නොකෙරෙන දීගය... | සිළුමිණ

නොකෙරෙන දීගය...

සුගීස්වර පී. සේනාධීර

නොකෙරන දීගයට වඩා සුපුරුදු තනිකම හොඳය’ යන ජනප්‍රවාදය පවුල් ජීවිතයට මෙන්ම දේශපාලනයටද බලපාන සත්‍යයක් බව දැන් ප්‍රත්‍යක්ෂ වී අවසන්ය. නුපුරුදු දීගය කොතරම් හානිකරද යත්: අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ දේශපාලන දීගය පිළිබඳව තමා දිගු පොතක් ලියන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොබෝදා ප්‍රකාශ කළේය.

2015දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනතාව වෙත පැමිණියේ පක්ෂයට වඩා ජාතියට ප්‍රමුඛත්වය දෙන යහපාලන දේශපාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රධාන ජාතික පක්ෂ දෙකේ සන්ධානයක් පිළිබඳ නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමිනි.

ජනාධිපති සිරිසේන පසුගිය සතියේ විදේශීය මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ හිටපු අගමැති වික්‍රමසිංහ සමඟ ඇති වූ දේශපාලන අර්බුදය පසුගිය සතියේ සිදු වූවක් නොව, සභාග රජයේ ආරම්භයේ පටන්ම පැවැති එකක් බවයි.

සභාග රජය සමයේ සිදු වූ බරපතළම කාර්යය වූයේ ජනාධිපතිවරයාගේ විරෝධය ගැන කිසිදු තැකීමක් නොකර හිටපු අගමැති වික්‍රමසිංහ තම හිතමිතුරු අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති පදවියට පත් කිරීමය. සිංගප්පූරු පුරවැසියකු වන මහේන්ද්‍රන් පත් කිරීම ව්‍යවස්ථාවට පටහැණි බව පෙන්වා දුන් නමුත්, ඔහු පත් කළ යුතුම යැයි හිටපු අගමැතිවරයා අවධාරණයෙන් කියා සිටි බැවින් ජනාධිපතිවරයාට ඊට එකඟ වීමට සිදු විය. තමා එසේ කළේ ජනපතිවරණයේදී තම ජයග්‍රහණය උදෙසා එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් වික්‍රමසිංහ මහතා කළ විශාල කාර්යභාරය සලකා බලමිනුත්, පක්ෂ දෙකේ නව හවුල් රජයේ ආරම්භයේ පටන් අර්බුදයක් ඇති කිරීමට තමාට වුවමනා නොවූ නිසාත් බව ජනපති සිරිසේන පැහැදිලි කළේය.

එහෙත් මේ වැරදිසහගත පත් කිරීම හේතුවෙන් මහ බැංකුවේ සුවිශාල වංචනික තැන්පතු ගනුදෙනු සිදු කෙරුණු අතර, එයින් රටට අහිමි වූ ධනස්කන්ධය අතිමහත්ය. අවසානයේදී ජනාධිපතිවරයාට සිදු වූයේ අගමැතිවරයාත්, එජාපයත් කොතරම් විරුද්ධ වුවද මහ බැංකු කොල්ලය ගැන සොයාබැලීමට ජනපති කොමිසමක් පත් කිරීමටය. ඒ කොමිසමේ විභාග කාලය තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේත්, ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේත් වංචනික ක්‍රියා අනාවරණය වූ අතර අර්ජුන් මහේන්ද්‍රන් රටින් පලා ගියේය. වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් තම මිතුරා වන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගෙන අධිකරණය වෙත භාර දිය හැකි නමුත් ඔහු එසේ කිරීමට කිසිම පියවරක් ගෙන නැත. මෙය තමන් අගමැති පදවිය දරන රජයටත්, මුළු රටටත් කළ විශාල ද්‍රෝහිකමකි.

