ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නඟන්නන්ගේ පරස්පරය | සිළුමිණ

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නඟන්නන්ගේ පරස්පරය

දේශපාලනය අවසාන වශයෙන් තීරණය වන්නේ මනුෂ්‍ය ස්වභාවය මත ය. මේ මිනිස් ස්වභාවයේ පවතින මූලික දේශපාලනික ලක්ෂණය වන්නේ සමූහික ව ජීවත් වීම පිළිබඳ ව අදහසයි. මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ අපි සාමූහික යැයි අර්ථකථනය කරගන්නා කාරණයෙන් අනෙකාගේ සාමූහිකත්වය පිළිබඳ ආකල්පයෙන් වෙනස් වන්නේ කෙසේද? යන්න ය. ලංකාවේ අපට එය දිස්වන්නේ දේශපාලන පසමිතුරු ආකල්පයක් ලෙස ය. මේ වන විට ඇති වී තිබෙන්නේ ද එවැනි වූ පසමිතුරුතාවයකි. මේ පසමිතුරා යන සංකල්පය පිළිබඳව විමසීමේදී ඒ තුළ මිතුරා හා සතුරා යන දෙපාර්ශ්වය ම නියෝජනය වේ. අප සමඟ මිතුරු වී සිටින කෙනකු කිසියම් මොහොතක සතුරු විය හැකිය. එසේම අපට සතුරුව සිටින කෙනකු අප හා මිතුරු විය හැකිය. මෙය මාක්ස්වාදී සූත්‍රගත කිරීම් අනුව දෛලෙත්තික ක්‍රියාවලියකි.

දේශපාලනික සදාචාරය

දෛලෙක්තිකයේ මූලික හරය වන්නේ ඕනෑම දෙයක ප්‍රතිවිරෝධතාවන් තිබිය හැකිය යන්නයි. මේ නිසා යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමේදී ඊට සහභාගි වුණ ප්‍රධාන පාර්ශ්ව කරුවන් දෙපිරිසම දැනගත යුත්තේ තමන් ගොඩනැඟූ යහපාලන පරමාදර්ශය තුළ ඊට ප්‍රතිවිරුද්ධ දෑ අඩංගුවී පවතින බව. එය මේ සාමූහික වැඩපිළිවෙල අවුල්සහගත වන ඕනෑම මොහොතක මතු විය හැකිය. එක පාර්ශ්වයකට අවශ්‍ය ආකාරයට මේ සාමූහික ප්‍රයත්නය විසින් ගොඩනඟාගත් දෑ වසර තුනහාමාරක් තිස්සේ ඉතාම අවුල් සහගත ලෙස උල්ලංඝනය කරමින් පවත්වාගෙන ඒම නිසා එය සමාප්තියට පත් වීම සාමාන්‍ය ය. ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයෙන් අවසන් වූයේ එකි අවුල්සහගත පැවැත්ම ය. එය දේශපාලනික වශයෙන් ගත් කල උපාය උපක්‍රමික තේරීමකි. මන්දයත් කෙසෙල්ගෙඩියක් ආහාරයට ගෙන ලෙල්ල විසි කර දමන ආකාරයෙන් ලබන වසරේ ජනාධිපතිවරයා නොසලකා බලය ලබාගැනීමට මෙකී පාර්ශ්වය කටයුතු කරන බව එතුමා තේරුම්ගෙන තිබිණි. ඒ අනුව මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය. මෙනිසා කෙනකු නඟන පැනය වන්නේ බලයට තිබෙන කෑදරකම නිසා එවැන්නක් ජනාධිපතිවරයා විසින් සිදු කළ බව ය. ඊට දිය හැකි සරල ම පිළිතුර වන්නේ කෙනකු දේශපාලන බලයට පැමිනෙන්නේ මෙකී කෑදරකම නිසා ම බව ය. බොහෝ දෙනා දේශපාලනය තෝරාගන්නේ මේ බලලෝභීත්වයට තිබෙන ආශාව නිසා ය. එය මෛත්‍රීපාල මහතාට පමණක් තිබෙන සුවිශේෂී ආශාවක් නොවේ. අන් හැමදෙනාටම ඇත්තේ එකී ආශාව ය. එය ඕනෑම අයකු සතු ආත්මීය කාරණයකි. මේ බලය පාරභෞතික වන අතර එය අපට අල්ලා පෙන්විය නොහැකිය. එවැනි දෑ කෙනකු ජයගැනීමට උත්සාහ කරන්නේ නම් එය ආගමික පාර්ශ්වයට අයත් ක්‍රියා සන්තතියකි. නමුත් දේශපාලනය කෙනකු තෝරගන්නේ නම් එය බලය පිළිබඳ කාරණයකි. එනිසා කුමන ගිවිසුමක් මඟින් හෝ එය යටපත් කිරීමට උත්සාහ කළ විට එය ඕනෑම මොහොතක පොලාපනී. එවිට අඬා දොඩා පලක් නැත. ඒනිසා අප දැනගතයුත්තේ ඕනෑම ගිවිසුමකට ප්‍රවිෂ්ට වීමේදී බලය පිළිබඳ සාධකය මූලික වන බව ය. මකියාවෙල්ලි පවසන ආකාරයට දේශපාලනය වූ කලී විද්‍යාත්මක ක්ෂේත්‍රයක් නොවේ. එසේත් නැතිනම් සංයමයෙන් කරන චෙස් ක්‍රීඩාවක් ද නොවේ. එය ආත්මීය කාරණාවකි.

