිම සංචාරකයන් එන්නෙ. සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ඉඳලා කරපු හෝටල් වෙන් කිරීම් 25% ක් විතර හෝටල් අවලංගු වෙලා. ‍ඒ සංචාරකයන් වෙනත් රටවල් බලා ගිහින්. දේශපාලන අස්ථාවරත්වය මත ඔවුන් මෙරට සංචාරයට දැඩි බියක් දක්වනවා. මේ කුමන්ත්‍රණයෙන් රට අරාජික වීම වළක්වන්න මහින්ද රාජපක්ෂ මහතාට 113 පෙන්වන්න බැරි නම් ඉවත්වන්න. 7 වැනි දා නඩුවේ තීන්දුව ලබාදෙන තුරු ඇයි ඉන්නෙ. විසුරුවීම නීත්‍යනුකූලයි කිව්වත් මේ නීති විරෝධී ආණ්ඩුව විසුරුවලා විධායක ජනාධිපතිධූරය ද අනිසි ලෙස භාවිතා කිරීම නවතා මහ මැතිවරණයක් කරා යමු. නමුත් මේ නීති විරෝධී ක්‍රියාවලිය වෙනස් කර නීතියට අනුගත ක්‍රමයක් ඒ සඳහා භාවිත ක‍ළ යුතු වෙයි.

ඔබ පක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් මහ මැතිවරණයත් ගැන කතා කරනවා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඒ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

ජනාධිපතිවරණයක් තියන්න ලබන ජනවාරි 8 වැනිදායින් පස්සෙ පුළුවන්. එක්සත් ජාතික පක්ෂය ඉල්ලූ පමණින් එය කරන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තිබිය යුතුයි. ජනාධිපතිවරයාටත් පුළුවන් වන්නේ ජනවාරි 8 වැනිදායින් පසුව පමණයි ඒ ගැන කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ඔවුන් බයයි මහ මැතිවරණයකට යන්න. පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ ඔවුන් කෙළේ සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරාය විකිණීම වැනි ක්‍රියාදාමයන් හරහා රට ආර්ථික වශයෙන් බිම ඇද දැමීමයි. ඒ ආර්ථික අර්බුදය නිසා ඔවුන් රටට කළ දෙයක් නැහැ. එනිසා ඔවුන්ටත් ජනතාවට උත්තර දෙන්න බැහැ. ජනතාවට ඉදිරියට යන්න බැහැ‍. ඒ වගේ ම මේ සෙල්ලම් ආණ්ඩුව කරන්නෙ එක්සත් ජාතික පක්ෂය කරපු දේම බවයි අපට පේන්නෙ. ඒ නිසා මේ දෙගොල්ලම රටට ගැළපෙන්නෙ නැහැ. රටට ඕන කරන්නෙ ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාව ඒ ගැන හිතලා කටයුතු කළ යුතුයි. නැත්නම් මීට වඩා අර්බුද මතු වන්න පුළුවන්.

සංවාදය - තාරක වික්‍රමසේකර 

අදහස්