මෙවැනි ප්‍රතිවිරුද්ධ මත දරන විට වික්‍රමසිංහ මහතා වෙනුවට විකල්ප අගමැතිවරයකු සෙවීමට ජනපතිවරයා ක්‍රියා කිරීම පුදුමයක් නොවේ. ඔහු පළමුව කරු ජයසූරියටත්, දෙවනුව සජිත් ප්‍රේමදාසටත් ආරාධනා කළ නමුත්, ජාතික යහපතට වඩා පක්ෂය ගැන බලන ඒ දේශපාලනඥ දෙපළ මේ යෝජනාව පිළිගැනීමට කැමැති නොවූහ.

ශ්‍රී ලංකා දේශපාලනයේ පවතින මේ දැඩි පක්ෂවාදි පිළිවෙත රටට අයහපත් බව හොඳින් වටහාගෙන සිටින ජනපති සිරිසේන මුලදී පටන්ම උත්සාහ කළේත් තවමත් උත්සාහ කරන්නේත් පක්ෂ දේශපාලනයට වඩා රටේත් ජනතාවගේත් යහපතට ප්‍රමුඛත්වය දෙන නව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමටය.

එහෙත් පවුලේ යහපත වෙනුවෙන් හොඳ කසාද ජීවිතයක් ගත කිරීමට වඩා පුරුදු තනිකම හොඳයයි සිතන දේශපාලන සංස්කෘතියක් පවත්නා මෙරට දේශපාලන සංස්කෘතියේ මෙවන් සුවිශාල පරිවර්තනයක් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බව පසුගිය තෙවසර තුළ සිදු වූ දේශපාලන අර්බුදවලින් මොනවට පිළිබිඹු වී ඇත.

පක්ෂ දෙක අතර යහපත් සබඳතාවක් ඇති වන යහපාලන පාලන තන්ත්‍රයක් ගෙනයෑම කළ නොහැකි දෙයක් බවට පත් වීමෙන් පසු ජනපති සිරිසේනට සිදු වූයේ තමන් පනස් වසරක් දේශපාලන වශයෙන් සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශීයත්වය ප්‍රමුඛ කරගත් ප්‍රතිපත්තිවලට එකඟ නායකයකු අගමැතිවරයා වශයෙන් පත් කිරීමේ හැකියාව ගැන සොයා බැලීමටය. එහි ප්‍රතිඵලය වූයේ ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමය. ඉන් පසු ඇති වූ ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකථනය කිරීමේ වාද-විවාද දැන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතටද යොමු වී අවසන්ය.

“අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවාහැරීම, පාර්ලිමේන්තුව වාරය අවසාන කිරීම, මේ සියල්ල මම කරලා තියෙන්නේ නීත්‍යනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කිසිම දෙයක් කරලා නැහැ,” යැයි ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් අමතා පැහැදිලි කළේය.

උත්තරීතර උසාවියේ තීන්දුවේ ප්‍රමාදය නිසා අද රටේ අස්ථාවරත්වයක් පවතී. ජනපති සිරිසේන ඒ අතරතුර දැන් දැඩි ප්‍රයත්නයක් දරන්නේ අස්ථාවරත්වය අවසන් කර, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල විසඳුමක් සෙවීමටය. යළි වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් කිරීමට ඇති දුෂ්කරතාත්, එසේ නොකිරීමට තමා තීරණය කිරීමට තුඩු දුන් කරුණු රාශියත් දැන් ජනපතිවරයා ජාතිය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ තත්ත්වය හමුවේ විසඳුමක් සෙවීමට කැප වීමෙන් ක්‍රියා කිරීම ජනපති සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අගමැති වික්‍රමසිංහ සහ නූතන පාර්ලිමේන්තු අස්ථාවරත්වයේ නියමුවා වන කථානායක කරු ජයසූරිය සතු සාමූහික වගකීමකි. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පැවති සාකච්ඡාව ධනාත්මක ඉදිරි පියවරක් වන අතර, ඒ පදනම මත අගමැතිවරයා සහ හිටපු අගමැතිවරයාත්, සෙසු පක්ෂ නායකයනුත් රටේ අනාගතය හා ජනතාවගේ යහපත ගැන සලකා බලා තමන් ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමටද යන්න හොඳින් අවබෝධ කරගෙන අස්ථාවරත්වයෙන් රට ගොඩගැනීමට වහා පියවර ගත යුතුව ඇත.

අදහස්