හාමුලාගේ සහ අප්පුලාගෙ ප්‍රජාතන්ත්‍රවාදය

කෙසේ වෙතත් මෙමඟින් හොඳ අවස්ථාවක් ජනතාවට ලබාදී ඇත. මෙරට ජනගහනයෙන් 85%ක් ම ඇත්තේ ග්‍රාමීය ප්‍රජාව ය. එසේම මෙරට වැඩ කරන ජනගහනයෙන් මිලියන් 6.2ක් දළ වශයෙන් කිසිදු ආකාරයක ස්ථිර භාවයක් නොමැති (අවිධිමත් ආර්ථිකයක් තුළ) ව සේවය කරන්නන් ය. මුට්ට කරගසන, විදේශගත (ගෘහ) ශ්‍රමිකයන්, ෆුඩ් සිටි සේවකයන්, ෂොප්වල සේවය කරන්නන්, ත්‍රීවිල් රථ රියදුරන්... ආදි නොයෙක් දෙනා මීට අයත් ය. මේ කිසිවකු වරප්‍රසාදිත ආර්ථික තත්ත්වයකට හිමිකම් කියන්නේ නැත. අප පීඩිතයන් ලෙස හඳුනගන්නේ මේ පිරිස ය. එනම් අව වරප්‍රසාදිත, ශ්‍රමය හැර වෙන කිසිවක් නොමැති නිර්ප්‍රභූන් ලෙස මොවුන් හඳුන්වාදිය හැකිය. මොවුන්ට රක්ෂණ වන්දි නොලැබේ. රෝගී වූ විට පුද්ගලික ආරෝග්‍ය ශාලාවකින් ප්‍රතිකාර ගැනීමට ප්‍රමාණවක් මුදලක් නොමැතිය. මඟුල් ගෙයක් තබා මළ ගෙයක් ගැනීමටවත් නොහැකිය. කොටින් ම ඔවුන්ට මූලික මානුෂික සදාචාරමය අයිතිවාසිකම්වත් පවාත්වාගෙන යා හැකි කොන්දේසි පවා අහිමි ය. උදාහරණයකට ෆුඩ් සිටි සේවක සේවිකාවන් පැය 13ක් පමණ සිටගෙන සේවයේ නිරත වුවද මාසික වේතනය රුපියල් 10000ට වැඩි නොවේ. මේ ආකාරයට වැඩිපුර ශ්‍රමය වැය කරමින් රටට ආදායම් උපයාදෙන ජනයාගේ සැබෑ ආර්ථික තත්ත්වය එසේ තිබියදී අනෙක් පැත්තේ ලක්ෂ විස්සක පමණ වූ රජයේ සේවකයන් සහ පුද්ගලික සමාගම්වල සේවය කරන සේවකයන්ට ‍වරප්‍රසාද බොහොමයක් හිමි වේ. උදාහරණ ලෙස විශ්‍රාම වැටුප්, පාරිතෝසික දීමනා, සේවක අර්ථසාධක අරමුදල්, රක්ෂණාවරණ, පෞද්ගලිකව ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම්, විවාහ උත්සව සඳහා මෙන්ම පවුලේ කෙනකු මිය ගියවිට කිසියම් මුදලක්, ඉගෙන ගන්න දරුවන්ට ඒ සඳහා ප්‍රධාන, බැංකු මගින් ණය ලබාගැනීමට (ස්ථිර රැකියා තත්ත්වය මත) පහසුකම්, වාහනයක් (ලීසිං මඟින් හෝ) ... ආදි වූ වරප්‍රසාද ගොන්නක් හිමි වේ. මීට අමතරව ‍අන්තර්ජාල පහසුකම්, හෝම්තියටර් සිස්ටම්, උසස් වර්ගයේ ඇඳුම් පැලඳුම්, තමන්ට හිතුණ හිතුණ මත ප්‍රකාශ කළ හැකි සයිබර් අවකාශය, පොත් කියවන්න, පත්තර බලන්න, ෆිල්ම් බලන්න, මියුසික් අහන්න, ... ආදි වශයෙන් විනෝදකාමීව ගත කරන්න අවස්ථාව හිමි වී තිබේ. කොල්ලුපිටියෙ අප්පුගෙ සමාජ ආර්ථිකය තුළ නියෝජනය වන්නේ කිසියම් ආකාරයක වරප්‍රසාද ගොන්නක් හිමි ඉහත සඳහන් කළ ලක්ෂ විස්සක පමණ සුළු පිරිස ය.

එනිසා කොල්ලු පිටියෙ අප්පුගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස එය හඳුන්වාදීමට මා කැමතිය. එසේම අනෙක් පැත්තෙන්; මැදමුලන හාමුගේ සමාජ ආර්ථික පසුතලය තුළ නියෝජනය වී සිටින්නේ නිශ්චිත ආදායම් මාර්ගයක් නොමැති, එනිසාම අව වරප්‍රසාදිත ජීවිතයක් හිමි පීඩිත සිංහල ජනයා ය. අපට එය මැදමුලන හාමුගේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඩුබායි අක්කගේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ කියා කිව යැකිය. (එය හොඳ ද? නරකද? යන්න වෙනම කතා කළ යුත්තකි.) මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කැගසන්නේ සුළුතරයක් නියෝජනය කරන්නා වූ කොල්ලුපිටිය අප්පුගේ ආධිපත්‍ය ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නිසා බිඳ වැටි ඇති නිසා ය. දැන් මේ පාර්ශ්ව දෙක අතර ගැටීම ආරම්භ වී තිබේ. නමුත් අපගේ දේශපාලන ගමන වැටී ඇත්තේ මේ දෙක අතර මැදය.

අරමුණ සහ ජයග්‍රහණය

එනිසා මේ දෙක මැද්දෙන් ගිහින් අපට අවශ්‍ය පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට අනගි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් උදා කර දී තිබේ. සරලව කියන්නේ නම් එතුමා විසින් සිදු කර ඇත්තේ අව වරප්‍රසාදිත ඡන්ද දායකයා ජාති ආගම් කුලමලවලින් තොරව එක්සත් වීමට ඉඩ ලබාදීම ය. තවත් විදියකින් කියන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතිකවාදී දේශපාලනය හේතුවෙන් පසෙකට ඇද දැමූ පීඩිත දෙමළ ජනයා හා පීඩිත මුස්ලිම් ජනයා පීඩිත සිංහල ජනයා හා ඒකරාශී කිරීමකි. ඒ අනුව සියලු පීඩිත ජනයා මේ වන විට එක කඳවුරක් තුළ ඒකත්ඡත්‍ර වී සිටිති. පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ අර්මුණ වී තිබුණේ එයයි. මෙනිසා මෙරට බහුතර ජනතාව නියෝජනය කරන නායකයකු ලෙස එතුමා ඉදිරියට පැමිණ තිබේ. ඇත්තෙන්ම මෙය ලාංකේය දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවකි. එහෙත් සැලකිය යුතු කරුණ වන්නේ තවමත් කිසිවකුත් මේ අරමුණ නිවැරදිව වටහා නොගැනීමය. බොහෝ විට අප කැමති වන්නේ කොල්ලුපිටියෙ අප්පුගේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්ත හෝ ඩුබායි අක්කාගේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්ත හෝ දෙපැත්තෙන් එක් පැත්තක නියෝජනය වීමට ය. නමුත් මතක තබා ගත යුතු කාරණය වන්නේ මෙරට වැඩිම ආදායම උපයා දෙන්නේ ඩුබායි අක්කාගේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය පාර්ශ්වය විසින් බවය. කොල්ලුපිටිය අප්පුගේ ආර්ථික න්‍යාය තුළ සිදු කෙරෙන්නේ මෙකී පාර්ශ්වය විසින් උපයාදෙනු ලබන ආදයම කළමනාකරණය කිරීමය. නමුත් අප මේතාක් දැක ඇත්තේ ඔවුන් විදේශ ගතව සිටියදී හිංසාවන්ට ලක්වුවහොත් හෝ මරණයට පත් වුවහොත් හෝ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට්පතක් හෝ ලබාදීමට අසමත් යාන්ත්‍රණයකි.

මේ සිදු වීමත් සමඟ මෙතෙක් කල් අප්පුලාට ඕන විදියට කටයුතු කළ ජනතාව දැන් තමන්ට අවශ්‍ය ආකාරයට රාජ්‍ය හැසිරවීමට හැකි බව තේරුම්ගෙන තිබේ. එය මේ ක්‍රියාවලිය නිසා අප ලද ජයග්‍රහණයකි. මෙයට ඇතැම් අය අපහාසාත්මකව නානප්‍රකාර චෝදනා එල්ල කළ හැකිය. ග්‍රාමීය ජනතාවට දොස් පැවරිය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ සිදු වූ දේ දීර්ඝකාලීන ව රටට යහපත් ය.

නීතිය, සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය

බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය සැලකීමේදී එරටට ඇත්තේ අලිඛිත ව්‍යවස්ථාවකි. එසේම සැබෑ දේශපාලනය ද ක්‍රියාත්මක වන්නේ අලිඛිත ව ය. උදාහරණයක් ලෙස පීඩිත ජනයා පලිගහන්නේ, ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්නේ, විජේවීර අරගල කරන්නේ, ප්‍රභාකරන් අරගල කරන්නේ, ව්‍යවස්ථාව කියවා නොවේ. මේ දේවල් සිදු වන්නේ අලිඛිත ව ය. ඒ අර්ථයෙන් සලකා බලනවිට මෙය එක්තරා ආකාරයක විප්ලවීය තීන්දු ගැනීමකි. මේ කාරණයේදි නීතිය ගැන කතා කිරීම සදාචාරාත්මක ද? යන පැනය මතු වේ. අප දන්නා ආකාරයට මුල්කාලයේ රෝම ලන්දේසි නීතයට අනුව බිරිය පිරිමියාට අයිති දේපලක් ලෙස සලකන ලදී. එය කිසිවිටකත් ශිෂ්ටසම්පන්න සමාජයක සදාචාරාත්මක ‍නොවන්නකි. නමුත් නීතිය විසින් එය පිළිගෙන තිබුණි. එසේම 71 කැරැල්ල මැඬපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය පිහිට වූ බව ප්‍රකාශයට පත් විණි. එලෙස ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනු ලැබූවේ මිලිටරි ක්‍රියාන්විතයක් මඟින් තරුණයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමෙන් පසුවය. එසේ නම් එලෙස පිහිට වූ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන්ම පිරිසිදු යැයි කිසිවකුට කිව නොහැකිය. ඒ වගේම 87-89 කාලවල ද මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිට වීමට කටයුතු කළේය. පසුව 2009 දී නැවත වතාවක් ඒ ආකාරයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනු ලැබිණ. මේ සෑම අවස්ථාවක ම ලේවලින් හා ජීවිතවලින් වන්දි ගෙවා අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටු වීමට කටයුතු කර ඇත්තෙමු. මෙවර අපි සිදු කර ඇත්තේ එලෙස ලේ වැගිරීමකින් තොරව මේ රටේ පීඩිත ජනයාට යම්කිසි දේශපාලන වැඩසටහනක් ඉදරිපත් කළ හැකි වතාවරණයක් ඇති කිරීම ය. එනිසා මේ දිහා මා බලන්නේ වික්ටර් අයිවන් මහතා මෙන් සදාචාරමය දෘෂ්ටියකින් නොව දේශපාලන දෘෂ්ටියකිනි.

ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පරස්පරය

2015 ජනවාරි 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය. පෙබරවාරි 28 හෝ 29 වන දින බැඳුම්කර ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ දී ඔහු ක්‍රියා කළ ආකාරය සදාචාර සම්පන්නද? යන්න ගැටලුවකි. එහෙත් දේශපාලනිකව මේ ක්‍රියාවට මා විරුද්ධ වන්නේ නැත‍. මන්දයත් අපේ ආත්මීය වුවමනාවන්වලට මුල්තැන දී කටයුතු කිරීම දේශපාලනය වන නිසාය. අනෙක් අතට ධනේශ්වර ආර්ථික ක්‍රියාවලිය යනු මෙය වේ. එසේම අපේ පක්ෂයේ ද මෙවැනි උදවිය සිටියේය. අද ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬනඟන සටනේ ඉදිරියෙන්ම සිටිති. පීඩිත ජනයා වෙනුවෙන් සටන් කරමින් අප සමඟ වැඩ කළ මේ පුද්ගලයා ස්ත්‍රියක හමු වී අපේ ව්‍යාපාරය පාවා දී රනිල් වික්‍රමසිංහ ළඟට ගියේය.

දැන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කියා කෑ ගසති. මෛත්‍රීපාල සිරිසේන මහතා ගිවිසුම් කැඩීම ගැන කටමැද දොඩවන ඔහුගෙන් ඇසීමට ඇත්තේ මෙපමණකි. ඔබ රනිල් සමඟ ඩීල් දාමා එහි ගියේ පක්ෂයට කියාද?. එකල අප පක්ෂයක් ලෙස උත්සාහ ගත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළුව තවත් පක්ෂ සමඟ පුළුල් සන්ධානයක් ගොඩනඟා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ආර්ථිකය ගොඩනැඟීම සඳහා රාජ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමේ යන්ත්‍රණයක් ඇති කිරීමට ය. එහෙත් පක්ෂය විසින් ඒ සඳහා පත් කර යැවූ ඒජන්තයා අපට ද නොකියා රනිල් වික්‍රමසිංහ සමඟ දීග ගියේය. ඔහු අද ජනාධිපති කළ දේ සදාචාර විරෝධී යැයි පවසති. තමන් සදාචාර විරෝධී වැඩ පහළොවක් පමණ සිදු කර වෙන කෙනෙක් තමන් කළ දේට ඒ ගේම් එකෙන්ම පිළිතුරු දුන් විට ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලලා කෑ ගසයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬනඟන උන්ගේ පරස්පරය මෙය වේ.

අපට මාක්ස්වාදය‍ අවශ්‍ය ඇයි?

මනුෂ්‍යයා පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වීම තුළ අපට ආදරය කරුණාව වැනි යහපත් මානව ගුණාංග තවදුරටත් පවත්වාගෙන යා හැකිද? සොබාදහම සමඟ තවදුරටත් මේ විදියට ගමන් කළ හැකිද? නිරෝගීව සිටීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් තිබේද? සමාන අධ්‍යාපන පහසුකම් හිමිවී තිබේද? එසේම ප්‍රවාහන ගැටලු, විරැකියාව, පෝෂණ ඌනතාව, ... මේ ආදී වූ ගැටලු රාශියක් මතුව තිබේ. මේ හැම තැනකම දැකිය හැක්කේ අවමානුෂිකකරණයකි. අපට අදාළ ව කියන්නේ නම් මේ යුගයේ මාක්ස්වාදය කියා පවසන්නේ “ආර්ථිකයෙන් ඔබේ ජීවිතය තීන්දු වේ” යනුවෙන් පෙන්වා දී ආර්ථිකය වෙනස් කිරීමට යෑම නොව මේ පොදු ප්‍රශ්නවලට විසඳුම් දීමයි. සොවියට් දේශයේ ආරථික ප්‍රශ්න විසඳුවද ආත්මීය කඩා වැටීමට විසඳීමට ඔවුන් අපොහෝසත් විය. එනිසා එරට තුළ සමාජවාදය බිඳ වැටින. එනිසා විසඳුම් ලබාදිය යුත්තේ ආත්මීය ප්‍රශ්නවලටය. මන්දයත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ අපව යටත් කර ගැනීමෙන් නොව, අපේ කැමැත්තෙන් ම එයට යටත් වීමෙනි. ඒ අනුව අප මත ඇත්තේ ධනවාදී අධිපත්‍යයක් නොව අප විසින් සුජාත කරන ලද ධනවාදයකි. 20 වන සියවසේ මාක්ස්වාදය (පැරණි) විසින් අපට යෝජනා කළේ කොමියුනිස්ට් සමාජයේ නිෂ්ටාව ජීවිතයේ ප්‍රීතිය බව ය. නමුත් 21වන සියවසේ මාක්ස්වාදය විසින් යෝජනා කරන කොමියුනිස්ට් සමාජ ජීවිතය වනාහී ශෝකාන්තයකි. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම්; ශූන්‍යත්වය පිළිබඳව බුදු දහමේ හා මාක්ස්වාදය අතර වෙනසක් තිබේ. බුදු දහමේ ශූන්‍යත්වය සාමය නැතිනම් ශාන්තියයි. එනමුත් මේ මොහොතේ මාක්වාදී ශූන්‍යත්වය වනාහී ආතතියයි නැති නම් ගැටුමයි. එනිසා අනාගත දේශපාලනය යනු සාමය ශාන්තිය ළඟා කරදීම නොව ආතතිය හඳුන්වා දීමය. එය ලංකාවට අනුව කියන්නේ නම් කොල්ලුපිටිය හාමුලාගේ අදහස්වලින් බහුතර පීඩිත ජනයා පාලනය වීම නතර කිරීමට අවශ්‍ය ඥානනය ලබාදීමය. ඒ අනුව මේ යුගයේ දෘෂ්ටිවාදය විචාරය කළ හැක්කේ මාක්ස්වාදයෙන් පමණි.

ඡායාරූපය - රන්දික අහංගම

අදහස්